ඉගැන්වීම සහ ඉගෙන ගැනීම

මනෝ වෛද්‍ය මහාචාර්ය ප‍්‍රියන්ත ගාමිණි ජයසිංහ

මිනිසාගේ අධ්‍යයනයන් සම්බන්ධ ක්ෂේත්‍රය ඉතා ශීඝ්‍රයෙන් දියුණු වෙමින් පුළුල් වපසරියක් පුරා විහිදෙමින් තිබේ. මෙම ක්ෂේත්‍රය සම්බන්ධ නොයෙකුත් අධ්‍යයනයන් හා න්‍යායයන් සමග ප්‍රායෝගික භාවිතාවන් ගැන සාකච්ඡාව ඉතාමත් වැදගත් වේ.

එමගින් මෙම ක්ෂේත්‍රයේ ඉගැන්වීම සහ ඉගෙන ගැනීම යන ආකාර දෙක පිළිබඳව ම සියලු වයස් සීමාවන් සඳහා මනා අවබෝධයක් ලබා දීමට හැකියාව ලැබේ. මෙම ක්ෂේත්‍රය තුළ පොලඹවන ශිල්පක්‍රමය (Motivative Technology) සහ තමා තමාවම කළමනාකරණය කර ගැනීම (Self Regulation) යන ක්ෂේත්‍රයන් පිළිබඳව වැඩි අවධානය යොමුකර තිබේ. එබැවින් මෙම ක්ෂේත්‍රය සම්බන්ධව වැඩිමනත් අධ්‍යයනයන් ලොව පුරා විශ්ව විද්‍යාවල සහ වෙනත් උසස් අධ්‍යාපන ක්ෂේත්‍රවලට අදාළ ආයතනවල සිදු වෙමින් පවතී.

අධ්‍යයනය හෙවත් ඉගෙනුම තුළ සිදුවනුයේ දැනුම (knowledge) දක්ෂතා (skills) මූලෝපාය ඥානය (strategy), විශ්වාසයන් (beliefs) ආකල්ප (attitudes) සහ හැසිරීම (behaviour) පිළිබඳව අධ්‍යාපනය ලබා ගැනීම සහ ඒවා නවතාවයෙන් යුතුව (Modify) නවීකරණය කිරීම ආදිය වේ. පුද්ගලයන් විසින් අධ්‍යයනයන් තුළ දී ප්‍රජානන හෙවත් දැනුම සම්බන්ධ (Cognitive) වාග් විද්‍යාත්මක හෙවත් භාෂාමය (Linguistic) චාලක (Motor) සහ සමාජ සම්බන්ධතා පිළිබඳව වු ශක්‍යතා (Social Skills) පිළිබඳව හැදෑරීමක් කරනු ලැබේ. එහිදී ශිෂ්‍යයා සරල ගණිත ගැටලු විසඳීම, තම කමීසයේ බොත්තම් දමා ගැනීමේ සිට අන් මිතුරු මිතුරියන් සහෝදර සමූහයා සමග ක්‍රීඩා කිරීම වැනි අවස්ථාවල ද ඉන් ඔබ්බට ගොස් සංකීර්ණ ප්‍රශ්න, ගැටලුවලට විසඳුම් සෙවීම, පිළිතුරු සොයා ගැනීම දක්වා ද ක්‍රියාත්මක වේ.

අවාසනාවකට ඉහත සඳහන් කළ ළමයා තුළ වර්ධනය කර ගත යුතුව ඇති මානවීය ගුණාංග ගැන සැලකීමක් දක්නට නැත. විශේෂයෙන් ම දෙමව්පියන් හා ගුරුවරුන් ඒ සඳහා අවධානයෙන් හා අවබෝධයෙන් කටයුතු කළ යුතුය. ඇතැම් දෙමාපියන් තම දරුවාට කියා දෙන්නේ දරුවාගේ පාසලේ පන්තියේ යහළු යෙහෙළියන් සමග අධ්‍යාපනය සම්බන්ධ ගනුදෙනුවලින් ඈත්වන්නටය. යාබද අසුනේ සිටින මිතුරාට හෝ මිතුරියට ඇති ප්‍රශ්නයකට විසඳුම තම දරුවා දැන ගත්තත් කියා නො දෙන්නට ය.

එසේ කියා දීමෙන් ඒ ළමයා තම ළමයාට වඩා ලකුණු ලබා ගනිමින් තම දරුවා අබිබවා ජය ගනීවි යැයි යන ආකල්පය දරුවාට දෙනු ඇත. ඒ අයුරින් හැදෙන ළමයා පාසලේ තම මිතුරු මිතුරියන්ට හොර රහසේ නිවසේ දී පාඩම් කරනු ඇත. පන්තියේ දී අනෙක් අය පාඩම් කරන විට ඒවාට සමච්චල් කරමින් බාධා කරනු ඇත. පන්තියේ දී හැසිරීම නරක එවැනි ළමයින් නිවසේ දී පිළිවෙළකට පාඩම් වැඩකර විභාග ජයගන්නා අවස්ථා අපට හඳුනාගත හැකි වී ‍තිබේ.

බොහෝ විට ගුරුවරුන් ද තම පන්තියේ ළමයින් හෝ අධ්‍යයන කටයුතු වල දී සමාන හා සාධාරණ ලෙස ක්‍රියාකරන්නේ නැත. තමන් වඩාත් ම සිත් ගත් ප්‍රියමනාප ළමයාට වැඩි ලකුණක් දීමට ඔවුහු කැමති වෙති. තමන් සමග හැමවිටම ගැටෙන මේච්චල් කිරීමට අමාරු ළමයාට හැකිතරම් ලකුණු අඩුකර දමන්නට ගුරුවරයාගේ ඇතුළාන්තයෙන්ම සැදී පැහැදී සිටී. තමාගේ බාහිර (ටියුෂන්) පන්තියට එන ළමයාට පන්තියේ දී සැලකිල්ල වැඩිය. ඒ ළමයාට අනෙක් අයට වඩා කැමතිය. ආදරේ ය. වචන ප්‍රිය මනාප ය.

නමුත් තම ටියුෂන් පන්තියට එන්නේ නැතිව වෙනත් ටියුෂන් පන්තියකට යන ළමයකු අහු වුනොත් ඒ ළමයා ඉතුරු කරන්නේ නැත. එක්තරා පාසල් ගුරුවර‍යකු තම ටියුෂන් පන්තියට නො පැමිණි ශිෂ්‍යාවකට තම පාසලේ වාර විභාගයට පෙනී සිටීමට ද ඉඩ නොදී වැළැක්වූ හැටි අප හෙළිකර ඇත. එම ශිෂ්‍යයාව ගුරුවරයාගේ ටියුෂන් පන්තියට නො ගියේ තමාට ඔහුට ගෙවීමට මුදලක් සොයා ගැනීමට නොහැකි නිසා බව ඇය මට කීවාය.

ඉතින් අප කිනම් අධ්‍යාපන ක්‍රමවේද කියාදුන්නත් එවැනි ගුරුවරුන් හා අනවබෝධයෙන් ක්‍රියා කරන දෙමව්පියන් නිසා දරුවන්ගේ අධ්‍යාපනය නිසි ලෙස සාර්ථක කර ගැනීම අපහසු වී තිබේ. එවැනි අතළොස්සක් දෙනාගේ වැරදි ක්‍රියාවල ප්‍රතිඵලය සමාජයට ඉතා බරපතළ ලෙස බලපාන බව ඔවුන් සිතන්නේ නැත. ඔවුන් අතින් තනන දරුවෝ ද යහපත් මානසිකත්වයෙන් තොර අය වෙති.

අපි මේ ලිපි පෙළ මගින් මානවයාගේ අධ්‍යයනය සිදුවන්නේ කෙසේ ද? කුමන කාරණා ඒ සඳහා භාවිතා වන්නේ ද? සහ එම න්‍යායාත්මක කරුණු යෙදෙන ආකාරය පිළිබඳව සැලකිල්ලට භාජනය කෙරේ.

අප සත්ත්ව ලෝකයේ අනෙක් සත්ත්වයන් සහ මිනිසා පිළිබඳව සංසන්දනාත්මකව සැලකීමේ දී මානවයාගේ අධ්‍යයනය සංකීර්ණයේ (complex) විචිත්‍රක (elaborative) සහ විශේෂයෙන් ම භාෂාව (language) භාවිතය හඳුනා ගත හැකිය. එනිසා මෙම කරුණු පිළිබඳ ව දාර්ශනික (Philosophical) සහ මනෝවිද්‍යාත්මක (Psychological)තොරතුරු අධ්‍යාපනයේ දී සලකා බැලීම වැදගත් ය. එබැවින් මෙම ලිපිපෙළ මගින් අධ්‍යාපනය ලබන්නා (Learner) ගුරුවරයා (Teacher) උපදේශකයා (Instructor) අඩංගුදේ හෙවත් පූරිත කරුණු (Contents) පසුබිම, වටපිටාව, පරිසරය සැකැස්ම (Setting) වැනි කරුණු වැදගත් සේ සැලකිය හැකිය.

මෙහි දී අප අවබෝධ කරගත යුතු ලක්ෂණයක් වන්නේ සාමාන්‍යයෙන් අප පිළිගන්නා කාරණා සහ නියමු ප්‍රතිපත්ති (guiding principles) හෙවත් මගපෙන්වීම් කරන, හැසිරවීම් කරන මූලධර්ම මත මූලික අඩිතාලම සකස්වන බවයි. එනිසා ඉගෙනුම ලබන්නාගේ සිතුවිලි (thoughts) විශ්වාසයන් (beliefs) හැකියා (skills) සහ රුචි අරුචිකම් ද ගැන අවබෝධ කර ගැනීම වැදගත්ය. විශේෂයෙන් ම අද ළමයා ඉගෙනීම කරද්දී අප දකින තත්ත්වය නම් යහපත් නොවේ. ඒ සඳහා යහපත් මානසිකත්වයක් ළමයාට නැත. නොයෙකුත් ගැටලු සම්බන්ධව අසහනකාරී තත්ත්වයන් තුළ සිටින ළමයා යම් නිශ්චිත, අපේක්ෂිත ප්‍රතිඵලයක් අරමුණක් කරා ළගා වීමට කරන බාහිර බලපෑම් ළමයාට හිරිහැරකාරී වේ. එවිට ළමයාට තමා දන්නා කරුණුවත් නිදහසේ ඉදිරිපත් කිරීමට හැකි වන්නේ නැත. ළමා හිත අවුලට පත්වේ.

මෙහි දී අවබෝධ කරගත යුතු මූලික හා ප්‍රධාන කරුණු අතර අධ්‍යයනය හෙවත් ඉගෙනීම යනු කුමක් ද? අධ්‍යයනය කටයුතු සාර්ථක වන හෝ එසේ නොවන අවස්ථා හඳුනාගත යුතුය. එබැවින් මෙම ක්‍රියාත්මකභාවය පිළිබඳ මනෝවිද්‍යාත්මක පසුබිම තේරුම් ගැනීම මෙන් ම විවිධාකාර අධ්‍යයන ක්‍රම මගින් හඳුනා ගත් ලක්ෂණ ගැන සාකච්ඡා කිරීම හා අවබෝධ කරගැනීම ද වැදගත් ය. එසේම අධ්‍යයන කටයුතු වලදී සාර්ථකත්වය ඇගයීම ද වැදගත් වේ.

තවද මේ වන විට හඳුනා ගත යුතු ඉගෙනුම් න්‍යාය (Learning theory) පිළිබඳ සාකච්ඡා කිරීම මෙන්ම හැසිරීම (behaviour) ප්‍රජානන න්‍යාය (Cognitive theory) හෙවත් දැනුම, ඥානය පිළිබඳ හඳුනා ගැනීම ද අවශ්‍ය කාරණයකි. අධ්‍යයනය කිරීම වැදගත් බව පිළිගත්ත ද ඒ සඳහා අන්තර්ගත කරගත යුතු හේතු කාරණා සහ එහි ප්‍රතිඵල පිළිබඳ සැලකිලිමත් වීම වැදගත්ය. “ශල්” (Shull) නම් මනෝවිද්‍යාඥයා 1986 දී පවසා ඇති ආකාරයට අධ්‍යයනය හෙවත් ඉගෙනීම පිළිබඳ එක් අර්ථ දැක්වීමක් ලබාදිය නොහැකි බවත් එය විශ්වීය (universal) වශයෙන් පිළිගන්නා සිතුවිලි (thoughts) පර්යේෂණ (Research) සහ වෘත්තිකයන් (Practitioners) මගින් පිළිගත් ක්‍රමවේදයක් බවත් පැහැදිලි කර තිබේ.

කෙසේ නමුත් අප මේ පැහැදිලි කරන මනෝවිද්‍යාත්මකව බලන කල වඩාත් සරල හා ඵලදායී අධ්‍යාපන ක්‍රමවේද අපේ පාසල් හා උසස් අධ්‍යාපනයේ දී භාවිතයට ගන්නේ ඉතා සුළු වශයෙනි. එබැවින් එහි ඵලදායිතාව අඩු බව කිව හැකිය. ඵලදායිතාව වැඩි නම් විභාගයකට පෙනී සිටින අපේක්ෂකයන් සුළු ප්‍රමාණයක් සමත්ව විශාල ප්‍රමාණය අසමත් වීමට හේතුවක් නැත. විභාග සමත් වීමේ නිරවුල් පැහැදිලි පහසු මංපෙත් නව පර්යේෂණ මගින් සොයාගෙන තිබිය දී ඒවා ගැන නොසලකා හැරීමේ පාඩුව රටටම දැනෙන්නකි. මීට බොහෝ විට හේතුව සාම්ප්‍රදායික ඉගැන්වීමේ හා ඉගෙන ගැනීමේ ක්‍රමවේද වලින් බැහැර වීමට, අලුත් ක්‍රමවලට ප්‍රවේශ වීමට බොහෝ දෙනාගේ මැළිකම ය.

Recommended For You

About the Author: Editor