‘එකම ගිණුමෙන්’ සිංහල සහ මුස්ලිම් අන්තවාදීන්ට පඩි ගෙවන්න පුළුවන්ද ? අනුර කුමාර

‘ මේ ගොල්ලන්ට යුද්ධ නැතිව පාඩුයි. එකම ආරක්ෂක අංශයේ එකම ගිණුමෙන් සිංහල අන්තවාදීන්ටත් පඩි ගෙවනවා. මුස්ලිම් අන්තවාදීන්ටත් පඩි ගෙවනවා. එහෙම වෙන්නේ කොහොමද? අපි ඒක තේරුම් ගන්නේ කොහොමද? ‘

ජතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ (29) කාත්තන්කුඩි බීච්වේ හෝටලයේ පැවැති ‘කාත්තන්කුඩි කාන්තා හමුව ’ අමතමිනුයි. එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක මහතා,

මේක ආණ්ඩු හදන්න, ආණ්ඩු පෙරළන්න, ජනාධිපතිවරු හදන්න, පරාජය කරන්න ආපු පළමු අවස්ථාව නොවෙයි. අපේ වැඩිහිටි සහෝදරියන් ආණ්ඩු හදන්න, පෙරළන්න අවස්ථා ගණනාවකදී ඡන්දය පාවිච්චි කර තිබෙනවා.

නිදහසින් පස්සේ අපේ රටේ අණ්ඩු 15ක් හැදිල තිබෙනවා. ඒව එක්කෝ ශ්‍රීල.නි.ප.ය  නැතිනම් එ.ජා.ප. ආණ්ඩු. එ.ජා.ප.ය අපේ රට අවුරුදු 37ක් පාලනය කර තිබෙනවා. ශ්‍රීල.නි.ප.ය අවුරුදු 34ක් පාලනය කර තිබෙනවා. එතකොට අවුරුදු 71ක් මේ ගොල්ලෝ තමයි මේ රට පාලනය කළේ. ඒ පක්ෂ දෙකටම වරින් වර හකීම්, අමීර් අලි, අතාවුල්ලා, හිස්බුල්ලා සම්බන්ධ වෙලත් තිබෙනවා. ඒ ගොල්ලොත් නියෝජනය කරපු ආණ්ඩු තමයි මෙතෙක් හැදිලා තිබෙන්නේ.

නමුත් අද අපේ රටේ තත්වය කුමක්ද? ආර්ථික වශයෙන්, කඩා වැටුණු ලෝකයට විශාල ලෙස ණය වූ රටක් අපිට ඉතිරිව තිබෙනවා. බඩු මිල ඉහළ ගොස් ජනතාවට දරාගන්න බැරි ආර්ථිකයක් හිමිවෙලා තිබෙන්නේ. ගොවි ජනතාවගේ අස්වනු ටික විකුණා ගන්න විදිහක් නැහැ. ආදායම් මාර්ගයක් නැහැ. අපේ දරුවන්ට ඉගෙනීමට පහසුකම් නැහැ. අපිට බෙහෙත් ගැනීම සඳහා සෞඛ්‍ය පහසුකම් නැහැ. රටකට කරන්න පුළුවන් සියලු විනාශයන් මේ පාලකයින් විසින් ඇති කර තිබෙනවා.

සිංහල, දෙමළ, මුස්ලිම් අපි කවුරුත් සහෝදරත්වයෙන් ජීවත් වෙන්න ඕනෑ රටක් මේක. හැබැයි වෙලා තිබෙන්නේ කුමක්ද? මේ පාලකයෝ යුද්ධ හැදුවා, ගැටුම් හැදුවා, අපි එකිනෙකා අතරේ සැකෙන් අවිශ්වාසයෙන් බලන තත්වයක් ඇති කළා.

මේ පාලකයෝ වෙනස් කරන්න ඕන නැද්ද? මේ ව්‍යසනයෙන් වැඩිම ගොදුරු බවට පත්වෙන්නේ කවුද? අපේ රටේ දරුවන්ට අධ්‍යාපනය ලබාදීමට විශාල වෙහෙසක් දරන්නේ කාන්තාවෝ. අපේ ආර්ථිකයේ විශාල පංගුවක් දරන්නේ කාන්තාවෝ. තේ වත්තේ වැඩිපුර වැඩ කරන්නේ කාන්තාවෝ. ඇඟලුම් කර්මාන්ත ශාලාවේ වැඩියෙන් වැඩ කරන්නේ කාන්තාවෝ. විදෙස්ගත රැකියාවල වැඩිපුර ඉන්නේ කාන්තාවෝ. නමුත් ඒ කාන්තාවට තිබෙන ගරුත්වය, වටිනාකම, ආරක්ෂාව දෙන්න මේ පාලකයෝ සමත්වෙලා තිබෙනවාද? නැහැ.

අපේ රටේ විශ්වවිද්‍යාලවල 70%ක්ම නියෝජනය කරන්නේ කාන්තාවෝ. නමුත් සමස්ත රැකියාවලින් 31%යි කාන්තාවෝ ඉන්නේ. විශාල ප්‍රශ්න ගණනාවකින් අපේ කාන්තාවෝ පෙළෙනවා. අපේ රටේ දිනකට ගබ්සාවන් 638ක් සිද්ධ වෙනවා. කාන්තාවගේ ජීවිතය අනාරක්ෂිත කර තිබෙනවා. ඔවුන්ගේ සනීපාරක්ෂාව වෙනුවෙන් ලබාගත යුතු, ලබාදිය යුතු, භාණ්ඩ මිලදී ගැනීමේ ශක්තියක් අද අපේ රටේ නැහැ.

ඔබ කාන්තන්කුඩි ඉඳන් කොළඹ යන විට ඔබට පහසුකම් සහිත වැසිකිළි පද්ධතියක් නැහැ. මේ ළඟදී බී.බී.සී. ආයතනය මඟින් කරන ලද සමීක්ෂණ වාර්තාවක් එළිකර තිබෙනවා, පොදු ප්‍රවාහනය ඇතුළේ අපේ කාන්තාවෝ 90%ක් හිරිහැරවලට ලක්වෙනවා කියලා. එයින් 70%ක් ලිංගික හිංසන කියලත් තිබෙනවා. මෙය සාධාරණද? එනිසා කාන්තාවන් හැටියට ඔබට මේ සමාජය ඇතුලේ විශාල ප්‍රශ්න ගණනාවකට මුහුණ දෙන්න සිද්ධ වෙලා.

උතුරෙත්, දකුණෙත්. නැගෙනහිරත් යුද්ධයේදී මියගිය සොල්දාදුවන්ගේ, එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සාමාජිකයන්ගේ, සාමාන්‍ය පුරවැසියන්ගේ විශාල ප්‍රමාණයක් අද වැන්දඹුවන් බවට පත්වෙලා තිබෙනවා. උතුරු පළාතේ විතරක් යුද්ධය නිසා වැන්දඹුවන් වූ ප්‍රමාණය 45,000ක් ඉන්නවා. ඔවුන්ගේ ජීවිතය අප භාරගත යුතු නැද්ද? ඒ නිසාම යුද්ධයේදී වැඩිම වින්දිතයන් බවට පත්වෙලා තිබෙන්නේ අපේ කාන්තාවෝ.

ඒ වගේම ආර්ථිකය කඩා වැටෙනකොට ඒකෙ බර එන්නේ කා මතටද? අපේ රටේ කාන්තාවන්ට. අපේ රටේ පොදුවේ අපි කවුරුත් පීඩාවට ලක්වී තිබෙන අතර, ඉන් විශේෂ පීඩාවකට කාන්තාව පත්වෙලා තිබෙනවා. ඒ නිසා අපේ රටට අලුත් දේශපාලනයක් ඕනෑ. අපි කවුරුත් සහෝදරත්වයෙන් සමානාත්මතාවයෙන් නිදහසේ ජීවත්වන රටක් අපි හදන්න ඕනෑ.

මේ පාලකයන්ට අවුරුදු 71ක් ගිහිල්ලත් එහෙම රටක් හදන්න බැරි වුණා. අපි ඉදිරිපිට ඉන්න සහෝදරියන්ගේ මුහුණු දැක්කහම අපිට මතක් වෙන්නේ අපේම සහෝදරියන් තමයි. මගේ සහෝදරියන් සහ ඔබත් අතර තිබෙන වෙනස කුමක්ද? අපිට එකට ජීවත්වෙන්න පුළුවන් රටක් ඕන නැද්ද? අපිට සහෝදරත්වයෙන් ජීවත්වෙන්න ඕනෑ. අපි එහෙම රටක් හදමු.

අද මේ කාන්තන්කුඩිවල අපේ සහෝදරියන් ආමන්ත්‍රණය කරන්න ආවෙ අපි ඈත්වෙනවා වෙනුවට, අපි බෙදෙනවා වෙනුවට අපි එකතු වුණොත් අපේ රට අලුත් රටක් බවට පත්කරන්න පුළුවන් කියන්න. අපි හැම දෙනාටම ජීවත් වීමට හැකි, නිදහසක් තිබෙන රටක් අපට ගොඩනැඟිය හැකියි. අපි ඒහෙම කරමු කියල ආරාධනා කරන්න.

අද ගොඩක් අය වේදිකාවට ඇවිල්ලා ආරක්ෂාව ගැන කථා කරනවා. අපේ රටේ දැන් ආක්‍රමණික යුද්ධයක් නැහැ. සාමාන්‍ය මතයක් හදලා තිබෙනවා උතුරේ අම්මලා, තාත්තලා දරුවෝ හදන්නේ යුද්ධයට කියලා. ඒ දෙමව්පියෝ දරුවෝ හදන්නේ යුද්ධයට නොවෙයි. ඒ දෙමව්පියන්ටත් ඒ දරුවන්ට, ඉගැන්වීමේ වුවමනාව තිබෙනවා. ගෙයක් හදලා දෙන්න. රැකියාවක් හොයලා දෙන්න. හොඳ විවාහයක් කරලා දෙන්න වුවමනාව තිබෙනවා.

අපි කවුරු හරි හිතනවද යාපනයේ දරුවෝ, ඒ දෙමව්පියෝ විසින් යුද්ධ වෙනුවෙන්ම හදනවා කියලා. එහෙම තත්වයක් නැහැ. නැවත උතුරේ සන්නද්ධ ව්‍යාපාරයක් හදන්න උත්සාහ කළොත් ඊට විරුද්ධ වෙන්නේ ඒ දෙමව්පියෝ. ඒ නිසා එවැනි වර්ගයේ අනතුරක් අද රටේ නැහැ.

අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය මුස්ලිම් සමාජය අනුමත කළාද? නැහැ. ඒක ප්‍රතික්ෂේප කළා. නමුත් පාස්කු ප්‍රහාරයෙන් පස්සේ සිංහල අන්තවාදී සුළුතරයක් මුස්ලිම් ජාතිකයන් හා ගම්මාන ඉලක්ක කර, ප්‍රහාර කිහිපයක් එල්ල කළා. එහෙනම් ආරක්ෂාවේ තර්ජනය එන්නේ කොතැනින්ද? යම් ජන කොටසක අන්තවාදී කණ්ඩායමක් තවත් ජන කොටසකට ප්‍රහාරයක් එල්ල කරයිද යන සැකයෙන්, බියෙන් හා අවිශ්වාසයෙන්. මේක විසඳන්න ජෙනරාල්ලා වුවමනා නැහැ.

මේක විසඳන්න එකම දෙයක් කරන්න ඕනෑ. මේ ජන සමාජය ඇතුලේ අන්තවාදී කණ්ඩායම් ගොඩනැගීමට දේශපාලකයන්ට ඉඩ නොදීම. ඒක තමයි පළමු වැඩය. අපි දේශපාලන ව්‍යාපාරයක් හැටියට සිංහල සමාජයට දෙමළ සමාජයට, මුස්ලිම් සමාජයට කවර ආකාරයේ අන්තවාදයක්වත් ගොඩනැඟෙන්න ඉඩ දෙන්නේ නැහැ. අපි ඔබලාට ඒ සහතිකය දෙනවා. අපේ දේශපාලනයට කිසිදිනෙක අපි අන්තවාදය සම්බන්ධ කරගන්නේ නැහැ.

පාස්කු ප්‍රහාරයෙන් පස්සේ සිංහල සමාජය තුළ මුස්ලිම්වරුන්ට එරෙහිව විශාල විරෝධයක් ඇවිලෙව්වා. ඒ මොහොතේ අපි, ඒ ජාතිවාදයට එරෙහිව නොබියව, අමාරුවෙන් හරි, අභියෝගාත්මකව ඒ ජාතිවාදයට එරෙහිව පෙනී සිටියා. ඔයගොල්ලෝ, අපි විහාර මහා දේවි උද්‍යානය ඉදිරිපිටට ඇවිල්ලා ඒ අන්තවාදයට එරෙහිව උද්ඝෝණය කළා. අපේ මතය පළ කළා. මම පාර්ලිමේන්තුවේ දවසක විවාදයක් අරගෙන ඒ අන්තවාදයට එරෙහිව හඬ නැගුවා. ඇයි? අපේ රටේ අනතුර අන්තවාදය. ඒක සිංහල සමාජයේද, දෙමළ සමාජයේද, මුස්ලිම් සමාජයේද භේදයකින් තොරව මේ අන්තවාදයට අපි ඉඩ නොදිය යුතුයි.

අපි එහෙම දේශපාලන ව්‍යාපාරයක්. නමුත් මේ පාලකයෝ අන්තවාදයට ඉඩ දෙනවා. ඒක පරාජය කරන්න ඕනෑ. ඒක දේශපාලන ව්‍යාපාරවලට තිබෙන වගකීමක්. ඒ ජන සමාජයටත් ඒ ගැන වගකීමක් තිබෙනවා.

අපේ පාලනයක් යටතේ අපේ රටේ සියලු ජනතාවට අපි ආරක්ෂාව පිළිබඳ සහතිකයක් දෙනවා. ආරක්ෂාවේ සහතික එක ජන කොටසකට පමණක් නොවෙයි, රටේ සියලු ජනතාව තුළ ඇති කළ යුතුයි. අපි අන්න ඒ සහතිකය දෙනවා. යුද්ධ ඉවරවෙලා අඩුම තරමේ අවුරුදු 10ක්වත් ගැටුමක් නැති රටක් හදන්න මේ පාලකයන්ට පුළුවන් වුණාද?

යුද්ධය ඉවරවෙලා අවුරුදු 5ක්වත් යන්න කලින්, 2014 දී අලුත්ගමදි, දර්ගාවලදී ගැටුම් ඇති වෙනවා. නැවත 2018දී දිගනදි, අකුරණදි ගැටුම් ඇතිවෙනවා. නැවත 2019දී බෝම්බ පුපුරනවා. මේ පාලකයන්ට යුද්ධ ඕනෑ. මේ ගොල්ලන්ට යුද්ධ නැතිව පාඩුයි. එකම ආරක්ෂක අංශයේ එකම ගිණුමෙන් සිංහල අන්තවාදීන්ටත් පඩි ගෙවනවා. මුස්ලිම් අන්තවාදීන්ටත් පඩි ගෙවනවා. එහෙම වෙන්නේ කොහොමද? අපි ඒක තේරුම් ගන්නේ කොහොමද?

අන්තවාදය පෝෂණය කරමින් ගැටුම් හදමින් රටකට ඉදිරියට යන්න බැහැ. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ අපි එකම ලාංකේය ජාතිකයක්. සහෝදරත්වයෙන්, සමගියෙන් ඉන්න ජාතියක් අපි හදන්න ඕනෑ.

භාෂාවේ සම අයිතිය අපි ස්ථාපිත කළ යුතුයි. සෑම දරුවෙකුටම තම මව් භාෂාවෙන් ඉගෙන ගන්න අයිතිය තිබෙන්න ඕනෑ. තම මව් භාෂාවෙන් ආණ්ඩුව සමග ගනුදෙනු කිරීමේ අයිතිය සියලු ජනතාවට තිබෙන්න ඕනෑ. මේක අපේ රට කියලා සියලු දෙනාටම හැඟෙන්නෙ එතකොට. මෙන්න මේ සියලු අයිතීන් අපේ පාලනයක් යටතේ අපි තහවුරු කරනවා.

තමන් විශ්වාස කරන ආගමක් ඇදහීමේ අයිතිය අපි ජනතාවට තහවුරු කරනවා. අපේ රටේ සංස්කෘතික විවිධත්වය අපේ රට ලස්සන කරනවා. ඒ ඒ සංස්කෘතිවලට අපි ගරු කළ යුතුයි. අනන්‍යතාව පිළිගත යුතුයි. අපිට කියන්න පුළුවන්ද දෙමළ කාන්තාව ළඟට ගිහිල්ලා ඔයාගෙ නළලේ ගහල තිබෙන තිලකය මකන්න කියලා. මුස්ලිම් කාන්තාව ළඟට ගිහිල්ලා කියන්න පුළුවන්ද ඔබගේ පර්දාව ගලවන්න කියලා.

ඒ පර්දාව පාසල් නිල ඇඳුමත් සමග ඔබේ දරුවන්ට ලබානොදීමට ආණ්ඩුව තීරණය කරලා තිබුණේ. අපේ විජිත හේරත් සහෝදරයා තමයි සංස්කෘතික ඇමතිකම කරන අවධියේ නිල ඇඳුම සමඟ පර්දාවත් දරුවන්ට දෙන්න කියලා යෝජනා කළේ. අපි ඒ ඒ සංස්කෘතින්ට ගරු කරනවා.

අපිට කියන්න පුළුවන්ද සිංහල කාන්තාවන්ට ඔබ අඳින උඩරට සාරිය වෙනස් කරන්න කියලා.
හැබැයි අපේ පාලකයෝ අපේ භාෂාව, ආගම, සංස්කෘතිය උපයෝගී කරගන්නේ අපිව බෙදන්න. අපිට ගහගන්න සලස්වන්න. එකිනෙකාව පීඩාවට පත්කරන්න. අපේ පාලනයක් යටතේ එකිනෙකාගේ භාෂාවට, ආගමට, සංස්කෘතියට ගරු කරන ඒවායේ අනන්‍යතාවය පිළිගනිමින් සමඟියෙන් සහෝදරත්වෙයන් වෙළිලා රටේ ඉදිරි ගමනට උරදෙන මිනිසුන්ගෙන් පිරි රටක් බවට අපි මේ රට පත්කරනවා”

Recommended For You

About the Author: Editor