ජාත්‍යන්තරයට යනවා කියන එක ‘ලේසි’ වැඩක් නෙමෙයි – මොහාන් රාජ් මඩවල

මගේ නවකතා දෙක පරිවර්තනය කළ සෝමසිරි මුණසිංහ මම අදටත් දැකලා නැහැ

ලෝක සාහිත්‍යය එක්ක බලද්දි අපි ලියන ඒවා මොනවද කියලා හිතෙනවා

ශ්‍රී ලංකාවෙ කිසිම ලේඛකයෙක් අන්තර් ජාතික තත්ත්වවයට ගිහින් නෑනෙ

ජනප‍්‍රිය ලේඛක, සම්මානනීය ලේඛක මොහාන් රාජ් මඩවල විසින් රචිත බෝදිලිමා, ආදරණීය වික්ටෝරියා සහ ලොවීනා කෘතිවල ඉංග්‍රීසි පරිවර්තන, නොවැම්බර් මස 09 වැනි සෙනසුරාදා සවස 3.00ට කැනඩාවේ ටොරොන්ටෝහිදී දොරට වඩී. මේ කතාබහ ඒ නිමිත්තෙනි.

බෝදිලිමා, ආදරණීය වික්ටෝරියා සහ ලොවීනා කෘති ඉංග්‍රීසියට පරිවර්තනය කරන්න හිතුවේ ඇයි?

ඉංග්‍රීසි පරිවර්තනය කාලයක ඉඳන් තිබුණ අදහසක්.ඒත් ඒකට පසුබිම සැකසුණේ නෑ. මාගම්සෝලිය පරිවර්තනය තමයි මුලින්ම පටන් ගත්තේ. අනෙක් කෘති ගැන අදහසක් තිබුණේ නෑ. ඒත් කොහොම හරි ඒ කෘති තුන පරිවර්තනයට මඟ සැකසුණා.

මේ පරිවර්තන මගින් අපේක්ෂා කළේ, ඉංග්‍රීසි පාඨකයා අතරට යාම හා ජාත්‍යන්තරයට යාම යන කාරණයද?

මට පාඨක ප්‍රතිචාර ඉහළින්ම තියෙනවා. ඒත් සිද්ධවෙන දේත් එක්ක මට ශ්‍රී ලංකාවේ වටිනාකමක් නෑ කියලා දැනෙනවා.

ඒ කියන්නේ සම්මාන බලාපොරොත්තුවකින් සිටිනවා කියන එකද?

කොහෙත්ම සම්මාන බලාපොරොත්තු වෙන්නේ නෑ. අපේ රටේ මේ සංස්කෘතික සීමා කියලා හදාගෙන තියෙන දේත් එක්ක මං ලියන දේ ගැළපෙන්නේ නෑනේ. එතකොට භය දෘෂ්ටිකෝණයකින් තමයි සමහරු මා දිහා බලන්නේ. සංස්කෘතිය, සභ්‍යත්වය ආභරණ විදිහට පැලඳගන්න අය මා දිහා බලන්නේ සාපරාධී ක්‍රියා කරන්නෙක් විදිහටයි. එහෙම වෙන්න හේතුව, එක්කෝ ඒ අයගේ ලොකු මානසික ආබාධයක් තියෙනවා. නැත්නම් ලෝක සාහිත්‍යය දන්නේ නෑ.

ලෝක සාහිත්‍යය එක්ක බලද්දි අපි ලියන ඒවා මොනවද කියලා හිතෙනවා. ඒත් ඒ අය ලෝක සාහිත්‍යය වර්ණනා කරනවා. ඒත් ඊට සමාන දෙයක් අනෙක් අය ලිව්වොත් ඒක හරි නෑ. අපේ සංස්කෘතිය, සභ්‍යත්වයත් එක්ක ලියන්න ඕන මෙහෙමයි කියලා රාමුවකට කොටු කරලා තියෙන්නේ, මේවා විතරයි ලියන්න ඕනේ කියලයි. ඒ රාමුවේ මම නැති නිසා, මට සම්මාන දෙන්නේ නෑ. මම සම්මාන කෝවට අහුවෙන්නේ නැති එකක් තියෙනවා. එහෙම ලිව්වනම් මෙලහකට සම්මාන ගොඩක් අරගෙන.

සම්මානවලට කොටු වෙලා මගේ අනන්‍යතාව පාවා දෙන්න ඕනෙ නෑ කියලා මම හිතනවා. විනිශ්චය මණ්ඩලවල අය මාත් එක්ක කේන්තියෙන් ඉන්න එක, කුහකකමද? දෙබිඩිකමද? කියන්න මං දන්නෙ නෑ. ඒ නිසා තමයි එතැනින් එහාට යන්න ඕනෙ කියලා මං හිතුවේ. ශ්‍රී ලංකාවෙ කිසිම ලේඛකයෙක් අන්තර් ජාතික තත්ත්වවයට ගිහින් නෑනෙ. එහෙම අන්තර්ජාතික නමක් තියෙන එක ලේඛකයෙක් නෑ. අපේ චිත්‍රපට, වෘත්තීයවේදීන් ඉන්නවා.

කේ. ජයතිලක, සයිමන් නවගත්තේගම මේ දූපතෙන් එහාට ගිහින් නෑ. ඒ අයගෙ නමක්වත්, සිංහල සාහිත්‍යය ගැනවත් මේ දූපතෙන් එහා ඉන්න මිනිස්සු දන්නෙ නෑ. මයිකල් ඔන්ඩච්චි ශ්‍රී ලංකාවෙ ඉපදුණේ. එල්මෝ ජයවර්ධන ඉංග්‍රීසියෙන් ලියන අපේ ලේඛකයෙක්. එහෙම කීප දෙනෙක් ගැන ලෝක අවධානය තිබුණට, සිංහලෙන් දෙයක් බිහිවෙනවාය, සිංහල සාහිත්‍ය කියලා දෙයක් තියෙනවා කියලා දන්නෙ නෑ.

අපේ ප්‍රවීණයෝ ජාත්‍යන්තරයට නොයන්න, තිබුණු බාධා මොනවද?

ඒ සඳහා බලපෑවෙ,ලෝක සාහිත්‍ය සමඟ සම්බන්ධ වීමේදී කෘතියේ ගුණාත්මක බව මදි වීමද? උත්සාහ නොකිරීමද? ලෝකය ඇතුළෙ අනන්‍යතාවක් නොතිබීමද ? කියලා මට පැහැදිලි නෑ. සමහරවිට පොත ඉංග්‍රීසි පරිවර්තන වුණත් ඒක විකුණගන්න බෑ. මේ කටයුත්තේදී, භාෂා දෙක ගැනම හොඳ අවබෝධයක් තියෙන්න ඕනැ. කෙසේ වෙතත් අපි රුසියන්, ප්‍රංශ සාහිත්‍ය පුංචි කාලෙ ඉඳන්ම කියවනවා. ඒ ලේඛකයන් ගැන දන්නවා. ඒත් ඒ ආකාරයට විදිහට අපේ සාහිත්‍ය පිට රටවලට ගිහින් නෑ. අපි මේ දූපතේ ආශ්චර්ය විඳිනවා. එතැනින් එහාට ලෝකයක් තියෙනවා කියලා හිතුවේ නෑ.

ඔබේ කෘති බිසෝ ප්‍රකාශන. මේවා අන්තර්ජාතික වශයෙන් ප්‍රකට ප්‍රකාශකයකු සමඟ ප්‍රකාශයට පත් නොකළේ ඇයි?

අන්තර්ජාතික වශයෙන් ප්‍රකට ප්‍රකාශකයන් කිහිප දෙනකුටම මම කතා කළා. ඒත් ඒ අය සිංහල පොත් ඉංග්‍රීසියට පරිවර්තනය කරන්න පෙලඹෙන්නෙ නෑ. ලේඩිබර්ඩ්, හාපර් කොලින්, පෙන්ගුයින් අපි දන්නවා. ඒකට ලෝක වටිනාකමක් තියෙනවා. ඒත් ඒ අය අපේ සාහිත්‍යයක් තියෙනවා කියලා දන්නේ නෑ. මාර්ටින් වික්‍රමසිංහයන් ඉංග්‍රීසියෙන් කෘති ප්‍රකාශයට පත් කළත්, අන්තර්ජාතික ප්‍රකාශකයෙක් සමග සම්බන්ධ වෙලා නෑ. ලෝක වෙළෙඳ පොළේ සිංහල පොත්වලට මාර්කට් එකක් නැතිවෙයි කියලා ඒ අය හිතනවා . ඒ අය තුළ ඒ නිසා අපේ කෘති ගැන විශ්වාසෙකුත් නෑ.

ජාත්‍යන්තරයට යනවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. මම ඉංග්‍රීසි පරිවර්තනය කළා කියලා එහෙම වෙන්නෙත් නැහැ. ආසන්න මාස කීපය තුළ අත්දැකීම් එක්ක මම දැක්කේ ඒ දේ. මේ දේ සරල, හිතන තරම් ලේසි එකක් නෙමෙයි. මේ වගේ උත්සාහ මීට කලින් අය කරලත් ඇති. ඒත් මේ ගැටලුකාරී තත්ත්ව නිසා ඔවුන් ඒ කටයුතු අතෑරලා දාන්නත් ඇති.

සම්මාන උළෙලවල සම්මානයට පාත්‍රවන සමහර නිර්මාණ, විචාරකයන්ගේ විවේචනයට ලක්වන අවස්ථා තිබෙනවා. ඒ ගැන ඔබේ අදහස මොකක්ද?

සම්මාන උලෙළකදී සම්මානයට පාත්‍ර වන හොඳ ම කෘතිය, ඒ වසර තුළ ශ්‍රී ලංකාවේ පළ වුණු හොද ම කෘතිය කියලනෙ හැමෝම හිතන්නේ. එහෙම තේරෙන කෘතියක් අසාර්ථකයි නම්, දුර්වලයි නම්, ඒක කියවන ද්වී භාෂා දැනුම ඇති, සාහිත්‍ය රහක් තිබෙන පාඨකයා හිතන්නේ, හොඳ ම කෘතිය මෙහෙමනම්, අනෙක් ඒවා කොහොමද? කියලයි. දේශපාලනය, ලිංගිකත්වය, සමාජීය කාරණා විවෘතව ලිව්වොත් ඒක සමහර අයට ප්‍රශ්නයක්. ආදර කතාවක් වගේ හැමෝම ලියන කතාවක් ලිව්වොත් ප්‍රශ්නයක් නැහැ. බැමි බිඳගෙන යන්න හැදුවොත් ප්‍රතික්ෂේප වෙනවා. මේවා නිර්මාණ නෙමෙයි කියලා කෑ ගහනවා. ඒක තමයි සිංහල සාහිත්‍ය දියුණු නොවන්නේ. අලුතින් බිහිවන අය පවා සම්මාන දෙන කෘති දිහා බලලා කෘති ලියන්නේ, මේ ආකෘතියට ලිව්වොත් සම්මාන ගොඩක් ගන්න පුළුවන් කියලා හිතන නිසයි. ඇගැයීමට ලක්විය යුතු කෘති අපේ සාහිත්‍ය තුළ බිහි වුණත්, ලෝක සාහිත්‍ය සමඟ සසඳා බලද්දි අපි ඉන්නේ පසුගාමී තැනකයි.

කෘතියක් ජාත්‍යන්තරයට ගෙන යාමේදී පිටකවරය සහ කෘතියේ නිමාව සම්බන්ධයෙන් සම්මත රීති තිබෙනවද?

කොහොමත් කවරයේ ආකර්ෂණයක් තියෙන්න ඕනැ. හොඳ ප්‍රමිතියකින් කෘතිය නිර්මාණය වෙලා තිබීම ප්‍රමාණවත්.

මේ කෘතිවල ගැඹුරු භාෂා රටාවක් විද්‍යමාන වෙන්නේ නෑ. සරලත් නැති, ගැඹුරුත් නැති භාෂා භාවිතයක් දකින්න තියෙන්නේ?

මගේ නවකතා දෙක පරිවර්තනය කළ සෝමසිරි මුණසිංහ මම අදටත් දැකලා නැහැ. කැනඩාවේ සිටින චන්ද්‍රරත්න බණ්ඩාර කියන ලේඛකයා තමයි මට ඔහු සම්බන්ධ කර දුන්නේ. ඔහු කිව්වේ සෝමසිරි මහත්මයා මගේ කෘතිවලට බෙහෙවින් ම කැමැති කෙනෙක් නිසා, එයා ස්ව කැමැත්තෙන් ම මගේ කෘති පරිවර්තනය කරන්න කැමතියි කියනවා. ඔහුට කතා කරලා බලන්න කියලයි. මම ඔහුට කතා කරදිද් ආදරණීය වික්ටෝරියා පොතේ භාගයක් ම ඔහු පරිවර්තනය කරලත් ඉවරයි. සෝමසිරි මහතා ඒ කෘතිය විසි වතාවක් විතර සංස්කරණය කළා. ඒත් ලොවීනා පරිවර්තනයට ගතවුණේ අවුරුද්දක් වගේ කාලයක්. ඔහු භාෂාව භාවිත කළේ මගේ භාෂා ශෛලියට ගැළපෙන ආකාරයට නිසා, ගැඹුරු භාෂා භාවිතයකට යාම අවශ්‍ය වුණේ නෑ.

ඔබේ නවකතා වැඩි ම අලෙවියක් සහිත කෘති. සිංහල පොතේ අලෙවිය, ජාත්‍යන්තරයට ගෙන යාමේදී බලපාන්නේ කොහොමද? 

ඒකෙ බලපෑමක් නෑ කියලා තමයි මම හිතන්නේ. මට තවම අත්දැකීම් නැති නිසා ඒ ගැන එතරම් ම දන්නේ නෑ. සිංහල මාධ්‍යයේ හොඳ ම අලෙවිය තිබුණා කියලා, ඉංග්‍රීසි මාධ්‍යයට එහි බලපෑමක් නෑ.

බොහෝ වෙලාවට ඉංග්‍රීසි කෘතියක් සිංහලට පරිවර්තනය වෙද්දි, මුල් කෘතියට හාත්පසින් ම වෙනස් කෘතියක් තමයි පාඨකයා අතට පත් වෙන්නේ. ඔබ ඔබේ කෘතිවල ඉංග්‍රීසි පරිවර්තන ගැන සෑහීමකට පත් වෙනවද?

වචනෙන් වචනෙ සෘජු පරිවර්තනයකට යන්නේ නැතිව, දැනෙන දේ පරිවර්තනය කරන්න කියලයි මම ඔවුන්ට කිව්වේ. එදා දැදිගම වී. රුද්‍රිගු කෘති පරිවර්තනය කරද්දි අපට දැනුණා. ඒත් සමහර කෘති අපට මුල් රසය ලැබ දෙන්නේ නෑ. අද වෙද්දි ගූගල් පරිවර්තනය මඟින් පරිවර්තනය කර ගන්න පුළුවන් නිසා, මේ කාර්ය හරි ලේසියි. ඒ නිසානේ සතියෙන් දෙකෙන් පරිවර්තන කෘති එන්නේ. ඒත් සිංහල පොතක් ඉංග්‍රීසියට පරිවර්තනය කරන කෙනකුට ඒ වාසිය නෑ. මම මගේ පරිවර්තන කෘති තුන ගැන ම සෑහීමකට පත් වෙනවා. මම විතරක් නෙමෙයි, මේ කෘතිවල පරිවර්තන හොඳ බව එල්මෝ ජයවර්ධන මහත්මයා වගේ ම, රංජිත් ඉලුක්පිටිය වැනි අයට මම පෙන්නුවා. ඔවුන් මේ පරිවර්තනවල සාර්ථකත්වය පිළිබද සෑහීමකට පත් වුණා.

ඔබගේ බෝදිලිමා කෙටිකතා සංග්‍රහයට සයිමන් නවගත්තේගමයන්ගේ සෙවණැලි වැටී ඇති බව එවකට විචාරක මතය වුණා. ඒ ගැන ඔබේ අදහස මොකක්ද?

මේ කෘතිය පළවෙලා අවුරුදු විස්සක් විතර වෙනවා. ඒ කාලේ එහෙම සෙවණැල්ලක් වැටෙන්න ඇති. මම නවගත්තේගමයන් හොඳින් අධ්‍යයනය කළා. ඒ වගේ ම, මායා යථාර්ථවාදය ගැනත්, ජාතක පොත් වහන්සේ, සද්ධර්ම රත්නාවලිය වගේ කෘති ගැනත් හොඳින් අධ්‍යයනය කළා. ඔහුගේ ජන විඥානය, ජනශ්‍රැතිය ගැන තිබෙන දේ තමයි මං ඔහුගෙන් ගත්ත එක ම දේ. ඒත් මගේ පසුකාලීන නිර්මාණවලට ඒ බලපෑම ලැබුණේ නෑ. නවගත්තේගමයන් ගැන කියලා මට චෝදනා කරන අයට වඩා, මම ඒ ලේඛකයා ගැන අධ්‍යයනය කරලා තියෙනවා කියන එක, මම බය නැතිව කියනවා.

Recommended For You

About the Author: Editor