රාජපක්ෂ කල්ලියේ දේශ පේ‍්‍රමය ‘දේශපාලන වාසියට’ පමණයි – අගමැති රනිල් වික‍්‍රමසිංහ

ජාතික ආරක්‍ෂාව සහ දේශප්‍රේමය පිළිබඳව පම්පෝරි ගසමින්, දේශපාලන වාසි ලබා ගැනීම හැර රාජපක්‍ෂලා හෝ ඔවුන්ගේ කදවුරේ උදවිය රට පිළිබඳව හෝ රටේ ආරක්‍ෂාව පිළිබඳව සැබෑ ආදරයක් නොමැති බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා කියයි.

අග‍්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (29) වත්තල නගරයේ පැවති ජනාධිපතිවරණ රැළියක් අමතමිනි.

එහිදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා මෙසේද පැවසීය.

 “අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදයට සම්බන්ධ පුද්ගලයන් පාස්කු ප්‍රහාරය සිදු කළ අවස්ථාවේ එවැනි ප්‍රහාර හුදෙකලාව මැඬ පැවැත්විය නොහැකි බවත්, ගෝලීය ත්‍රස්තවාදය මැඬලීම උදෙසා ජාත්‍යන්තරය සමග එක්ව කටයුතු කළ යුතු බවත් අප පෙන්වා දුන්නා. ඒ අනුව මම අමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් ඇතුළු විදේශීය රාජ්‍ය නායකයන්ට පුද්ගලිකවම කතා කොට සහය ඉල්ලා සිටියා.

ඒ අවස්ථාවේ රාජපක්‍ෂ කදවුර කළේ අප ජාත්‍යන්තරයට රට පාවා දෙන බව කියමින් සමච්චල් කිරීමයි. ගෝලීය ත්‍රස්තවාදය යන වචනය පවා ඔවුන් පාච්චල් කළා.

අමෙරිකාව සහ තවත් මුස්ලිම් රටවල් තුනක් එක්ව කළ මෙහෙයුමකින් අයි.එස්.අයි.එස්. නායක අල් බග්ඩාඩි ඝාතනය කර තියෙනවා. මේ ක්‍රියාව ගෝලීය ත්‍රස්ත සංවිධානයක කොඳු නාරටිය බිඳ දැමීමක්. මම මේ මෙහෙයුම පිළිබඳව ජනාධිපති ට්‍රම්ප්ට ප්‍රශංසාව පළ කළා.

ජාතික ආරක්‍ෂාව සහ දේශප්‍රේමය පිළිබඳව පම්පෝරි ගහන රාජපක්‍ෂලා මේ ගැන වචනයවක්වත් කතා කර නැහැ. අදහස් දැක්වීමක් සිදු කර නැහැ. ජාත්‍යන්තර ත්‍රස්ත නායකයෙක් ඝාතනය කිරීම පිළිබඳ ගොලූවත රකින්නේ ඇයි දැයි මම ඔවුන්ගෙන් ප්‍රශ්න කරනවා.

අල් බග්ඩාඩිගේ ඝාතනය සමග අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදය මුළුමනින්ම නැති වන බව මම ප්‍රකාශ කරන්නේ නෑ. නමුත් ජාත්‍යන්තරය සමග එක්ව හා සහයෝගයෙන් කටයුතු කිරීමෙන් ගෝලීය ත්‍රස්ත උවදුරු අවම කර ගැනීමටත්, ත්‍රස්ත ක්‍රියාකාරකම්වලින් ආරක්‍ෂා වීමටත් අපට අවස්ථාව උදාවෙනවා.” යැයි ද අග්‍රාමාත්‍යවරයා පැවසීය.

Recommended For You

About the Author: Editor