වී ගොවියාට පොහොර නිර්දේශය ‘ඇප්’ එකෙන්

භාවිතයට අන්තර්ජාල සම්බන්ධය අවශ්‍ය නෑ

ග්‍රාම නිලධාරි වසම දක්වා සංවේදී තොරතුරු

පොහොර නිර්දේශය අමතරව තවත් උපදෙස්

වැඩිවෙන ජනගහනයේ කුස පුරවන්නට සරිලන නිෂ්පාදනයක් අත්කර ගැනීම උදෙසා දුරදිග නොබලා තාක්ෂණයේ ඉහලට නැගි මිනිසා, පරසරයට තමා සිදුකල හානියට වන්දි පවා ගෙවමින් ආපසු එන්නට සූදානමින් සිටී.

කඩිනම් ආහාර නිෂ්පාදනයක් උදෙසා හිතේ හැටියට කෘෂි රසායන ද්‍රව්‍යයත්, රසායනික පොහොරත් පරිසරයට මුදාහරි ඔහු දැන් දැන් පරිසර හිතකාමී වත් පිළිවෙත් ගැන කතා කරයි. පලිබෝධනාශක වෙනුවට ඒකාබද්ධ පලිබෝධ පාලනය ලොව පුරා පිළිගත් සම්ප්‍රදායක් වෙමින් තිබේ.

වගාවකට අත්‍යවශ්‍යය යයි සිතා පොහොර දමන සිරිත අතහැර, පස පරීක්ෂාකර බලා අවශ්‍යනම් පමණක් පොහොර දමන ලෙසට උපදෙස්ද නිකුත්වී අවසන්ය. වගාව පාදකව, අක්කරකට හෝ හෙක්ටයාරයකට මෙපමණයි කියා පොහොර නිර්දේශ සාදා දැන් බොහෝ කල් ගොසිනි. එය පසු කලෙක සංශෝධනය වූයේ වගාව කුමක්දැයි සඳහන් කරනවාට අමතරව එය පිහිටුවන කෘෂි දේශගුණික කලාපයද සැලකිල්ලට ගත් නිසාය. ඒ අනුව පලාතෙන් පලාතට පොහොර නිර්දේශ වෙනස්වුනි. සංශෝධන නතර වුයේ නැත.

එකම පලාතක වුවත් තැනින් තැනට පසේ සංයුතිය වෙනස් නිසා, තවදුරටත් නිර්දේශය සුසර කිරීමට නිලධාරීහු පියවර ගත්හ. කෘෂිකර්ම ව්‍යාප්ති අංශයේ නිලධාරීන් රටපුරා ඇවිදිමින් පස් සාම්පල එකතුකළ අතර, පාංශු රසායනාගාර කාර්ය මණ්ඩලය ඒවා විශ්ලේෂණය කරමින් අන්තර්ගතය ගැන වාර්තා මැවූහ.

පාංශු විද්‍යාඥයින් එම දත්ත පරිශීලනය කෙරුවේ, ප්‍රදේශය පාදකව අදාළ පසට නිශ්චිතව දියයුතු පොහොර ප්‍රමාණය ගණනය කර ගොවියාට දැන්වීමටයි. කටයුතු අවසාන වූයේ ග්‍රාම නිලධාරී වසම දක්වා පුළුල්වූ වී වගා පොහොර නිර්දේශ කට්ටලයක් එලිදැකීමෙනි.

රට පුරාම පස් පරීක්‍ෂා කරගත හැකි විද්‍යාගාර බිහිවී තිබුනත්, රුපියල් 290ක් වැනි සුළු මුදලකට තම කුඹුරේ පස් සාම්පලයක් පරීක්‍ෂා කරවාගෙන, ඒ ආශ්‍රිතව ගොඩනැගෙන පොහොර නිර්දේශයත්, ඊට අදාළ වෙනත් තොරතුරුත් කෘෂිකර්ම නිලධාරීන් හරහා නොමිලේම ලබාගැනීමේ පහසුකම්ද වී ගොවියා වෙනුවෙන් සලසාදී ඇතත්, ඇතැම් ගොවීන් ඒ වෙනුවෙන් පෙන්වන්නේ ඇල්මැරුණු උනන්දුවක්ය. ඔහු වාසයකරන ග්‍රාම නිලධාරි වසමේ පාංශු සංයුතියට ගැලපෙන වී වගාවේ පොහොර නිර්දේශ නිර්මාණය කෙරුවේ මේ නිසාමය.

මේ පිලිබඳ සුවිසල් කාර්යභාරයක් කරමින් කටයුතු සම්බන්ධීකරණය කෙරුවේ මේ වන විට විශ්‍රාම ලබා සිටින පාංශු විද්වතෙක් වූ ආචාර්ය ප්‍රියන්ත වීරසිංහ මහතාය. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ඊළඟට මුහුණදුන් අභියෝගය වූයේ, වී ගොවියා වෙතට කඩිනමින් මේ තොරතුරු සම්ප්‍රේෂණය කිරීමේ ක්‍රමවේදයක් පිළියෙළ කිරීමයි.      

පළාත් වෙනුවෙන් හෝ දිස්ත්‍රික්කයක ඇති ග්‍රාම නිලධාරි වසම් වෙනුවෙන් හෝ පොත් පිංචක් බැගින් මුද්‍රණය කර බෙදාහරින සාම්ප්‍රදායක ක්‍රමවේදයෙන් මඳක් ඉදිරියට ගොස්, ගොවියාගේ ජංගම දුරකතනයට පොහොර නිර්දේශය ලබාගත හැකි ක්‍රමයක් නිර්මාණය කිරීමට පියවරගෙන ඇත්තේ පස් පරීක්ෂා නොකරන ගොවියාවත් කෙසේ හෝ මේ මොහොතේදී විධිමත් ධාරාවට ඇතුල් කරගැනීම සඳහාය. ඒ සඳහා මූලිකත්වය ගත්තේ ගන්නෝරුවේ ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ එස්. පෙරියසාමි මහතාය. ඔහුගේ අධීක්ෂණය යටතේ නවකයින් ලෙස දෙපාර්තමේන්තුවට එක්වූ තොරතුරු තාක්‍ෂණ සහකාර නිළධාරීන් පිරිසක් විසින් මීට අදාළ ජංගම දුරකථන යෙදවුම නොහොත් ‘ඇප්’ එක නිපදවා තිබේ.

“ශ්‍රී ලංකාවේ දැනට ග්‍රාමසේවා නිලධාරි වසම් 14022 ක් තියෙනවා. ඒ සියල්ලටම අදාලව පාංශු දත්තයන් මෙයට අන්තර්ගතකර නෑ. සමහර වසම් වල කුඹුරු නෑ. නමුත් බහුලව වී වවන හැම වසමක්ම මෙයට ඇතුලත්. සිංහල හා දමිල යන භාෂා දෙකෙන්ම මෙයින් තොරතුරු ගන්න පුළුවන්”.

ඒ පෙරියසාමි මහතා ‘ඇප්’ එකට දුන් හැඳින්වීමයි. Play store වෙත පිවිස slpaddyfertilizer යන නම භාවිතයෙන් යෙදවුම සොයාගෙන Android දුරකථනයට ඇතුල් කරගත යුතුවේ. ආරම්භය සඳහා 18 MB ධාරිතාවක් අවශ්‍ය වුවත්, එතැන්සිට මින් තොරතුරු ලබාගැනීමට අන්තර්ජාල සම්බන්ධතා අවශ්‍ය නැත.

යෙදවුම භාවිතා කිරීමේදී හසුරුවන්නා විසින් පළමුව පළාත තෝරා, අනතුරුව දුරකතනයෙන් ඉල්ලා සිටින පිළිවෙලට දිස්ත්‍රික්කය, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය හා අවසාන වශයෙන් ග්‍රාමනිලධාරී වසමද තෝරමින් ඉදිරියට යා යුතුය. දැන් තිරයේ දිස්වෙන්නේ වී වගාව සිදුකෙරෙන, අදාළ ග්‍රාම නිලධාරි වසම වෙනුවෙන්වූ පොහොර නිර්දේශයයි.

තිරයේ ඉහලින්ම අදාළ පෙදෙසේ පසෙහි පී එච් අගය, විද්‍යුත් සන්නායකතාවය පොස්පරස් හා පොටෑසියම් අන්තර්ගතය හා කාබනික ද්‍රව්‍ය තිබෙන තරම ගැන අවබෝධයක් නිරීක්ෂකයාට ලබාදේ. ඒවාහි අගයයන් ඉලක්කම් වලින් දෙනවා පමණක් නොව, තරමක් ආම්ලිකයි, ලවනතාවයක් නැත, පොස්පරස් වැඩියි, කාබනික ද්‍රව්‍ය අඩුයි යනාදී වශයෙන් වචනයෙන් පවා පරිශීලනය කරන්නා දැනුවත් කරන්නට යෙදවුමේ නිර්මාණකරුවන් පියවර ගෙන තිබීම වඩාත් ආකර්ශනීයය.

පොහොර නිර්දේශය ලබාදීමේදී අහස් දියෙන් කෙරෙන වගා සඳහා එක නිර්දේශයකුත්, වාරි ජලය මත කෙරෙන වගාවකට තවත් නිර්දේශයකුත් අන්තර්ගත කර ඇති අතර, යෙදිය යුතු කාල පරාසයන්, වපුරා හෝ පැල සිටුවා ගතවෙන සති ගණන ඇසුරෙන් ඉදිරිපත් කර තිබේ. සංඛ්‍යාත්මක වගුවට පහලින් ඇත්තේ අදාළ ග්‍රාම නිලධාරි කොට්ඨාශයේ පස පිළිබඳව සාමාන්‍ය විස්තරයක් හා  අනුගමනය කලයුතු පාංශු සත්කාරයන් පිලිබඳ අතිරේක සටහනකි. උදාහරණයක් වශයෙන් මිනිපේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ගුරුළුපොත ග්‍රාම නිලධාරි කොට්ඨාශයට අයත් විස්තරය මෙහි දක්වා ඇත.

කාර්යක්ෂම ගොවිතැනක් උදෙසා පොහොර යෙදීම අවශ්‍ය වුවත්, සිරිතට අනුව පොහොර යෙදීම බැහැර කලයුතු පුරුද්දකි. අප එසේ පවසන්නේ අප භාවිතාකරන රසායනික පොහොර මෙරටට ගෙන්වීමට විශාල මුදලක වැයවෙන නිසාත්, ලාභයට ලැබෙන නිසා පසේ ඕනෑඑපාකම් විමසන්නේ නැතිව එය පොළොවට හැලීම මහත් නාස්තිකාරී ක්‍රියාවක්ද බැවින්ය. අනෙක් අතට මෙම රසායන ද්‍රව්‍යයන්, පසේ ඉතිරිවුවහොත් ජල මූලාශ්‍රයන් ඇතුළු සමස්ත පරිසරයම දූෂණයට ලක්වෙන බැවින්ය. කෘෂිකර්ම බලධාරීන් විවිධ ක්‍රමෝපායයන් භාවිතා කරමින් පොහොර දැමියයුතු ප්‍රමාණය ගැන ගොවියාට දන්වන්නට උත්සාහ කරන්නේ එබැවිනි. වී ගොවිතැන වෙනුවෙන් ග්‍රාම නිලධාරි වසම් මට්ටමෙන් සැකසුනු පොහොර නිර්දේශ ‘ඇප්’ එක එම උත්සාහයේ නවතම පරිච්ඡේදයයි.

සනත් එම්. බණ්ඩාර  

Assistant Director of Agriculture National Agriculture Information and Communication Centre Gannoruwa, Peradeniya

Recommended For You

About the Author: Editor

1 Comment

Comments are closed.