වර්ගවාදී දේශපාලන උද්ඝෝෂණ හමුවේ ‘කලාකරුවන්ගේ ප්‍රකාශන නිදහස’ සුරකිමු!

මුරලිගේ දේශපාලන ස්ථාවරයන් කුමක් වුව ද, ඔහු ක්‍රිකට් ඉතිහාසයේ විශිෂ්ටතම ක්‍රීඩකයකු බව නම් අවිවාදිතයි. ඔහුගේ ජීවන චරිතය චිත්‍රපටයට නැගුණු පසු ඒ හරහා ඔහුගේ ජීවිතයේ උස්තැන් සහ මිටි තැන් විවේචනය කළ හැකිව තිබුණා. එහෙත් අවාසනාවකට සිදු වූයේ රූප ගත කිරීමටත් කලින් ප්‍රධාන චරිතයට තෝරා ගත් නළුවා එතනින් නෙරපීමයි

දේශපාලනික, වාර්ගික සහ භාෂා භේදවලින් තොරව මුළු ශ්‍රී ලංකාවම හඳුනන සහ අගය/ගරු කරන පුද්ගලයන් සිටින්නේ ඉතා ටික දෙනයි. ඒ සුවිශේෂී චරිත අතර ජාතික මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩකයන් කිහිප දෙනකු සිටිනවා. 

ඔවුන් අතරින් ද මුත්තයියා මුරලිදරන් අසාමාන්‍ය චරිතයක්. 1992දී ටෙස්ට් ක්‍රිකට් පිටියට පිවිසි මුරලිදරන්, ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 133ක් ක්‍රීඩා කිරීමෙන් පසුව තරග දිවිය නිමා කළේ 2010දී.

ජාත්‍යන්තර ක්‍රිකට් ඉතිහාසයේ බෙහෙවින්ම සාර්ථක පන්දු යවන්නන් අතරට ඔහු එක් වන්නේ ටෙස්ට් ක්‍රිකට් මට්ටමේ කඩුලු 800ක් ලබා ගනිමින්. ලොව බිහි වූ විශිෂ්ටතම දග පන්දු යවන්නා ලෙස සැළකෙන ඔහුගේ ක්‍රිකට් හපන්කම් ගැන විස්තර පුන පුනා කීම අවශ්‍ය නැහැ.

2000 සිට 2020 දක්වා ටෙස්ට් ක්‍රීඩකයින් දැක්වූ දක්ෂතා සැලකිල්ලට ගනිමින් මුරලිදරන් 21 වන සියවසේ ලොව වටිනාම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ලෝ ප්‍රකට විස්ඩන් ක්‍රිකට් සඟරාව විසින් නම් කරන ලද්දේ පසු ගිය ජූනි මාසයේයි.

මුරලි අති දක්ෂයකු මෙන්ම ඔහුටම ආවේණික පන්දු යැවීමේ ඉරියව් නිසා බෙහෙවින් ජාත්‍යන්තර ආන්දෝලනයට තුඩු දුන් ක්‍රීඩකයෙක්. 1996 සහ 1999 යන වසර දෙකේදීම ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය (ICC) විසින් විශේෂඥ පරීක්ෂණවලට ලක් කොට මුරලි ක්‍රිකට් ක්‍රීඩාවේ කිසිම නීතියක් උල්ලංඝනය නොකරන බවට සහතික කරනු ලැබුවා.

ශ්‍රී ලංකාවේ යුද්ධයේ අවසාන කාලයෙදී සිදු වූ මහා ජන සංහාරය පිළිබඳව මුනිවත රැකීම” සහ “ඒ පිළිබඳව ශ්‍රී ලංකා රාජ්‍යයේ සුදු හුණු ගෑමේ උත්සාහයන්ට සම්බන්ධ වීම” යන චෝදනා මත මුරලිදරන් සමස්ත දමිළ ප්‍රජාවට එරෙහි වූවකු ලෙස සැලකිය යුතු බවට දකුණු ඉන්දියාවේ ඇතැම් පිරිස් උද්ඝෝෂණය කරනවා.

නැවත වරක් මෑත දිනවල මුරලි න්දෝලනයට ලක්ව සිටින්නේ ඔහුගේ චරිතය පදනම් කර ගත් වෘතාන්ත චිත්‍රපටයක් නිර්මාණය කිරීමට ඉන්දියාවේ චිත්‍රපට සමාගමක් පිවිසීම සමගයි. මුරලිගේ චරිතය නිරූපණය කිරීමට තෝරා ගෙන විජේ සේතුපති නම් ජනප්‍රිය දකුණු ඉන්දියානු නළුවායි.

‘800’ ලෙස දැනට නම් කර තිබෙන චිත්‍රපටයේ සැලසුම් විස්තර ඔක්තෝබර් මුලදී හෙළි කිරීමත් සමග එය තමිල්නාඩුවේ දේශපාලන විරෝධයකට හේතු වුණා.

“ශ්‍රී ලංකාවේ යුද්ධයේ අවසාන කාලයෙදී සිදු වූ මහා ජන සංහාරය පිළිබඳව මුනිවත රැකීම” සහ “ඒ පිළිබඳව ශ්‍රී ලංකා රාජ්‍යයේ සුදු හුණු ගෑමේ උත්සාහයන්ට සම්බන්ධ වීම” යන චෝදනා මත මුරලිදරන් සමස්ත දමිළ ප්‍රජාවට එරෙහි වූවකු ලෙස සැලකිය යුතු බවට දකුණු ඉන්දියාවේ ඇතැම් පිරිස් උද්ඝෝෂණය කරනවා.

දමිළ චිත්‍රපට කර්මාන්තයේ සමහරුන් සහ දමිළ දේශපාලන පක්ෂවල ක්‍රියාකාරිකයන් මෙහි පෙරමුණ ගෙන සිටිනවා. මේ විරෝධය වැඩිපුරම සංවිධානය වූයේ ෆේස්බුක් හා ට්විටර් වැනි සමාජ මාධ්‍ය වේදිකා හරහායි.

සේතුපති මුරලිගේ චරිතය නිරූපණය කිරීමට එරෙහි වූ අය ඒ සම්බන්ධයෙන් ඔහුට ආයාචනය කළ ද තර්ජනය කළ ද අවසානයේ දී සිදුවුණේ ඔහු එම භූමිකාවෙන් ඉවත් වීමයි. මතුව ආ බලපෑම් හමුවේ එසේ ඉවත් වන ලෙස මුරලි ද ඉල්ලා සිටි බව වාර්තා වුණා.

ඔක්තෝබර් 16 වනදා මුරලි දමිල බසින් මේ ගැන ප්‍රකාශයක් නිකුත් කළා. එහි ඉංග්‍රීසි පරිවර්තනය මෙතනින් කියවන්න: https://bit.ly/37JA5at

මා උපන්නේ ශ්‍රී ලංකාවේ වතු කරයේ අහිංසක දමිළ පවුලක. ශ්‍රී ලංකාවේ යුද්දෙන් වැඩිපුරම පීඩාවට පත් වුණේ ඉන්දියානු සම්භවය සහිත දමිළ ජනයායි. මේ චිත්‍රපටය උත්සාහ කරන්නේ බොහෝ දුෂ්කරතා ජය ගනිමින් මා ක්‍රිකට් ක්‍රීඩාවේ ඉහළටම යාමේ කතාව හසු කර ගන්නයි.

මේ එයින් කොටසක්: “මා උපන්නේ ශ්‍රී ලංකාවේ වතු කරයේ අහිංසක දමිළ පවුලක. ශ්‍රී ලංකාවේ යුද්දෙන් වැඩිපුරම පීඩාවට පත් වුණේ ඉන්දියානු සම්භවය සහිත දමිළ ජනයායි. මේ චිත්‍රපටය උත්සාහ කරන්නේ බොහෝ දුෂ්කරතා ජය ගනිමින් මා ක්‍රිකට් ක්‍රීඩාවේ ඉහළටම යාමේ කතාව හසු කර ගන්නයි. සමහරු මේ නිර්මාණය දේශපාලනීකරණය කරන්න හදනවා… මා දමිළ ජනයා ගැන කිසිදු තැකීමක් නොකරනවා යයි කියමින් අනවශ්‍ය ආන්දෝලනයක් ඇති කරන්නට තැත් කරනවා. මා කවදාවත් ජන ඝාතනයට සහයෝගය දුන්නේත් නැහැ; දෙන්නේත් නැහැ.”

ඉන්දියාවේ පළ කැරෙන ජාතික පුවත්පත් අතරින් මැදහත් සහ සාරගර්භ පුවත්පතක් ලෙස සැලකෙන The Hindu පත්‍රය, 2020 ඔක්තෝබර් 21 වනදා මේ ගැන කතුවැකියක් ලියමින් පෙන්වා දුන්නේ, කලා නිර්මාණයක් බිහි කිරීමට හෝ ප්‍රසිද්ධ කිරීමට එරෙහිව දේශපාලන විරෝධතා දැඩි ලෙස එල්ල වීම තමිල්නාඩුවේ අමුතු දෙයක් නොවන බවයි.

හින්දු පත්‍රය මෙසේද ප්‍රකාශ කළා: “හැම කලා කෘතියක්ම දමිළ ජාතිකත්වය පිළිබඳ විමර්ශනයකින් පසු ‘අනුමැතිය’ ලැබිය යුතු යයි පිළිගැනීමක් මෑත දශකවල ප්‍රචලිත කරනු ලැබ තිබෙනවා. 2013දී මුදා හරින ලද Madras Cafe නමැති හින්දි චිත්‍රපටය, තමිල්නාඩුවේ ප්‍රදර්ශනය කිරීමට ඉඩ නොලැබුණේ ද කොටි සංවිධානය පිළිබඳව එහි ප්‍රක්ෂේපිත විග්‍රහය අහිතකර බවට ඇතැම් දෙනා ඇති කර ගත් ආකල්පයයි.”

කලාකරුවකුට තමන් කැමැති චරිතයක් තෝරා ගෙන රංගනයෙහි යෙදීමට නිදහස තිබිය යුතුයි. සාන්තුවරයන් ගැන මෙන්ම දාමරිකයන් ගැනත්, දේශප්‍රේමීන් ගැන මෙන්ම දේශද්‍රෝහීන් ගැනත් කලා නිර්මාණ කිරීමට ඉඩ දීම ප්‍රකාශන නිදහසේ ඉතා වැදගත් පැතිකඩක්. එසේම ජනප්‍රිය තේමා ගැන මෙන්ම ආන්දෝලනයට තුඩු දෙන තේමා ගැන ද කලා නිර්මාණ බිහි වීම බහුත්වවාදී සමාජයකට අවශ්‍යයි.

කලා කෘතියක් මහජනයා වෙත මුදා හැරිය පසු ඒ පිළිබඳව ඕනෑ තරම් වාද විවාද කිරීමේ සහ තමන් නොකැමැති නම් එය පෞද්ගලිකව වර්ජනය කිරීමේ නිදහස කලා රසිකයන්ට ද තිබෙනවා.

එහෙත් කලා කෘතියක් නිර්මාණය කිරීමේ අදියරේදී ම දේශපාලන විරෝධතා මතු කොට එය කඩාකප්පල් කර දැමීම පසුගාමී, සාහසික ක්‍රියාවක්.

කතුවැකිය අවසන් කරමින් හින්දු පත්‍රය කීවේ මෙයයි: “මුරලිගේ දේශපාලන ස්ථාවරයන් කුමක් වුව ද, ඔහු ක්‍රිකට් ඉතිහාසයේ විශිෂ්ටතම ක්‍රීඩකයකු බව නම් අවිවාදිතයි. ඔහුගේ ජීවන චරිතය චිත්‍රපටයට නැගුණු පසු ඒ හරහා ඔහුගේ ජීවිතයේ උස්තැන් සහ මිටි තැන් විවේචනය කළ හැකිව තිබුණා. එහෙත් අවාසනාවකට සිදු වූයේ රූප ගත කිරීමටත් කලින් ප්‍රධාන චරිතයට තෝරා ගත් නළුවා එතනින් නෙරපීමයි.”

‘800’ චිත්‍රපටයේ තිර රචනය කරන්නේ එහි අධ්‍යක්ෂ එම්. එස්. ශ්‍රීපති සහ ලාංකික ප්‍රබන්ධ ලේඛක ශෙහාන් කරුණාතිලක යන දෙදෙනායි.

ශෙහාන් කරුණාතිලක ඉංග්‍රීසි බසින් ප්‍රබන්ධ ලිවීම සඳහා දෙස් විදෙස් සම්මාන ලැබූවෙක්. 2010දී ඔහු ලියූ Chinaman නමැති ප්‍රථම නවකතාව, ක්‍රිකට් ක්‍රීඩාව පසුබිම් කර ගෙන ඉංග්‍රීසියෙන් ලියැවී ඇති ලොව හොඳම නවකතා අතර එකක් ලෙස සැලකෙනවා. දිලීප අබේසේකර පසුව එම නමින්ම මේ නවකතාව සිංහලට පෙරළා තිබෙනවා.

2020 ඔක්තෝබර් 25 වනදා ‘ද ටයිම්ස් ඔෆ් ඉන්ඩියා’ පත්‍රයේ ආරාධිත ලිපියක් ලියමින් ශෙහාන් කරුණාතිලක මුරලිදරන් චරිතය සහ චිත්‍රපටය ගැන තමාගේම විග්‍රහය ඉදිරිපත් කළා. තිර රචනය සඳහා මුරලිගේ චරිතය සමීපව අධ්‍යයනය කලත්, තමා මේ දක්වා මුරලිදරන් ජීවමානව මුණගැසී ගැසී නැති බව ශෙහාන් කියනවා.

මුරලිගේ චරිතය තිර රචනයකට නැංවීමට තමන් එකඟ වූයේ එම චරිතයේ සුවිශේෂී ගති ලක්ෂණ නිසා බවයි ශෙහාන් කියන්නේ.

“ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේදී වරෙක විශිෂ්ටතමයා ලෙසත් තවත් වරෙක හිතා මතා වැරදි විදියට පන්දු යවන වංචනිකයකු ලෙසත් ලොව විසිර පැතිරුණු ක්‍රීඩා ලෝලීන් විසින් හඳුන්වනු ලැබූ මේ අසාමාන්‍ය ක්‍රීඩකයා එබඳු අයෙක්ද? සිංහල සහ දමිළ ජන වර්ග දෙක යුද වැදී සිටින සමයෙක බහුතරයක් සිංහල ක්‍රීඩකයන්ගෙන් සමන්විත ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයෙකු වීම ඔහුට කෙබඳු අත්දැකීමක් වන්නට ඇත්ද?”

වෘත්තාන්ත චිත්‍රපටයක කතාව හොඳින් දිග හැරෙන්නට ආතතීන්, ආවේගයන් හ ප්‍රබල සිදුවීම් මාලාවක් අවශ්‍යයි. ශෙහාන් කියන හැටියට මුරලි මෙතෙක් ආ ගමන් මග මල් පොකුරු මෙන්ම ගල් මුගුරුවලිනුත් පිරුණු එකක්. සැබෑ ජීවන අරගලයක ප්‍රතිමූර්තියක්.

ශෙහාන් තව දුරටත් මෙසේ කියනවා: “මුරලිට එරෙහිව අසාධාරණ චෝදනා නැගුණු හැම විටෙක ම කිසිදු භේදයකින් තොරව මුළු ශ්‍රී ලංකා ක්‍රිකට් පිලම සහ සමස්ත ලක් සමාජයම ඔහු වෙනුවෙන් එක්සත්ව පෙනී සිටියා. රටේ වාර්ගික යුද්ධයක් ඇවිලෙන අතරේ එක් නිමිත්තක් වටා එසේ ඒකරාශි වීම ඉතා දුර්ලභ සිදුවීමක්. තිර රචකයකු ලෙස එහි ඇති වටිනාකම මා හොඳාකාර දුටුවා.”

“මුරලි ළාබාල වියේදී වාර්ගික ප්‍රචණ්ඩත්වයට හසු වී ඔහුගේ පවුලේ සුළු ව්‍යාපාරය විනාශ වුණා. එතරම් ප්‍රබල පසුබෑමක් අභිබවා, අධිෂ්ඨාන පූර්වකව ක්‍රිකට් ක්‍රීඩාවට යොමු වී, කුසලතාව සහ කැපවීම මත ජාතික කණ්ඩායමට තේරීමට ඔහු සමත් වුණා. ක්‍රිකට් ලෝකයේ දැවැන්තයන් අතරට ඔහු ගිය ගමන ලේසි පාසු එකක් නෙමෙයි.  දිරිය ජීවිතයක මං සලකුණු සියල්ල එහි තිබෙනවා”.

මෙවන් ජීවන අරගලයක කතාව චිත්‍රපටයට නැංවීමට එරෙහි වීම දේශපාලන අන්තවාදයක්. 

“මුරලිගේ දේශපාලන ස්ථාවරයන් හෝ විටින් විට ඔහු කර ඇති විවිධ ප්‍රකාශයන් හෝ සාධාරණීකරණය කිරීම අපේ තිර රචනයේ අරමුණක් නොවේ. මා ඔහුව පෞද්ගලිකව හඳුනන්නේ නැතත් ඔහුගේ දිරිය කතාවට ඉහළ සංකේතාත්මක වටිනාකමක් තිබෙන බව මා දන්නවා. එහෙත් මේ කතාව සිනමාවෙන් කියන්න ඉඩ ලැබෙයි ද?” ශෙහාන් අසනවා.

ඔහු ඊළඟට මතු කරන තර්කය සමස්ත නිර්මාණකරණයටම අදාළ එකක්.

“මුරලිදරන් යනු ශ්‍රී ලංකාවේ වඩාත්ම ප්‍රකට දමිළ ජාතිකයා යයි කිව හැකියි. ඔහුගේ ජීවන කතාව සිනමාවට නගන්නට අපට ඉඩ නොදෙයි නම්, වෙනත් සුප්‍රකට හෝ කුප්‍රකට දමිළ ජාතිකයන්ගේ ජීවන කතා තිරයට ගෙන ඒම ගැනත් තමිල්නාඩුවේ සමහර දේශපාලකයන් විරුද්ධ වෙයිද? නීලන් තිරුචෙල්වම්, රාජිනී තිරානගම, ලක්ෂ්මන් කදිර්ගාමර්, කරුණා හෝ ප්‍රභාකරන් වැනි චරිත ගැනත් ඔවුන්ගේ ප්‍රතිචාර කුමක් විය හැකිද?”  [සම්පූර්ණ ලිපිය මෙතනින් https://bit.ly/34B0JjL]

ඔහුගේ තර්කයට මාත් එකඟයිනීතියේ සහ ශිෂ්ටත්වයේ සීමා නොබිඳෙන තාක්, කලාකරුවන්ට ඉහළම ප්රකාශන නිදහස තිබිය යුතුයි. සංකීර්ණ යථාර්තයන් සහ බහුවිධ මානයන්ගෙන් යුතු චරිත සියුම් ලෙස හසු කර ගැනීම හරහා කෙතරම් උසස් ගණයේ සාහිත්, නාට් සහ සිනමා නිර්මාණ බිහි වී ඇත්ද?

ආන්දෝලනාත්මක චරිත ගැන කලා කෘතීන් කරන්නට නිර්මාණකරුවන්ට තව දුරටත් නිදහසක් නැද්ද? වීර යැයි සමාජ සම්මත චරිත පමණක් නිරූපණයට ද ජනප්‍රිය නළුවන්ට අද ඉඩ තිබෙන්නේ?

අද දවසේ සමාජ මාධ්‍ය හරහා පොදු අවකාශයේ සංවාද දිග හැරීම ගැනත් ශෙහාන් වැදගත් විග්‍රහයක් කරනවා. 

“වෙබ්ගතව වැඩිපුරම ශබ්ද නගන පිරිස් ඉල්ලා සිටින දෙයට නොකැමැත්තෙන් වුණත් එකඟ වීමට ද දැන් අපට සිදුව ඇත්තේ? යම් කාරණයක් තුලනාත්මකව සංවාදයට ලක් කිරීම වෙනුවට යම් පුද්ගලයකු හෝ ආයතනයක් වට කර ගෙන වාග් ප්‍රහාර දීම හරහා සමාජයට ඉදිරි ගමනක් ලද හැකිද?” 

ඔහුගේ ආයාචනය මෙයයි: මුරලිගේ ජීවන චරිතය සිනමාවට නැංවීමට ඉඩ දෙන්න. චිත්‍රපටිය ප්‍රදර්ශනයට ආ විට එය ඕනෑ තරම් විවේචනය කරන්න. 

කලා නිර්මාණවලට අසාධාරණ පීඩන කරන්නේ තමිල්නාඩුවේ වර්ගවාදී දේශපාලනය පමණක් ද නොවෙයි.

රෝහණ විජේවීර චරිතය ගැන වෘතාන්ත චිත්‍රපටයක් (ගින්නෙන් උපන් සීතල, 2019) නිපදවා එය සති ගණනක් මහජන ප්‍රදර්ශනයට මුදා හැරෙන ලැබුවත්, වේලුපිල්ලේ ප්‍රභාකරන් චරිතය ගැන චිත්‍රපටයක් නිපදවීමට හෝ ප්‍රදර්ශනයට ඒ හා සමාන නිදහසක් අපේ රටේ ලැබෙයිද? 

එපමණක් ද නොවෙයි. අපේ සිවිල් යුද්ධයේ බිහිසුණු බව සහ එහි දරුණු සමාජ බලපෑම් ගැන සියුම්ව විවරණය කරමින් යුද සමයේ මෙරට නිපදවන ලද වෘත්තාන්ත චිත්‍රපට කිහිපයකටම මුහුණ දෙන්නට සිදු වූ දේශපාලන පීඩනය අපට මතකයි.

‘රණ කාමය, ජාතිකත්වය සහ කලාකරුවා’ යන මැයෙන් තිස්ස අබේසේකර සූරීන් 2005 දෙසැම්බර් 29 වනදා සිග්නීස් ශ්‍රී ලංකා උත්තමාචාරය සඳහා කළ මුඛ්‍ය දේශනයේ මේ ගැන කදිම විවරණයක් කළා. 

එහි එක් තැනක ඔහු මෙසේ පැවසුවා: “යුද්ධය විකෘතියකි. යුද්ධය විකෘතියක් බව පෙන්විය හැක්කේ කලාකරුවාට පමණි. මන්ද කලාකරුවා කිසි විටෙකත් රණබෙර වයන්නකු නොව මනුෂ්‍යත්වය වෙනුවෙන් විරිඳු ගයන්නකු විය යුතු නිසාය.”

ප්‍රසන්න විතානගේ, අශෝක හඳගම, සුදත් මහදිවුල්වැව සහ විමුක්ති ජයසුන්දර යන සිනමාකරුවන් සිවු දෙනාගේ යුද්ධයට සම්බන්ධ සිනමා නිර්මාණවලට ලක් සමාජයේ යම් ස්ථරවලින් මතු වුණු ප්‍රතිරෝධය තේරුම් ගන්නට අබේසේකරයන් උත්සාහ කළා.

“මේ සිවු දෙනාම යුද්ධය දෙස බලා ඇත්තේ එක පැත්තක් ගෙන නොවේ. දෙපාර්ශවයටම එක සේ විනාශකාරී වූ මහා ශෝකාන්තයක් ලෙස බලන යථාර්ථවාදී වූ ද මැදහත් වූ ද කලාකරුවන් ලෙසිනි.” (අයාලේ ගිය සිතක සටහන්, 297 පිටුව)

මෙවැනි පසුබිමක් තුළ තමිල්නාඩුවේ මතු වූ විරෝධය ගැන තමිල්නාඩුවේ වර්ගවාදී දේශපාලනයට පමණක් දොස් කීමට අපට හැකිද?

මෙම සම්පූර්ණ ලිපිය 2020 නොවැම්බර් 01 වැනි දින රාවය පුවත්පතේ පළ වී ඇති අතර එමගින් කළ සම්පූර්ණ උපුටා ගැනීමකි – සංස්කාරක

නාලක ගුණවර්ධන

ravaya@nalaka.org

Recommended For You

About the Author: Editor