Voice of දියවන්නා: බැසිල්ගෙන් ප්‍රසන්නට කොවිඩ් අභියෝගයක්

සටහන – ගජබා නාගහවත්ත

ඇමති ප්‍රසන්න රණතුංග පසුගිය සතියේ බ්‍රහස්පතින්දා බෙන්තොට ගියේය. ඒ සංචාරක සංවර්ධන අධිකාරිය විසින් ඉදිකර තිබූ දිවා රාත්‍රී වොලිබෝල් ක්‍රීඩා පිටියක් හා සයුරු ඉම විවේකාංගනය විවෘත කිරීමටය. මේ අවස්ථාවට ගීතා කුමාරසිංහ, චන්දිම වීරක්කොඩි යන මන්ත්‍රීවරු ද එක්ව සිටියහ.

මුලින්ම තිබුණේ වොලිබෝල් ක්‍රීඩාපිටිය විවෘත කිරීමය. මුල්ම බෝලය යොමු කිරීම භාරවුණේ ඇමති ප්‍රසන්නටය. ප්‍රසන්න ඉතා හොඳින් බෝලය යොමු කලේය. ප්‍රසන්න යොමු කල බෝලය ගොස් අනෙක් පැත්තේ හරියටම මැද පතිත වූයේය. ඊලඟ ඇරයුම ගීතාටය. ගීතා යොමු කල බෝලය දැලේ වැදී බිම වැටිනි.

“ අයියෝ.. ” ගීතා කීවේ කණස්සල්ලෙනි.

“ඕවා ඔහොම තමයි මන්ත්‍රීතුමිය කණගාටුවෙන්න එපා. ” ප්‍රසන්න කීවේය.

“මේවා හැමෝටම කරන්න බෑ… ” කියමින් චන්දිම බෝලය අතට ගත්තේ ඊලඟ වාරය ඔහුගේ නිසාය.

චන්දිමගේ බෝලය කෙලින්ම ගියේ පිටියෙන් ඉවතටය.

“ඔව් ඔව් ඒවා හැමෝටම කරන්න බෑ තමයි ” ප්‍රසන්න ඔහුට විහිළු කරමින් කීවේය.

මේ අතර එතනට පැමිණි සිටි හෝටල් හිමියන්, සංචාරක මාර්ගෝපදේශකයන් ඇතුළු පිරිසක් ඇමති ප්‍රසන්නව වට කරගෙන සිය දුක් ගැනවිලි ඉදිරිපත් කරන්නට ගත්තේය.

“විදුලි බල මණ්ඩලයෙන් අපේ ලයිට් කපන්න රතු බිල් එවලා ” එක් අයෙක් කීවේය.

“අපි මේ වෙනකොට විදුලිබල හා ජල බිල් ගෙවන්න සහන කාලයක් දීලා තියෙන්නේ. ඒක තව මාස 06ක් දික් කරන්න අපි ඉල්ලලා තියෙන්නේ  ”

“අනේ ඇමතිතුමා..පුළුවන් තරම් ඉක්මනින් එයාපෝර්ට් අරින්න. නැත්නම් අපි ඉවරයි ” මාර්ගෝප‍දේශකයෙක් කීවේය.

“අපි අනිවාර්යෙන්ම සංචාරකයන්ට රට විවෘත කරනවා. හැබැයි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ” ප්‍රසන්න සහතික වූයේය.

පහුගිය සතියේ ජනාධිපති ගෝඨාභය, අගමැති මහින්ද මෙන්ම ආර්ථික පුනර්ජීවන කමිටුවේ සභාපති බැසිල් ද විටින් විට ඇමති ප්‍රසන්න ඇමතුවේ සංචාරකයන්ට රට විවෘත කිරීම වැඩපිළිවෙල ගැනය. සෞඛ්‍ය අංශ සමග ද කථා කරමින් ඔවුහු මෙහි ප්‍රගතිය සොයා බැලූහ.

මේ අතර බැසිල් ආරම්භ කර ඇති “ගම සමඟ පිළිසඳර-වැඩ සමඟ යලි ගමට ” වැඩසටහනේ බස්නාහිර පලාත් රැස්වීම පහුගිය සඳුදා උදේ අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. එහිදී බැසිල් කීවේ ජනවාරි වනවිට බස්නාහිර පලාත එකම කොවිඩ් රෝගියෙකුවත් නොමැති පලාතක් බවට බස්නාහිර පත් කල යුතු බවයි.

රැස්වීම අවසානයේ බැසිල්, ප්‍රසන්න, ලාන්සා, මිලාන්, උපුල්, පියල් ඇතුළු පිරිස කථාබහ කරමින් සිටියේ රටේ තත්වය ගැනය.

“ඇමතිතුමා සංචාරක ව්‍යාපාරයේ නිරතවෙලා ඉන්න අය හුඟක් අමාරුවෙන් ජීවත් වෙන්නේ ඒ නිසා ඉක්මනට සංචාරකයන්ට රට විවෘත වෙනවා නම් හොඳයි ” ලාන්සා කීවේය.

“ඔය ලක්ෂ 25ක් විතර ඉන්නවා සංචාරක ව්‍යාපාරයෙන් ජීවත්වුන. දැන් මාස 10ක් පමණ තිස්සේ එක සංචාරකයෙක් රටට ආවේ නෑ. මම නම් කියන්නේ අපි දැන් කොවිඩ් එක්ක ජීවත් වෙන්න වෙලා තියෙන්නේ. ඒ නිසා අනික් ඒවා වගේම සංචාරකත් දැන් පටන් ගන්න ඕනෑ. ” ප්‍රසන්න කීවේය.

“ ඔබතුමානෙ ඇමති. ඉතිං මොකද කරන්න බැරි ” මිලාන් ජයතිලකය.

“මම ඇමති බව ඇත්ත. ඒත් මෙතනදී අපි‍ට තීන්දු තීරණ ගන්න වෙන්නේ සෞඛ්‍ය අංශ එක්ක. එහෙම නැතිව හිතුමතේට තීරණ ගන්න බෑ. ” ප්‍රසන්න කීවේය.

“මම දැක්කා රාජිත කියලා තියෙනවා රට සංචාරකයන්ට විවෘත කලාට වැඩක් නෑ රටට සංචාර‍කයෝ එන්නෙ නෑ කියලා ” උපුල් කීවේය.

“ඇයි චම්පික කියලා තිබුණේ ගුවන්තොටුපල විවෘත කලොත් සංචාරක පොකුරු හැදෙයි කියලා ” මිලාන් කීවේය.

“රාජිතලාට පාඨලීලට ඕන රට සදාකල් වහලා තියන්න. රට වහලා රටේ ආර්ථිකය වැටෙනවාට තමයි ඔය කට්ටිය කැමති. ඒ නිසා තමයි ඔය බොරු බිල්ලො මවන්නේ ” ප්‍රසන්න කීවේය.

“මම නම් කියන්නේ අපේ රටේ තමයි ලෝකයේ කුහකම විපක්ෂය ඉන්නේ. විපක්ෂයට ජනතාවට හෙණගැහුවත් කමක් නෑ තමන්ට වාසි වෙනවා නම් ”ලාන්සා කීවේය.

“ඔව් ඒක නම් ඇත්ත. මම දැක්කා විපක්ෂය කියලා තියෙනවා සංචාරකයෝ එනකෙ‍ාට පිටරට වල ඉන්න ලාංකිකයෝ ගෙන්නන එක නවතියි කියලත් ” පියල් නිශාන්ත කීවේය.

“පට්ටපල් බොරුනේ. අපි රට ඉන්න අපේ අය ගෙන්නන එක නවතින්නේ නෑ. දැනටත් 50,000ක් විතර ගෙන්නලා තියෙනවා. තවත් 50,000ක් විතර රෙජිස්ටර් වෙලා ඉන්නවා. ඒ අයවත් අපි ගේනවා ” ප්‍රසන්න කීවේය.

සටහන – ගජබා නාගහවත්ත

Recommended For You

About the Author: Editor