අභ්‍යවකාශ කසළ ගැටලුවට විසදුමක්: ජපානයෙන් දැවමය චන්ද්‍රිකාවක් !

දැවයෙන් නිපදවන ලද පළමු චන්ද්‍රිකාව 2023 දී අභ්‍යවකාශගත කිරීමට ජපානය සැලසුම් කරයි. 2023 වනවිට දැවයෙන් නිපදවන ලද පළමු අභ්‍යවකාශ චන්ද්‍රිකාව නිපදවීමේ ඒකාබද්ධ ව්‍යාපෘතියකට ජපන් සමාගමක් සහ කියෝතෝ සරසවිය අතගසා ඇත.

අභ්‍යවකාශයෙහි දැවමය ද්‍රව්‍ය පාවිච්චිය සම්බන්ධයෙන් පර්යේෂණ ආරම්භකර ඇති බව ‘සුමිතෝමෝ ෆොරස්ට්‍රි’ ආයතනය පවසයි.

පෘථිවියෙහි සංකීර්ණ පරිසර රටාවන් යටතේ විවිධ දැව වර්ග පිළිබඳව අත්හදාබැලීම් ආරම්භ කරන බව එම ඒකාබද්ධ ව්‍යාපෘතිය මගින් නිවේදනය කරනු ලැබ ඇත.

චන්ද්‍රිකා අභ්‍යවකාශගත කරනු ලැබීම වැඩිවීමත් සමඟ අභ්‍යවකාශයට එක්වෙන අපද්‍රව්‍ය ප්‍රමාණයේ වැඩිවීම මේවනවිට බරපතල අතට හැරෙමින් පවතී.

එවැනි පසුබිමක් යටතේ දැවමය චන්ද්‍රිකා යළිත් පෘථිවියට කැඳවීමක දී හෝ කඩා වැටීමක දී, අවකාශයට සුංබුන් එක්කිරීමකින් හෝ අපද්‍රව්‍ය වැස්සක් මිහිතලය මත විසිරයාමකින් තොරව ඒවා ගුවනේදීම පුළුස්සා දැමිය හැකිවනු ඇත.

satellite
අභ්‍යවකාශයෙහි චන්ද්‍රිකා ගැටුම් මගින් ඇතිවිය හැකි දූෂණය නිරූපණය කෙරෙන නිර්මාණයක්

“සියළුම ආකාරයේ චන්ද්‍රිකා පෘථිවි අවකාශයට යළි ඇතුල්වෙන අවස්ථාවන්හි දී ඒවා දැවීමෙන් ක්‍ෂුද්‍ර ඇලුමිනියම් කැබැලි අවුරුදු ගණනාවක් ගුවනේ පාවෙන් තියෙනව. මේ තත්වය සම්බන්ධයෙන් අප පසුවන්නේ දැඩි කණස්සල්ලකින්,” ජපානයේ කියෝතෝ සරසවියේ මහාචාර්ය තකාඕ ඩොයි (Prof Takao Doi) බීබීසියට පැවසීය. මහාචාර්යවරයා ජපානයේ අභ්‍යවකාශගාමියකුත් වෙයි.

“අන්තිමේ දී සිද්ධවෙන්නෙ ඒවා පෘථිවි පරිසරයට එකතුවීම.”

“අපේ ඊළඟ අදියර වන්නේ චන්ද්‍රිකා ඉංජිනේරුමය ආකෘතියක් නිර්මාණය කිරීම. ඊළඟට අපි ගුවන්යානා ආකෘතියක් නිපදවීම කරා අවතීර්ණ වෙනවා,” මහාචාර්ය ඩොයි වැඩිදුරටත් සඳහන් කළේය.

මහාචාර්ය ඩොයි ගගනගාමියකු හැටියට 2008 වසරේ දී ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ගමන්ගත් විද්‍යාඥයෙකි.

අභ්‍යවකාශයෙහි ‘බූමරැන්ගුවක්’ විසිකරන ලද පළමු තැනැත්තා වීමට ඔහු එම සංචාරයේ දී සමත්විය. එම බූමරැන්ගුව අවම ගුරුත්වාකර්ෂණ තත්වයක් යටතේ පාවිච්චි කරනු ලැබීම සඳහා විශේෂයෙන් ම නිපදවන ලද්දක් විය.

බූමරැන්ගුවක් යනු වක්‍රාකාර හැඩයෙන් තැනූ උපකරණයක් වන අතර එය විසිකරන ලද පුද්ගලයා කරාම ආපසු පැමිණෙන සුළු නිර්මාණයකි.ඕස්ට්‍රේලියාවේ ආදිවාසීන් විසින් සතුන් දඩයම් කිරීම සඳහා බූමරැන්ගුව පාවිච්චි කර ඇත.

‘සුමිතෝමෝ ෆොරස්ට්‍රි’ (Sumitomo Forestry) ‘සුමිතෝමෝ’ සමාගමේ අනුබද්ධ අංශයක් වන අතර, ‘සුමිතෝමෝ’ මෙයින් අවුරුදු 400කට අධික කාලයකට පෙර ආරම්භකරන ලද ජපන් ව්‍යාපාරයකි.

එම සමාගමේ ප්‍රකාශකයෙක් බීබීසියට අදහස් දක්වමින්,ඔවුන් පාවිච්චිකරන දැව “පර්යේෂණ සහ සංවර්ධනමය රහසක්” (R&D secret= Research and development (R&D)) වන බව සඳහන් කළේය.

SATTALITE
චන්ද්‍රිකා අපද්‍රව්‍ය පෘථිවිය අවකාශයෙහි පාවෙමින් පවතින ආකාරය.

අභ්‍යවකාශ කුණුකන්දල්

වැඩි වැඩියෙන් අභ්‍යවකාශයානා සහ චන්ද්‍රිකා කක්ෂගත කරනු ලැබීමත් සමඟ පොළොවට පතිතවෙන අභ්‍යවකාශ කසළ කුණුකන්දල් ප්‍රමාණය වේගයෙන් වැඩිවෙමින් පවතින බවට විද්‍යාඥයෝ අනතුරු අඟවති.

චන්ද්‍රිකා තාක්ෂණය වැඩිවශයෙන් භාවිතා කරනුයේ පණිවුඩ හුවමාරුව, රූපවාහිනිය, මගපෙන්වීම (navigation) සහ කාලගුණ අනාවැකි ප්‍රකාශය ආදී කාර්යයන් සඳහාය. මේ අතර එම අරමුණු සඳහා විකල්ප ක්‍රියාමාර්ග සහ අභ්‍යවකාශ කුණුකන්දල් අවමකර ගැනීම සඳහා අභ්‍යවකාශ විශේෂඥයන් සහ පර්යේෂකයන් ප්‍රයත්න දරමින් සිටිති.

ලෝක ආර්ථික සංවිධානය (WEF) සඳහන් කරන පරිදි, මේ මොහොතේ හයදහසකට (6,000) ආසන්න චන්ද්‍රිකා සංඛ්‍යාවක් පෘථිවිය වටා භ්‍රමණයවෙමින් පවතී. එයින් 60%ක් පමණ වූ චන්ද්‍රිකා බලරහිත, ක්‍රියාත්මක මට්ටමක නැති අපද්‍රව්‍ය මට්ටමට(space junk) පත් ඒවා වෙති.

‘Euroconsult’ පර්යේෂණ ආයතනය විසින් ඇස්තමේන්තු කරනු ලබන පරිදි මෙම දශකයේ සෑම වසරකම චන්ද්‍රිකා 990ක් පමණ කක්‍ෂගත කෙරෙනු ඇත. එම වර්ධනය අනුව 2028 වනවිට අභ්‍යවකාශයට එක්වෙන චන්ද්‍රිකා සංඛ්‍යාව 15,000ක් විය හැකිය.

ඉලෝන් මස්ක් ගේ ( Elon Musk) ‘ස්පේස් X’ (SpaceX) ව්‍යාපෘතිය මගින් දැනටමත් ‘ස්ටාර්ලින්ක්’ චන්ද්‍රිකා 900කට අධික සංඛ්‍යාවක් කක්ෂගත කරනු ලැබ ඇත. එයින් නොනැවතී තවත් දහස් ගණනක් චන්ද්‍රිකා අභ්‍යවකාශයෙහි රැඳවීම එම ව්‍යාපෘතියේ සැලැස්මයි.

චන්ද්‍රිකා හේතුවෙන් එක්වෙන අභ්‍යවකාශ කසළ ඇදහිය නොහැකි වේගයකින් ගුවනේ පාවීයන අතර එම වේගය පැයකට සැතපුම් 22,300කටත් වඩා අධික මට්ටමක යයි ඇස්තමේන්තු කෙරෙයි. එවැනි ද්‍රව්‍යයක් ගැටුනොත් එමගින් විශාල හානියක් සිදුවීමේ අවදානමක් පවතී.

2006 වාර්තාවූ එවැනි අනතුරකදී චන්ද්‍රිකා සුංබුන් අතර වූ කුඩා කැබැල්ලක් ගැටීමෙන් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ඉතා ශක්තිමත් කවුළුවකින් පතුරක් ගැළවී ගියේය.

sattelite
අභ්‍යවකාශ කසළ පෘථිවිය මත පතිතවීමේ අනතුර බරපතල අතට හැරෙමින් ඇති බවට විශේෂඥයෝ අනතුරු අඟවති

Text by bbc

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *