Voice of දියවන්නා: විපක්ෂයේ කෙණහිලිකම් මැද ‘ප්‍රසන්න පළමු සටන’ ජයගත් හැටි

මේ එන කිසිම කෙනෙක් අපේ රටේ ජනතාව එක්ක ගැටෙන්නේ නෑ. ඒ වගේම මේ අය‍ට කොව්ඩ් බෝවෙලා නෑ කියලා අපේ PCR පරීක්ෂණ වලින් තහවුරු කෙරෙනකන් ඒ අයව හෝටල් වලින් එළියට යවන්නෙත් නෑ. ඒ නිසා බය වෙන්න දෙයක් නෑ “ ප්‍රසන්න පැහැදිලි කළේය.

සටහන – ගජබා නාගහවත්ත

මාස 09කට පසු පළමු සංචාරක කණ්ඩායම දිවයිනට පැමිණියේ පසුගිය සඳුදාය. (28) ඒ මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙනි. යුක්රේන සංචාරකයන් 180 දෙනෙක් PQ 555 දරණ ස්කයි අප් ගුවන් යානයෙන් සඳුදා දහවල් 2.08 ට දිවයිනට පැමිණියහ. ඒ සංචාරකයන්ට රට විවෘත කිරීමේ නියුතු ව්‍යාපෘතියේ පළමු සංචාරක කණ්ඩායම ලෙසය.

සංචාරකයන් කණ්ඩායම් වශයෙන් මෙරටට ගෙන්වා ගැනීමට සැලසුම් කෙරුවේ මාස කීපයක සිටය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අගමැති මහින්ද රාජපක්ෂ, ආර්ථික පුණර්ජීවන කමිටු සභාපති බැසිල් රාජපක්ෂ යන මහත්වරුන්ගේ උපදෙස් මත ඊට අතගසා තිබුණේ සංචාරක ඇමති ප්‍රසන්න රණතුංගය.

ප්‍රසන්න මාස කීපයක සිට මේ සම්බන්ධ‍යෙන් සෞඛ්‍ය අංශ සමග සාකච්ඡා කළේය. සංචාරක ක්ෂේත්‍රයේ නිරතවූවන් සමග සාකච්ඡා කළේය. ගුවන්තොටුපළ නිලධාරීන් සමග සාකච්ඡා කළේය. සංචාරකයන් ගෙන්වීම නිසා මතුවිය හැකි තත්වයන් එකින් එක සොයා බැලුවේය. ඒවාට විසදුම් සෙව්වේය. ජනාධිපතිවරයා, අගමැතිවරයා හා බැසිල් දැනුවත් කළේය.

පසුගිය ඉරිදා (27) සවස ජනපති ගෝඨාභය ඇමති ප්‍රසන්නට කථා කළේය.

“ප්‍රසන්න දැන් කොහොමද හෙට සූදානම. ඔක්කොම හරිද?  “ජනපතිවරයා ඇසුවේය.

“ඔව් සර්. ඔක්කෝම ලෑස්තියි. ” ප්‍රසන්න කිවේය.

“මේ එන සංචාරකයන් ගැවසෙන තැන්වල අපේ රටේ ජනතාවට ගැවසෙන්න කිසිම ඉඩක් තියන්න එපා. මම හමුදාපතිතුමාටත් කියලා තියෙන්නේ” ජනාධිපතිවරයා කිවේය.

“නෑ සර්. මේ අයව කොහොමත් අපේ රටේ ජනතාවට සම්බන්ධ වෙන්නේ නෑ. අපි ඉතාම පරිස්සමෙන් මේ වැඩේ කරන්නේ.  “ඇමති ප්‍රසන්න උත්තර දුන්නේය.

සඳුදා උදෑසනම ඇමති ප්‍රසන්න මත්තල ගුවන්තොටුපලට ගියේ සංචාරකයන්ගේ පළමු කණ්ඩායම පැමිණෙන අවස්ථාවේ සූදානම නිරීක්ෂණයටය. රාජ්‍ය ඇමති D.V.චානක ද ඔහු සමඟ එක්ව සිටියේය.

“ ගුවන්තොටුපල සේවක සේවිකාවන්වත්, මාධ්‍යවේදීන්වත් කිසිම කෙනෙක් මේ එන සංචාරකයන් සමග සම්බන්ධ කරන්න එපා. හැමතිස්සේම සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරන්න ” ප්‍රසන්න ගුවන්තොටුපල සේවක සේවිකාවන් අමතමින් කීවේය.

හරියටම දහවල් 2.08ට ගුවන්යානය දිවයිනට පැමිණියේය. ඇමති ප්‍රසන්න, රාජ්‍ය ඇමති DV ගුවන්තොටුපලේ වෙනම ස්ථානයක සිට එය නැරඹූහ.

“ බැරිවෙලාවත් මේ එන එක්කෙනෙක් හරි පොසිටිව් වුනොත් විපක්ෂය උඩ පනී” චානක කීවේය.

“අපි මේ අය ගෙන්නන්නේ කොවිඩ් නැති රටකින් නෙමෙයිනේ. එන අය අතර එහෙම අය ඉන්න පුළුවන් ඒකට අපි ලෑස්තියි. සෞඛ්‍ය අංශ හදපු ගයිඩ් ලයින් වල එහෙම වුනොත් මොකද  කරන්නේ කියලා තියෙනවා. “ඇමති ප්‍රසන්න කීවේය.

“පාඨලී ආපහු කියලා තිබුණා සංචාරක පොකුරක් හැදෙයි කියලා” ගුවන්තොටුපල උප සභාපති රජීව් සූරියාරච්චි කීවේය.

“මේ රටේ කොවිඩ් වැඩිවෙනවානම්, රට ලොක් ඩවුන් වෙලා ආර්ථිකය කඩන් වැටෙනවානම් විපක්ෂය‍ට ඒ තරම් සතුටක් නෑ. ඔය හොයන්නේ ඒ කාලකන්නි සතුට ” ප්‍රසන්න කීවේය.

“මේ එන කිසිම කෙනෙක් අපේ රටේ ජනතාව එක්ක ගැටෙන්නේ නෑ. ඒ වගේම මේ අය‍ට කොව්ඩ් බෝවෙලා නෑ කියලා අපේ PCR පරීක්ෂණ වලින් තහවුරු කෙරෙනකන් ඒ අයව හෝටල් වලින් එළියට යවන්නෙත් නෑ. ඒ නිසා බය වෙන්න දෙයක් නෑ “ ප්‍රසන්න පැහැදිලි කළේය.

පළමු සංචාරක කණ්ඩායම මත්තල ගුවන්තොටුපලින් පිටත්ව යනතුරුම ඒ පිළිබඳව අවධානයෙන් සිටි ප්‍රසන්න ඔවුන්ගේ PCR පරීක්ෂාව නිසි ලෙස සිදුවන්නේදැයි සොයා බැලීමටද අමතක කළේ නැත. මෙම සංචාරක කණ්ඩායම ලැගුම්ගෙන සිටින හෝටල් ආශ්‍රීත ප්‍රදේශයට මෙරට ජනතාව පැමිණීම වැලැක්වීමට ගෙන ඇති පියවර සම්බන්ධයෙන්ද හමුදාපතිවරයා සමග විටින් විට සාකච්ඡා කළේය. සංචාරක සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සම්බන්ධ කර ගනිමින් හෝටල් වල තත්වයද සොයා බැලුවේය.

පසුදින (29) සවස වන විට යුක්රේන සංචාරකයන්ගේ PCR පරීක්ෂණ වල වාර්තාව ලැබී තිබිණි. ඉන් කියවුනේ පැමිණි 180 න් 03 දෙනෙකු පොසිටිව් බවය. වහාම සෞඛ්‍ය බලධාරීන් ඇමතූ ප්‍රසන්න මේ සම්බන්ධයෙන් ගෙන ඇති පියවර සොයා බැලුවේය. ඔවුන් කීවේ මේ පිළිබඳව පූර්ව සූදානමක් තිබූ නිසා සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව කටයුතු කර ඇති බවයි.

 පසුදින (30) උදෑසන වන විට මේ පිළිබඳ තොරතුරු මාධ්‍ය වෙතද වාර්තා වී තිබිණි. ඒ අනුව ප්‍රසන්නට කථා කල මාධ්‍ය හිතවතෙකු ඇසුවේ සංචාරකයන් දිවයිනට ගෙන්වීමේ නියමිත ව්‍යාපෘතිය නතර කරනවාද කියාය.

“අපි මේ තත්වයට මුහුණ දෙන්න පූර්ව සූදානමක හිටියේ. ඒ නිසා මේ ව්‍යාපෘතිය නතර කරන්න අවශ්‍යතාවයක් නෑ. ” ඇමති ප්‍රසන්න අවධාරණය කළේය.

සටහන – ගජබා නාගහවත්ත

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *