පවුල් සැලසුම් ක්‍රම: ඔබ මේ කරුණු දැන සිටියා ද ?

මිනිසා තමන්ගේ ලිංගික අවශ්‍යතා වඩාත් හොඳින් හා සදාචාරාත්මකව ඉටුකර ගන්නේ විවාහය මගින්. විවාහය පදනමක් වශයෙන් ද අඹු සැමි සම්බන්ධතා සැලකෙනවා. ඒ අතර සුජාත දරුවන් බිහිකිරීම ද විවාහයේ මූලික අපේක්ෂාවක් වශයෙන් සැලකෙනවා.

මේ තත්ත්වය තුළ සිය ලිංගික ජීවිතය වඩාත්ම තෘප්තිමත්ව හා ඵලදායීව පවත්වා ගෙන යාමට මෙන්ම වඩාත් තෘප්තිමත් පවුල් ජීවිතයක් ගත කිරීම යන අරමුණේදී ඇතැම්විට ගැබ් ගැනීම වඩාත් සැලසුම් සහගතව සිදු කළ යුතු වෙනවා. මෙවැනි තත්ත්වයක් තුළ වර්තමාන සමාජයේ පමණක් නොව මානව පරිණාමයේ ආරම්භයේ සිටම විවිධ ක‍්‍රමෝපායන් මගින් ගැබ් ගැනීම් පාලනය කිරීමට මිනිසා උත්සාහා කළා.

වර්තමානයේදී පවුල් සැලසුම් වැදගත් වන කරුණු කිහිපයක් හඳුනා ගෙන තිබෙනවා.

1 පළමු දරු උපත කල් දමා ගැනීම: මෙහිදී සිදුවන්නේ විවාහ වූ යුවලක් තමන්ගේ කුළුඳුල් දරු උපත පමා කර ගැනීම සඳහා පවුල් සැලසුම් වලට යොමු වීමයි. වර්තමානයේ මේ තත්ත්වය බහුල වශයෙන් දැකිය හැකියි. ගෙවල් දොරවල් ඉදිකර ගැනීම, උසස් අධ්‍යාපන අවස්ථා ආදි ආර්ථික කාරණා මෙන්ම තවත් කාරණා රැුසක් නිසා මෙය සිදුවිය හැකියි. මෙහිදී විවාහ වීමට මාස කිහිපයකට පමණ පෙර සිට සුදුසු උපත් පාලන ක‍්‍රමයක් ගැන පිළිගත් වෛද්‍යවරයෙකුගෙන් උපදෙස් ලබා ගැනීම වඩාත් සුදුසුයි.
2 දැනට සිටින දරුවන් සංඛ්‍යාව ප‍්‍රමාණවත් වීම.
3 දරුවකු ලැබීමෙන් පසු තවත් දරුවකු ලැබෙන තෙක් මවට ශක්තිමත් වීම සඳහා කාලය ලබා ගැනීම.

මෙවැනි අරමුණු සහිත අඹුසැමියන් දරු උපත් පාලනය කර ගැනීම සඳහා පවුල් සැලසුම් ක‍්‍රම අනුගමනය කරනවා.

දරුවකු පිළිසිඳ ගැනීම

ලංකාවේ පමණක් නොවෙයි මුළු ලෝකයේම ජනතාව අතර ලිංගික අධ්‍යාපනය සම්බන්ධයෙන් වන දැනුම අතිෂයින් දුර්වලයි. මේ නිසා ලිංගිකත්වය සම්බන්ධයෙන් දුර්මත මෙන්ම මිත්‍යා විශ්වාස රැසක් ද ජනතාව අතර පවතිනවා. මේ තත්ත්වය වහාම අවසන් කළ යුතුයි. එහෙත් පුදුමයකට මෙන් නොකෙරෙන දේ ද වන්නේ ඒකමයි.

දරුවකු පිළිසිඳ ගැනීම සම්බන්ධයෙන් කාන්තාවන් තුළ පවා නිවැරදි හා ප‍්‍රමාණවත් අවබෝධයක් නැහැ. මේ නිසා ඇයට බොහෝ අසීරුතාවන්ට මෙන්ම ඇතැම් විට අපවාදයන්ට පවා මුහුණදීමට සිදුවෙනවා. ඒ නිසා ප‍්‍රථමයෙන්ම අප ‘පිළිසිඳ ගැනීමක් ’ සිදුවන්නේ කෙසේද? කියා නිවැරදිව දැනුවත් විය යුතුය

දරුවෙකු පිළිසිඳ ගන්නේ කෙසේද ?දරුවකු ලැබීමට හේතු වන මුල්ම පියවර වන්නේ පිළිසිඳ ගැනීමයි. ඒ නිසා දරුවකු ලැබීමට මුල්වන පළමු පියවර පිළිසිඳ ගැනීම වශයෙන් හැඳින්විය හැකියි.

එය සිදුවන්නේ කෙසේද ? පිළිසිඳ ගැනීමක් සිදුවීමට නම් ‘ඩිම්බයක්’ (ස්ත‍්‍රී බීජයක්ස) මග ‘ශුක‍්‍රාණුවක්’ (පුරුෂ බීජයක්) සංසේවනය වීම සිදුවිය යුතුයි.

ඩිම්බ හෙවත් ස්ත‍්‍රී බීජ

ඩිම්බ හෙවත් ස්ත‍්‍රී බීජ හටගන්නේ ස්ත‍්‍රියගේ ‘ඩිම්බාධාර’ හෙවත් ‘ඩිම්බ කෝෂ’ තුළයි. ස්ත‍්‍රියගේ ශරීරයේ ඩිම්බාධාර හෙවත් ඩිම්බ කෝෂ දෙකක් තිබෙනවා. මෙම ඩිම්බ කෝෂ තුළ දහස් ගණනක් නොමේරු ඩිම්බ තිබෙනවා.

මාසයකට වරක් මේ ඞ්ම්බාධාරයකින් මේරු ඩිම්බයක් පිටවෙනවා. (ස්ත‍්‍රියක් තුළ ඩිම්බාධාර දෙකක් තිබුණත් මාසයකට වරක් පිටවන්නේ එක් ඩිම්බයක් පමණයි) එය පැලෝපීය නාළය ඔස්සේ ගර්භාෂයට එනවා. ඩිම්බාධාරයකින් ඩිම්බයක් පිටවන්නේ ‘ඔසප්වීම’ හෙත් ‘මාස්ශුද්ධිය’ ඇතිවීමට දින 14 කට පමණ කලින්. ඇතැම් විට මෙය දින 12-16 අතරදී ද සිදුවිය හැකියි.

ශුක‍්‍රණු හෙවත් පුරුෂ බීජ

ශුක‍්‍රාණු හෙවත් පුරුෂ බීජ නිපදවෙන්නේ පුරුෂයාගේ වෘෂණයන් තුළයි. මෙම ශුක‍්‍රාණු ශුක‍්‍ර නාළ දිගේ පැමිණ ශුක‍්‍රාශයෙන් පිටවන ශුක‍්‍ර තරලයත් සමග මිශ‍්‍ර වී පිටවෙනවා.

ස්ත‍්‍රියක් හා පුරුෂයෙකු අතර ඇතිවන එක් සංසර්ගයකදී හෙත් ලිංගික එක්වීමකදී පුරුෂ ලිංගය තුළින් ශුක‍්‍රාණු කෝටි ගණන් පිටවෙනවා. එන් යම් ප‍්‍රමාණයක් ස්ත‍්‍රියගේ ගර්භාෂයට ඇතුළු වී ‘පැලෝපීය’ නාළය දෙසට ගමන් කරනවා.

පැලෝපීය නාළය ඔස්සේ මේ ආකාරයෙන් ගමන් කරන ශුක‍්‍රාණුවක් ඩිම්බයක් සමග එක් වුවහොත් එම ඩිම්බය පැලෝපීය නාළය තුළදී සරුබවට පත් වෙනවා. මෙහිදී අප මතක තබාගත යුතු වැදගත් දෙයක් තමයි සංසර්ගයේදී කෝටි ගණනක් ශුක‍්‍රාණු පිටවුව ද ඩිම්බයක් සරු වීමට අවශ්‍ය වන්නේ එක් ශුක‍්‍රාණුවක් පමණයි. මේ ආකාරයෙන් සරු වූ ඩිම්බය පැලෝපීය නාළය තුළින් ‘ගර්භාෂයට’ පැමිණ එහි බිත්තියේ තැන්පත් වෙනවා. ‘පිළිසිඳ ගැනීම’ හෙවත් ‘ගැබ් ගැනීම’ කියලා අප හඳුන්වන්නේ මෙම ක‍්‍රියාවලියයි.

ජීව කාලය

සංසර්ගයේදී පිටවන ශුක‍්‍රාණුවක් සාමාන්‍යයෙන් පැය 12-72 ත් අතර කාලයක් සජීවීව තිබෙනවා. ඩිම්බාධාරයකින් පිටවන ඩිම්බයක ජීව කාලය පැය12-24 ක් පමණයි. මේ කාලය තුළදී ඩිම්බයක් ශුක‍්‍රාණුවක් සමග එක්වී සරු වීම සිදු නොවුණහොත් එම ඩිම්බය ඔසප් වීම සමග පිටවෙලා යනවා.

පවුල් සැලසුම් ක‍්‍රම

‘වැලේ ගෙඩි වැළට බරක් නැහැ’ කියන කතාව එන්නේ දරුවන් කොපමණ හිටියත් දෙමාපියන්ට ගැටලූවක් නැහැ කියන අදහසත් එක්ක. ඒත් සමහරු කියනවා ‘එක පුන්සඳින් දුරු වෙයි ලොව ගණ අඳුරු’ කියලා. මේ කතාව කියන්නේ එක ළමයෙක් හෝ දෙදෙනෙක් හිටියොත් හොඳටම ඇතියි කියලා හිතන උදවිය.

කොහොම වුණත් වර්තමාන ලෝකයේ ‘පවුල් සැලසුම’ ගැන වඩාත් සංවේදී හා උන්න්දුමත්. ඒ නිසා පවුල් සැලසුම් ක‍්‍රම වඩාත් විශ්වාසනීය හා ඵලදායී ඒවා බවටත්, පහසු හා අඩු වියදම් ඒවා බවටත් පත්ව තිබෙනවා. මේ නිසා වර්තමානයේදී ‘පැඳුර පෑගුවත් ළමයි හම්බවෙන එක’ අඩු වෙමින් තිබෙනවා. ඒත් අදත් අනවශ්‍ය ගැබ් ගැනීම් විශාල සමාජ හා සෞඛ්‍ය ගැටලූවක්. මන්ද අනවශ්‍ය ගැබ් ගැනීමක් සිදුවුවහොත් එම දරු ගැබෙන් ගැළවීමට කිසිදු ආකාරයක නෛතික හැකියාවක් වගේම ඇතැම් විට සමාජයීය, සංස්කෘතික හා මානසික හැකියාවක් ඇත්තේ නැහැ.
මේ නිසා මෙවැනි සියලූ ආකාරයේ කායික, මානසික හා නෛතික ගැටලූ හා අවධානම්වලින් මිඳීමට ඇති වඩාත් හොඳම ක‍්‍රමය වන්නේ ‘පවුල් සැලසුම් ක‍්‍රම’ භාවිත කිරීමයි.

පවුල් සැලසුම් ක‍්‍රමයක් යනු කුමක්ද ?

ලිංගික සංසර්ගයේදී පුරුෂයකුගෙන් පිටවන ශුක‍්‍රාණුවක් හා කාන්තාවගේ ඩිම්බයක් එක්වීම කුමන හෝ ආකාරයකින් වැළැක්විය හැකි නම් ‘ගැබ් ගැනීමක්’ සිදුවන්නේ නැහැ. මේ ගැබ් ගැනීම් වැළැක්වීම සඳහා යොදා ගන්නා පිළිගත්, ආරක්ෂාකාරී ක‍්‍රමවලට ‘පවුල් සැලසුම් ක‍්‍රම’ යැයි කියනවා.

පවුල් සැලසුම් ක‍්‍රම

වර්තමානයේදී පවුල් සැලසුම් සඳහා භාවිතා වන ප‍්‍රධාන ක‍්‍රම 03 ක් තිබෙනවා.

  1. පැරණි සහ ස්වභාවික ක‍්‍රම.
  2. නවීන තාවකාලික ක‍්‍රම.
  3. ස්ථිර ක‍්‍රම.

පැරණි සහ ස්වභාවික ක්‍රම

පවුල් සැලසුම් ක‍්‍රමෝපායන් වශයෙන් අදත් ලෝකයේ බහුල වශයෙන් පැරණි හා ස්වාභාවික ක‍්‍රමෝපායන් භාවිත කරන ආකාරයක් දැකිය හැකියි. විශේෂයෙන් අධ්‍යාපන හා ආර්ථික තත්ත්වයෙන් පහළ ජනතාව අතර පැරණි හා ස්වභාවික පවුල් සැලසුම් ක‍්‍රම බහුල වශයෙන් දැකිය හැකියි.

එමෙන්ම ඇතැම් පුද්ගලයින් විවිධ සංස්කෘතික හා පුද්ගලික කාරණා හා මත පදනම් කරගෙන ද මේ ආකාරයේ ප‍්‍රාථමික පවුල් සැලසුම් ක‍්‍රම භාවිත කරනවා. මෙම ක‍්‍රමයන්හි ආකාර කිහිපයක් දැකිය හැකියි.

අ. ඛණ්ඩ සංවාසය / ශුක‍්‍ර බැහැර කිරීමේ ක‍්‍රමය

මෙය ‘පිරිමියා ප‍්‍රවේශම් වීම’ යනුවෙන් ද හැඳින්වෙනවා. ලෝකයේ පැරණිම පවුල් සැලසුම් ක‍්‍රමයක් වන මෙය වර්තමානයේ පවා බහුලව භාවිත කරනවා. විශේෂයෙන් ඇතැම් පිරිමින් මේ ක‍්‍රමයට දැඩි උන්නදුවක් දක්වනවා.

සංසර්ග අවස්ථාවේදී ශුක‍්‍රාණු පිටවීමට පෙර පුරුෂයා ශිෂ්ණය යෝනි මාර්ගයෙන් පිටතට ගෙන යෝනි මාර්ගයෙන් පිටතදී ශුක‍්‍රාණු පිටවීමට සැලැස්වීම මෙහිදී සිදුවෙනවා. මේ නිසා යෝනි මාර්ගයට ශුක‍්‍රාණු ඇතුළුවීම වැළකෙන නිසා ගැබ් ගැනීමක් සිදුවන්නේ නැහැ.

මෙම ක්‍රමයේදී දැඩි ප‍්‍රවේශම ඉතා වැදගත්

මෙම ක‍්‍රමයේදී මුලින් සඳහන් කළ ආකාරයට පුරුෂා ප‍්‍රවේශම් විය යුතුමයි. ඔහු ඉතා ප‍්‍රවේශමෙන් සංසර්ගයේ යෙදිය යුතුයි. සංසර්ගයේ උච්චතම අවස්ථාවේදී (සුරාන්තය ආසන්නයේදී) සිදුවන ශුක‍්‍රාණු පිටවීමට පෙර වහාම ශිෂ්ණය යෝනි මාර්ගයෙන් ඉවතට ගත යුතුයි. සුරාන්තයට පත්වීම යෝනි මාර්ගයෙන් පිටතදී සිදුවිය යුතුයි.

ගැටලු

මේ ක‍්‍රමය එතරම් සාර්ථක ක‍්‍රමයක් වශයෙන් සැලකෙන්නේ නැහැ. බොහෝ විට සංසර්ගයේ උච්චතම අවස්ථාවේදී ශුක‍්‍රාණු පිටවීමට පෙර ශුක‍්‍ර තරලය සමග මිශ‍්‍ර වී ශුක‍්‍රාණු පිටවීමට අවස්ථාව වැඩියි. එසේ වුවහොත් එම ශුක‍්‍රාණු ගර්භාෂයට ඇතුළු වීම නිසා ගැබ් ගැනීමක් සිදුවිය හැකියි.

අභියෝග

ඇත්තටම මෙය පුරුෂයාට මෙන්ම කාන්තාවට ද අභියෝගයක් විය හැකි අවස්ථාවක්. සුරාන්තයට ළඟා වන අවස්ථාවේදී ශිෂ්ණය එළියට ගැනීමට එම පුද්ගලයාට දැඩි ආත්ම දමනයක් තිබිය යුතුයි. ඒ වගේම තමයි සංසර්ගයේදී නියම තෘප්තිය නොලැබෙන නිසා එම පුද්ගලයා මෙන්ම කාන්තාවද මානසික වශයෙන් අතෘප්තියට පත්වීමට හැකියි.

මෙහි ඇති අවධානම් සහගත තත්ත්වය වන්නේ ශිෂ්ණය ඉවතට ගැනීමට කලින් ශූක‍්‍ර දියරය සමග ශුක‍්‍රාණු පිටවීමක් සිදු වුවහොත් ගැබ් ගැනීමක් සිදුවීමට ඇති හැකියාවයි.

ස්ත‍්‍රීන්ට අනුගමනය කළ හැකි ස්වාභාවික ක‍්‍රම

පවුල් සැලසුමේදී බොහෝ විට අනුගමනය කරන ස්වභාවික ක‍්‍රම බහුලව භාවිත කරන්නේ ස්ත‍්‍රීන් විසින් වීම විශේෂත්වයක්. මේ අනුව පවුල් සැලසුම් සඳහා ස්ත‍්‍රීන්ට අනුගමනය කළ හැකි ස්වභාවික ක‍්‍රම කිහිපයක් ගැන අප දැනුවත් විය යුතුයි.

  1. සරු කාලයේ සංසර්ගයේ නොයෙදීම
  2. රිද්ම ක්‍රමය
  3. ගැබ්ගෙල ශ්‍රාවීය ක්‍රමය
  4. ශාරීරික උෂ්ණත්වය පදනම් කරගත් ක්‍රමය

1. සරු කාලයේ සංසර්ගයේ නොයෙදීම –

මෙය පවුල් සැලසුම් කිරීමේදී බොහෝ විට කාන්තාවන් විසින් අනුගමනය කරන ස්වභාවික ක‍්‍රමයක්. කාන්තාවන්ගේ ඔසප් චක‍්‍රයේ සරු කාලය නැතහොත් ඩිම්බානුහරණය වන දින සීමාවන් කාන්තාවගේ ශරීරය තුළ ඇතිවන ස්වභාවික ලක්ෂණවලින් හඳුනා ගන්න පුළුවන්.

2. රිද්ම ක්‍රමය

ස්ත‍්‍රියකගේ ඩිම්බාධාරයෙන් ඩිම්බයක් පිටවී ශුක‍්‍රාණුවක් සමග එක් වී සරු වීමට ඇති කාලසීමාව තුළ සංසර්ගයෙන් වැළකී සිටීම මෙම ක‍්‍රමය මගින් සිදුවෙනවා. සංසේවනය නොවූ ( ශුක‍්‍රාණුවක් සමග එක් නොවූ) ඩිම්බයක් පැය 12-24 පමණ හා ශුක‍්‍රාණුවක් පැය 24-72 ක් පමණ කාලයක් ජීවත් වෙනවා. එනිසා ඩිම්බයක් පිටවීමට දින 03 කට පෙර සහ ඩිම්බයක් පිටවී දින 02 ක් යන තෙක් ‘සරු කාලය’ පවතිනවා. මෙම කාලය තුළ සංසර්ගයේ යෙදීමෙන් වැළකී සිටීම තමයි ‘රිද්ම ක‍්‍රමය’ යනුවෙන් සැලකෙන්නේ.

ගැටලු

මෙම ක‍්‍රමය යම් පමණකට අනාරක්ෂිත ක‍්‍රමයක් වශයෙන් සැලකිය හැකියි. ඒ ඩිම්බානුහරණය සිදුවන දිනය ස්ථිරව දැනගැනීමට අපහසු වීමයි. මෙනිසා ඩිම්බයක් පිටවීමට ඉඩ ඇති දින සීමාවට දින 03 කට පෙර හා එම කාලසීමාව පසුවී දින 03 ක් ගතවන තෙක් සංසර්ගයේ නොයෙදීම ඉතා වැදගත්. මෙය වඩාත් සරලව පැහැදිලි කරන්නේ නම් ‘රිද්ම ක‍්‍රමය’ අනුගමනය කරන යුවළක් කළ යුත්තේ ස්ත‍්‍රී බීජය ( ඩිම්බය) පිටවිය හැකි කාලසීමාව වටා අඩුම වශයෙන් දින 05 ක් වත් සංසර්ගයේ යෙදීමෙන් වැළකී සිටීමයි.

ගැබ් ගැනීම වැළකෙන්නේ කෙසේද ?

‘රිද්ම ක‍්‍රමය’ මගින් ගැබ් ගැනීමක් සිදුනොවන්නේ ඩිම්බයක් හා ශුක‍්‍රාණුවක් එක්වීමට අවස්ථාවක් මෙම ක‍්‍රමය මගින් නොලැබෙන නිසයි.

ඩිම්බයක් පිටවිය හැකි කාලසීමාව හඳුනා ගැනීම කළ හැක්කේ කෙසේද ?

කාන්තාවකගේ ඩිම්බයක් පිටවීම සිදුවන්නේ සාමාන්‍යයෙන් මාස් ශුද්ධියට දින 12-16 අතර කාලයේදීයි. එහෙත් මෙහිදී වඩාත් අවධානය යොමු කළ යුතු කරුණක් වන්නේ ක‍්‍රමවත් මාස් ශුද්ධියක් පවතින්නේ කාන්තාවන්ගෙන් සුළු පිරිසකට පමණක් වීමයි. එම නිසා බොහෝ කාන්තාවන්ට නියත වශයෙන්ම ඩිම්බයක් පිටවන දිනය සොයා ගැනීම අසීරුයි. ඔවුන්ට කළ හැක්කේ ඩිම්බයක් පිටවීමට ඉඩ ඇති දින සීමාවන් සොයා ගැනීම පමණයි.

මේ සඳහා මෙවැනි ක‍්‍රම අනුගමනය කරන ඔබ විසින් කළ යුත්තේ මාස් ශුද්ධිය හා සම්බන්ධ චක‍්‍ර සටහනක් තබා ගැනීමයි. මෙමගින් ඔබට ඩිම්බානුහරණය/ මාස් ශුද්ධිය සිදුවන දින සොයා ගැනීමට හැකියාවක් ලැබෙනවා.

මාස් ශුද්ධි චක‍්‍ර සටහන් තබා ගැනීම

‘මාස් ශුද්ධිය’ යනුවෙන් හැඳින්වෙන්නේ මාස් ශුද්ධියක් ආරම්භ වූ දින සිට ඊළඟ මාස් ශුද්ධිය ආරම්භ වීමට ගත වන දින ගණනයි. මෙය බොහෝ කාන්තාවන්ට නිවැරදිව ගණනය කළ නොහැකි දෙයක් නිසා එම උදාහරණයක් මගින් පැහැදිලි කළ හැකියි.

යම් කාන්තායකගේ මාස් ශුද්ධිය ජනවාරී 03 වැනිදා ආරම්භ වූවා යැයි සිතමු. ඇයගේ ඊළඟ මාස් ශුද්ධිය ජනවාරී 31 වැනිදා ආරම්භ වූ වේ නම් ජනවාරී මාසයේ මාස් ශුද්ධියට දින 28 ක් ගත වෙලා තිබෙනවා. පෙබරවාරී මාසයේ මාස් ශුද්ධිය 28 වැනිදා ආරම්භ වූවේ නම් පෙබරවාරි මාසයේ මාස් ශුද්ධියට දින 28 ක් ගත වෙලා තිබෙනවා.

මේ ක‍්‍රමය මගින් ඩිම්බානුහරණය/ මාස් ශුද්ධිය සිදුවන දින ගැන නිවැරදිව හඳුනා ගැනීමට නම් අඩුම ගානේ මාස 06 ක කාලයක් වත් මාස් ශුද්ධිය සිදුවන දින ගණන් තබාගත යුතුයි.
යම් කාන්තාවක් මාස 06 ක් පුරා අදාළ දින සටහන් මේ ආකාරයෙන් තබා ගත්තා යැයි සිතමු.

ජනවාරී 28
පෙබරවාරි 28
මාර්තු 26
අපේ‍්‍රල් 26
මැයි 27
ජූනි 31

මෙම සටහන අනුව මෙම කාන්තාවගේ කෙටිම මාස් ශුද්ධි චක‍්‍රයට ගතව ඇත්තේ ින 26 කි. දිගම චක‍්‍රයට ගතවී ඇත්තේ දින 31 කි.

මීළඟට ඔබ කළ යුත්තේ කෙටිම දින ගණන ඇති චක‍්‍රයෙන් දින 18 ක් අඩු කිරීමයි. ( මෙම දින 18 සම්මතයකි )
මෙම සටහන අනුව නම් 26 න් 18 ක් අඩුකළ යුතුයි. එවිට දින ගණන 08 ක් වෙනවා. එම කාන්තාව මාස් ශුද්ධිය ආරම්භ වී දින 08 ක් ගත වූ පසුව සංසර්ගයේ යෙදීමෙන් වැළකී සිටිය යුතුයි. (ප‍්‍රවේශම් විය යුතුයි)

මීළඟට ඉතාම දිග දින චක‍්‍රයෙන් දින 11 ක් අඩු කළ යුතුයි. ( මෙම දින 11 ද සම්මතයකි) ඉහත සඳහන අනුව නම් දින 31 න් දින 11 ක් අඩු කළ යුතුයි. එවිට දින ගණන 20 ක් වෙනවා. මේ අනුව මාස් ශුද්ධිය ආරම්භ වී දින 20 ක් ගත වූ පසුව ඇය ප‍්‍රවේශම් විය යුතු කාලය අවසන් වෙනවා. මෙම කාන්තාව මාස් ශුද්ධිය ඇති වී 08 වන දින සිට 20 වන දින දක්වා සංසර්ගයේ යෙදීමෙන් වැළකී සිටිය යුතුයි.

සාර්ථකත්වය

මෙම ක‍්‍රමයේ සාර්ථකත්වය කෙරෙහි දේශගුණික හේතු මෙන්ම ශාරීරික හේතු ද බලපානවා. මෙම හේතු නිසා මාස් ශුද්ධියේ දින වෙනස් විය හැකියි. එම නිසා මෙම ක‍්‍රමය සාර්ථක හා ආරක්ෂාකාරී පවුල් සැලසුම් ක‍්‍රමයක් වශයෙන් සැලකිය නොහැකියි.

3. ගැබ්ගෙල ශ්‍රාවීය ක්‍රමය

ගැබ්ගෙල ශ්ලේෂ්මල ස‍්‍රාවයෙහි සිදුවන වෙනස් වීමේ ස්වභාවය අනුව සරු කාලය හඳුනා ගෙන එම කාලය තුළ සංසර්ගයේ යෙදීමෙන් වැළකී සිටීම ‘ගැබ්ගෙල ස‍්‍රාවීය ක‍්‍රමය’ නැතහොත් ‘බිලින්ස්’ක‍්‍රමය යනුවෙන් හැඳින්වෙනවා.

සාමාන්‍යයෙන් කාන්තාවකගේ මාස් ශුද්ධියට දින 12-16 කට පෙර ඩිම්බයක් පිටවීම සිදුවෙනවා. එහෙත් ක‍්‍රමවත් මාස් ශුද්ධි චක‍්‍රයක් තිබෙන්නේ කාන්තාවන්ගෙන් සුළු පිරිසකට පමණයි. එම නිසා නිවැරදිව ම ඩිම්බයක් පිටවන දිනය සොයා ගැනීම අපහසුයි. කළ හැකිවන්නේ ඩිම්බයක් පිටවීමට ඇති දින සීමාවන් සොයා ගැනීම පමණයි.

මේ සඳහා ‘ගැබ්ගෙල ස‍්‍රාවීය ක‍්‍රමය’ යටතේ මාස් ශුද්ධි චක‍්‍ර සටහනක් තබා ගැනීම සිදු කළ යුතුයි. මෙම සටහන මගින් ඩිම්බානුහරණය සිදුවන කාලසීමාව සොයාගත හැකියි.

සරු කාලය හඳුනා ගැනීම

ඔසප් වීම අවසන් වීමෙන් පසු දින කිහිපයක් ගත වන තෙක් යෝනියෙහි වියළි ස්වභාවයක් පවතිනවා. ඉන් පසු ඩිම්බානුහරණය සිදුවන දිනය ආසන්න වන විට ගැබ්ගෙල ශ්ලේෂ්මල ස‍්‍රාවය වැඩි වෙනවා. එවිට යෝනි මාර්ගයේ වියළි ස්වභාවය අඩු වී තෙත් ස්වභාවය වැඩි වෙනවා.

ඩිම්බහරණය වන දිනය වන විට ශ්ලේෂ්මල ශ‍්‍රාව ප‍්‍රමාණය වැඩි වී දියරමය සහ නූලක් මෙන් ඇදෙන සුළු තත්ත්වයට පත් වෙනවා. මහපට හා දබර ඇඟිලිවල තුඩු දෙකෙන් අල්ලා බලන විට ශ්ලේෂ්මල ස‍්‍රාවයෙහි මෙම ස්වභාවය හඳුනා ගත හැකියි.

පිළිසිඳ ගැනීම වළක්වා ගැනීම

යෝනියෙහි තෙත් ශ්ලේෂ්මල පටල හට ගැනීමත් සමග සරු කාලය ආරම්භ වෙනවා. තෙත් ගතිය උච්ච අවස්ථාවට පත්වන දිනය පසු වී දින 03 ක් ගතවීමෙන් පසු සරු කාලය අවසන් වෙනවා. මෙම කාලය තුළ සංසර්ගයේ යෙදීමෙන් වැළකී සිටීම මගින් දරුවකු පිළිසිඳ ගැනීම වළක්වා ගත හැකියි.

සාර්ථකත්වය

මෙම ක‍්‍රමය ඉතාමත් සාර්ථක ක‍්‍රමයක් වශයෙන් සැලකිය හැකියි. එහෙත් මෙහි සාර්ථකත්වය රැුඳෙන්නේ ශ්ලේෂ්මල ස්වභාවය හඳුනා ගැනීම හා එමගින් සරු කාලය නිවැරදිව හඳුනා ගැනීම තුළයි.

4. ශාරීරික උෂ්ණත්වය පදනම් කරගත් ක්‍රමය

කාන්තාවකගේ ඩිම්බානුහරණයේදී ශරීරයේ මූලික උෂ්ණත්වය වැඩි වෙනවා. එම තත්ත්වය ඔසප්වීම සිදුවන තෙක්ම පවතිනවා. මේ අනුව කාන්තාවගේ ශරීර උෂ්ණත්වය දිනපතා සටහන් කර තබා ගැනීම මගින් තම සරු කාලය හඳුනාගත හැකියි. ශරීර උෂ්ණත්වය අනුව සරු කාලය හඳුනා ගැනීමෙන් පසු එම කාලය තුළ සංසර්ගයේ යෙදීමෙන් වැළකී සිටීම මෙම ක‍්‍රමය මගින් ක‍්‍රියාවට නැගෙනවා.

පිළිවෙළ

මෙම ක‍්‍රමය අනුගමනය කරන කාත්තාවක් විවේකීව සිට තම ශරීර උෂ්ණත්වය දිනපතාම එකම වේලාවකදී සටහන් කරගත යුතුයි. එම සටහන අනුව තම සරු කාලය ඇයට හඳුනාගත හැකියි
දරුවකු පිළිසිඳ ගැනීම වළක්වා ගැනීම අවශ්‍ය නම් ශරීරයේ උෂ්ණත්වය වැඩිවීම සටහන් වී ඇති දින සිට දින 03 ක් ගතවනතුරු සංසර්ගයේ යෙදීමෙන් වැළකිය යුතුයි.

සාර්ථකත්වය

මෙම ක‍්‍රමයත් ඉතා සාර්ථක ක‍්‍රමයක්. එහෙත් ශරීර උෂ්ණත්ව සටහන නිවැරදිව තබා ගැනීම හා සරු කාලය නිවැරදිව හඳුනා ගැනීම මත මෙම ක‍්‍රමයේ සාර්ථකත්වය රඳා පවතිනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජනගහන තොරතුරු ඒකකය විසින් ප‍්‍රකාශයට පත් කළ ‘පවුල් සැලසුම් අත්පොත’ නම් ග‍්‍රන්ථයෙන් කළ උපුටා ගැනීමක් ඇසුරිනි. – සකස් කළේ – තුෂාල් විතානගේ

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *