රට පාලනය කළ යුත්තේ ආගමික නායකයින් නොවෙයි – ඉරාන් වික්‍රමරත්න

රටක් පාලනය කළ යුත්තේ ආගමික නායකයන්ගෙන් නොව දහමෙන් බව සමගි ජන බලවේගය ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා අවධාරණය කරයි. වික්‍රමරත්න මහතා මේ බව සදහන් කළේ අද (06) පාර්ලිමේන්තුවේ පැවැති සාක්ෂි සංශෝධන පනත් කෙටුම්පත ඇතුළු පනත් කෙටුම්පත් තුනක් සදහා වන විවාදයකට සහභාගී වෙමිනි.

එහිදී වැඩි දුරටත් කරුණු පැහැදිලි කරමින් ඉරාන් වික්‍රමරත්න මහතා කියා සිටියේ ව්‍යවස්ථා සම්පාදනයේ ප්‍රධාන ලක්ෂණය වනුයේ එය සම්පාදනය කරනුයේ ජනතාව විසින් විනා නීතිඥයන් විසින් නොවීම බවයි.

මෙහිදී වැඩි දුරටත් කරුණු පැහැදිලි කළ ඉරාන් වික්‍රමරත්න මහතා,

‘‘ව්‍යවස්ථා සම්පාදනය පිළිබඳව වර්තමානයේ දී කතා බහට ලක්  වන අතර රජය ඒ  සඳහා විශේෂඥයන්ගේ කමිටුවක් ද පත් කර තිබෙනවා. ව්‍යවස්ථා සම්පාදනයේ ප්‍රධාන ලක්ෂණය වනුයේ එය සම්පාදනය කරනුයේ ජනතාව විසින් විනා නීතිඥයන් විසින් නොවීමයි. නමුත් අවාසනාවකට සෝල්බරි ව්‍යවස්ථාවේ සිට සියලු ව්‍යවස්ථා සම්පාදනයේ දී අනුගමනය කරනු ලැබුවේ ද එම  ප්‍රතිපත්තියමයි.

ජාතීන් අතර සමගිය ඇතිකිරීමට අපි එකමුතු ශ්‍රී ලංකාවක් ගොඩනගන්න අවශ්‍යයි. එක එක රජයන් වල වැරදි වෙලා තිබෙනවා. රටක් පාලනය වෙන්න ඕනෑ දහමෙන් මිස ආගමික නායකයන්ගෙන් නොවේ. මෙහිදී එකිනෙකාට අපහාස කළ යුතු නැහැ.

අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි අමාත්‍යවරයා  අද කරපු කතාව මම අගය කරනවා. හොඳ වචන අපි ක්‍රියාවට නංවන්න අවශ්‍යයි. සාක්ෂි සංශෝධන පනත, දණ්ඩ නීති සංග්‍රහ හා ඇප සංශෝධන පනතේ යල් පැන ගිය වචන හා යෙදුම් කාලීන තත්ත්වයට පත්කිරීම වෙනස් කිරීමට විපක්ෂයේ විරෝධයක් නැහැ.

ඇප සංශෝධනයේ නිශ්චිතව දක්වා ඇති වැරදිවල දඩ මුදල් වෙනස් කර තිබෙනවා. නමුත් වර්තමානයේ අධිකරණය හරහා ක්‍රියාත්මක ඇප ගැන යමක් සඳහන් කරන්න කැමතියි. පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් විට ඔහුට ඇප දී නිදහස් කිරීම සාමාන්‍ය දෙයක්. ඇප යනු රීතියක් වන අතර ඇප නොදීම ව්‍යාතිරේඛයක්. ප්‍රධාන තැනක් ගනුයේ විමර්ශනයට අවශ්‍ය නම් රඳවාගැනීම නැතහොත්  නිදහස් කිරීමයි. මෙය ඇප සම්බන්ධයෙන් ලෝකේම අනුගමනය කරනු ලබන සාමාන්‍ය ප්‍රතිපත්තියයි.

එහෙත් එයට පටහැනිව කොරෝනාව පසුබිමෙන් රජය බොහෝ අයව නිදහස් කරනවා. එහෙත් සමහරක් ව රඳවාගෙන තිබෙනවා. නියත වශයෙන්ම රජය ඇතැම් අයව පළිගැනීමට ලක් කරමින් නිදහස් නොකොට සිටීමෙන් ඔවුන් කොරොනා ආසදනයට ලක්වීමේ තර්ජනවලට මුහුණ පානවා.

අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ ප්‍රධානිය ශානි අබේසේකර මහතා ගැන මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතුයි. අඉට්කෙන් ස්පෙන්ස් සමාගමේ අයිතිකාර මහතාව සහ තවත් ප්‍රභූවරුන් කිහිප දෙනෙක් පැහැරගැනීමට ලක්වූ අවස්තාවේ දී ශානි අබේසකර මහතා පරීක්ෂණ පවත්වා වැරදිකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කර දඬුවම් ලබා දුන්නා.

දේශපාලකයන්, පොලිස් හා හමුදා නිලධාරීන් පුද්ගලිකව අපරාධවලට හසුවු අවස්ථාවලදෙ ඔහු බලපෑම්වලට යට නොවූ නිසා ඔහු පළිගැනීමට ලක් වෙනවා. පොලිසිය හා හමුදාවන් දූෂිත නැහැ. එහෙත් එහි ඇතැම් පුද්ගලයන් වැරදි කරන විට ඔවුන්හට දඬුවම් පැමිණවිය යුතුයි.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ හිතවතුන් වූ භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර, මොහමෙඩ් ශියම් ඝාතනය කළ අවස්ථාවේ දී හිටපු පොලිස්පති ඉලන්ගකෝන මහතා එහි පරීක්ෂණ කටයුතු  පැවරුවේ ද ශානි අබේසේකර මහතාටයි. ඔහුගේ අවංක ක්‍රියාවන් මත ඔහුට ප්‍රණාම හා උසස්වීම් ද ලැබුණා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ තනතුරක පුරප්පාඩුව ඇති වූ විට එකල පාලකයන් විසින් ඔහුගේ නම යෝජනා නොකළ ද ව්‍යවස්ථා කවුන්සලය මගින් ශානි අබේසේකර මහතා එම තනතුරට උසස් කළා.

2017 වසරේ බැඳුම්කර විමර්ශනයේ දී ද අර්ජුන් ඇලෝසියස් හා කසුන් පලිසේන යන අය අළුයම අත් අඩංගුවට ගැනීමෙන් රටම විමතියට පත් කළා. රජයේ හෝ පොලිසියේ ප්‍රධානීන් කිසිවෙක් මේ පිළිබඳව දැනුම්වත් වෙලා සිටියේ නැහැ. දේශපාලකයන් මේ පිළිබඳව උරණ වේ දැයි ඔහුට තැකීමක් තිබුණේ නැහැ.

මේ පිළිබඳව අද මා මේ කරුණු හෙළි කරනුයේ හුදෙක්ම යුක්තිය උදෙසායි. මා මෙහි සඳහන් කළ කිසිවෙකුත් සමඟ මට පෞද්ගලික සබඳතාවයක් නැහැ. මේ අයට යුක්තිය ඉටු කිරීම සඳහා අප නැගී සිටිය යුතුයි.

ව්‍යවස්ථා සම්පාදනය පිළිබඳව අද මෙහිදී කතා බහට ලක් වුණා. රජය මේ සඳහා විශේෂඥයන්ගේ කමිටුවක් පත් කර තිබෙනවා. ව්‍යවස්ථා සම්පාදනයේ ප්‍රධාන ලක්ෂණය වනුයේ එය සම්පාදනය කරනුයේ ජනතාව විසින් විනා නීතිඥයන් විසින් නොවීමයි.  සෝල්බරි ව්‍යවස්ථාවේ සිට සියලු ව්‍යවස්ථා සම්පාදනයේ දී අනුගමනය කරනු ලැබුවේ මෙම ප්‍රතිපත්තියයි‘‘

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *