සද්භාවයෙන් ජනතාවට සේවය කරන රාජ්‍ය නිලධාරීන්ට අගමැතිගෙන් සහතිකයක්

“ගම සමඟ පිළිසඳරක් තුළින් වැඩ සමඟ යළි ගමට ” ජාතික වැඩසටහනේ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කළ කථාව  (07- අරලියගහ මන්දිරය)

2021 අයවැය යෝජනාවෙන් අපි විශාල මුදලක් රටේ දේශිය කර්මාන්ත සංවර්ධනයට වෙන් කරලා තිබෙනවා. මේ අයවැයෙන් පොදු ජනතාවට මොනවත් නෑ කියලා අපේ විවේචකයෝ බොරු චෝදනා කළා. නමුත් මතක තියාගන්න අපි කොයි වෙලාවෙවත් නිකන් සල්ලි බෙදන ව්‍යාපෘති පටන්ගත්තේ නෑ.

ඡන්ද බලාගෙන හදපු අකුරක්, කොමාවක් මේ අයවැයේ නෑ. අපි ඒ ප්‍රෝඩාව ජනතාවට කරන්නේ නෑ කියලා හැමදාම කියලා තියෙනවා. මේ අයවැය වෙන් වෙන්නේ ගමේ ගොවියා, ධීවරයා, කර්මාන්තකරුවා ගොඩනගන්න. ඒ නිසා  මේ අයවැය යෝජනාවලිය ක්‍රියාත්මක කරන්න විදේශිය විශේෂඥයෝ අපිට අවශ්‍ය නැහැ, විදේශිය උපදේශකයෝ අපිට අවශ්‍ය නැහැ, විදේශිය මූල්‍ය විශේෂඥයෝ අපිට අවශ්‍ය නැහැ. ඒ නිසා මේ අයවැය යොජනා ක්‍රියාත්මක කරන්න ඉන්නේ අපේම රජයේ නිලධාරින්. මේ අයවැය යෝජනා පොළොවට ගෙනියන්න ඉන්නේ ඔබ.

මේක අමාරු වැඩක්.මේ අමාරු වැඩේ කරන්න වෙන්නේ ඔබට. ඔබ තමයි මෙතෙක් එය කළේ. ඒ අපේ රටේ ගමේ ජනතාවත් එක්ක. ඒ ජනතාව ව්‍යවසායකත්ව දැනුම ලබපු, විශාල පුහුණුවක් ලබපු, ආයතන වල වැඩ කරලා හුරුව තියෙන අය නොවෙයි. ඒ අයට ඔබට උදව් කරන්න සිදු වෙනවා. නිලධාරින් සහ ජනතාව අතර තියෙන පරතරය අවම කරගන්න වෙනවා. රජයේ නිලධාරින් වන ඔබත් ආණ්ඩුවේ අදහස තේරුම් ගන්න ඕන.

ගම සමඟ පිළිසඳරක් වැඩසටහන කරගෙන යනකොට අපිට තේරෙනවා ජනතාව ඉල්ලන දේ. පොතේ තියෙන දේවලුයි, පරිපාලන රෙගුලාසිවල ,මුදල් රෙගුලාසිවල තියෙන දේවලුයි ජනතාව ඉල්ලන දේවලුයි අතර විශාල පරතරයක් තිබෙනවා. ඒවා ජනතාවගේ අවශ්‍යතා වලට ගැලපෙන ආකාරයට හසුරුවාගෙන වැඩ කරන අභියෝගය තමයි ඔබට තිබෙන්නේ. දැනට පවතින නීති හා රෙගුලාසි බොහෝමයක් යල්පැන ගිහින්.

බොහොම දෙනෙක් හිතනවා අපි රූලෙන් පිට, නීතියෙන් පිට වැඩ කළොත් අමාරුවේ වැටෙනවා කියලා. යහපාලන ආණ්ඩුව මේ රටට කළ ලොකුම ද්‍රෝහිකම තමයි මේ රටේ රජයේ නිලධාරින් ජනතාවට සේවය කරන නිසා බන්ධනාගාර ගත කරපු එක. මට මතකයි ජාතික ආපදා අවස්ථාවක ගංවතුර ආධාර බෙදුවා කියලා හිටපු හමුදාපතිවරයාව එෆ්.සී.අයි.ඩී එකට ගෙනල්ලා ප්‍රශ්න කළා. සිල් රෙදි බෙදා දුන්නා කියලා ජනාධිපති ලේකම්වත්, විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිටවත් බන්ධනාගාර ගත කළා. අපි මේ තත්ත්වය තේරුම් අරගෙන තියෙන්නේ. නමුත් ඔබ තේරුම් ගන්න සද්භාවයෙන් ක්‍රියා කරපු කිසිම නිලධාරියෙකුට දඬුවමක් දෙන්න බැරි බවත් ඒ සඳහා අවශ්‍ය ව්‍යවස්ථානුකූල ආරක්ෂාව අපි ලබාදෙන බවත් .

සිල් රෙදි නඩුවෙන් නිදහස් වුණ ලලිත් වීරතුංග හිටපු ජනාධිපති ලේකම්වරයා ජනතාවට කිව්වේ මොකක්ද. සද්භාවයෙන් ජනතාවට සේවය කරන කිසිම වෙලාවක වරදින්නේ නැහැ කියන එක එතුමා ප්‍රකාශ කළා. ඒ නිසා පවතින නීති රීති වලින් ඔබ්බට ගිහිල්ලා මේ මුදල් ජනතා සුබසිද්ධිය වෙනුවෙන් පරිහරණය කරන විදිහ ගැන, පළපුරුද්දක් තියෙන ඔබ දන්නවා ඇති.

අමාත්‍යංශවල ඇමතිවරයාත්, ලේකම්වරුත්, නිලධාරිනුත් අතර හොඳ සම්බන්ධයක් තියාගන්න ඕන. අපි විශාල තරුණ මන්ත්‍රීවරු පිරිසකට අවස්ථාව ලබාදීලා තිබෙනවා රාජ්‍ය ඇමතිවරුන් වශයෙන් කටයුතු කරන්න. අපේ ඇමතිවරු වැඩකරන විට අමාත්‍යංශ ලේකම්වරු, දිස්ත්‍රික් ලේකම්වරුත් එක්ක සුහද සම්බන්ධතාවයක් පවත්වාගෙන යන්න ඕන. මේ අය ජනතාවගෙන් වගේම අමාත්‍යංශ නිලධාරින්ගෙනුත් ඉගෙන ගන්න ඕන.

මට මතකයි 1978 ලාබාලතම මන්ත්‍රීවරයා වශයෙන් තේරුණ වෙලාවේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය දිස්ත්‍රික් සම්බන්ධිකරණ සංවර්ධන කමිටුවේ නියෝජිතයා හැටියට මාව යවන කොට කරපු දේ. එදා එතුමිය දුරකථනය අරගෙන හම්බන්තොට දිසාපතිවරයාට කතා කරලා කිව්වා මහින්දව එවනවා අපේ ඉන්න ලාබාලතම මන්ත්‍රීවරයා එතුමාව බලාගෙන එතුමා එක්ක වැඩ කරන්න කියලා. ලාබාලතම මන්ත්‍රීවරයා වුණාට පාර්ලිමේන්තුව නියෝජනය කරාට සිරිමාවෝ මැතිණිය කිව්වේ නිලධාරින්ගෙන් ඉගෙන ගන්න කියලා. මම මේ තරුණ මන්ත්‍රීවරුන්ටත්, ඇමතිවරු වෙච්ච තරුණ මන්ත්‍රීවරුන්ටත් මම කියන්නේ ඒ කාරණයයි.

ඒ වගේම අපි ආණ්ඩුවක් කරගෙන යන විට රජයේ නිලධාරින්ම පමණක් නොවෙයි විශේෂඥ දැනුම තියෙන, කාර්යක්ෂමතාව තියෙන, තරුණකම තියෙන නොයෙක් පාර්ශව සම්බන්ධ කරගන්න ඕන. අපි කවුරුත් සාමූහිකව වැඩකරන්න ඕන. මතක තියාගන්න ආණ්ඩු යනවා එනවා. නමුත් රාජ්‍ය පවතිනවා. ඒක තමයි සත්‍යය.

කොරෝනා වසංගතය එක්තරා ආකාරයකට රාජ්‍ය සේවයේ ශක්තිය පරීක්ෂා කළ අවස්ථාවක් බව මම කියන්න ඕන. කොරෝනා වසංගතයට මුහුණ දෙන විට අපිට සිද්ධ වුණා උපරිම වශයෙන් නවීන තාක්ෂණය භාවිතා කරමින් වැඩ කරන්න. ඒ තාක්ෂණය භාවිතා කරලා ජනතාවට සේවය කරන්න. විශාලම අභියෝගය වුණේ අධ්‍යාපනයට. ගුරුවරයාට ගෙදර ඉඳන් තමන්ගේ  දූදරුවන්ට උගන්වන්න සිදු වුණා. මම කියන්න සතුටුයි මොන දුෂ්කරතාවය ආවත් මේ රටේ ගුරුවරු  ඒ අභියෝගය භාරගත්තා. ගෙදර ඉඳගෙන දරුවන්ව ගෙවල් වල තියාගෙන  ඉගැන්වූවා. ඒක රජයේ සේවයේ අය කරපු විශාල මෙහෙවරක්.

පෞද්ගලික අංශයේ අය වගේම රජයේ සේවකයිනුත් ඔන්ලයින් ක්‍රමය යටතේ හොඳින් වැඩ කළා. අපේ රටේ රාජ්‍ය සේවය ජනතාව වෙනුවෙන් සිය යුතුකම නිවැරදිව ඉටුකළා.

මේකෙන් පේනවා රජයේ නිලධාරින්ට ඕනම මොහොතක අලුත් දෙයක් වැළඳගන්න, නම්‍යශීලිව වැඩ කරන්න පුළුවන් කියලා. සමස්ථ රාජ්‍ය සේවයම මේකෙන් පාඩමක් ඉගෙන ගන්න ඕනෑ. නූතන තාක්ෂණය රජයේ ආයතනවලට වේගයෙන් අනුගත කරන්න අවශ්‍යයි. ඒක අමාත්‍යංශ ලේකම්වරුන් වන ඔබගේ වගකීමක්. මේ ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්න ඕනෑ. සෑම විටම නූතන තාක්ෂණය  යොදාගෙන ජනතාව අතරට යන්න තමුන්නාන්සේලා උත්සහ කරන්න ඕනෑ. අපිට ඕනෑ කාර්යක්ෂම රටක්. දශක ගණනාවක් මගහැරුණු වැඩ  රාශියක් අපිට තියෙනවා ඉටු කරන්න.

ඔබ දන්නවා ශ්‍රේෂ්ඨාධිකරණයට අලුතෙන්ම විනිසුරුවරුන් විසිදෙනෙක් පසුගියදා ජනාධිපතිතුමා පත් කළා. ඒ පත් කළේ මේ රටේ අධිකරණයේ ගොඩගැහිලා තියෙන විශාල නඩු ප්‍රමාණයක් ඉක්මණින් විසඳන්න. රටට යුක්තිය ඉටු කරන්න. ඒ යුක්තිය සියලු රාජ්‍ය ආයතන වලින් ඉටු කරන්න ඕන කියන කාරණය මම මතක් කරනවා. අපිට ඕනෑ බැනුම් අහන්නේ නැති රාජ්‍ය සේවයක්. අපිට ඕනෑ රාජ්‍ය වගේම ආණ්ඩුවත්, ආණ්ඩුව වගේම රාජ්‍යත් වගකීමක් ඇතුව ජනතාවට සේවය කරන තැනට ගේන්න.

අපි බලයට පත් වුණ සෑම අවස්ථාවකම ජනතාව අපෙක්ෂා කළ වගකීම් අපි ඉටුකළා. අපි යුද්ධය අවසන් කළා. ආපස්සට ගියපු ආර්ථිකය හා සංවර්ධනය ගොඩනැගීම වෙනුවෙන් කටයුතු කළා. ඒ සෑම අවස්ථාවකදීම රාජ්‍ය සේවය අපිට උදව් කළා. ඉදිරියටත් මේ රට ගොඩනැගීමේදි තමුන්නාන්සේලාගේ උපරිම සහය අපි බලාපොරොත්තු වෙනවා.

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *