Voice of දියවන්නා: විපක්ෂය මේක කටගැස්මක් කර ගෙන

සටහන – ගජබා නාගහවත්ත

පසුගිය සතියේ දිවයිනට පැමිණි යුක්රේන සංචාරක කණ්ඩායම සෙනසුරාදා මිරිස්සටත් ඉරිදා යාලටත් ගියේය. යාලට ගිය සංචාරක කණ්ඩායම රැගෙන ගිය සෆාරි ජීප් රථ රියදුරන් වෙන් කර තැබීමට තීරණය කිරීමත් සමග ඔවුන් ඒසම්බන්ධයෙන් කලින් දැනුවත් නොකල බව පවසමින් විරෝධය පල කිරීමත් සමග දැඩි නොසන්සුන් තත්වයක් ඇතිවිය.

සිද්ධිය දැනගත් ජනාධිපති ගෝඨාභයත්, අගමැති මහින්දත් සංචාරක ඇමති ප්‍රසන්න රණතුංගට කථා කලේ මේ පිළිබද විමසීම සදහාය. ඒ වන විටත් ප්‍රසන්න හමුදාපතිවරයාටත්, නාමල් හා DV යන ඇමතිවරුනුත් සම්බන්ධ කර ගනිමින් ගැටලුව විසදීමට කටයුතු කරමින් තිබිණි.

“ඇමතිතුමා අර යාල වැඩේ ඉක්මණින් විසදන්න  වෙයි? “  ජනපති ගෝඨා ප්‍රසන්නට කීවේය.

“මම දැනටමත් ඒ ගැන අවශ්‍ය දේ කලා සර්. ඒක වෙලා තියෙන්නේ මේ සෆාරි රියදුරන්ව හරියට දැනුවත් කරලා නෑ. අනික සර් 28 දෙනෙක් හින්දා රටක් උකසට තියන්න බෑනේ. මම කිව්වා මේ අය වෙන් කරලා තියන්න කියලා. කවුරු අතින් වැරුද්ද වුනත් දැන් අපි ඊලග පියවර ගන්න ඕනෑනේ… “  ප්‍රසන්න ජනාධිපතිවරයාට පැහැදිලි කළේය.

“මේ සෆාරි ඩ්‍රයිවර්ස්ලා ඉන්නේ බබල් එකේ. කොරොන්ටයින් නෙමෙයි. මේ අයගේ ගෙවල් වලට අපි මේ වෙන කොට වියලි ආහාර මල්ලකුත් යැව්වා. “ ප්‍රසන්න වැඩිදුරටත් කීවේය.

“ඒක හොදයි. දැන් විපක්ෂය ඕක තමයි ගන්නේ… “ ජනාධිපතිවරයා කීවේය.

“ඔව් සර්. මම දැක්කා විපක්ෂය මේක කටගැස්මක් කර ගෙන තියෙනවා. ඔය සෝෂල් මීඩියා වල වොයිස් කට් එකක් දාලා තියෙන සෆාරි රියදුරා කාගේ කොන්ත්‍රාත් එකක්ද ඉෂ්ඨ කරන්නේ කියලත් අපි දන්නවා.“  ප්‍රසන්න කීවේය.

සදුදා ප්‍රසන්න  යුක්රේන සංචාරය සංවිධාන කළ සංචාරක  සංවිධාන තුන සිය අමාත්‍යාංශයට කැදෙව්වේය. ඒ සමගම සංචාරකයන් මෙරටට ගෙන්වීමට අදාල සියලු ආයතන ප්‍රධානීන්ද, සෞඛ්‍ය නිළධාරීන්ද ගෙන්වා ගත්තේය. සංචාරකයන්ට යාමට ඉඩ දෙන සංචාරක ස්ථාන භාර රජයේ ආයතන ප්‍රධානීන්ද ගෙන්වා ගත්තේය.

“මේ වගේ දෙයක් ආයේ වෙන්න බෑ. අපි දුන්න ගයිඩ් ලයිසන් වලට අනුව කටයුතු කරන්න බැරි නම් කරුණාකරලා සංචාරකයන් නොගෙන්වා ඉන්න. අපි මේ රටේ ජනතාවට වග කියන්න ඕන. වගකීම් විරහිතව වැඩ කරන්න එපා. “ප්‍රසන්න දැඩි ලෙස අවවාද කළේ යුක්රේන සංචාරකයන් මෙරටට ගෙන්වූ ආයතන වලටය.

සදුදා සවස තිබූ කැබිනට් මණ්ඩල රැස්වීමේදීද යාල සිද්ධිය පිළිබද ඇමතිවරු ප්‍රසන්නගෙන් විමසූහ. ප්‍රසන්න කැබිනට් මණ්ඩලයට සිද්ධිය පැහැදිලි කළේය. ඇමති නාමල්ද කීවේ යාල සිද්ධිය දඩමීමා කරගෙන  විපක්ෂය සංචාරකයන් ගෙන්වීමේ ක්‍රියාවලියට චෝදනා කරන බවයි.

“විපක්ෂයට ඕන කරලා තියන්නේ කොහොම හරි සංචාරකයෝ රටට එන එක නවත්තන්න. අපි මේ සංචාරකයන්ට රට විවෘත කළේ ලක්ෂ 30 ක් ජනතාව වෙනුවෙන්. “ ප්‍රසන්න කීවේය.

“රට හැමදාම වහගෙන ඉදලා හරියන්නේ නෑ. හෙල්ත් ගයිඩ් ලයින් එක්ක රට ක්‍රමානුකූලව යථාතත්ත්වයට පත් කරන්න ඕනෑ… අපේ වගකීම තමයි හැම වෙලාවෙම මේ රෝගය පැතිරයාම වැළැක්වීම. “ ජනාධිපතිවරයා  කීවේය.

“සංචාරකයන්ගෙන් සමාජයටත් සමාජයෙන් රටටත් මේ වසංගතය බෝ නොවෙන්න තමයි සර් අපි මේ වැඩ සටහන කරන්නේ. අනික මේක පයිලට් ප්‍රොජෙක්ට් එකක්. මේ පයිලට් ප්‍රොජෙක්ට් එකේ අඩුපාඩුත් හදාගෙන අපි 21 වෙනිදා කමර්ෂල්  ෆලයිට්ස් වලට එයාපෝර්ට් ඕපන් කරන්න කටයුතු කරගෙන යනවා.“  ප්‍රසන්න කීවේය.

ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් ඇමතිවරු කීවේ එය හොද වැඩක් බවය. සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව එය සිදුවිය යුතු බවද ඇමතිවරු කීහ.

මේ අතර ආණුඩු පක්ෂයේ මේ වසරේ පළමු රැස්වීම ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුනේ ජනාධිපති ගෝඨාභය හා අගමැති මහින්දගේ ප්‍රධානත්වයෙනි. ජනාධිපතිවරයා මෙහිදී කීවේ  මේ වසර ගෙවුනු වසර මෙන්ම අභියෝගාත්මක වසරක් බවයි. සියළු සෙනා එක්ව රට ගොඩගැනීමට සහය වෙන්නැයි ජනාධිපතිවරයා ආණ්ඩු පක්ෂ මැතිඇමතිවරුන්ට ආරාධනය කළේය.

ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ පළමු වසරේ රැස්වීමේදී දෙබරයට ගල් ගැසුවේ රාජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දුය.

“ජනාධිපතිතුමනි, දැන් රට සංචාරකයන්ට විවෘත කරන්න කටයුතු කරගන යනවා. ඒක හොදයි. හැබැයි මේ විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් රටට ගෙන්වන වැඩේ අවුල් ජාලාවක්. මේ වැඩේ සමහර අය ඉල්ලමක් කරගෙන. පිටරට ඉන්න ලංකාවේ කෙනෙක්ගේ නම  රෙජිස්ටරේ දාන්න රුපියල් 25,000 ක් ගත්ත සිද්ධි අපිට වාර්ථා වෙලා තියෙනවා. හෝටල් වලින් ලක්ෂ ගනන් සල්ලි ගන්නවා. අරුන්දික කීවේය.

“අරුන්දික ඇමතිතුමා කියන කථාව ඇත්ත ජනාධිපතිතුමනි. විදෙස් ගත ශ්‍රි ලාංකිකයන් නීරෝධායනය කිරීමේදී යම් යම් හෝටල් මගින් නීරෝධායනය වෙනුවෙන් ලබාගත් අය කිරීම් පිළිබදව විමර්ශනයක් කළ යුතුයි. මුදල් ගෙවා කරන නීරෝධායනය නතර කරලා හෝම් කොරොන්ටයින් වෙන්න මේ අයට අවස්ථාව දෙන්න ඕනෑ.“  නාමල් කීවේය.

“විදෙස්ගත ශ්‍රී ලාංකිකයෝ ගෙන්නන වැඩේ හින්දා මමත් නොසෑහෙන්න  බැනුම් අහනවා. මම සංචාරක ඇමති නිසා හැමෝම හිතාගෙන ඉන්නේ මම තමයි ඒකටත් වග කියන්න ඕනෑ කියලා. “ ප්‍රසන්න කීවේය.

ජනාධිපතිවරයාත් අගමැති වරයාත් මෙහිදී කඩිනමින් මේ ගැන සොයා බලා පියවර ගන්නා බවට ආණ්ඩු  පක්ෂ මැති ඇමතිවරුන්ට සහතික වූහ.

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *