ට්‍රම්ප් ධවල මන්දිරයෙන් ‘නෙරපීමට ගන්නා උත්සාහයේ’ ඉදිරි සැලසුම් මොනවාද ?

ජනාධිපති ට්‍රම්ප්ට එරෙහිව කඩිනම් ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස කතානායිකා නැන්සි පෙලෝසි අවධාරණයෙන් කියා සිටින්නීය

usa

පසුගිය ජනවාරි හයවෙනිදා කොංග්‍රස් මණ්ඩලයට කඩාවැදීම සඳහා අන්තවාදී ප්‍රහාරක කල්ලියක් පොළඹවනු ලැබීම මුල්කර ගනිමින් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පදවියෙන් ඉවත්කිරීමට පියවර ගන්නා ලෙස උපජනාධිපති මයික් පෙන්ස් කෙරෙහි එල්ලකරන බලපෑම තවත් දැඩි කිරීමට ඇමෙරිකානු ද්විමාණ්ඩලික කොංග්‍රස් මණ්ඩලයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කතානායිකා නැන්සි පෙලෝසි කටයුතු කරමින් ඇත.

බලයේ සිටින ජනාධිපතිවරයා පදවිය දැරීමට සුදුසු නොවන විට ගතයුතු ක්‍රියාමාර්ග පෙන්වා දෙන ඇමෙරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 25 වෙනි සංශෝධනය බලාත්මක කරන ලෙස උපජනාධිපති පෙන්ස්ගෙන් ඉල්ලා සිටීමට කොංග්‍රස් මණ්ඩලයේ මන්ත්‍රීවරු බලාපොරොත්තු වෙති.

ජනාධිපතිවරයා පදවියේ කටයුතු දිගටම කරගෙන යාමට නොහැකි පරිදි ශාරීරික හෝ මානසික අශක්නුතාවෙන් යුක්ත නම්, උපජනනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 25 සංශෝධනය බලගැන්විය හැකිය.

එහෙත් උපජනාධිපතිවරයා එම අදහසට විරුද්ධ බවක් දැනගන්නට ලැබෙයි.

උපජනාධිපති මයික් පෙන්ස් එම යෝජනාව බැහැර කළොත් ඩිමොක්‍රටික් පාක්ෂික මන්ත්‍රීවරුන්ගේ ක්‍රියාමාර්ගය වී තිබෙන්නේ ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් සම්මතකර ගැනීමය.

ඇමෙරිකානු ජනාධිපති පදවියට මහජන ඡන්දයෙන් තේරී පත්ව සිටින ජෝ බයිඩන් සඳහා කොන්ග්‍රස් මණ්ඩලයේ අනුමැතිය දෙන සභාවාරය පැවැත්වීමට නියමිතව පවතින අතරවාරයේ ජනාධිපති ට්‍රම්ප් සිය ආධාරකරුවන් අමතමින් “කැපිටල් මන්දිරය කරා පෙළපාලියෙන් ගමන් ගන්නා” මෙන් ඉල්ලීමක් කළේය.

පසුගිය නොවැම්බර් මාසයේ පැවැත්වුන ඇමෙරිකානු ජනාධිපතිවරණයේ දී මැතිවරණ ප්‍රෝඩා සිදුවූ බවට තහවුරු නොකරන ලද චෝදනා යළි යළිත් ඉදිරිපත් කරමින් ඉහත කී මහජන රැළියේදී අදහස් දැක්වූ ජනාධිපති ට්‍රම්ප්, රිපබ්ලිකන් පාක්ෂික සිය ආධාරකරුවන් කැරලි ගැසීම සඳහා කුපිත කරනලද බවට ඩිමොක්‍රටික් පාක්ෂිකයෝ ජනාධිපතිවරයාට චෝදනා කරති.

එම සිද්ධියෙන් පසු ‘ට්විටර්’ ඇතුළු ඇතැම් සමාජ මාධ්‍ය ජාල ජනාධිපති ට්‍රම්ප්ට පසුගිය සතියේ සිකුරාදා පටන් තහංචි පනවන ලද අතර, ඉන් අනතුරුව ඔහු තවමත් ප්‍රසිද්ධියේ අදහස් පළකර නැත.

පදවියට තේරීපත්ව සිටින ජෝ බයිඩන් ලබන විසිවෙනිදා දිව්රුම්දීමත් සමඟ ජනාධිපති ට්‍රම්ප් ධවල මන්දිරයෙන් පිටව යායුතුව ඇත.

ජෝ බයිඩන් පදවියෙහි දිව්රුම්දෙන උත්සවයට තමා සහභාගි නොවන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දැනටමත් ප්‍රකාශකර තිබේ.

ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ජෝ බයිඩන්
ජෝ බයිඩන් පරාජය කිරීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ගන්නාලද සියළු ප්‍රයත්නයන් පරාජයෙන් කෙළවර විය

ඇමෙරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසිපස්වෙනි සංශෝධනය අනුව, කොංග්‍රස් මණ්ඩලයේ විශේෂ බහුතරයක ඉල්ලීම අනුව උපජනාධිපති පදවියේ කටයුතු කරන තැනැත්තා විසින් එම වගන්තිය ප්‍රකාශයට පත්කරනු ලැබ එවකට බලයේ සිටින ජනාධිපතිවරයා පදවියෙන් ඉවත්කළ හැකි අතර, ඒ සමඟ එම උපජනධිපතිවරයා වැඩබලන ජනාධිපතිවරයා ලෙස අනුප්‍රාප්තික වෙයි.

එවැනි පියවරක් ගන්නා ලෙස නියෝජිත මන්ත්‍රී මණ්ඩලය යෝජනාවක් මගින් සඳුදා (ජනවාරි 11) උපජනාධිපති මයික් පෙන්ස්ගෙන් ඉල්ලා සිටින බව දැනුම්දෙමින් කතානායිකා නැන්සි පෙලෝසි මන්ත්‍රීවරුන් වෙත ලිපි යොමුකර ඇත.

එම යෝජනාව සඳහා අඟහරුවාදා (ජනවාරි 12) මන්ත්‍රීවරුන්ගේ ඡන්ද විමසිය හැකිය. ඉන් අනතුරුව ව්‍යවස්ථාදායකය තුළ දෝෂාභියෝගයක් ඉදිරිපත්වීමට පෙර අවශ්‍ය ඊලඟ ක්‍රියාමාර්ගය ගැනීම සඳහා උපජනාධිපති මයික් පෙන්ස්ට සහ කැබිනට් මණ්ඩලයට පැය 24ක කාලයක් පවතී.

“අපි ඉක්මනින් අවශ්‍ය පියවර ගන්නවා. මොකද? මේ ජනාධිපතිවරයා මන්ත්‍රී මණ්ඩල දෙකටම ඉක්මන් තර්ජනයක්,” පසුගිය ඉරිදා යවන ලද ලිපියෙහි කතානායිකා නැන්සි පෙලෝසි සඳහන් කරන්නීය.

“මෙම ජනාධිපතිවරයා විසින් අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට එල්ලකරන ප්‍රහාරයේ බිහිසුණුභාවය තීව්‍රවෙමින් පවතිනවා.”

ජනවාරි විස්වෙනිදා පැවැත්වෙන ජෝ බයිඩන් දිව්රුම්දීමේ අවස්ථාවට සහභාගි වීමට තමා සූදානමින් සිටින බව පවසමින් උපජනාධිපති මයික් පෙන්ස් ජනාධිපති ට්‍රම්ප්ගේ ස්ථාවරයට වඩා වෙනත් ක්‍රියාමාර්ගයක සිටින නමුත් ඔහු පෙර සඳහන් කරන ලද 25 වෙනි සංශෝධනය කැඳවන ආකාරයක් දකින්නට නැත.

මේ අතර පෙන්සිල්වේනියාවේ රිපබ්ලිකන් පාක්ෂික සෙනේට් සභික පැට් ටූමේ (Pat Toomey) ප්‍රකාශයක් කරමින් “ජනාධිපති ට්‍රම්ප් හැකිතාක් ඉක්මනින් පදවියෙන් ඉවත්ව යායුතුව ඇතැයි,” කියා සිටියේය. ඇලස්කා ප්‍රාන්තයේ සෙනේට් සභික ලීසා මර්කොව්ස්කි (Lisa Murkowski) විසින් ද එවැනිම ඉල්ලීමක් කරනු ලැබ ඇත.

උපජනාධිපති මයික් පෙන්ස් ජෝ බයිඩන්ගේ ජයග්‍රහණය ප්‍රකාශයට පත්කළ අවස්ථාව; පසෙකින් නැන්සි පෙලෝසි
උපජනාධිපති මයික් පෙන්ස් ජෝ බයිඩන්ගේ ජයග්‍රහණය ප්‍රකාශයට පත්කළ අවස්ථාව; පසෙකින් නැන්සි පෙලෝසි

පෙන්ස් පියවරක් නොගත්තොත් කුමක් වේවිද?

ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ඉතා ඉක්මණින් ඉදිරිපත් කරන බවට කොංග්‍රස් මණ්ඩලයේ ඩිමොක්‍රටික් පාක්ෂික නියෝජිතයෝ කියා සිටිති.

දැනට ඉදිරිපත්ව ඇති කරුණු පදනම් කර ගනිමින් ට්‍රම්ප් දෝෂාභියෝගයකින් ඉවත් කිරීමට නම්, ඒ සඳහා කොංග්‍රස් මණ්ඩලය තුළ චෝදනා ගෙන ආ යුතුව ඇත. “කැරලිකාරී තත්වයක් සඳහා මහජනයා කුපිතකරනු ලැබීම” සම්බන්ධයෙන් ඩිමොක්‍රටික්වාදීන්ට චෝදනා ඉදිරිපත් කළ හැකි බව නැන්සි පෙලෝසි ප්‍රකාශ කළාය.

ජනාධිපති ට්‍රම්ප්ට එරෙහි දෝෂාභියෝගයක් පිළිබඳ ඡන්ද විමසීම මේ සතියේ මැද වන විට සපැවැත්වීමට හැකිවනු ඇතැයි ජ්‍යෙෂ්ඨ නීති සම්පාදකයෝ පවසති.

එය එසේ වුනොත් ඇමෙරිකානු ඉතිහාසයේ දෙවරක් දෙවතාවක් දෝෂාභියෝගය චෝදනාවන්ට මුහුණදුන් පළමු ජනාධිපතිවරයා හැටියට ඩොනල්ඩ් ට්‍රම්ප් ඉතිහාසයට එක්වෙනු ඇත.

නියෝජිත මන්ත්‍රී මණ්ඩලය තුළ සම්මත වූ දෝෂාභියෝගය එහි ඊළඟ පියවර සඳහා සෙනේට් සභාවට යොමුකළ යුතු අතර එය එහි තුනෙන් දෙකක විශේෂ බහුතර ඡන්දයකින් සම්මත විය යුතුව ඇත. ජනාධිපතිවරයා වරදකරු යයි තීන්දු කෙරුනොත්, ජනාධිපති ට්‍රම්ප් යළිත් වරක් එම පදවියට අවතීර්ණවීම තහනම් කෙරෙන යෝජනාවක් සඳහා ඡන්දයක් පැවැත්වීමට සෙනේට් සභාවට බලය ඇත.

කෙසේවුවද, නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සභානායක සහ ජ්‍යෙෂ්ඨ ඩිමොක්‍රටික් පාක්ෂිකයකු වන ජේම්ස් ක්ලිබන් (James Clyburn) CNN මාධ්‍ය ජාලයට අදහස් දක්වමින්, නව ජනාධිපති බයිඩන් ගේ පළමු දින 100 ඇතුළත සිය පක්ෂය සෙනේට් සභාවට කිසිදු ලියවිල්ලක් ඉදිරිපත් නොකරන බව කියා සිටියේය.

“තේරී පත්වූ ජනාධිපතිවරයාට ඔහුගේ න්‍යාය පත්‍රය ක්‍රියාවට නැංවීමට ඉඩදෙමු,” ඔහු සඳහන් කළේය.

ජනාධිපතිවරයාට එරෙහි දෝෂාභියෝගයට පක්ෂව ඡන්දය දෙන බවක් කිසිදු රිපබ්ලිකන් පාක්ෂික සෙනෙට් සභිකයකු විසින් ප්‍රකාශ කරනු ලැබ නැත.

ජනාධිපති ට්‍රම්ප්ට එරෙහි දෝශාභියෝගයක් ගෙන ඒම “දේශපාලන උවමනා අනුව” සිදු කෙරෙන්නකැයි පවසමින් ධවල මන්දිරය සහ ජ්‍යෙෂ්ඨ රිපබ්ලිකන්වාදීන් විසින් එය බැහැරකරනු ලැබ ඇත.

“එවැන්නකින් සිදුවන්නේ ඔ”අපගේ ශ්‍රේෂ්ඨ දේශය තවත් විභේදනය වීමක්” යයි ඔවුහු පවසති.

මේ අතර ජනාධිපති පදවියට පත්ව සිටින ජෝ බයිඩන් පවසන්නේ දෝෂාභියෝගයක් ගෙන එනු ලැබීම “කොංග්‍රස් මණ්ඩලයේ කාර්යයක් වන” බවය.

“ජනාධිපති ට්‍රම්ප් පදවිය දැරීමට දිගුකලක පටන්ම නුසුදුසු වන” බව ඔහුගේ ස්ථාවරය නමුත් බයිඩන් ප්‍රකාශ කරන්නේ එවැනි අදහසකි.

එමගින් ජෝ බයිඩන්ට සිය කැබිනට් මණ්ඩලය තහවුරුකර ගැනීමට සහ කොරෝනාවෛරසය මැඩලීම ඇතුළු ප්‍රධාන ක්‍රියාමාර්ග ක්ෂණිකව ආරම්භකරනු ලැබීමට අවස්ථාව උදාවෙයි. දෝෂාභියෝගයට අදාළ ලිපිලේඛන දැනටමත් සෙනෙට් සභාවට ලැබී ඇත්නම් එහි ප්‍රමාදයක් සිදුවෙයි.

කලහකාරීන් කොංග්‍රස් ගොඩනැගිල්ලට ඇතුළු වෙමින්
කලහකාරීන් කොංග්‍රස් ගොඩනැගිල්ලට ඇතුළු වෙමින්

කැරලි ගැසීම් පිළිබඳ පරීක්ෂණ කවර දිශාවකටද ?

කොංග්‍රස් මණ්ඩලය පිහිටි ‘කැපිටල්’ මන්දිරය, වර්ජිනියා පොලිස් දෙපාර්තමේන්තුව සහ වොෂිංටනයට කඩා වැදුන කැරලිකරුවන්ට නඩු පැවරීමට පරීක්ෂකයන් උත්සහ දරමින් සිටින අතරවාරයේ එම කලබල ආදියට හවුල් වූ බවට චෝදනා එල්ලවෙන එම අවස්ථාවේ රාජකාරියෙන් බැහැරව සිටි නිලධාරීන් නිවාඩුගන්වා ඇත.

රොයිටර් පුවත්සේවය වාර්තාකරන පරිදි, ‘කැපිටල්’ මන්දිරයට ප්‍රහාරකයන් කඩා වැදුන අවස්ථාවේ සිය ඇතැම් සාමාජිකයන් ද ඔවුන් අතර සිටි බව ෆ්ලොරිඩා සහ නිව්යෝර්ක් සිටි ගිනිනිවන දෙපාර්තමේන්තු ප්‍රකාශකර ඇත.

වෙනත් ප්‍රවණතා

*ජනාධිපති ට්‍රම්ප් අඟහරුවාදා (ජනවාරි 11) ටෙක්සාස් හි සංචාරයක නිරතවෙන බව ධවල මන්දිරය පැවසීය. එම සංචාරයේ අරමුණ ඔහුගේ පරිපාලනය යටතේ මෙක්සිකෝ දේශසීමාවේ ඉදිකිරීම ආරම්භ වූ තාප්පය නිරීක්‍ෂණය කිරීමය.

*ඇමෙරිකානු වෘත්තීය ගොල්ෆ් සම්මේලනය ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ සබඳතා අවසන්කර ඇත. ලබන වසරේ පැවැත්වීමට නියමිත PGA ශූරතා රඟාවලිය ට්‍රම්ප් ගේ ‘නිව්ජර්සි’ ගොල්ෆ් ක්‍රීඩාංගනයෙන් ඉවත්කිරීමට එම සම්මේලනය ඡන්දය දී ඇත.

*ජනාධිපති ට්‍රම්ප් “ඇමෙරිකානු ඉතිහාසයේ බලයට පත් නරකම ජනාධිපතිවරයා යයි කැලිෆෝනියාවේ හිටපු ආණ්ඩුකාර ආර්නෝල්ඩ් ෂෙවර්ෂෙනෙගර් (Arnold Schwarzenegger) විසින් සමාජ මාධ්‍ය ජාලයේ පළකරනු ලැබ ඇති වීඩියෝ පටයක් මගින් නම්කරනු ලැබ ඇත. කැපිටල් මන්දිරයට එල්ලකෙරුන ප්‍රහාරය හිටපු ආණ්ඩුකරු විසින් සමානකරනු ලැබ තිබෙන්නේ 1938 දී නාසිවාදීන් විසින් යුදෙව් ජනයා සතු දේපොළවලට පරහර එල්ලකරමින් කරන ලද විනාශයටය.

කලහකාරීන් කොන්ග්‍රස් ගොඩනැගිල්ල ඉදිරිපස

Text by bbc

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *