වී වගාවේ තිරසර විප්ලවයක් කළ හැක්කේ කෙසේද ?

දේශගුණය වෙනස් වුණත් පරාක්‍රමබාහු රජ කාලේ පැළම හෝ බීජම සිටුවන්නට හෝ වපුරන්නට සිදුවී තිබෙන්නේ පර්යේෂණ හා සංවර්ධන කටයුතු නිසි ලෙස නොවීම නිසාය. ඒ කටයුතු නිසි ලෙස වීමට නම් රාජ්‍ය අය වැයෙන් ඒ සඳහා මහා පරිමාණයෙන් මුදල් ද වෙන් කළ යුතුය. විවිධ සහනාධාර දීමට සල්ලි පොම්ප කරනවාට වඩා පර්යේෂණ හා සංවර්ධන කටයුතුවලට මුදල් දීම රටකට අනාගත ආයෝජනයකි.

ආහාර හා පෝෂණ සුරක්ෂිතතාව මෙරට නිතර සාකච්ඡාවට ලක්වන මාතෘකාවකි. බොහෝ ආහාර වර්ග රටට අවශ්‍ය තරම් රට ඇතුළෙහි නිෂ්පාදනය නොවෙයි. ඒ නිසා සහ වෙනත් හේතු මත පෝෂණය ද ප්‍රශ්නයකි. ඇතැමුන් කුපෝෂණයෙන් පෙළෙන අතර, තවත් පිරිසකට අධිපෝෂණ ප්‍රශ්නයකි. ඒ පිළිබඳව ශාඛ කායික විද්‍යාව සහ දේශගුණ විපර්යාස පිළිබඳ මහාචාර්යවරයකු වන ජාතික මූලික අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂ, මහාචාර්ය සමන් සෙනෙවීර මහතා විසින් සිදුකළ අදහස් දැක්වීමක් පහත පළ වේ.

ආහාර හා පෝෂණ සුරක්ෂිතතාව ලංකාවට පමණක් නොව, ලෝකයටම විශාල ප්‍රශ්නයකි. එහෙත් ලංකාවට එහි බලපෑම ඉතා විශාලය. ලංකාවේ ආහාරවලින් සියයට 70ක් තරම් විශාල ප්‍රමාණයක් හිමිකර ගෙන තිබෙන්නේ බත්ය. අල වර්ග හා වෙනත් ධාන්‍ය වර්ගවලට හිමිවී තිබෙන්නේ දෙවැනි තැනය. රටේ ශ්‍රම බලකායෙන් සියයට 60 සිට 70ක් තරම් පිරිසක් ජීවිකාව සපයා ගන්නේ ද මේ ගොවිතැන්වලිනි.

දැනට ලංකාවේ කුඹුරු හෙක්ටයාරයකින් ලැබෙන සාමාන්‍ය (Avarage) වී අස්වැන්න මෙට්‍රික් ටොන් හතරයි දශම දෙකක් (4.2) තරම් පහළය. ජපානයේ එය හෙක්ටයාරයකට මෙට්‍රික් ටොන් අටක් පමණ වන අතර, චීනයේ එය අටත් දහයත් අතර පවතී. ඕස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් සහ ක්වීන්ස්ලන්ඩ් වැනි ප්‍රාන්තවල මහා පරිමාණයෙන් වී ගොවිතැන් කෙරෙන අතර, එහි අස්වැන්න හෙක්ටයාරයකට මෙට්‍රික් ටොන් දහයත් දොළහත් අතර පවතී. වී වගා කරන රටවල් අතර අස්වැන්නේ පරතරය ඒ තරම් විශාලය.

වී වගා කරන ආසියාවේ අනෙක් රටවල් සිටින තැන අනුව ලංකාව දැනට සිටින තැනම එනම් හෙක්ටයාරයකට මෙට්‍රික් ටොන් හතරයි දශම දෙකක් (4.2) ලබන මට්ටමේ තවදුරටත් සිටිය නොහැකිය. දිගටම අප මෙතන සිටියොත් වෙන්නේ දිගින් දිගටම රටින් හාල් ආනයනය කිරීමටය. ලොකුම ප්‍රශ්නයට මුහුණ දෙන්නේ පාරිභෝගිකයා නොව ගොවියාය. රජය රටින් හෝ හාල් ගෙනැවිත් පාරිභෝගිකයන්ට දෙයි.

එහෙත් මා කියන්නේ ලංකාවේ ගොවීන් දැනට ලබන අස්වැන්නෙන් ඔවුන්ගේ වියදම්වත් පියවා ගැනීමට නොහැකි වීමේ මහා ඛේදවාචකයක වැටී සිටින බවය. මුළු ලංකාව විශාල ණය උගුලක හිරවී සිටින බව සතර අතින් ඇසෙයි. ගොවියා සිටින්නේ ද උගුලකට නොව හබකට හසුවූ සතකු සේ සිය උර මත පමණක් නොව ඔළුවෙන් විශාල ණය බරක් දරාගෙනය. අනිත් බැංකුවලට ණය ය. තවත් පැත්තකින් ගිනි පොලීකාරයාට හෝ කෘෂිරසායන මුදලාලිට ණය වී සිටියි. ඒ අතර ගොවිතැනට මුදල් සොයා ගැනීමට බැංකුවකට හෝ උගස් මධ්‍යස්ථානයකට උගස් කළ බිරිඳගේ හා දැරියන්ගේ කනකර අබරණ ද සින්න වී හමාරය. රට ණය උගුලක සිරවී සිටින අතර, රටේ ගොවියා හබකට හසුවී සිටින බව මා කියන්නේ එබැවිනි.

එහෙයින් ගොවීන්ගේ ආදායම් තත්ත්වය, මට්ටම වැඩි කළ යුතුමය.

මගේ තක්සේරුව හෙක්ටයාරයකින් ලැබෙන වී අස්වැන්න මෙට්‍රික් ටොන් හතක් අටක් දක්වා ඉහළ නැංවිය යුතුය. එසේ නොකර ගොවියා හබකෙන් මුදාගත නොහැකිය. අස්වැන්න එලෙස වැඩි කළහොත් ගොවියෝ ගොවිතැනෙහිම සිටිති. දෙවැනි කාරණය ගොවියා ගොඩනගන්නේ නැතිව රට ආර්ථික වශයෙන් දියුණු කළ නොහැකිය. කාර්මික හා තාක්ෂණික දියුණුව ගැන දැන් නිතර කතා වෙයි. කාර්, වෑන්, බස්, ලොරි ලංකාවේම නිෂ්පාදනය කළ යුතු බවටත්, එසේ කළ හැකි බවටත් විවිධ පැතිවලින් කියැවෙයි. කියන්නා සේම එසේ කළ යුතුය. ඒ කාර්මික පැත්තය. තාක්ෂණික පැත්තෙන් ද නොයෙක් විකුම් කළ යුතු බවත් කළ හැකි බවත් තවත් පිරිසක් කියති. ඔවුන් කියන දේවල් ද කළ යුතුය. ඒ රටේ අභිවෘද්ධිය හා දියුණුව වෙනුවෙනි. මා කියන්නේ ඒවා කරන අතරම දැනට ප්‍රාථමික කර්මාන්තයක් වන ගොවිතැන ද කාර්මික හා තාක්ෂණික වශයෙන් ඉහළට ගත යුතු බවය.

ගොවියාගේ ආදායම සියයට විස්සකින් තිහකින් (20% සිට 30%) ඉහළ නැංවිය හැකි නම් ගැමි ආර්ථිකයේ විප්ලවයක් කළ හැකිය. ලංකාවේ සමස්ත ජනගහනය මිලියන 22කි. ඉන් සියයට 70ක්ම එනම් මිලියන 15කට ආසන්න පිරිසක් දිවි ගෙවන්නේ ගම්මානවලය. ඔවුන්ගේ ප්‍රධාන ජීවනෝපාය ගොවිතැනය. විශේෂයෙන් වී ගොවිතැනය. ඉඳින් ගොවිතැන් කරන සියයට 70ක් දෙනා සිටින වළෙන් ගොඩගන්නේ නැතිව සමස්ත රට ගොඩගන්නේ කෙසේද යන්න මට නම් උභතෝකෝටික ප්‍රශ්නයකි.

ආර්ථික සංවර්ධනය සේම සමාජ සංවර්ධනය ද සිදුවන්නේ ඉහළ තලය පමණක් ඉහළට යාමෙන් නොවේ. සමාජයේ ඉහළ තලය ඉහළ යනවාට වැඩි වේගයකින් පහළ තලය ඉහළ යා යුතුමය. ඉහළ තලය පමණක් ඉහළ යාමෙන් සමාජ සංවර්ධනයක් වෙන්නේ නැත. ඉහළ තලය පමණක් ඉහළට යාමෙන් සමාජ ප්‍රශ්න වැඩි වෙයි. අද ලංකාව පත්වී සිටින්නේ එතැනටය. එහෙයින් ඉහළ තලය ඉහළට යාමත්, පහළ තලය ඉහළට යාමත් අතර වෙනසක් පවතින බව කොයි කාටත් අවබෝධ විය යුතුය.

ලංකාව අදටත් කෘෂිකාර්මික රටකි. මෙහි පවතින්නේ හාල් සංස්කෘතියකි. එය චීනය, ජපානය, දකුණු කොරියාව වැනි දියුණු ආසියාතික රටවල ද පවතී. අපේ ප්‍රතිපත්ති සම්පාදකයෝ ඒ බව අමතක නොකළ යුත්තෝය. එහෙයින් සමාජයේ යට සිටින ගොවීන් පිරිස උඩට ගත යුතුමය. ඔවුන් උඩට ගැනීමෙන් සමාජ ප්‍රශ්න අවම වී සමාජ සංවර්ධනයත් සමඟ ආර්ථික සංවර්ධනය ද ඉහළ යයි. මා සරලව කියන්නේ කෘෂිකර්මාන්තය ඔස්සේ සමාජයේ පහළ තලයේ ආදායම් වැඩි කළ යුතු බවය. එය කළ හැකි බවය. එමගින් රටේ විශාල පරිවර්තනයක් වන බවය.

ඒ පරිවර්තනය කිරීමට හෙක්ටයාරයකින් ලැබෙන වී අස්වැන්න මෙට්‍රික් ටොන් හතක් අටක් දක්වා ඉහළ නැංවිය යුතුය. එය කළ හැක්කේ තාක්ෂණයේ පිහිටෙනි. ඒ සඳහා අවශ්‍ය වන්නේ ජෛව විද්‍යාත්මක තාක්ෂණයයි. අනෙක පරිසරය පිළිබඳ මනා අවබෝධයයි. පරිසරය හා පරිසරයේ තිබෙන තත්ත්වය අවබෝධ කරගෙන රටට ගැළපෙන වී වර්ග හඳුන්වා දිය යුතුය. එමගින් අස්වැන්න ඉහළ නැංවිය හැකිය.

හරිත විප්ලවය කාලයේ දී ලොකු වෙනසක් වූ බව සත්‍යයකි. එතෙක් හෙක්ටයාරයකට ටොන් එකක් පමණ වූ අස්වැන්න හරිත විප්ලවයෙන් ටොන් දෙකහමාරක් තරම් ඉහළ නැංවිණි. එහෙත් ඉන්පසුව විශේෂයෙන් 1960න් පමණ පසුව ලංකාවේ ලොකු වෙනසක් සිදු වූයේ නැත. එයට හේතුව ලොව අනෙක් රටවල් තාක්ෂණිකව දියුණු වෙද්දී ලංකාව ඒ දියුණුව අවශෝෂණය කර නොගැනීමය.

1980දී පමණ ජාන විද්‍යාව ලෝකයට හඳුන්වා දුන්නේය. දෙමුහුම් කිරීමට තිබුණු දැනුම මත හොඳ බීජ ප්‍රභේද ද නිෂ්පාදනය කෙරිණි. 1990දී පමණ ඒ දෙමුහුම් බීජවලට අලුත් ජාන එන්නත් කෙරිණි. 2000දී පමණ ජාන පද්ධතියේ මහා දියුණුවක් ඇති විය. 2010දී පමණ එහි තවත් මහා දියුණුවක් ඇති විය. පරම්පරා හතරක දී ලැබුණු ඒ දැනුම මත ලෝකයේ අලුත් ප්‍රබේද බිහිවිය. එහෙත් ලංකාවේ එය සිදු නොවීය.

1970න් පසුව විද්‍යා හා තාක්ෂණික පර්යේෂණ සඳහා මේ රටේ ලොකු ආයෝජනයක් කර නැත. ජපානය, චීනය, ඕස්ට්‍රේලියාව වැනි රටවල් වී ගොවිතැනින් පිමි පනිද්දී ලංකාව තවමත් මහ පොළොවේ බඩගාන්නේ ඒ නිසාය.

හාල් සංස්කෘතියට සම්බන්ධ රටේ ජනගහනයෙන් සියයට 70කගේ ආදායම ඉහළ යන නව බීජ හා ශාඛ ප්‍රබේද හඳුන්වා දුන්නොත් රටේ ආර්ථිකයට පිමි පිනින්නට පුළුවන.

පහළ මට්ටමින් අඟල් දෙකක් ඉස්සුවොත් ඉහළින් ඉස්සෙන්නේ අඟල් හයක් තරම් ප්‍රමාණයකි. එය මේ රටේ කවදාවත් වී නොමැත. කෘෂිකර්මාන්තයේ දියුණුවට දැම්මේ පැලැස්තර විසඳුම්ය. අස්වැන්න නැතිව ගොවියකු සියදිවි නසා ගත් විට රුපියල් 50,000ක වන්දියක් දෙයි. ඡන්ද පොරොන්දු මත රසායනික පොහොර ද නොමිලේ දෙයි. මේවා සියල්ල සිල්ලර විසඳුම්ය. ඇත්ත ප්‍රශ්නය හඳුනාගෙන දුන් සැබෑ විසඳුම් නොවේ. ගැමි ගොවි ව්‍යවහාරයෙන්ම කියනවා නම් මේවා ‘‘වැසිකිළි යාමට අවශ්‍ය වූ විට කැලය මතක් වෙනවා’’ වැනි බාල බොළඳ සිල්ලර විසඳුම්ය. රටක් ලෙස අපට ගොඩයාමට නොහැකි වූයේ මේ සිල්ලර වැඩ නිසාය. රට ගොඩගැනීමට නම් සිතිය යුත්තේ ඉහළ ගැන නොව පහළ ගැනය.

රටේ ජනගහනයෙන් සියයට 70ක් ග්‍රාමීයව දිවි ගෙවන ගොවියෝය. ශ්‍රම බලකායෙන් සියයට 70ක් එදිනෙදා ආදායම් උපයන්නෝය. ඉහළට ඔසවා තැබිය යුත්තෝ ඒ අසරණයෝය. ඉහළ තලය සංවර්ධනය කළාට ඒ ඉහළ තලයේ දියුණුව, සංවර්ධනය පහළට කාන්දු වන්නේ නැත. එහෙත් යට තට්ටුව, පහළ තලය සංවර්ධනය කළොත් එය උඩට, ඉහළට කාන්දු වෙයි. රටේ ප්‍රතිපත්ති සම්පාදකයෝ ඒවා තේරුම් ගත යුත්තෝය.

මා මේ කියන කිසිවක් කළ නොහැකි දේවල් නොවේ. ඕස්ට්‍රේලියාවේ වී ගොවිතැන් කරනවාය, එහි හෙක්ටයාරයකට අස්වැන්න මෙට්‍රික් ටොන් 12ක් තරම් ඉහළය, කීවාම ඇතැමුන් මට සිනා විය හැකිය. ඒ ඔවුන් නොදන්නා නිසාය. මම අවුරුදු 23ක් ඕස්ට්‍රේලියාවේ ජීවත් වූ පුද්ගලයෙක්මි. එසේම එරට විශ්වවිද්‍යාලවල ශාඛ කායික විද්‍යාව හා දේශගුණ විපර්යාස පිළිබඳ මහාචාර්යවරයකු ලෙස ද කටයුතු කර තිබෙන පුද්ගලයෙකි. ඒ රටවල දියුණුව දකින විට මගේ රට ගැන ඇති වී තිබෙන්නේ කනගාටුවකි. කලකිරීමකි. තවත් විටෙක පිළිකුලකි.

පරිසරය ගැන ද අපේ රටේ තිබෙන්නේ යල් පැන්න දැනුමකි. යල් කන්නය ලෙස අදටත් හඳුන්වන්නේ මීට අවුරුදු 900 කට පමණ ඉහත පැවැති මහා පරාක්‍රමබාහු යුගයේ පැවැති යල් කන්නයටය. අවුරුදු 900ක් ඇතුළත දී දේශගුණ විපර්යාස රැසක් සිදුවී තිබේ. එහෙත් ඒ විපර්යාසවලට ගැළපෙන ලෙස අපේ ශාඛ වෙනස් කර නැත.

මීට අවුරුදු සියයකට පෙර අගෝස්තු මාසයේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 15ක් වූයේ නම් අද එය 20කි. එදා තිබූ බීජය හා ශාඛය අද පවතින උෂ්ණත්වයට ගැළපෙන ලෙස සකස් කළ යුතුයි. ඒවා කළ යුත්තෝ විද්‍යාඥයෝ මිස දේශපාලකයෝ නොවෙති.

දේශගුණය වෙනස් වුණත් පරාක්‍රමබාහු රජ කාලේ පැළම හෝ බීජම සිටුවන්නට හෝ වපුරන්නට සිදුවී තිබෙන්නේ පර්යේෂණ හා සංවර්ධන කටයුතු නිසි ලෙස නොවීම නිසාය. ඒ කටයුතු නිසි ලෙස වීමට නම් රාජ්‍ය අය වැයෙන් ඒ සඳහා මහා පරිමාණයෙන් මුදල් ද වෙන් කළ යුතුය. විවිධ සහනාධාර දීමට සල්ලි පොම්ප කරනවාට වඩා පර්යේෂණ හා සංවර්ධන කටයුතුවලට මුදල් දීම රටකට අනාගත ආයෝජනයකි.

ලංකාවේ පමණක් නොව ආසියාවේ හැම රටකම හාල් සංස්කෘතිය තිබේ. රටේ අවශ්‍යතාවට වඩා සල්ලි තිබෙන චීනය හා ජපානයේ ද හාල් සංස්කෘතිය පවතී. අපට පිටුපසින් සිටි එහෙත් දැන් අපට ඉහළින් සිටින දකුණු කොරියාවේ ද එය එලෙසම පවතී. බුරුමය වියට්නාමය වැනි රටවල ද හාල් සංස්කෘතිය පවතී. අසල්වැසි ඉන්දියාවේ හා පාකිස්තානයේ ද එය පවතී. එහෙයින් මේ හාල් සංස්කෘතියෙන් අපට ඉවත් විය නොහැකිය. ඕස්ට්‍රේලියාව, චීනය හා ජපානය හෙක්ටයාරයකට ලැබෙන වී අස්වැන්න මහා පරිමාණයෙන් ඉහළ දමා තිබෙන්නේ මේ හාල් සංස්කෘතියෙන් ඔවුනට ද වියෝ විය නොහැකි බැවිනි.

අපේ ප්‍රතිපත්ති සම්පාදකයෝ එය තේරුම් ගත යුත්තෝය. එහෙයින් ඕස්ට්‍රේලියාව, චීනය හා ජපානය වැනි රටවල තිබෙන කෘෂිකර්මාන්තයට අදාළ දියුණු තාක්ෂණය අප රටට ද හඳුන්වා දිය යුතුය. ඇමෙරිකාවේ ද දියුණු කෘෂිකර්මාන්තයක් පවතී. දියුණු රටවල් සල්ලි යොදවන්නේ සහනාධාර දීමට නොව පර් යේෂණ හා සංවර්ධන කටයුතුවලටය. 1980 දී පමණ ලෝකයේ අලුත් ශාඛ හා බීජ ප්‍රබේදයක් හඳුන්වාදීමට අවුරුදු 12ක් පමණ ගතවිය. එහෙත් ලෝකයේ වෙනත් රටවල් දැන් අවුරුදු හතරක් පහක් අතර කාලයක් ඇතුළත දී අලුත් බීජ හා ශාඛ ප්‍රබේද හඳුන්වා දෙයි. එහෙත් ලංකාවේ අදටත් ඒ සඳහා අවුරුදු 12ක් ගතවෙයි. ලොව අනෙක් රටවල් සිටින තැන හා ලංකාව තිබෙන තැන ඒ උදාහරණයෙන්ම අවබෝධ කරගත හැකිය.

කාලගුණ විපර්යාසයත් සමග උෂ්ණත්වයත් වැඩි වෙයි. කාබන් ඩයොක්සයිඩ් වායු වැඩි වෙයි. උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක එකකින් වැඩි වුණොත් අස්වැන්න ටොන් එකකින් පහළ වැටෙයි. ලංකාව වැනි උෂ්ණත්වය වැඩි රටවලට එය බෙහෙවින් අදාළය. දැනට ලංකාවේ හෙක්ටයාරයකින් ලැබෙන වී අස්වැන්න මෙට්‍රික් ටොන් හතරයි දශම දෙකකි. (4.2) ලංකාවේ දැනට පවතින උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 27කි. එය 28ක් වුවහොත් හෙක්ටයාරයකින් ලැබෙන වී අස්වැන්න කිලෝග්‍රෑම් 1000කින් පහත වැටෙයි. ලංකාවේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 35 හෝ 37ට ගියහොත් ලැබෙන අස්වැන්න බින්දුවය.

එහෙම කියන්නේ අස්වැන්නක් ලැබෙන්නේම නැත. කාලගුණ විපර්යාසවල ප්‍රතිඵල එතරම් භයානකය. එහෙත් මේවා ගැන අපේ රටේ මිනිසුන්ට අවබෝධයක් ඇත්තේම නැත. මේ ගැන සිතිය යුත්තේ පර්යේෂකයෝය., විද්‍යාඥයෝය. ඕස්ට්‍රේලියාවේ නම් මේවා ගැන  පර්යේෂණ කෙරෙන්නේ තවත් අවුරුදු 50ක් ඉදිරිය ගැන සිතාය. ඇත්තෙන්ම තවත් අවුරුදු 50කදී ඇතිවන තත්ත්වයට මුහුණදීමට ඔවුන් දැනටත් සූදානම්ය.

ලංකාවේ වී ගොවිතැන වැඩියෙන් කෙරෙන්නේ අනුරාධපුර හා පොළොන්නරු දිස්ත්‍රික්කවලය. ඒ දිස්ත්‍රික්කවල තුරු ලතාවල මල් හැදෙන කාලයේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 37කට පමණ ඉහළ ගියහොත් රටේම හාල් නිෂ්පාදනය මහා පරිමාණයෙන් කඩා වැටෙයි. එසේ වුවහොත් මුහුණ දීමට අප සූදානම් වී සිටිය යුතුය.

වී වලට පමණක් නොව අනෙක් භෝගවලට ද මේ ප්‍රශ්නය මෙලෙසම බලපායි. තේ, පොල්, අල, බතල හා වෙනත් ධාන්‍ය හා පලතුරුවලට ද අත්විය හැක්කේ ඒ සන්තෑසියමය. එහෙත්  මේ සමස්ත මහා පින්තූරය පෙනෙන දකින හා ඉන් ගොඩ ඒමට හැකි සැලසුම් තිබෙන නායකත්වයක් කෘෂිකර්මාන්තයට ලැබී තිබේදැයි මට ඇත්තේ ප්‍රශ්නයකි.

කාලීනභාවය සලකා ලංකාදීප පුවත්පතින් සිදුකළ උපුටා ගැනීමකි – ශීර්ෂපාඨය සංස්කරණය කර ඇත.

Recommended For You

About the Author: Editor

Leave a Reply

Your email address will not be published. Required fields are marked *