වන්නි හත්පත්තුවේ දුක් ගිනි නිවන අයියනායක දෙවියෝ

අයියනායක දෙවියන් ප්‍රධාන දෙවිවරුන් අතරට නොගැනෙන නමුත් ‘දැඩිමුණ්ඩ හෙවත් ‘දේවතා බණ්ඩාර’ ‘දෙවොල්’ ‘සූනියම්’ ‘අයියනායක’ ‘පුල්ලෛයාර්’ ‘කඩවර’ යන දෙවිවරුන් සිංහල ගැමියන් අතර අතිෂය ජනප්‍රිය හා ඔවුන්ගේ දැඩි විශ්වාසයට  පාත්‍ර වූ දෙවිවරුන් වශයෙන් සැලකේ.

මෙම දෙවිවරුන් ප්‍රාදේශීය දේවිවරුන් වශයෙන් සැලකේ. ඒ ඔවුන්ගේ බලය පවතින්නේ එක් ප්‍රදේශයකට පමණක් හෙයිනි. අයියනායක දෙවියන්ගේ අඩවිය වශයෙන් සැලකෙන්නේ උතුරු මැද පළාත සහ වයඹ පළාතයි.

ප්‍රාදේශීය දෙවිවරුන් අතර ප්‍රධාන තැනක් අයියනායක දෙවියන්ට හිමිවේ. නුවර කලාවිය සහ වයඹ පළාතේ ගැමියන් ලෙඩ රෝග, ගොවිතැන් බත්, ගමන් බිමන් ඇතුළු සියලු අවස්ථාවලදී අයියනායක දෙවියන් හට බාරහාර කරනු ලැබේ.

අයියනායක දෙවියන්ගේ සම්භවය සම්බන්ධ ඇතැම් ජනප්‍රවාද අනුව අයියනායක දෙවියන් ගම්පොළ යුගයේ බුවනෙකබාහු රජ සමයේ ආර්යයන් පිරිසක් සමග මෙරට පැමිණියෙකු බව සඳහන් වේ.

මේ සම්බන්ධයෙන් සත්කෝරළය ඇතුළු වන්නි හත්පත්තුවේ ජනතාව සඳහන් කරන්නේ අයියනායක දෙවියන් ද්‍රවිඩ සම්භවයක් ඇති දෙවියෙකු වශයෙනි. මුළු වැව්බැඳි රටටම හෙවත් වන්නි හත්පත්තුවටම එතුමාගේ අණසක පවතින බව ඔවුන් විශ්වාස කරන අතර එම අදහස ඔවුන්ගේ ජීවිත හා තදින් බැඳී පවතී. එම නිසා වන්නියට පැමිණෙන ඕනෑම අයෙකු අයියනායක දෙවියන්ගේ පිහිට පතා ගසක කොළ අත්තක් එල්ලා යාමට අමතක නොකරති.

ගම් රකින දෙවියෝ

අයියනායක දෙවියන් ගම් සුරකින දෙවියෙකු වශයෙන් සැලකේ. ඓතිහාසික තොරතුරු අනුව ඉන්දීය ජනතාව ‘අයියනාර්’ නම් දෙවියෙකු අදහන්නේ ය. එතුමා ග්‍රාමාරක්ෂකයෙකු වශයෙන් ඔවුනගේ වන්දනාවට ලක්වේ. එසේම වන්නියේ ජනතාවට ද අයියනායක දෙවියන් ග්‍රාමාරක්ෂක දෙවියෙකි.

වන්නි හත්පත්තුවේ ජන ජීවිතය හා තදින් බැඳී පවතින වැව, වනය, හේන, කුඹුර පමණක් නොව සතා සිවුපාවා පවා එතුමා විසින් ආරක්ෂා කරන්නේ යැයි එම ජනතාව විශ්වාස කරති.

අයියනාර් හෝ අයියනායක දෙවියන් උදෙසා කිසිම ආකාරයක බිලි පූජාවක් නොකිරීම විශේෂත්වයකි. ඒ වෙනුවට එතුමාට පුද දෙන්නේ, කැවුම්, කිරිබත්, ආදිය සහ සුවඳ දුම්ය. විශේෂයෙන්ම ගසක අමු කොළ අත්තක් එල්ලා එතුමාගේ ආශිර්වාදය ලබා ගැනීම සුලබ දෙයකි.

උපත ගැන ජන ප්‍රවාද

අයියනායක දෙවියන්ගේ උපත ගැන පවතින ජන ප්‍රවාද මගින් වන්නි ජනතාවගේ හෘද ස්පන්දනය හඳුනා ගත හැකිය. ඒ සම්බන්ධ එක් ජන ප්‍රවාදයක් මෙසේය. පෙර කාලයේ ජීවත් වූ එක් සෘෂිවරයෙක් ඊශ්වර දැහැන දැනගෙන උමා දේවිය අල්ලා ගැනීමට පසුපස දිව ගියේය.

සෘෂිවරයා තමා වෙත පැමිණෙනු දුටු උමා දේවිය දුවන්න පටන් ගත්තාය. මෙය දුටු විෂ්ණු දෙවියෝ ඔවුන් දුවන මග රන් ඔන්චිල්ලාවක් පදින රූමත් තරුණියක් මැවුවේය.

රන් ඔන්චිල්ලාව පදින රූමතිය දුටු සෘෂිවරයා උමා පසුපස දිවයාම නවතා රූමතිය දෙස බැලුවේය. ඒ ඇසිල්ලකින් ඔහුට ඇය ගැන ඇල්මක් ඇති වුණේය. ඒ සිත ඇතිවීමත් සමග ම තරුණියගේ වෙස් ගෙන සිටි විෂ්ණු දෙවියන්ගේ දකුණු අතින් දරුවෙක් පිළිසිඳ ගත්තේය.

දසමස් ඇවෑමෙන් කුමරෙක් උපන්නේය. අතින් උපන් හෙයින් මේ කුමරාට ‘කරේනාර්’ යැයි නමක් ඇති වුණේය.  කරේනාර් පසුව අයියනාර් වී සිංහලයට එන විට අයියනායක වූ බව මෙ ජනප්‍රවාදයේ සඳහන් වේ.

මේ හා සම්බන්ධ වෙනත් ජන ප්‍රවාදයක සඳහන් වන්නේ අයියනායක දෙවියන් විෂ්ණුගේ අත්ලෙන් උපන් බවකි.

බල ප්‍රදේශය

අයියනායක දෙවියන්ගේ බලයයට යටත් වූ බල ප්‍රදේශ ගැන සලකා බැලීමේදී පෙනී යන්නේ එය විශාල ප්‍රදේශයක් පුරා පවතින බවයි. අතීත වැව්බැඳි රට දැදුරු ඔයෙන් එහා සිට යාපා පටුන දක්වා විහිදෙන බව පිළිගැනේ. එම ප්‍රදේශය අයියනායක දෙවියන්ගේ බල පරාක්‍රමය පවතින ප්‍රදේශය වශයෙන් සැලකේ.

අයියනායක දෙවියන් යාපනයට ගොඩ බැස කලුතර දක්වා මුහුදු තීරය දිගේ ඇතු පිටින් ගමන් කළ බව තවත් ජන කතාවක සඳහන් වේ. ඒ අනුව පැහැදිලි වන්නේ මුහුදුකරය පුරාවට ද අයියනායක දෙවියන්ගේ බලපරාක්‍රමය පවතින බවයි.

මේ ගමන ගැන සඳහන් කරන වෙනත් ජන ප්‍රවාදයකට අනුව අයියනායක දෙවියන් යාපා පටුනේ සිට කලුතර දක්වා ගමන් කර ඇත්තේ තට්ටු හතකින් යුක්ත වූ පළිඟු ගලින් සෑදු බෝට්ටුවකින් බව සඳහන් වේ. එම ගමනේ අරමුණ වී ඇත්තේ ජනතාවගේ විශ්වාස දිනා ගැනීමයි.

දේවාල

අයියනායක දෙවියන් උදෙසා ඉදි කළ දේවාල විශාල ගණනක් වන්නි හත්පත්තුව හා වයඹ පළාත තුළ දැකිය හැකිය. වැව් බැදි රටේ ‘වන්නියා බණ්ඩාර දේවාලය, දඹුළු රජ මහා විහාරය, හිඟුරක්ගොඩ අසල දිවුලන්ගල්ලේ ( දිවාලන්ගල්ගේ ) ප්‍රසිද්ධ දේවාල වශයෙන් සැලකිය හැකිය. ඊට අමතරව, පුත්තලම  දිස්ත්‍රික්කයේ, කුමාර වන්නියට ( රාජ වන්නි පත්තුව ) අයත් ‘වේලාසිය’ අයියනායක දේවියන්ගේ ප්‍රධාන දේවාලයක් වශයෙන් සැලකේ.

මීට අමතරව, යෝගියාන, ජන්කුරා විල, ඇටුයාවල, කුඩාවිල, දික්විල, සඳ ලංකාව, යන ගම් ද අයියනායක දෙවියන් හා සම්බන්ධ වේ.

එප්පාවල, රුප්පාවල, අමුණුකොළ, අනුරාධපුරය, ත්‍රිකුණාමලය, යාපනය, වන්නි හත්පත්තුව, මුන්නේෂ්වරම, පුත්තලම, නිකවැරටිය, මින්නේරිය, කල්ලතුරේ, වීරකැටිය, යන ස්ථානවල  පිහිටි දේවාලවල ද අයියනායක දෙවියන් වැඩ වාසය කරන බව සඳහන් වේ.

මීට අමතරව දකුණේ ( කලුතර ) රයිගම අඟුරුවාතොට ගනේකන්ද පුරාණ විහාරයේද, තබ්බෝව වෑ කන්දේ ද, අයියනායක දෙවියන් උදෙසා දේවාලයක් ඇත. ‘සින්ගක්කුලිය’ අයියනායක දේවාලය පිහිටා ඇත්තේ උඩරට හා පහතරට වෙන් කරන සීමාවේය.

පුද පූජා

අයියනායක දෙවියන් උදෙසා බිලි පූජා නොකරන බව ඉහත ද සඳහන් විය. දේව පුරාණයට අනුව අයියනායක දෙවියන් සඳහා ඉතා සරල පුද  පූජා සිදුවන බවත් දැකිය හැකිය. ඒ අනුව අයියනායක දෙවියන් සිහිකර අමු කොළ අත්තක් ගසක එල්ලීම අතීතයේ සිට පවතින ජනප්‍රිය පූජා ක්‍රමයක් වශයෙන් සැලකිය හැකිය. විශේෂයෙන් කැලෑ මැදින් ගමන් යාමේදී මෙම ක්‍රමය අනිවාර්යයෙන්ම සිදු වන බව දැකිය හැකිය.

අද පවා වන්නිකරයේ ජනතාව හා වන්නිය හරහා ගමන් කරන ජනතාව අයියනායක දෙවියන් වෙනුවෙන් කොළ අතු එල්ලන ස්ථානයක හෙවත් ‘සංහිඳක’ අමු කොළ අත්තක් එල්ලා යාමට අමතක නො කරති.

අයියනායක දෙවියන් උදෙසා වූ ප්‍රධානම පූජා ක්‍රමය වන්නේ ‘කිරි ඉතිරවීමේ මංගල්‍යයි’ මුළු වන්නි හත්පත්තුවේම වෑ කන්දක් මත තිබෙන විශාලම ගස මුල මල් පැලක් සදා ගම්බාර දෙවියන් සහ අයියනායක දෙවියන් වෙනුවෙන් අලුත් සහල්වලින් කිරි ඉතිරිවීම බොහෝ කාලයක් පුරා සිදුවේ.

මෙම ප්‍රදේශවල ජීවත් වන ජනතාවගෙන් අති බහුතරයක් සිංහල බෞද්ධයන් වුව ද ඔවුන් බුදුන්ටත් වඩා භක්තියක් දක්වන්නේ අයියනායක දෙවියන්ටය.

සිංහලයේ ජනප්‍රිය කවියෙකු වන විමලරත්න කුමාරගමයන් විසින් අයියනායක දෙවියන් පිළිබඳ රචනා කළ කවි පන්තිය මගින් වන්නිකරයේ ජනතාව අයියනායක දෙවියන් කෙරෙහි දක්වන භක්තිය මනාව වටහා ගත හැකිය. ■

සටහන: රන්දික කුමාර දිසානායක

LEP

Recommended For You

About the Author: Admin