‘සංගා’ නුඹ අපට නමක් නොවෙයි රටක්

ඔහු අද්විතීය වමත් පිතිකරුවෙකි. අද්විතීය කඩුළු රකින්නෙකි. බුද්ධිමත් නායකයෙකි. ක‍්‍රීඩාව තුළදීත් එයින් පිටදීත් මහත්මා ගුණයෙන් හෙබි මහත්මයෙකි. ශ‍්‍රී ලාංකේය නාමය ක‍්‍රිකට් ලොව රන් අකුරින් සනිටුහන් කළ ඔහු නමින් ලියැවී ඇති වාර්තාවන් අප‍්‍රමාණ වේ. ඔහු නමින් කුමාර් සංගක්කාරය. නැතහොත් අපේ ආදරණීයසංගාය.

සමස්තයක් ලෙස ලබා ඇති ලකුණු සංඛ්‍යාව 28,016 කි. එක් දින තරඟවල දී ලැබූ ලකුණු 14,234 ත් ටෙස්ට් තරඟවලදී ලබා ගත් ලකුණු 12,350 ත් ඒ අතරට එක් වේ. එක් දින තරඟ ඉතිහාසයේ වැඩිම ලකුණු ලබා ගත් ක‍්‍රීඩකයන් අතරින් සංගා දෙවැනි වන්නේ ඉන්දීය පිතිකරු සචින් ටෙන්ඩුල්කාර්ට පමණි. එමෙන් ම එක් දින තරඟ ඉතිහාසයේ ලකුණු 14,000 පසු කළ ක‍්‍රීඩකයන් දෙදෙනා වන්නේ ද සචින් හා සංගක්කාර ය. 2015  ඕස්ටේ‍්‍රලියාවේ පැවති ක‍්‍රිකට් ලෝක කුසලාන තරඟාවලිය තම අවසන් එක් දින තරඟාවලිය බව ප‍්‍රකාශයට පත් කරන සංගා ලොව දක්‍ෂතම කඩුළු රකින්නා විය. ඔහු සැබෑම නායකයෙකු විය. හැකි සෑම විටෙකම නවකයන් හට උපදෙස් දුන් ඔහු බොහෝ අවස්ථාවන්හි ශී‍්‍ර ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ නැංගුරම බවට පත්විය. නොපසුබස්නා සුළු උත්සාහයක්, දැඩි කැපවීමක් නිසාවෙන් තම දක්ෂතාවත් වර්ධනය කරගත් ක‍්‍රිඩකයෙකු ලෙස සංගක්කාර ප‍්‍රකට වේ.

1977 වසරේ දී කුමාර සුරංගනා සහ සුවර්ණකුමාර සංගක්කාර යුවළට දාව උපත ලද කුමාර චෝක්ෂනාද සංගක්කාර සිව් දෙනෙකුගෙන් යුත් පවුලේ බඩපිස්යාය. මහනුවර ත‍්‍රිත්ව විද්‍යාලයෙන් සිප් සතර හදාරණ සමයේ ටෙනිස් ක‍්‍රීඩාවට ඉහළ දක්‍ෂතා දැක් වූ ඔහු ක‍්‍රිකට් ක‍්‍රීඩකයෙකු බවට පත් කිරීමේ ගෞරවය සිය පියාට පමණක් නොව උපනන්්ද ජයසුන්දර, බර්ටි විජේසිංහ, සුනිල් ප‍්‍රනාන්දු සහ හැරල්ඞ් රණසිංහ ඇතුළු පුහුණුකරුවන්ට ද හිමිවේ.

ක‍්‍රීඩාවට මෙන්ම අධ්‍යාපනයටත් එක සේ දක්‍ෂතා දක්වන සංගක්කාර ත‍්‍රිත්ව විදුහලේ කැපී පෙනෙන ශිෂ්‍යයෙකි. තම විද්‍යාලය වෙනුවෙන් 13 න් පහළ, 15 න් පහළ, 17 න් පහළ සහ 19 න් පහළ යන කණ්ඩායම් නියෝජනය කරන සංගක්කාර තම සුවිශේෂි පිතිකරණ හා කඩුළු රැුකීමේ දක්ෂතාවත් වෙනුවෙන් 1996 වසරේ දී ටි‍්‍රනිටිග් ලයන්නම් සම්මානයෙන් පිදුම් ලබයි. ත‍්‍රිත්ව විද්‍යාලය විසින් ක‍්‍රීඩකයෙකු වෙත පුදන අග‍්‍රගණ්‍යතම තිළිණය එයයි. පාසල් අධ්‍යාපනයෙන් පසුව ඔහු කොළඹ එන්.සී.සී. ක‍්‍රීඩා සමාජයට ඇතුළත් වේ. ක‍්‍රීඩා සමාජයීය තරඟාවලීන් හි කැපී පෙනෙන දක්ෂතා දක්වන සංගක්කාරට 1998 – 1999 වර්ෂයන්හි දී ශ‍්‍රී ලංකා ඒ කණ්ඩායම වෙනුවෙන් ක‍්‍රීඩා කර එක්දින තරඟයක දී නොදැවුණු ලකුණු 156 ලබා ගැනීම නිසා සංගක්කාරට ජාතික කණ්ඩායමට එක් වීමට අවස්ථාව උදා විය.

2000 වසරේ ජූලි 23 වැනි දා තම මංගල ජාත්‍යන්තර ටෙස්ට් තරඟයට ක‍්‍රීඩා කරන විට සංගක්කාරට වයස අවුරුදු 22 කි. දකුණු අප‍්‍රිකාවට එරෙහිව පැවති එම තරඟයේ දී ලකුණු 23 ක් ලබන්නට ඔහු සමත් විය. ඉන් පසු පකිස්ථානයට එරෙහිවත්, එංගලන්තයට එරෙහිවත් ක‍්‍රීඩා කළ සංගක්කාර තම ප‍්‍රථම ටෙස්ට් ශතකය ඉන්දියාවට එරෙහිව වාර්තා කරයි. නොදැවී ලකුණු 105 ක් ලබා ගන්නා ඔහුගේ ඉනිම ශ‍්‍රී ලංකා

කණ්ඩායටම මහත් රුකුලක් විය. එයින් තම ටෙස්ට් ක‍්‍රිකට් දිවිය අරඹන ඔහු ටෙස්ට් පිටියෙන් සම ගන්නා විට ශතක 38 ක් සහ අර්ධ ශතක 52 ක් සඳහා ක‍්‍රීඩා කරන ලදී. ටෙස්ට් තරඟ 138 කට සහභාගි වූ සංගක්කාර වාර්තා කොට තිබෙන ද්විත්ව ශතක සංඛ්‍යාව 11කි.

කුමාර් තම ප‍්‍රථම එක් දින තරඟයට සහභාගි වන්නේ 2003 වසරේ දී පකිස්ථානයට එරෙහිව වේ. අද වන විට ඔහු ජාත්‍යන්තර එක්දින පිටියේ දෙවනියට වැඩිම ලකුණු ලාභියා වේ. එමෙන්ම ජාත්‍යන්තර එක්දින පිටියේ ඔහු විසින් රැුස් කර ඇති ශතක සංඛ්‍යාව 25කි. 2006 වසරේ දී මාවන් අතපත්තුගෙන් පසුව ශී‍්‍ර ලංකා කණ්ඩායමේ නායකත්වය මහේල ජයවර්ධනට හිමිවන විට සංගක්කාරට උපනායකත්වය හිමි විය. ඉන් ඇරඹුණු මහේල, සංගක්කාර සුසංයෝගය ක‍්‍රිකට් පිටියේ නොමැකෙන සටහන් එක් කිරීමට සමත් වෙයි. 2006 ජූලි මාසයේ දී සංගා එවකට තම ටෙස්ට් දිවියේ ඉහළම ලකුණු සංඛ්‍යාව වන 287 දකුණු අප‍්‍රිකාවට එරෙහිව රැස් කරන්නට විය. සංගක්කාරට සහය වෙමින් මහේල ලකුණු 374ක් ලබා ගනී. ලකුණු 624 ක් ලබා ගෙන එදා මෙදා තුර ටෙස්ට් ක‍්‍රිකට් ඉතිහාසයේ වැඩිම පිතිකරු සබඳතාවය ගොඩ නඟන්නට මොවුන් දෙපළට හැකි විය.

පිට පිටම ටෙස්ට් තරඟ 4 ක දී ලකුණු 150 සීමාව පසුකර යාම නිසා 2007 වසරේ දී ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් වල ප‍්‍රථම ස්ථානය ලබා ගන්නේ ද ඔහු ය. 2008 දී ඔහු ක‍්‍රිකින්ෆෝ සම්මානයෙන් ද පිදුම් ලැබී ය. ඉන් පසුව 2009 වසරේ දී නායකත්වය භාර ගනී. එවසරේ පැවති 20-20 තරඟයට නායකත්වය දෙමින් අවසන් මහා තරඟය දක්වා කණ්ඩායම රැගෙන ඒමට සමත් වෙයි. පසුව 2011 පැවති ලෝක කුසලාන තරඟයේ දී ද කණ්ඩායම අවසානය දක්වා රැගෙන ඒමට කටයුතු කරයි. එම අවස්ථා කෙකෙහි ම ලෝක කුසලාන තරඟය අහිමි වුවත් 2014 දී පැවති 20-20 ලොක කුෂලාන තරඟයේ දී ජයග‍්‍රහණය ලබන්නේ තරඟයෙ වීරයා සම්මානය ද දිනා ගනිමිනි. මෙය ඔහුගේ අවසන් 20-20 තරඟය ද වෙයි.

කඩුල්ල පිටුපස සිට දවා ගැනීම් 474 කට ඔහු දායක වී ඇත. 2015 ලෝක කුසලාන තරඟයේ දී පිටපිටම ශතක 4 ක් ලබා ගැනීම ලෝක ඉතිහාසයේ ප‍්‍රථම වරට සිදුවීම විශේෂත්වයකි. එහි දී බංගලාදේශයට එරෙහිව ලකුණු 105 ක්, එංගලන්තයට එරෙහිව ලකුණු 117 ක්ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව ලකුණු 104 ක් සහ ස්කොට්ලන්තයට එරෙහිව ලකුණු 123 ක් රැස් කර ඇත. 2014 වර්ෂයේ දී බංගලාදේශයට එරෙහිව ලකුණු 319 ක් ලබා ගැනීම ඔහුගේ ටෙස්ට් ක‍්‍රිකට් දිවියේ වැඩිම ලකුණු ප‍්‍රමාණය විය.

2015 අගෝසතු 24 වෙනි දා ඉන්දියාව සමඟ පැවති දෙවැනි තරඟයෙන් ටෙස්ට් පිටියෙන් සමුගත්තේය. අෂ්වින්ගේ පන්දුවක් හමුවේ අවසන් වරට දැවී යන සංගක්කාර ඉණිම් දෙකෙහිම රැුස් කරන්නේ ලකුණු 35 ක් පමණි. දක්ෂතම ටෙස්ට් පිතිකරුවා, දක්ෂතම එක්දින පිතිකරුවා, දක්ෂතම කඩුළු රකින්නා සහ වසරේ විශිෂ්ඨතම ක‍්‍රීඩකයා යන සම්මානයන්ගෙන් ද ඔහු පිදුම් ලබා ඇත.

ඉංග‍්‍රීසි භාෂාව චතුර ලෙස කතා කිරීමේ හැකියාව නිසා 2011 වසරේ දි මාලිබෝන් ක‍්‍රිකට් සමාජය විසින් මෙහෙය වන කොලින් කෞන්සිල් දේශනය සිදු  කිරීමේ භාග්‍යය ද සංගාට හිමි විය. ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ ජීව ගුණය පිළිබඳව කෙරෙන මෙම දේශනය පැවැත් වූ ලොව ළාබාලතම පුද්ගලයා වන්නේ ද සංගක්කාර ය.

ශ‍්‍රී ලංකාවේ ක‍්‍රිකට් ඉතිහාසය හා වර්තමානය විග‍්‍රහ කරන ඔහු දේශනය අවසන් කරන්නේ මෙසේ ය. ශ‍්‍රී ලංකාවේ සෑම ජාතියකටම ආගමකටම මා අයත් වේ. ආගම් ජාතීන් පරයා අදත්, හෙටත්, හැමදාමත් මා ප්‍රෞඪ ශ‍්‍රී ලාංකිකයෙකු වේ…..

නිරතුරුවම සුන්දර සිනහවකින් යුත් මෙම මිනිසා ආත්මාර්ථකාමීත්වය පසෙක ලා කණ්ඩායම් හැඟීමකින් ක‍්‍රීඩා කළේ ය. අවසන් ටෙස්ට් තරඟයට සහභාගී වී ඔහු පැවසුවේ ජයග‍්‍රහණයක් සොයනා මොහොතක පරාජය වීමට බිය නොවන්න. ලෙස ය.

ශී‍්‍ර ලංකා නාමය ක‍්‍රිකට් අඹරේ දිදුළ වන්නට ඔහු දැරූ උත්සාහය අනභිභවනීය වේ. එම නිසා පිටියෙන් සමුගත්ත ද ක‍්‍රිකට් ක‍්‍රීඩාව වෙනුවෙන් ඉතිරි කළ මතකයන් අප හදවතේ සදාකල් පවතිනු ඇත.

ලක් මෑණියන් රනින් සැරසූ නුඹ රටට ණය නැති විරුවෙකි. ආඩම්බර ලක් මව්ගේ නිහතමානී පුත‍්‍රයෙකි.

 ”සංගානුඹ අපට නමක් නොවෙයි, රටකි.

සටහනමලිත් විමුක්ති කරුණාරත්න

Recommended For You

About the Author: Admin