නව දැක්මක් අදීන නිදහසක්

For what avail the plough or sail or land or life, if freedom fail – Ralph Waldo Emerson 1803- 1882, US Poet and Thinker

නොමැති නම් නිදහස, නඟුලේ, රුවලේ හෝ ඉඩම – කඩමේ හෝ ජීවිතයේ හෝ අරුත, ඵලය කිම – රැල්ෆ් වෙල්ඩෝ එමර්සන් 1803-1882, ඇමෙරිකානු දාර්ශනික කවියා.

ලෝකයේ  ඕනෑම රටක පුරවැසියෙකුට තමා නිදහස් පුරවැසියෙකු ලෙස භුක්ති විඳින ස්වභාවික හැඟීම ඉහත සඳහන් වන ඇමෙරිකානු ජාතික රැල්ෆ් වෙල්ඩෝ එමර්සන් විසින් දක්වන ලද අදහසින් ප‍්‍රකාශ වෙනවා. රැල්ෆ් එමර්සන්ට අනුව නිදහසට සීමාවක් නැහැ. එය සමස්ත ජීවිතය පුරාත්, සමස්ත ආර්ථික, දේශපාලන හා සංස්කෘතික ජීවිතය පුරාත් එකම හුයක් සේ දිවෙනවා. එහි එක් තැනක සිදුවන බිඳීමක් සමස්තයම අහිමි කරනවා. දුර්වල කරනවා.

දේශපාලන ශබ්ද කෝෂය තුළ Freedom යන වචනය සහ Independence යන වචනය පුළුල් අරුතින් සලකා බැලෙනවා. මෙහිදී Freedom හෙවත් ‘‘නිදහස’’ යන්න දේශපාලන ශබ්ද කෝෂවල නිර්වචනය වන්නේ ‘‘දේශපාලන සහ සිවිල් අයිතීන් භුක්ති විඳීමට රට වැසියාට හිමිවන තත්ත්වය’’ වශයෙනුයි. ඒ සමග බොහෝ විට බැඳී පවතින Independence හෙවත් ‘‘අදීන /ස්වාධීන ’’ යන වචනය දේශපාලන ශබ්ද කෝෂයේ නිර්වචනය වන්නේ, ‘‘අන්‍යයන්ගෙන් කිසිම බලපෑමකින් තොර තත්ත්වය’’ වශයෙනුයි.

ඉහතින් සඳහන් රැල්ෆ් එමර්සන්ගේ අදහස සහ දේශපාලන ශබ්ද කෝෂය තුළ නිදහස සහ ස්වාධීනත්වය නිර්වචනය වන ආකාරය දෙස යොමු කරන සරල අවධානයක් පවා වර්තමාන ලෝකයේ ‘‘ස්වාධීන’’ හෝ ‘‘නිදහස් ’’ යැයි කියන බොහෝ ජාතික රාජ්‍ය මුහුණ දෙන යථාර්ථයේ සැබෑව හඳුනා ගත හැකියි. තම 71 වන නිදහස් දිනය මහත් අභිමානයෙන් සමරණ ශ‍්‍රී ලාංකිකයින්ට ඉහත සඳහන් එමර්සන්ගේ උපුටනය සේම නිදහස / ස්වාධීනත්වය පිළිබඳ තම හෘදය සාක්ෂියට එකඟ අදහසක් ඇතිකර ගත හැකියි.

ලොව ජීවත් වන  ඕනෑම පුද්ගලයෙක්ට තමන් අපේක්ෂා කළ සියලූ දේ හිමිකර ගත නොහැකි වනවා සේම මුහුණ දෙන සෑම අභියෝගයක්ම ජයග‍්‍රහණය කළ නොහැකි බවට වන අදහස සමග කිසිවෙක් තර්ක කරන්නේ නැහැ. තනි පුද්ගලයෙකුට අදාළ මේ තත්ත්වය පුද්ගලයින් විශාල පිරිසකගේ (දහස් ගණනනේ සිට කෝටි සංඛ්‍යාත ගණනක් දක්වා) එකතුවක් වන රාජ්‍යයක් සම්බන්ධයෙන් ද එකසේ අදාළයි.  ඕනෑම රටකට රටක් වශයෙන්, ජාතියක් වශයෙන්, සමාජයක් වශයෙන් අපේක්ෂා කරන සියලූ ආකාරයේ ජයග‍්‍රහණ අත්පත් කර ගැනීම හෝ සියලූ ආකාරයේ අභියෝග ජයගැනීමට හැකියාවක් නැහැ.

ගෙවී ගිය කාලය දෙස සාපේක්ෂ බැල්මක්

ඉහත සඳහන් කළ ආකාරයට ශ‍්‍රී ලංකාව පසුගිය 71 වසර පුරා හිමිකර ගත් ජයග‍්‍රහණ හෝ දිනාගත් අභියෝග සම්බන්ධයෙන් නිරපේක්ෂව නොව සාපේක්ෂවල සලකා බලන විට මධ්‍යස්ථ පුද්ගලයෙකුට ඇතිකර ගත හැකි අදහස කුමක්ද ? මේ සම්බන්ධයෙන් වන ඍණාත්මක අදහස වන්නේ ‘‘ලබාගත් කිසිවක් නැත’’ හෝ ‘‘මීට වඩා දෙයක් කළ හැකිව තිබුණා’’ විය හැකියි. වඩාත් ධනාත්මක පුද්ගලයෙකුට ‘‘අපි රටක් ලෙස පසුගිය71 වසර පුරා මුහුණ දුන් මේ තරම් අභියෝග මැද පවා මේ දිනාගත් / හිමිකර ගත් දේ ඇති’’ යන අදහස ඇති විය හැකියි.

නොබිඳි ප‍්‍රජාතන්ත‍්‍රවාදය

අහිකර ගත් හෝ බලාපොරොත්තු වූ ඉලක්ක කරා ළඟාවීමට නොහැකි වුණේ කුමක් නිසාදැයි පසුතැවීමට හෝ විස්සෝප වීමට වඩා ශ‍්‍රී ලංකාව රටක් වශයෙන් ගෙවී ගිය 71 වසර තුළ ලබාගත් ජයග‍්‍රහණ ගැන අප තුළ නිරවුල් අදහසක් ඇතිකර ගත හැකියි.

ශ‍්‍රී ලංකාව ගෙවී ගිය 71 වසර පුරා අති සංකීර්ණ ආර්ථික හා දේශපාලන අභියෝග රැසකට මුහුණ දුන්නා. ඒ අතර නූතන ලෝකයේ දීර්ඝතම සිවිල් යුද්ධයක් වශයෙන් සැලකිය හැකි 34 අවුරුදු සිවිල් යුද්ධයකට ද (1975 – 2009) දස දහස් සංඛ්‍යාත තරුණ ජීවිත අහිමි කළ සන්නද්ධ අරගල දෙකකට ද (1971, 1988 – 89) ලංකාව ඍජුව මුහුණ දුන්නා. ඒ අතර 1964 දී හමුදා කුමන්ත‍්‍රණයකට ද මුහුණ දීමට සිදු වුණා. මේ අනුව ඉතාම පැහැදිලිව රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය දැවැන්ත අභියෝගයකට ලක් කළ අතිෂය තීරණාත්මක අවස්ථා හතරකට පසුගිය 71 වසර තුළ ශ‍්‍රී ලංකාව මුහුණ දී තිබෙනවා. ඒත් අතිෂය තීරණාත්මක ආකාරයෙන් එකී අවස්ථා හතරටම සාර්ථකව මුහුණ දී රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයත්, රටේ ඒකීයභාවයත් ආරක්ෂා කර ගැනීමට ශ‍්‍රී ලංකාව සමත් වී තිබෙනවා. මෙය නූතන ලෝකය තුළ අතිෂය විරල අවස්ථාවක්. උදාහරණයක් ලෙස 1960 දශකයේ ලෝකය පුරා බොහෝ අවස්ථාවල සිදු වූ හමුදා කුමන්ත‍්‍රණ සාර්ථක වී ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩු පරාජයට පත්ව තිබෙනවා. එහෙත් එකී ගෝලීය රැල්ල ලංකාව තුළ යථාර්ථයක් වුණේ නැහැ. එමෙන්ම 60-70 දශකවල විප්ලවකාරී (වමාංශික හෝ දක්ෂිණාංශික) සන්නද්ධ අරගල මගින් ප‍්‍රජාතන්ත‍්‍රවාදී (ඇතැම් විට ඒකාධිපතිවාදී) ආණ්ඩු පෙරළා බලය අල්ලා ගැනීමට සුලභව සිදු වුණා. එහෙත් 1971දී මෙන්ම 1988 – 89 දී ද ශ‍්‍රී ලංකාව තුළ සන්නද්ධ විප්ලව අසාර්ථ වුණා. ඒ අනුව ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ජීව ගුණය ආරක්ෂා කර ගැනීමට ලංකාවට හැකියාව ලැබුණා.

දීර්ඝ කාලයක් පාර්ලිමේන්තුව තුළ ක‍්‍රියාත්මක වූ බෙදුම්වාදී මතවාද 1975 දී යාපනයේ තරුණ සන්නද්ධ කල්ලියක් විසින් යාපනය නගරාධිපති ඇල්ෆ‍්‍රඞ් දොරේඅප්පා ඝාතනය කිරීම සමග තීරණාත්මකව ප‍්‍රචණ්ඩත්වයට යොමු වුණා. එය වෙනම රාජ්‍යයක් සඳහා වන බෙදුම්වාදී සිවිල් යුද්ධයක් දක්වා 80 දශකයේදී පත් වුණා. ක‍්‍රමයෙන් බිහිසුණු ත‍්‍රස්තවාදී ව්‍යාපාරයක් දක්වා ගමන් කළ උතුරු – නැගෙනහිර බෙදුම්වාදී ව්‍යාපාරයට 80 දශකයේ ගෝලීය වශයෙන් ශක්තිමත් වූ සහ ජයග‍්‍රහණය කළ බෙදුම්වාදී ව්‍යාපාර මගින් ප‍්‍රබල උත්තේජනයක් ලබා දුන්නා, මේ යුගයේ ලෝකයේ බහුතරයක් බෙදුම්වාදී අරගල බෙදුම්වාදීන්ට වාසිදායක වන ආකාරයෙන් අවසන් වුණා. එහෙත් 2009 මැයි 19 වැනිදා ශ‍්‍රී ලංකාවේ බෙදුම්වාදී ත‍්‍රස්ත සංවිධානය තීරණාත්මක පරාජය කර යළිත් ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ රටේ ඒකීයභාවය ආරක්ෂා කර ගැනීමට ශ‍්‍රී ලංකාවට හැකියාව ලැබුණා. ඉහත තත්ත්වය තුළ ශ‍්‍රී ලංකාව නිදහස් රටක් වශයෙන් මහත් අභියෝග මැද ප‍්‍රජාතන්ත‍්‍රවාදය සේම රටේ ඒකීයභාවය ආරක්ෂා කර ගෙන සුරක්ෂිත කර ගැනීමට ගත් අප‍්‍රහිත ධෛර්යය පසුගිය 71 වසර තුළ ලබාගත් සුවිශේෂම ජයග‍්‍රහණය හා සෙසු ජයග‍්‍රහණවල පදනම වශයෙන් ද සැලකිය හැකියි. මේ සුවිශේෂී ජයග‍්‍රහණය තුළ ලෝකයේ සුරක්ෂිතම (ත‍්‍රස්තවාදී හෝ බෙදුම්වාදී තර්ජන අවම) රටවල් අතර ඉදිරියෙන්ම සිටීමට මේ වන විට ශ‍්‍රී ලංකාවට හැකියාව ලැබී තිබෙනවා. (මෙම සුරක්ෂිතභාවය සංචාරක සහ ආයෝජන සම්බන්ධයෙන් වඩාත් ප‍්‍රබල ධනාත්මක විභවයක් කර ගැනීමට ශ‍්‍රී ලංකාවට හැකියාව තිබෙනවා)

මානව සංවර්ධනය

සිවිල් සහ සන්නද්ධ අරගලවල ගොදුරු බවට පත් ලෝකයේ සියලූම රටවල ජනතාව අන්ත දුගීන් බවට පත් වූ අතර රටේ ආර්ථික හා සමාජ සංවර්ධනය දැවැන්ත ලෙස බිඳ වැටීමට ලක්වීම සුලභ තත්ත්වයක් වශයෙන් සැලකෙනවා. (අප‍්‍රිකානු උදාහරණ ගන්න) එම රටවල් බොහොමයක් ‘‘අසමත් රාජ්‍ය’’ වශයෙන් වර්ග කිරීම සිදු වුණා. එහෙත්  රටේ සියලූම සම්පත් සහ සංවර්ධන අවකාශයන් විනාශ කළ තිස් අවුරුදු සිවිල් යුද්ධයක් සහ සන්නද්ධ අරගල දෙකකට මුහුණ දෙමින් ශ‍්‍රී ලංකාව තම ජනතාවගේ ආර්ථික හා සමාජයීය ජීවිතය නොකඩවා ඉදිරියට ගෙන යාමට සමත් වීම පසුගිය 71 වසර තුළ අත්පත්කර ගත් සුවිශේෂ ජයග‍්‍රහණයක් වශයෙන් සැලකිය හැකියි.

ශ‍්‍රී ලංකාව ගෙවී ගිය වසර 71ක කාලය තුළ මානව හා සමාජ සංවර්ධනය තුළ කැපී පෙනෙන ජයග‍්‍රහණ රැසක් අත්පත් කර ගෙන තිබෙනවා. ගෝලීය වශයෙන් මානව සංවර්ධනය මනිනු ලබන ‘‘මානව සංවර්ධන දර්ශකය’’ තුළ ශ‍්‍රී ලංකාවට ගෝලීය වශයෙන් (2015දී) 0.766ක අගයක් සටහන් කරමින් 73 වන ස්ථානය හිමිව තිබෙනවා. දකුණු ආසියානු කලාපය ගත්විට කලාපීය වශයෙන් ශ‍්‍රී ලංකාව ඉදිරියෙන්ම සිටිනවා.

උගත් ජාතියක් බිහි කිරීම

ශ‍්‍රී ලංකාවේ මානව සංවර්ධන දර්ශකය තුළ සේම ගෝලීය වශයෙන් ඉහළ අවධානයක් දිනා ගැනීමට පසුගිය 71 වසරක කාලය තුළ අධ්‍යාපන ක්ෂේත‍්‍රයෙන් ශ‍්‍රී ලංකාව දිනාගත් ජයග‍්‍රහණ ප‍්‍රබල පිටිවහලක් වී තිබෙනවා. ‘‘නිදහස් අධ්‍යාපනය’’ නිදහස් ශ‍්‍රී ලංකාව විසින් දිනාගත් සහ තම ජනතාවට තිළිණ කළ ඉතාම වැදගත් අවස්ථාව වශයෙන් සැලකිය හැකියි. 40 දශකයේ අවසාන භාගයේ සිට අඛණ්ඩව ක‍්‍රියාත්මක වන නිදහස් අධ්‍යපනයේ ප‍්‍රතිඵලයක් වශයෙන්  2016 වන තම පුරවැසියන්ගේ සාක්ෂරතා අනුපාතය සියයට 93.1ක් දක්වා ඉහළ නංවා ගැනීමට ශ‍්‍රී ලංකාවට හැකිවෙලා තිබෙනවා. මෙහි ඇති විශේෂත්වය වන්නේ කාන්තාවන් අතර සාක්ෂරතාරවය දුර්වල දකුණු ආසියානු සහ ආසියානු කලාපයේ සියයට 92.2ක කාන්තා සාක්ෂරතා අනුපාතයක් ළඟාකර ගැනීමට ශ‍්‍රී ලංකාව සමත්ව සිටීමයි. මේ සමග අධ්‍යාපන ක්ෂේත‍්‍රය තුළ ලබාගෙන ඇති සුවිශේෂතා කිහිපයක් දෙස ද අප අපගේ අවධානය යොමු කළ යුතුයි. ඒ අනුව ශ‍්‍රී ලංකාව තුළ පාසලකින් ආවරණය වන භූමි ප‍්‍රමාණය (රජයේ පාසල් පමණි) වර්ග කිලෝමීටර් 6.4ක් පමණ වන අතර ගුරු – ශිෂ්‍ය අනුපාතය 17.3%ක් ද, වයස් විශේෂිත ඇතුළත් වීමේ ප‍්‍රතිශතය (1-9 ශ්‍රේණි) 96.3% ක් ද වෙනවා. මෙය කලාපීය වශයෙන් මෙන්ම ගෝලීය වශයෙන් ද ඉතාම ඉහළ ස්ථානයක් බව අධ්‍යාපනඥයින් සඳහන් කරනවා. එහෙත් ශ‍්‍රී ලංකාවේ අධ්‍යාපනය සම්බන්ධයෙන් වන ප‍්‍රබල විවේචනයක් ද පවතින බව අප මෙහිදී සිහිපත් කළ යුතුයි. ඒ අධ්‍යාපනය සඳහා රජයේ වියදම ප‍්‍රමාණවත් නොවන බවට පවතින විවේචනයයි. 2017 වර්ෂයේ සංඛ්‍යා ලේඛන අනුව අධ්‍යාපනය සඳහා රජයේ වියදම දළ දේශීය නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් වශයෙන් සියයට 1.9ක් වැනි ඉතාම පහළ අගයක් ගෙන තිබෙනවා. එහෙත් එකී අඩු ප‍්‍රතිශතය තුළ පවා සමස්තයක් ලෙස ශ‍්‍රී ලංකාව පසුගිය කාලය තුළ අධ්‍යාපන ක්ෂේත‍්‍රය තුළ ජාත්‍යන්තර ප‍්‍රමිතියක් පවත්වා ගෙන යාමට සමත්ව තිබෙනවා.

මේ ඉහළ සාක්ෂරතා අනුපාතය ශ‍්‍රී ලංකාවේ මානව හා ආර්ථික සංවර්ධනයේ ගාමක ශක්තියක් බවට පත්ව තිබෙනවා. විශේෂයෙන් විදේශ ආයෝජකයින් ශ‍්‍රී ලංකාව තුළ ආයෝජනය කිරීමේ දී මෙකී උගත් ශ‍්‍රම බලකායට වැඩි වැදගත්කමක් ලබා දෙනවා. එමෙන්ම ශ‍්‍රී ලංකාවෙන් පිටත විදේශ රැකියා සඳහා ද මෙකී උගත් ශ‍්‍රමය සුවිශේෂ සාධකයක් වී තිබෙනවා. සමස්තයක් වශයෙන් ගත් විට වර්තමානය වන විට ජාත්‍යන්තර ශ‍්‍රම වෙළෙඳපොළට ශ‍්‍රමිකයින්, පුහුණු ශ‍්‍රමිකයින් හා වෘත්තීයවේදීන් සපයන ප‍්‍රමුඛ රාජ්‍යයක් බවට ශ‍්‍රී ලංකාව පත්ව තිබෙනවා. ඇමෙරිකාව ඇතුළු බටහිර ලෝකයේ විද්‍යා, පර්යේෂණ, තාක්ෂණ සහ අධ්‍යාපන ක්ෂේත‍්‍රවල (නාසා ආයතනය ඇතුළුව) ප‍්‍රමුඛ වෘත්තීයවේදීන්, විශේෂඥයින්, විද්‍යාඥයින් (සිරිල් පෙන්නම්පෙරුම, සරත් ගුණපාල වැනි) අති විශාල පිරිසක් ශ‍්‍රී ලාංකිකයින් වීම තුළ ශ‍්‍රී ලංකාව පසුගිය 71 වසරක කාලය තුළ මානව සංවර්ධන ක්ෂේත‍්‍රයේ ලබාගත් සුවිශේෂ ජයග‍්‍රහණ මනාව සටහන් කරනවා.

නිරෝගී ජාතියක්

නිදහස් අධ්‍යාපනය සේම නිදහස් සෞඛ්‍ය ද ශ‍්‍රී ලංකිකයින් පසුගිය 71 වසරක කාලය තුළ ලැබූ සුවිශේෂ වරප‍්‍රසාදයක් වශයෙන් සැලකිය හැකියි. උගත් ජාතියක් නිරෝගීමත් ජාතියක් බවට පත් වූ විට එමගින් අත්පත් කරගත හැකි ප‍්‍රගතිය ඉතාම ඉහළයි.

පසුගිය 71 වසර තුළ උපතේදී ආපේක්ෂිත ආයු කාලය වසර 75ක් දක්වා ඉහළ අගයකට ළඟා වී තිබීම මගින් ශ‍්‍රී ලංකාවේ සමාජ සංවර්ධන හා සෞඛ්‍ය ඇතුළු සුබසාධන සේවාවල ප‍්‍රගතිය සටහන් කරනවා. ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ ප‍්‍රගතිය ලොවට කියාපාන මිනුම් දණ්ඩක් වශයෙන් උපතේදී අපේක්ෂිත ආයු කාලය සේම සජීවි උපත් 1000කට (2015 වර්ෂයේදී) 8.5ක් වන ළදරු මරණ අනුපාතය හැඳින්විය හැකියි. රටේ සෞඛ්‍ය තත්ත්වය මේ ආකාරයට වර්ධනය වීමට සඳහා මහජන සෞඛ්‍ය සම්බන්ධයෙන් වන ධනාත්මක බලපෑම ද හේතු වී තිබෙනවා. ශ‍්‍රී ලාංකික පුරවැසියන් 1000ක් සඳහා රෝහල් ඇඳන් 3.6ක් ඇති අතර වෛද්‍යවරයෙක් සඳහා වන පුද්ගලයින් සංඛ්‍යාව 1054ක් බවත් හෙද සේවක සංඛ්‍යාව පුද්ගලයින් 10,000කට 16.0ක් බවත් සෞඛ්‍ය අමාත්‍යාංශ වාර්තාවල සඳහන් වෙනවා. මේ ආකාරයෙන් සෞඛ්‍ය ක්ෂේත‍්‍රය තුළ ගෝලීය වශයෙන් තෘප්තිමත් විය හැකි ප‍්‍රගතියක් අත්පත් කර ගෙන ඇතත් ශ‍්‍රී ලංකාව තම දළ දේශීය නිෂ්පාදිතයෙන් සෞඛ්‍ය සඳහා දරන රජයේ වියදම සියයට 1.5ක් වීම ගැන ප‍්‍රබල විවේචනයක් පවතින බව ද අප අමතක නොකළ යුතුයි.

මහජන සෞඛ්‍ය සහ පිිරිසිදු පානීය ජලය අතර ඇති අවියෝජනීය සම්බන්ධතාව ශ‍්‍රී ලංකාව තුළින් ද හඳුනා ගත හැකියි. ශ‍්‍රී ලංකාවේ පුරවැසියන්ගෙන් සියයට 88.8කට (2016දී) පිරිසිදු පානීය ජල පහසුකම් සඳහා ප‍්‍රවේශ ඇති අතර නළ ජල පහසුකම් සඳහා වන ප‍්‍රවේශය සියයට 49.2ක් වෙනවා. මේ සමග විදුලිබල පහසුකම් ද සාකච්ඡා කළ විට 2016 වර්ෂය වන විට ශ‍්‍රී ලංකාවේ සියලූම නිවාස සඳහා විදුලිබල පහසුකම් ලබාදී ඇති බවක් ප‍්‍රකාශ වන සියයට 99.3ක් වැනි ඉතා ඉහළ ප‍්‍රගතියක් වාර්තා කරනවා.

සන්නිවේදනය සරල සුමග වීම

පුරවැසියන්ගේ ජීවන තත්ත්වය උසස් වීම සේම රට තුළ පවතින ප‍්‍රජාතන්ත‍්‍රවාදී භාවිතය ද පුරවැසි සන්නිවේදන පහසුකම්වලට ඍජුව බලපානවා. ඒ අනුව ශ‍්‍රී ලංකාව පසුගිය කාලය තුළ තම පුරවැසියන්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අවකාශය පුළුල් කළ ආකාරය හඳුනා ගත හැකි මිනුම් දණ්ඩක් සේ පණිවුඩ හුවමාරු සඳහා වන දත්ත විමසිය හැකියි. ශ‍්‍රී ලංකා මහ බැංකු වාර්ෂිත වාර්තාව 2017ට අනුව ශ‍්‍රී ලංකාවේ සෑම පුරවැසියන් 100 දෙනකුගෙන් 12.1කටම ස්ථාවර දුරකථන ඇති අතර ජංගම දුරකථන හිමිකරුවන් සංඛ්‍යාව පුරවැසියන් 100කගෙන් 143.6ක් වෙනවා. ඒ සමග අන්තර්ජාල ඝනත්වය පුද්ගලයින් 100කට 27.5ක් වැනි සැලකිය යුතු ඉහළ අගයක් වාර්තා කර තිබෙනවා.

දුගීභාවයට තිත

ශ‍්‍රී ලංකාව 1948 දී නිදහස දිනාගත් දා සිට දරිද්‍රතාවය / දුගීබව තුරන් කිරීම සඳහා රාජ්‍ය අනුග‍්‍රහය යටතේ විවිධ වැඩසටහන් දියත් කර තිබෙනවා. නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය එහි වඩාත් ඉදිරි හා ධනාත්මක පියවර වන අතර ගොවිජනපද ව්‍යාපාරවල සිට ගම්උදාව, ජනසවිය, සමෘද්ධි ව්‍යාපාරය, දිවිනැඟූුම සහ වර්තමානයේ ක‍්‍රියාත්මක වන ‘ග‍්‍රාමශක්ති’ වැඩසටහන දක්වා එහි ගමන්මග විකාශනය වෙනවා.

30 අවුරුදු සිවිල් යුද්ධය, දේශගුණික විපර්යාසවල අන්තිකභාවය ඇතුළු විවිධ අභියෝග මැද වුව ද ඉහත සඳහන් කළ ඍජු රාජ්‍ය ආයෝජනවල ප‍්‍රතිඵලයක් වශයෙන් නිදහස් ශ‍්‍රී ලංකාව තම ජනතාවගේ දරිද්‍රතාවය පිටුදැකීම සම්බන්ධයෙන් පසුගිය කාලය තුළ තෘප්තිමත් විය හැකි ප‍්‍රගතියක් අත්පත් කර ගෙන තිබෙනවා. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලද ගෘහ ඒකක ආදායම් සහ වියදම් සමීක්ෂණය (2016) අනුව ජනගහන දරිද්‍රතා දර්ශකය 2009/10 දී සියයට 8.9 සිට 2012/13 දී සියයට 6.7 දක්වාත් 2016 දී සියයට 4.1 දක්වා ගෝලීය වශයෙන් ඉහළ ප‍්‍රමිතිගත අගයක් දක්වා පහළ හෙළා ගැනීමට ශ‍්‍රී ලංකාව සමත් වෙලා තිබෙනවා.

ක‍්‍රීඩාව සහ කලාව

මානව සංවර්ධනය අතින් ප‍්‍රගතියක් ලබා ගන්නා රටක් සහ ජනතාවක් ක‍්‍රීඩාව, කලාව, සාහිත්‍ය ආදි ක්ෂේත‍්‍රවලින් ද ප‍්‍රගතියක් ලබාගත යුතු බව පොදු පිළිගැනීමක්. එසේම යම්කිසි රටක් සමාජයීය, සංස්කෘතික ආදි ක්ෂේත‍්‍රවල ලබා ගන්නා දියුණුව හා විවෘතභාවය ක‍්‍රීඩාව, කලාව ආදි ක්ෂේත‍්‍රවලින් ද පිළිබිඹු වෙනවා. නිදහස් ශ‍්‍රී ලංකාව තම 71 වසරක යුගය තුළ ඉහත සඳහන් කළ ක‍්‍රීඩා, කලා සහ සාහිත්‍ය ඇතුළු ක්ෂේත‍්‍රවල අත්පත් කරගත් ජයග‍්‍රහණ සම්බන්ධයෙන් මැදිහත් විචාරයකින් විමසා බැලිය යුතුයි.

ශ‍්‍රී ලංකාව පසුගිය කාලය තුළ ජාත්‍යන්තර වශයෙන් තම කීර්තිය සහ කුසලතාව වඩාත් ප‍්‍රකට කළ ක්ෂේත‍්‍රය වශයෙන් ක‍්‍රිකට් සහ මළල ක‍්‍රීඩාව සැලකිය හැකියි. එයින් ද ක‍්‍රිකට් ක‍්‍රීඩාව තුළින් ශ‍්‍රී ලංකාව හිමිකර ගත් කීර්තිය අසමසම බවයි පොදුවේ සියලූ දෙනාම පිළිගන්නේ.

තිස් අවුරුදු සිවිල් යුද්ධයකින් බැට කමින් ද, මිලියන 20ක් වැනි අඩු ජනගහණයක් ද සහිත ශ‍්‍රී ලංකාව ටෙස්ට් වරම් දිනාගෙන ඉතාම කෙටි කාලයකින් ක‍්‍රිකට් ක‍්‍රියාවේ උරුම්කාරයින් සේම දැවැන්තයින් ද අභිබවනය කිරීමට සමත් වීම රටක් සේ අප ලත් සුවිශේෂ ජයග‍්‍රහණයක්. 1986 දී ආසියානු කුසලානය ජයග‍්‍රහණය කරමින් ආරම්භ කළ මේ ගමනේ කූඨ ප‍්‍රාප්තිය 1996 දී ලෝක කුසලානය දිනා ගැනීම සමඟ සනිටුහන් වූ අතර 20-20 ඇතුළු තවත් අංශ රැසකින් ලෝකයේ ඉහළින්ම වැජඹීමට ශ‍්‍රී ලංකාවට හැකියාව ලැබුණා. මුත්තයියා මුලියදරන්, චමින්ද වාස්, සනත් ජයසූරිය, කුමාර සංගක්කාර ආදී ක‍්‍රිකට් ක‍්‍රීඩකයින් සේම මුල් කාලීන ක‍්‍රිකට් තරු වශයෙන් සිට පසු කාලීනව ජාත්‍යන්තර ක‍්‍රිකට් පරිපාලනය හා තරඟ විනිශ්චය තුළ දිදුලන තරු බවට ද පත් වූ රංජන් මඩුගල්ල වැනි ශ‍්‍රී ලංකාවේ සන්නම්නාම වශයෙන් සැලකිය හැකි ක‍්‍රීඩකයින් ලෝකයට හඳුන්වා දීමට පසුගිය කාලය තුළ ශ‍්‍රී ලංකාවට හැකි වුණා. එසේම මළල ක‍්‍රීඩාවේ ලිලිපුට්ටන් වන දකුණු ආසියානු කලාපයේ අභිමානය ඉහළට ඔසවා තබමින් සුසන්තිකා ජයසිංහ, සුගත් තිලකරත්න, දමයන්ති දර්ශා වැනි මළල ක‍්‍රීඩා තරු සේම පසුගිය දා ලෝක කායවර්ධන ශූරතාව දිනු ලූෂින් පුෂ්පරාජ් ද නිදහස් ශ‍්‍රී ලංකාවේ අභිමානය බවට පත් වුණා. මේ සමග නවකතාව, සිනමාව, සංගීතය, චිත‍්‍ර ඇතුළු සෞන්දර්ය විෂයන් තුළින් ද ආචාර්ය ලෙස්ටර් ජෙම්ස් පීරිස්ගේ සිට ප‍්‍රසන්න විතානගේ, විමුක්ති ජයසුන්දර දක්වා මහා සිනමාවේදීන් ද, පණ්ඩිත් අමරදේවයන්ගේ සිට භාතිය – සුන්තූෂ් දක්වා පසුගිය කාලය තුළ නිදහස් ශ‍්‍රී ලංකාවේ සෞන්දර්යය අස්වැන්න ලෝකයට තිළිණ කිරීමට සුවිශාල පිරිසක් තම දායකත්වය ලබා තිබෙනවා.

වඩ වඩාත් අධ්‍යාත්මික දියුණුව දෙසට

ඉහත සඳහන් කළ සුවිශේෂ සමාජයීය ජයග‍්‍රහණ සමග ශ‍්‍රී ලාංකිකයින් තම අධ්‍යාත්මික දියුණුව නොකෙසළසා ගැනීම සුවිශේෂ තත්ත්වයක් වශයෙන් සැලකිය හැකියි. ක‍්‍රිස්තු පූර්ව තුන්වන සියවසේ අනුබුදු මිහිඳු මහා නාහිමියන්ගේ විසින් හඳුන්වා දුන්නා වූ ද සියවස් ගණනාවක් තිස්සේ උගත් විනයධර, ධර්මධර භික්ෂූන් වහන්සේලා සහ ගිහි වියතුන් විසින් වැඩි දියුණු කළා වූ ද බෞද්ධාගමික සාරධර්ම සහ වටිනාකම් මේ දක්වා සුරක්ෂිත කොට පෝෂණය කරමින් අඛණ්ඩව පවත්වා ගෙන ඒමට ශ්‍රී ලාංකික බෞද්ධයින් සමත්ව සිටිනවා සේම හින්දු සහ ඉස්ලාම් භක්තිකයින් ද තම ආගමික හා සංස්කෘතික අනන්‍යතාව සහ වටිනාකම් මේ දක්වා සුරක්ෂිතව පවත්වා ගෙන එමින් සිටීම නිදහස් ශ‍්‍රී ලංකාවට උරුම වූ දායාදයක් වශයෙන් සැලකිය හැකියි.

මෙකී තත්ත්වය තව දුරටත් සුවිශේෂ වන්නේ වර්ෂ 500ක් පමණ යටත් විජිතවාදීන්ගේ සහ තවත් කාලයක් නව යටත් විජිතවාදයේ සහ වර්තමානයේ පාරිභෝජනවාදයේ ඍජු ගොදුරු බිම් බවට පත් බොහෝ රටවල් සහ ජාතීන් මුළුමනින්ම සිය ආගමික, සංස්කෘතික සහ ජාතික අනන්‍යතාව බිඳ ගෙන හෝ දුර්වල කරගෙන සිටින පසුබිමක් තුළයි. ඒ අනුව යටත් විජිතවාදීන්ගේ ගලග‍්‍රහණයට හසුව සිටි කාලය තුළ අභියෝගයට හා පීඩනයට ලක් වූ සිය ආගමික හා සංස්කෘතික වටිනාකම් වඩාත් සුරක්ෂිත කර ගැනීමට සහ ඔප නංවා ගැනීමට ශ‍්‍රී ලංකිකයින් නිදහස ලැබීමෙන් පසුව සමත් වී තිබෙනවා. සිංහල ජනතාව සහ බෞද්ධයින් සම්බන්ධයෙන් ගත් විට ඔවුන් පසුගිය කාලය තුළ බෞද්ධ දර්ශනය, සිංහල භාෂාව සහ සිංහල බෞද්ධ සංස්කෘතිය වඩාත් සුරක්ෂිත කර ගැනීමට සමත්ව සිටින අතර වර්තමානය වන විට, නව යටත්විජිතවාදී බලවේග හමුවේ එම වටිනාකම් වඩාත් තිරකොට ගනිමින් සිටින ආකාරයක් දැකිය හැකියි. මේ තත්ත්වය හින්දු සම ඉස්ලාම් භක්තිකයින් සම්බන්ධයෙන් ද එකසේ අදාළ බවක් අපට පෙනී යනවා.

නව යටත්විජිතවාදයේ ප‍්‍රකාශකයින් වශයෙන් සැලකෙන බටහිර රාජ්‍යවල පුරවැසියන් වඩ වඩාත් අනාගමික වෙමින්, පාරිභෝජනවාදයේ සහ නව තාක්ෂණයේ ගොදුරු බවට පත් වෙමින් සිටින වත්මන් යුගයේ දී ශ‍්‍රී ලාංකිකයින් තම ජාතික, ආගමික සහ සංස්කෘතික වටිනාකම් අගයන සහ පෝෂණය කරන ජාතීන් අතර ප‍්‍රමුඛ ජාතීන් බවට පත් වෙමින් සිටින ආකාරයක් අපට පහසුවෙන් නිරීක්ෂණය කළ හැකියි. සමාජ, සංස්කෘති සහ ආධ්‍යාත්මික වශයෙන් සුවිශේෂ වන මේ තත්ත්වය දිනාගත් නිදහස වඩාත් අර්ථවත් සහ සජීවි කළ අවස්ථාවක් වශයෙන් හඳුනා ගත හැකියි.

මග හැරුණු / මග හැරගත් ස්වර්ණමය අවස්ථා

නොබිඳි ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ සිට වඩ වඩාත් ආධ්‍යාත්මක දියුණුව දෙසට යන මාතෘතා දක්වා සාකච්ඡුා කළ නිදහස් ශ‍්‍රී ලංකාවේ ධනාත්මක ශේෂ පත‍්‍රය වෙතින් අපගේ අවධානය අපට මග හැරුණු හෝ මග හැරගත් ස්වර්ණමය අවස්ථා වෙත යොමු කළ යුතුයි. එවිට අපට නිදහස් ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් වඩාත් පරිපූර්ණ චිත‍්‍රයක් නිර්මාණය කරගත හැකියි.

ජාතියක් වශයෙන් එක් නොවීම

ශ‍්‍රී ලංකාව විසින් දිනාගත් සියලූ ජයග‍්‍රහණ නිශේෂධන කළ සදාකාලික, එසේ නොමැති නම් ප‍්‍රමුඛ ව්‍යාධිය වශයෙන් සැලකිය හැකි වන්නේ ‘‘ශ‍්‍රී ලාංකේය ජාතියක් ’’ වශයෙන් එක ධජයක් යටතේ එක්වීමට පසුගිය 71 වසරක කාලය තුළ පවා ශ‍්‍ර‍්‍රී ලංකාවේ සිංහල, දමිළ, මුස්ලිම් යන ජනවර්ග තුනට සහ බෞද්ධ, හින්දු, ඉස්ලාම් සහ කතෝලික යන ආගම් අදහන ජනතාවට තව දුරටත් අසීරු වීමයි. නැතහොත් නොතකා හැරීමයි.

ජාතික අන්‍යතාවක් අනවශ්‍ය හෝ බාධාකාරි යටත් විජිත පාලනය තුළ යටත් විජිතවාදයට එරෙහිව එකාවන්ව අරගල කළ, ලේ දහඩිය පූජා කළ මෙම ජන වර්ග තුන නිදහස් ශ‍්‍රී ලංකාව බිහි වූ අරම්භක දිනයේ සිට ජාතීන් වශයෙන් බෙදී වෙන්වී යාමට (උතුරේ දමිළ ජනතාව) ගත් නොසැලකිලිමත් උනන්දුව හෝ උත්හාසය එකාවන්ට සටන් කොට දිනාගත් නිදහසේ වටිනාකම බාල්දු කළා පමණක් නොව එක්ව නැගිටීමට තිබූ අවස්ථාව ද දුර්වල කළ බව නොරහසක්. 50-50 යෝජනාවේ සිට එස්.ජේ.වී චෙල්වනායගම් මහතාගේ පෙඩරල් ඉල්ලීම දක්වා සත්‍යග‍්‍රහ, පාර්ලිමේන්තු ක‍්‍රමය ආදි අවිහිංසාවාදී ක‍්‍රම තුළ ක‍්‍රමිකව ව්‍යාප්ත වූ බෙදුම්වාදී විසබීජය 1975දී යාපනය නගරාධිපති අල්ප‍්‍රඞ් දොරේඅප්පා ඝාතනය කිරීම සමග බෙදුම්වාදී ත‍්‍රස්තවාදයක් බවට පත්වීම ශ‍්‍රී ලාංකේය ජාතියක් බිහි කිරීමට තිබූ අවස්ථාවට ප‍්‍රබල බාධයක් වූ බව පැහැදිලි කරුණක්.

උතුරේ තරුණයින් සන්නද්ධ ව්‍යාපාරයක් මගින් තම රාජ්‍යක් බිහිකර ගැනීමට යොමු වීම කෙරෙහි බහුතරය වූ සිංහල ජනතාව, විශේෂයෙන් පාලකයින් වෙතින් ප‍්‍රබල උත්තේජනයක් ලැබූ බව නොරහසක්. එහෙත් ජන වාර්ගික වශයෙන් නොව ජාතියක් වශයෙන් එක්ව තම ගැටලූ හෝ අභියෝග විසඳා ගැනීමට එදා ශ‍්‍රී ලංකාවට හැකියාව ලැබුණේ නම් ශ‍්‍රී ලංකාව නිදහස දිනාගත් දා සිට දමිළ සමාජය තුළින් සිදු වූ අඛණ්ඩ බුද්ධි ගලනය (දමිළ බුද්ධිමතුන් රට හැර යාම) සේම උතුරේ ආර්ථිකය සමස්ත ආර්ථිකය තුළින් බිඳීයාම නිසා උද්ගත වූ හානිකර තත්ත්වය ද වළකා ගත හැකි වනු ඇති බව නිසැකයි. එමෙන්ම 1980 දශකයේ ලෝකය පුරා පැතිර ගිය, විශේෂයෙන් අග්නිදිග ආසියාව ප‍්‍රභර්ෂයට පත් කළ ආර්ථික සංවර්ධන රැුල්ලේ උපරිම ප‍්‍රතිලාභ නෙළා ගැනීමට ශ‍්‍රී ලංකාවට ස්වර්ණමය අවස්ථාවක් උදාවනු ඇති බව නිසැකයි.

එහෙත් 1980 දශකයේ ආරම්භයත් සමග අතිෂයින් සංකීර්ණ හා ව්‍යාප්ත වූ බෙදුම්වාදී ව්‍යාපාරය ත‍්‍රස්තවාදයක් බවට පත්වීම සමග ගෝලී වශයෙන් නිර්මාණය වෙමින් පැවැති වාසිදායක වාතාවරණය ( විශේෂයෙන් විදේශ ආයෝජන සහ සංචාරක* ශ‍්‍රී ලංකාවට දුරස්ථ වූ අතර ශ‍්‍රී ලංකාවට තම සමස්ත අවධානය හා සම්පත් නිර්ථක යුද්ධයක් වෙනුවෙන් වැය කිරීමට සිදු වුණා. ලක්ෂ 4කට ආසන්න රජයේ හමුදාවක් නඩත්තු කරමින් දළ දේශීය නිෂ්පාදතිතයෙන් සියයට 7ක් පමණ යුධ වියදම් වශයෙන්  දැරීමට සිදු වීම සහ යුද්ධය හේතුවෙන් උතුරු – නැගෙනහිර නිෂ්පාදන ඇතුළු සම්පත් ජාතික ආර්ථිකයට අහිමි වීම, විදේශ ආයෝජන හා සංචාරක ව්‍යාපාරය දුර්වල වීම ආදි දැවැන්ත ඍණාත්මකතා ජාතිය ගොඩනැගීමට අසමත් වීමේ ආදීනව / වන්දි වශයෙන් වසර 30ක් පුරා ගෙවීමට ශ‍්‍රී ලංකාවට සිදු වුණා. මෙය නිදහස් ශ‍්‍රී ලංකාව විසින් අත්හැර ගත් හෝ මගහැර ගත් ස්වර්ණමය අවස්ථාව වශයෙන් සැලකිය හැකියි. ඇතැම් විද්වතුන්ට අනුව 80 දශකයේ දී ශ‍්‍රී ලංකාව තුළ බෙදුම්වාදී යුද්ධය ආරම්භ නොවුණානම් ශ‍්‍රී ලංකාව දකුණු කොරියාව, මැලයාසියාව ආදි අග්නිදිග ආසියානු ව්‍යාග‍්‍රයින් (මෙය එම රටවල් හැඳින්වීමට එකල භාවිත කළ නමයි) සමග සම අසුන් ගැනීම අනිවාර්යය කරුණක් වුණා.

සුජාතභාවයක් ඇති සංහිඳියාව ගොඩනැගීම

සිවිල් යුද තත්ත්වය අවසන් වී දශකයක් ගෙවීමට ආසන්න වුවත් අපට තමවත් ශ‍්‍රී ලාංකේය ජාතිය බිහිකර ගැනීමට හැකියාවක් ලැබී නැති බව පැහැදිලි කරුණක්. දශකයකට පසුවත් 30 අවුරුදු යුද්ධයේ සහ එහි මූල බීජයේ මතකයන් මගින් දමිළ ජනතාව පීඩනයට පත්ව සිටින බවක් දැකගත හැකි අතර සිිංහල සමාජය සුපුරුදු පරිදි බහුතරවාදී ආකල්පයෙන් සහ ඇතැම් අවස්ථාවක ජයග‍්‍රාහකයාගේ මනෝභාවයෙන් කටයුතු කිරීම ශ‍්‍රී ලාංකේය ජාතියක් බිහිකිරීමට තව දුරටත් බාධාකාරී වෙමින් තිබෙනවා. මේ තත්ත්වය තුළ ශ‍්‍රී ලංකාවේ හමුවේ පවතින වහා ජයගත යුතු අභියෝගය වන්නේ ජාති, ආගම් වශයෙන් බෙදී වෙන්වී හෝ දුරස්ථවීමට අනුබල ලබමින් සිටින ප‍්‍රධාන ජනවර්ග සහ ආගමිකයින් එක් කිරීම සඳහා වඩාත් ඵලදායී සහ විශ්වාසනීය සහ අනෝන්‍ය ගරුත්වය සුරක්ෂිත කරන ජාතික සංහිඳියාත්මක ප‍්‍රවේශයක් ආරම්භ කිරීමයි. එය තම අන්‍යයතාව සහ අභිමානය පිළිබඳ සියලූ ජන වර්ගවල බිය සහ සැකය තුරන් කරන ප‍්‍රවේශයක් විය යුතු අතර ඉතාම පැහැදිලිව පොදු පිළිගැනීමක් සහ සුජාතභාවයක් ඇති වැඩපිළිවෙළක් ද විය යුතුව තිබෙනවා.

මෙහිදී විශේෂයෙන් සැලකිලිමත් විය යුතු කරුණ වන්නේ අදාළ විසඳුම හෝ වැඩපිළිවෙළ ‘‘සුජාතභාවයක් ’’ ඇති එකක් වීම සහ පොදු පිළිගැනීමක් ඇති එකක් වීමයි. එය කිසිසේත් බලවතුන් හෝ හෝ අවස්ථාවාදීන්ගේ සටකපට හෝ අවස්ථාවාදී කූටෝපායක් වුවහොත් පවතින් තත්ත්වය වඩ වඩාත් ව්‍යාකූල කිරීමටත් ගැටුම්කාරී කිරීමටත් හේතු වනු ඇති බව වටහා ගත යුතුයි. එනිසා ජාතික සංහිඳියාව / ශ‍්‍රී ලාංකේය ජාතිය ගොඩනැගිීම නිදහස් ශ‍්‍රී ලංකාවේ ‘‘ස්වාධීනත්වය’’ නැතහොත් අදීනත්වය සම්බන්ධ හැරවුම් ලක්ෂයක්් වනු ඇති අතර එය සමස්ත ජයග‍්‍රහණවල පදනම වනු ඇති බව ද අදාළ සියලූ පාර්ශ්ව විසින් වටහා ගත යුතුව තිබෙනවා. එහිදී අතීතයෙන් පාඩම් ඉගෙන ගැනීම මිස අතීතය මත යැපීම හෝ අතීතය වෙනුවෙන් වැළපීම හෝ වන්දි ගැනීමක් නොවිය යුතුව තිබෙනවා.

අතවත් නොතැබූ දේශපාලන සංහිඳියාව

ශ‍්‍රී ලංකාවේ බරපතළම ජාතික ගැටලූව ජාතිය ගොඩනැඟීම බවට කිසිඳු සැකයක් නැහැ. ඒ සඳහා වන ප‍්‍රශස්තම ප‍්‍රවේශය වන්නේ ජාතික සංහිඳියාව ගොඩනැගීමයි. එහෙත් ජාතික සංහිඳියාව ඇතුළු සකලවිධ අර්බුදයන්ගේ තිඹිරිගෙය වශයෙන් සැලකිය හැකි ‘‘දේශපාලන සංහිඳියාව’’ ගොඩනැඟීම කෙරෙහි මේ දක්වා කිසිවෙකුගේ අවධානයක් යොමු නොවීම සමස්ත තත්ත්වය තව දුරටත් ව්‍යාකූල කිරීමට හේතු වෙලා තිබෙනවා. එනිසා මේ මොහොතේ ජාතික වශයෙන් ප‍්‍රමුඛ අවධානයක් රට තුළ දේශපාලන සංහිඳියාව ගොඩනැගීම කෙරෙහි යොමු විය යුතුව තිබෙනවා.මේ තත්ත්වය ඇතැමෙකුට ව්‍යාකූල හෝ තේරුම් ගැනීමට අපහසු කරුණක් විය හැකියි. ඊට හේතු වන්නේ දේශපාලන සංහිඳියාව බිහි කිරීමක් ගැන මේ දක්වා විධිමත් අවධානයක් යොමු නොවීමයි.

මේ තත්ත්වය පැහැදිලි කර ගැනීමට නිදහස් ශ‍්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසය වෙත යා යුතුයි. ශ‍්‍රී ලංකාව රටක් වශයෙන් මුහුණ දුන් අර්බුද බොහොමයකට ඍජුව දේශපාලනය වගකිව යුතු බව පැහැදිලි කරුණක්. එහෙත් ජාතික ගැටලූවට විසඳුමක් ලබා ගැනීම, ආර්ථික සංවර්ධනය, අධ්‍යාපන ඇතුළු සමාජ ප‍්‍රතිසංස්කරණ ඇතුළු ක්ෂේත‍්‍ර ගණනාකදී දේශපාලනමය නොවන කරුණු ප‍්‍රමුඛ හේතුව බවට පත්ව තිබුණා. මේ අවස්ථාවලදී ඒ ඒ දේශපාලන පක්ෂ, ආණ්ඩුව – විපක්ෂය පොදු ජාතික න්‍යාය පත‍්‍රවලින් බැහැරව පටු දේශපාලන න්‍යාය පත‍්‍ර පෙරට ගැනීම සමග අදාළ තත්ත්වයන් තව දුරටත් සංකීර්ණ සහ ලිහාගත නොහැකි ගැටලූ බවට පත් වුණා. උතුරු – නැගෙනහිර බලය බෙදීම සම්බන්ධ ගැටලූව මේ සඳහා පැහැදිලිම නිදසුනයි. 1956 බණ්ඩාරනායක – චෙල්වනායගම්, 1966  ඩඩලි – චෙල්වනායගම්, 1987 ඉන්දු ලංකා ගිවිසුම, 2000 නව ව්‍යවස්ථාව, 2002 සටන් විරාම ගිවිසුම, 2008 සර්ව පාක්ෂික සමුළුව පමණක් නොව 2015 වන ව්‍යවස්ථා සම්පාදන ක‍්‍රියාවලිය තුළ ද මේ දේශපාලන බෙදීම පැහැදිලිව දැකගත හැකිව තිබෙනවා. මේ සියලූම අවස්ථාවලදී අපට පැහැදිලිව දැකගත හැකි වන්නේ ‘‘එරෙහි වීමේ ඉතිහාසයක් ’’ පමණක්. ආණ්ඩු පක්ෂය ගෙන එන සියලූම විසඳුම්වලට විපක්ෂය එකහෙළා විරුද්ධ වීම සහ යළි තමන් බලයට පත් වූ විගස එකී විසඳුම ම (බොහෝ විට වෙනත් නමකින්) ඉදිරියට ගෙන ඒම ලංකාවේ දේශපාලනයේ සුලභ තත්ත්වයයි. මෙය බණ්ඩාරනායක – චෙල්වනායගම් ගිවිසුමට එජාපට විරුද්ධ වීම සහ යළි 1966 දී එජාපයේ  ඩඞ්ලි – චෙල්වනායගම් ගිවිසුම ශ‍්‍රීලනිපය විරුද්ධ වීමේ සිට වත්මන් ව්‍යවස්ථා සංශෝධන දක්වා ගමන් කරනවා. මේ තත්ත්වය ආර්ථික සහ පරිපාලන ක්ෂේත‍්‍ර තුළ ද පැහැදිලිව දැකගත හැකි ප‍්‍රමුඛ දුර්ගුණයක් බව අප අමතක නොකළ යුතුයි.

යම් කිසි ආකාරයකින් ජාතික ප‍්‍රශ්න සහ අභියෝග සම්බන්ධයෙන් දේශපාලන සංහිඳියාවක් නිර්මාණය කර ගැනීමට අපට හැකියාව ලැබුණහොත් එය ඉදිරියේ දී ජයගත යුතු අනිවාර්ය අභියෝග වන ජාතික සංහිඳියාව, නව ව්‍යවස්ථාව, ආර්ථික ප‍්‍රතිසංස්කරණ, මැතිවරණ ක‍්‍රමය වෙනස් කිරීම, විධායක ජනාධිපති ක‍්‍රමය හා සම්බන්ධ ගැටලූවලට සේම අධ්‍යාපන, සුබසාධන ඇතුළු තවත් තීරණාත්මක ක්ෂේත‍්‍ර ගණනාවක ජයග‍්‍රහණවලට ප‍්‍රමුඛ ශක්තිය වනු ඇති බව පැහැදිලියි. එනිසා 71 වන නිදහස් දිනයෙන් පසු උදාවන කාලය තුළ හෝ පටු පක්ෂ, පාට භේද ඉවතා දේශපාලන සංහිඳියාවක් ගොඩනැගීම තුළින් රට මුහුණ දෙන බරපතළ අභියෝග ජය ගැනීමට විධිමත් හා විශ්වාසනීය ප‍්‍රවේශයක් ගත යුතුව තිබෙනවා. ජාතික සංහිඳියාව ගොඩනැගීමට සහ ආර්ථික අභියෝග ජය ගැනීමට රට හමුවේ පවතින ප‍්‍රබල බාධාව දේශපාලන සංහිඳියාවෙන් තොර කුලල් කා ගැනීම හා කකුලෙන් ඇද බාධා කිරීම බව අප සියලූ දෙනා විසින්ම වටහා ගත යුතුයි.

මේ තත්ත්වය තුළ පටු වාදභේද ඉවත දා දේශපාලන සංහිඳියාව ගොඩනැගීම සඳහා පයක් පෙරට හෝ පසුපසට ගන්නා දේශපාලනඥයා ජාතියේ සමස්ත ඉරණමේ භාරකරුවා බවට පත්වන බව අවධාරණය කළ යුතුයි. මන්ද වත්මන් ගැටුම්කාරී දේශපාලන වාතාවරණය තුළ දේශපාලන සංහිඳියාව බිහි කිරීමෙන් තොර අනාගතයක් නැති බව පැහැදිලිව විද්‍යාමාන වන නිසයි\

තිරසර ආර්ථික සංවර්ධනයක්

තිස් අවුරුදු යුද්ධය ශ‍්‍රී ලංකාව දීර්ඝ කාලයක් පුරා මුහුණ දී සිටින ආර්ථික අර්බුදයට මුඛ හේතුව බව ඇතැම් විට දැකගත හැකි වුවත් ඒ හා සමානව තවත් සංකීර්ණ කරුණු රැසක් වත්මන් ආර්ථික ආර්බුදයට හේතු වී තිබෙනවා. මේ සම්බන්ධයෙන් පැහැදලි අදහසක් පහත ෙඡ්දය මගින් ලබාගත හැකියි.

‘‘ආර්ථික වර්ධනය අරමුණු කරගත් ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාත්මක කිරීම මගින් ආර්ථිකයේ මන්දගාමී වර්ධන තත්ත්වය කෙරෙහි අවධානය යොමු කිරීම ප‍්‍රමුඛතාවක්ව පවතී. ශ‍්‍රී ලංකාව, මැද ආදායම් ලබන ආර්ථිකයක් බවට පත් වෙමින්, 2017 වසර වන විට එ.ජ. ඩොලර් 4,065 ක ඒක පුද්ගල ආදායම් මට්ටමක් කරා ක‍්‍රමයෙන් ළඟාවී ඇත. කෙසේ වෙතත්, කෙටිකාලීන දේශපාලනික වාසි උදෙසා ක‍්‍රියාත්මක වන ප‍්‍රතිපත්තිමය වෙනස්වීම් අවම කරමින්, දිගුකාලීන දැක්මකින් යුතුව පොදු මහජන අභිවෘද්ධිය කෙරෙහි වැඩි අවධානය යොමු කරමින් තාර්කිකව ප‍්‍රතිපත්ති සම්පාදනය කිරීම තුළින් පමණක් තවදුරටත් රට දියුණුව කරා මෙහෙයවිය හැකිය. (ශ‍්‍රී ලංකා මහ බැංකුව, වාර්ෂික වාර්තාව 2017, පිටුව 03)

මෙහිදී ඉතාම පැහැදිලිව ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය පසුගිය කාලය තුළ කෙටිකාලීන දේශපාලනික වාසි උදෙසා ක‍්‍රියාත්මක වීම වෙනුවට දිගුකාලීන දක්මකින් යුතුව පොදු මහජන අභිවෘද්ධිය සඳහා අවධානය යොමු කරමින් තාර්කිකව ප‍්‍රතිපත්ති සම්පාදනය කරමින් ආර්ථිකය මෙහෙයවිය යුතු බව අවධාරණය කරනවා.

ඉහත සඳහන් වන විවේචනය ගැන රටේ අති බහුතරක් ජනතාව තුළ කිසිදු ආකාරයක විවේචනයක් නැති බව පැහැදිලි කරුණක්. 1948 සිට ‘‘කෙටි කාලීන දේශපාලනික වාසි’’ ඉලක්ක කර ගනිමින් ක‍්‍රියාත්මක වූ විවිධාකාරයේ ආර්ථික සංවර්ධන වැඩසටහන්වලින් රටට උරුම වූ ඉරණම මේ වන විට අප හමුවේ වඩාත් හොඳින් නිරාවරණය වෙලා තිබෙනවා. උදාහරණයක් ලෙස ලබාගත් ණය ගෙවීමට පමණක් 2019 වර්ෂයේදී ඇමෙරිකානු ඩොලර් බිලියන 5.9ක් ගෙවිය යුතුව තිබෙන බව මුදල් ඇමැතිවරයා කියනවා. ඒ සමග එදිනෙදා වියදම් පියවා ගැනීමටත් විදේශවලින් ණය ලබා ගැනීමට ආණ්ඩුවට සිදුව තිබෙනවා. රටේ විදේශ සංචිතවල මට්ටම තහවුරු කිරමට පවා විදේශවලින් ණය ලබා ගැනීමට සිදුවීම තුළ රට ආර්ථික වශයෙන් පත්ව ඇති අහේනිය මනාව පැහැදිලි වෙනවා.

මේ සියලූ ව්‍යාධීන් හුදු අහඹුවක් නිසා නිර්මාණය වූවක් නොව ‘‘කෙටි කාලීන දේශපාලන වාසි’’ තකා ක‍්‍රියාත්මක වූ විවිධාකාරයේ සංවර්ධන, සුබසාධන වැඩසටහන් නිසා නිර්මාණය වූ යථාවක් බව අප වටහා ගත යුතුව තිබෙනවා.

මගෙන් – රටට සංකල්පය

මේ තත්ත්වය තුළ ශ‍්‍රී ලංකා මහ බැංකුව යෝජනා කරන ආකාරයට දිගුකාලීන දැක්මකින් යුතුව පොදු මහජන අභිවෘද්ධිය කෙරෙහි වැඩි අවධානය යොමු කරමින් තාර්කිකව ප‍්‍රතිපත්ති සම්පාදනය කිරීම තුළින් පමණක් තවදුරටත් රට දියුණුව කරා මෙහෙයවිය හැකි යුගයක් නිර්මාණය කිරීමේ වගකීම රට හමුවේ තිබෙනවා. මෙහිදී දේශපාලනඥයින් පමණක් නොව සමස්ත මහජනතාව ම තීරණාත්මක කැප කිරීමක් හා සහායක් ලබාදිය යුතු බව අප වටහා ගත යුතුයි. උදාහරණයක් ලෙස සියලූ දේ රජයෙන් ලබා ගත යුතු හෝ ලබාදිය යුතුය යන මතයක් අන් කවරදාටත් වඩා වැඩියෙන් වර්තමානය වන විට ජනතාව අතර තිබෙනවා. හොඳ රෝහල්, බෙහෙත්, පාසල්, ශිෂ්‍යාධාර පමණක් නොව උපාධිධාරීන්ට රැකියා පවා ලබාදීම රජයේ වගකීමක් බවට මතයක් බොහෝ කාලයක් තුළ ජනතාව අතර මුල් බැසගෙන තිබෙනවා. එමෙන්ම රජය විසින් වාරි ජලය, සහන මිලට පොහොර ලබාදීම පමණක් නොව වැඩි මිලට තම නිෂ්පාදන මිලදී ගත යුතුය යන මතයක් ගොවීන් ඇතුළු කණ්ඩායම් තුළ තිබෙනවා. එමෙන්ම වෘත්තිකයින් තීරු බදු සහන ආදිය ඍජුව රජයෙන් අපේක්ෂා කරනවා. ජනතාව පොදුවේ අඩු මිලට භාණ්ඩ හා සේවා වගේම ඉහළ වැටුප් අපේක්ෂා කරනවා.

එහෙත් මේ සියලූ දේ සැපයීම සඳහා රජයට බදු ගෙවිය යුතු බව හෝ රජය මේ සියල්ල කරන්නේ බදු මගින් බව මේ සියලූ කණ්ඩායම් විසින් හිතාමතාම අමතක කර දමනවා. මේ අතිෂයින් කුහක සහ අවස්ථාවාදී තත්ත්වයක් බව අදවත් ජනතාව විසින් අවබෝධ කර ගත යුතුයි. එහිදී විශේෂයෙන් ‘‘ආණ්ඩුවෙන් – මට ’’ මෙන්ම ‘‘මගෙන් – රටට / ආණ්ඩුවට’’ ලැබෙන දේ ගැන ජනතාව ඇතුළු සියලූ පාර්ශ්වවල අවංක අවධානයක් යොමු විය යුතුයි. එසේ නොවුණහොත් තව දුරටත් විදේශයන්ට ණය වීම හැර ආණ්ඩුවට වෙනත් විකල්පයක් නොමැති බව අප වටහා ගත යුතුයි.

පොදු අභියෝග ජය ගැනීම

රජයේ හෝ රජය සම්බන්ධ නොවන පොදු අභියෝග රැසක් ද පසුගිය කාලය පුරා ජනතාව පීඩාවට පත් කරමින් සිටිනවා. ඒ අතර වඩාත් ප‍්‍රමුඛ පොදු ගැටලූ කිහිපයක් තිබෙනවා.

මාර්ග අනතුරු සහ මත්ද්‍රව්‍ය භාවිතය ඉහළ යාම අද රටක් වශයෙන් අප මුහුණ දෙමින් සිටින තවත් දැවැන්ත සමාජයීය ව්‍යසනයක්වී තිබෙනවා. පසුගිය යුද කාලයේ දෛනිකව සිදු වූ පුද්ගල මරණවලට වඩා වැඩි මරණ සංඛ්‍යාවක් අද දෛනිකව රට තුළ සිදු වෙනවා. ඒ සමග සදාකාලික ආබාධිතවීම ඇතුළු පුද්ගල හානි ද රථ වාහනවලට, අදාළ තුවාලකරුවන්ට සෞඛ්‍ය පහසුකම් සැපයීම ඇතුළු සමාජයීය පිරිවැය ද අද දරාගත නොහැකි තත්ත්වයට පත්ව තිබෙනවා. මේ තත්ත්වය හමුවේ පොදුවේ රථවාහන අනතුරු අවම කර ගැනීමට අප ජාතියක් වශයෙන් පෙරට ආ  යුතුයි. රථ වාහන පොලීසයට හෝ රජයට පමණක් මේ බර දැරිය නොහැකියි. එය අප සියලූ දෙනාම එකාවන්ට එක් වන පොදු ජාතික ව්‍යායාමක් බවට පත්කර ගත යුතුයි.

මේ සමග පසුගිය කාලය පුරාම රටටත් සමාජයත් මහත් පීඩාවක් බවට පත්ව තිබෙන මත්ද්‍රව්‍ය භාවිතය ඉහළ යාම ගැන සමස්ත සමාජයේම අවධානය යොමු විය යුතුයි. නිදහස් අරගලයට තිඹිරි ගෙන වූ ‘‘අමද්‍යප ව්‍යාපාරය’’ වැනි පුළුල් සමාජ හා දේශපාලන මැදිහත්වමක් මේ අවස්ථාවේ පොදුවේ සමාජය අපේක්ෂා කරනවා. එසේ නොනුණහොත් යටත් විජිත යුගයේ කරගත නොහැකි වූ දේ නව යටත් විජිත යුගයේ ඉටුකර ගැනීමට විදේශ බලවේගවලට පහසු අවස්ථාවක් නිර්මාණය විය හැකියි.

ඒ සමග අපරාධ රැල්ල, මෙන්ම ළමා හා කාන්තා අපචාර කෙරෙහි ද පොදුවේ දේශපාලන හා සමාජයීය අවධානය වඩ වඩාත් යොමු විය යුතු වාතාවරණයක් නිර්මාණය වෙමින් තිබෙනවා. සමාජය තුළ පුරවැසියාත්, කාන්තාවන් සහ ළමුන් අනාරක්ෂිතවීම කිසිසේත් සමාජ සංවර්ධනය සඳහා යහපත් වාතාවරණයක් නිර්මාණය නොකරන බව අප විසින් වටහා ගත යුතුයි.

ආපදා අවදානම ඉහළ යාම

දෙවියන්ගේ / ස්වභාව ධර්මයේ ආශිර්වාදය ලැබූ රටක් වශයෙන් අපට තිබූ වාසනා මහිමය මේ වන විට අවශ්‍ය ප‍්‍රමාණයටත් වඩා අභියෝගයට ලක්ව තිබෙනවා. ඒ දේශගුණික විපර්යාස හමුවේ ශ‍්‍රී ලංකාව මුහුණ දෙන ස්වභාවික ආපදා අවදානම ඉතිසායේ අන් කවරදාටත් නොවූ ලෙස ඉහළ යාමයි. එක්සත් ජාතීන්ට අනුව පසුගිය 2016 වර්ෂයේ ශ‍්‍රී ලංකාව ගෝලීය ආපදා අවදානම් දර්ශකයේ සිවු වැනි (4) ස්ථානයේ සිටි අතර 2018 දී ශ‍්‍රී ලංකාව ගෝලීය ආපදා අවදානම් දර්ශකයේ දෙවැනි (2) ස්ථානයට පැමිණ තිබෙනවා. මේ අනුව ජල ගැලීම්, නියඟ, නාය යෑම්, දැඩි සුළිසුළං අවදානමට ශ‍්‍රී ලංකාව විශාල වශයෙන් ගොදුරු වෙමින් තිබෙනවා. මේ තත්ත්වය කිසිසේත් යහපත් තත්ත්වයක් නොවෙයි. නිමක් නැති ස්වභාවික ආපදාවල පහසු ගොදුරුක් බවට ශ‍්‍රී ලංකාව පත්වීම තුළ සමස්ත සමාජයීය ජීවිතය පමණක් නොව කෘෂිකර්මාන්තය, සෞඛ්‍ය ඇතුළු සියලූ අංශවල දැඩි අවදානමක් නිර්මාණය වෙනවා. සමාජ හා ආර්ථික අනාරක්ෂිතභාවය ඇති වෙනවා.

දේශගුණික විපර්යාස සහ ස්වභාවික ආපදා අවදානම අවම කිරීම ජාතික වශයෙන් ක‍්‍රියාත්මක විය යුතු වැඩපිළිවෙළක් වුවත් අපට පුද්ගලිකව, පුරවැසියෙක් ලෙස තනි තනිව ඒ සඳහා සුවිශේෂ දායකත්වයක් ලබාදිය හැකියි. අප විසින් නිවා දමන එක විදුලි පහනක සිට රෝපණය කරන පුංචි පැළයක් දක්වා මේ සහභාගීත්වය ගමන් කරනවා. එනිසා සමස්ත ආර්ථි, සමාජ සංවර්ධන ප‍්‍රමුඛතා සහ ජයග‍්‍රහණය මොහොතකින් එක මඩ ගොඩක් කළ හැකි ස්වභාවික ආපදා අවදානම් අවම කිරීම හෝ ශූන්‍ය කිරීමට දායකත්වය ලබාදීම අප හමුවේ පවතින දැවැන්තම අභියෝගය බව අවිවාදයෙන් යුතුව සඳහන් කළ යුතුයි.

වගකීම සහ වගවීම

ඉහත සඳහන් කළ සියලූ අභියෝග ජය ගැනීමේදී පුරවැසියෙක් ලෙස ඒ සඳහා නොමසුරු දායකත්වය ලබාදීමට අප සැමට වගකීමක් තිබෙනවා. එමෙන්ම එකී වගකීම ඉක්මවා ගිය වගවීමක් ද අප විසින් භාරගත යුතුව තිබෙනවා. ඊට හේතුව වන්නේ රටක් වශයෙන් අප විසින් දිනාගත් සියල්ල මා විසින් තනිව ලබාගත් පුද්ගලික ජයග‍්‍රහණයක් නොව රටක්, ජාතියක් වශයෙන් පොදුවේ දිනාගත් ජයග‍්‍රහණයන් වීම නිසයි. එනිසා ලබාගත් ජයග‍්‍රහණ පොදුවේ භුක්ති විඳින්නා සේ අප හමුවේ ඇති අභියෝග ජය ගැනීමට ද පොදුවේ හවුල් විය යුතුයි. රට හමුවේ පවතින අභියෝග ජයගත හැකි වන්නේ එවැනි ප‍්‍රවේශයකින් පමණයි.

සටහන – ආචාර්ය භාතිය කුමාරනායක

Recommended For You

About the Author: Admin