පරමාධිපත්‍ය පිට්පොකැට් ගැසීම

‘‘දේශපාලනය යනු බලයයි – බලය යනු දේශපාලනයයි’’ අනපේක්ෂිත ලෙස නිර්මාණය වූ ශ‍්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්ත්වය විමසීමේදී මෙම කියමන කොතරම් අදාළ දැයි පහසුවෙන් වටහා ගත හැකියි. ඒ ලංකාවේ වත්මන් දේශපාලන තත්ත්වය ඉතාම පැහැදිලිව ‘‘බලය’’ හා සම්බන්ධ ගැටලූවක් වශයෙන් හඳුනා ගත හැකි නිසයි. මේ වන විට බලය සම්බන්ධ මෙම ගැටලූව හුදු ‘‘බහුතරය පෙන්වීමක් බවට’’ රූපාන්තරය වී ඇතත් එය හුදු බහුතරය ඉක්මවා ගිය බලය හා සම්බන්ධ ‘‘සුජාතභාවය’’ පිළිබඳ කරුණක් වශයෙන් ද සැලකිය හැකියි. එහෙත්, බලය දිනා ගැනීම සඳහා සහ බලය රැක ගැනීම සඳහා ගන්නා  ඕනෑම පියවරක් බලය අභිසය සුජාතභාවයට ලක්වන තත්ත්වය තුළ අවශ්‍යයෙන්ම ජයග‍්‍රාහකයා වනු ඇත්තේ අල්ලා ගත් බලය රැක ගන්නා / තහවුරු කර ගන්නා පුද්ගලයා බව පැහැදිලි කරුණක්. මේ තත්ත්වය වත්මන් බල අරගලයේ ප‍්‍රකාශකයින් වන මහින්ද රාජපක්ෂ මහතා සහ රනිල් වික‍්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් ද එකසේ අදාළ බවක් දැකිය හැකියි. ඒ අනුව  ලංකාවේ වත්මන් දේශපාලන අර්බුදය නිමාවට පත්වනු ඇත්තේ අල්ලා ගත් බලය රැක ගැනීමට / තහවුරු කර ගැනීමට සමත්වන්නා ජයග‍්‍රාහකයා වීම තුළින් බව පැහැදිලියි.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා සැලකෙන්නේ දීර්ඝම කාලයක් එජාපයේ නායකත්වය දැරූ පුද්ගලයා වශයෙනුයි. එය ආසන්න වශයෙන් සියවස් 1/4ක් වශයෙන් සැලකිය හැකියි. (1994 … තමා නායකත්වය දෙන දේශපාලන පක්ෂයට පූර්ණ රාජ්‍ය බලය දිනා දීමකින් තොරව මෙපමණ දීර්ඝ කාලයක් පක්ෂ නායකත්වය අල්ලා ගෙන සිටි ලොව එකම පක්ෂ නායකයා වශයෙන් ඇතැම් විට රනිල් වික‍්‍රමසිංහ මහතා වාර්තාගත විය හැකියි.

ඇතැමුන්ට අනුව දේශපාලන උපායශීත්වයේදී දෙවැනි වන්නේ ජේ.ආර් ජයවර්ධන මහතාට පමණයි. මේ සමග ‘‘රනිල් දක්ෂයෙක් / බුද්ධිමතෙක් / ලෝකය පිළිගත් නායකයෙක් ’’ බවට නාමකරණය කිරීමටත් බොහෝ දෙනෙක් සූදානම් වෙනවා. ‘‘රනිල් පිරිසිදු නායකයෙක් ’’ යන යෙදුම මහ බැංකු බැඳුම්කර සිදුවීම හරහා මේ වන විට මතභේදයට ලක්ව තිබෙනවා.

ඉහත තත්ත්වය තුළ ශ‍්‍රී ලංකා දේශපාලන ඉතිහාසය තුළ බලය සම්බන්ධ අරගලයේදී, නැතහොත් ‘බල අරගලයේදී’ රනිල් වික‍්‍රමසිංහ මහතාගේ චරිතය සුවිශේෂ බව පැහැදිලි කරුණක්. ඒ කරුණු කිහිපයක් නිසයි. එයින් ප‍්‍රධාන වන්නේ බලය අල්ලා ගැනීම/ දිනා ගැනීම පහසුවෙන් කළ හැකි වුවත් එය රැක ගැනීමට / තහවුරු කර ගැනීමට ඇති නොහැකියාව වැඩියෙන්ම ප‍්‍රකට කළ නායකයා රනිල් වික‍්‍රමසිංහ මහතා වීම නිසයි. මේ තත්ත්වය වඩාත් පහසුවෙන් වටහා ගැනීම සඳහා අපට රනිල් වික‍්‍රමසිංහ මහතාගේ එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව භූමිකාව සහ අගමැතිවරයෙක් වශයෙන් වූ ජාතික භූමිකාව සාකච්ඡාවට ගත හැකියි.

බලය සහ රනිල් භූමිකාව

1977 – 1993 එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩු සමයේ රනිල් වික‍්‍රමසිංහ භූමිකාව තීරණාත්මක එකක් වුණේ නැහැ. ඒ ජේ.ආර් ජයවර්ධන මහතාගෙන් පසුව එජාප නායකත්වය සඳහා අගමැති රණසිංහ පේ‍්‍රමදාස, ලලිත් ඇතුලත්මුදලි හා ගාමිණි දිසානායක අතර පැවැති තුන් කොන් සටන තුළ ජනාධිපතිවරයාගේ බෑණාට ඔටුන්න හිමිවීම හුදු සිහිනයක් පමණක් වීම තුළයි. එනිසා 1977-93 යුගය සැලකිය හැකි වන්නේ රනිල් වික‍්‍රමසිංහ මහතා දෙවැනි පෙළ තරුණ නායකයන් අතර තවත් එක් ඇමැතිවරයෙක් පමණක් වූ බවයි. එහෙත් එජාපයට පමණක් නොව මුළු රටට ම ඛේදවාචකයක් උරුම කර දුන් සිදුවීම් කිහිපයක්, ජනාධිපති පේ‍්‍රමදාස, ලලිත් ඇතුලත්මුදලි හා ගාමිණි දිසානායක යන එජාප දැවැන්තයින් අනපේක්ෂිත ලෙස ඝාතනය වීම හමුවේ 1994 දී අනපේක්ෂිත ලෙස රනිල් වික‍්‍රමසිංහ එජාපයේ ප‍්‍රමුඛයෙක් බවට පත් වුණා. ඒ එජාපයේ නායකත්වය නිතරඟයෙන් / අනපේක්ෂිත ලෙස රනිල් වික‍්‍රමසිංහ මහතා අතට පත්වීම සමගයි.

එජාපය තම 17 වසරක පාලනය නිමා කරමින් ප‍්‍රමුඛ නායකයින් ගණනාවක් අහිමිකර ගනිමින් සිටියදී පවා 1994 අගෝස්තු 16 වැනිදා පැවැති මහ මැතිවරණයෙන් ආසන 94ක් දිනා ගත්තා. එය බහුතරය දිනාගත් පොදුජන එක්සත් පෙරමුණට වඩා ආසන 11ක් පමණක් අඩු සුවිශාල ජයග‍්‍රහණයක් වශයෙන් සැලකිය හැකියි. එම ආසන සංඛ්‍යාව ශූර දේශපාලනඥයෙකු නම් හොඳ අනාගත ආයෝජනයක් වනවාට සැකයක් නැහැ.

එහෙත් පක්ෂය රැක ගනිමින් මෙතරම් අනපේක්ෂිත ජයග‍්‍රහණයක් ලබා තිබියදී පවා 1995 ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට රනිල් වික‍්‍රමසිංහ මහතාට හැකියාවක් ලැබුණේ නැහැ. ඒ අවස්ථාව ලැබුණේ ඒ වන විට පක්ෂය හැර ගොස් සිටි ගාමිණි දිසානායක මහතාටයි. මෙය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ අනපේක්ෂිත වාසනාවත් අභියෝග භාර ගැනීමට ඇති නොහැකියාවත් පරීක්ෂාවට ලක් කළ පළමු අවස්ථාව වශයෙන් සැලකිය හැකියි. එහෙත් එම පළමු පරීක්ෂාවෙන් වික‍්‍රමසිංහ මහතා අසමාර්ථයක් ලබා ගත්තා. එජාප අපේක්ෂක ගාමිණි දිසානායක ඝාතනය වූ පසු එම අභියෝගය කරට ගැනීම වෙනුවට එයට කර දුන්නේ ගාමිණි දිසානායක මහතාගේ වැන්දඹුව වූ ශ‍්‍රීමා දිසානායක මහත්මියයි. ලංකාවේ ජනාධිපතිවරණයකදී ලබාගත් දැවැන්තම පරාජයට (සියයට 35.91ක්) දිසානායක මහත්මිය උරුම කිව්වා. එදා ජනාධිපතිවරණ සටනින් කර ඇරීම පිළිබඳ ප‍්‍රබල චෝදනාවක් රනිල් වික‍්‍රමසිංහ මහතාට එල්ල වූ බව ද මේ අවස්ථාවේ සිහිපත් කළ යුතුයි.

ලැබුණු බලය නාය යයි

ජනාධිපතිවරණ සටනින් පරාජයට පත් වුවත් එජාපයේ නායක්තවය රනිල් වික‍්‍රමසිංහ මහතා සතු වුණා. දැවැන්ත පාර්ලිමේන්තු බලයක් සහිතව නව රජයට අභියෝග කරමින් යළිත් ආණ්ඩු බලය එජාපයට හිමිකර ගත හැකි වෙතැයි එදා එජාප පාක්ෂිකයින් සිතුවා. ඩඞ්ලි, ජේ.ආර් යුගය හා එජාපය සතු දැවැන්ත ශක්තිය ගැන තිබූ විශ්වාසය මතයි. එහෙත් පක්ෂ නායකත්වයට පත්ව ඉතාම කෙටි කාලයකින් රනිල් වික‍්‍රමසිංහ මහතා තම අසමාර්ථය පෙන්නුම් කළා. ඒ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් පමණක් නොව කණිෂ්ඨයින් පවා තමා යටතේ රඳවා ගැනීමට නොහැකි බව තහවුරු කරමින්. නායකයෙක් ලෙස අනපේක්ෂිතව දිනාගත් සියලූ ජයග‍්‍රහණයන් රැක ගැනීමට ශක්තියක් නොමැති බව තහවුරු කරමින්. ඒ අනුව එජාප ජ්‍යෙෂ්ඨයින් වූ විජේපාල මෙන්ඩිස්, සුසිල් මුණසිංහ ආදී මන්ත‍්‍රීවරුන් පොදු පෙරමුණු ආණ්ඩුවට එක්වීම රැල්ලක් වශයෙන් සිදු වුණා. ඉතාම කෙටි කාලයකින් එතෙක් මෙතෙක් කාලයක් තුළ බිහි වූ වැඩිම මන්ත‍්‍රීවරු පිරිසක් සහිත විපක්ෂය අතිෂයින් දුර්වල,  ඕනෑම මොහොතක පක්ෂය මාරු කළ හැකි දුර්වල තැනක් බවට පත් වුණා. මේ තත්ත්වයට විධායක ජනාධිපති ක‍්‍රමය, මන්ත‍්‍රීවරුන්ගේ පුද්ගලික දුර්වලතා ආදි කරුණු රැසක් හේතු වූ බව පිළිගත හැකි වුණත් ඍජුව ඇඟිල්ල දිගු වුණේ එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතා වෙතටයි.

මෙතැන් සිට පැවැති සියලූම මහ මැතිවරණ හරහා අපට දැකගත හැකි වුණේ එජාපය මහ මැතිවරණයෙන් දිනා ගන්නා මන්ත‍්‍රී ධූර ඉතාම කෙටි කාලයකින් ආණ්ඩුව සතු වන තත්ත්වකුයි. එය 1999, 2005, 2010 හා වත්මන් 2015 දී ද කිසිදු වෙනසකින් තොරව සිදු වුණා. ඒ සෑම අවස්ථාවකදීම පක්ෂය හැර යන මන්ත‍්‍රීවරුන් තම පුද්ගලික අභිමතාර්ථ සියල්ල පසෙකලා චෝදනා කළේ එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතාටයි. අහේතුවකටදෝ ජනතාව විසින් පිළිගත්තේ ද ඔවුන්ගේ කතාවයි.

2001 ආණ්ඩු බලය අවභාවිත වූ හැටි

1994 සිට 2000 දක්වා පැවැති සියලූම මැතිවරණවලින් පිට පිටම පරාජයට පත් එක්සත් ජාතික පක්ෂය 2001 දෙසැම්බර් 05 පැවැති මහ මැතිවරණයෙන් අනපේක්ෂිත ලෙස ජයග‍්‍රහණය කළා. ඒ ආසන 109ක් වැනි විශාල අගයකින්. පොදුජන එක්සත් පෙරමුණ ආසන 77ක් ද ජවිපෙ ආසන 16ක් ද දිනා ගත්තා. එහෙත් මෙම මැතිවරණ ජයග‍්‍රහණය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ශක්තිමත් නායකත්වය මත දිනා ගත් එකක් වශයෙන් සැලකීමට එජාපය පවා සූදානම් නැහැ. ශ‍්‍රීලනිපයේ මහ ලේකම් එස්.බී. දිසානායක මහතා ඇතුළු ආණ්ඩු ප‍්‍රබලයින් විශාල පිරිසක් විපක්ෂයට එකතුවීම, ත‍්‍රස්තවාදී තර්ජන හේතුවෙන් ආර්ථිකය බිඳ වැටීම වැනි කරුණු එජාපයේ ජයග‍්‍රහණය සඳහා ප‍්‍රබල උත්තේනයක් වුණා.  මෙම මැතිවරණ ජයග‍්‍රහණය සමග බිහි වූ එජාප ආණ්ඩුව රනිල් වික‍්‍රමසිංහ මහතාගේ සියලූ හැකියාවක් හා සුවිශේෂතා පරීක්ෂාවට ලක් කළ දෙවැනි අවස්ථාව වශයෙන් සැලකිය හැකියි.

එජාප ආණ්ඩුව ආරම්භයේදීම ජනතාවගේ සේම ජාත්‍යන්තරයේ ද විශ්වාසය දිනා ගන්නා ප‍්‍රවේශ කිහිපයක් ගත්තා. ඒ අතර ප‍්‍රමුඛ වුණේ එල්.ටී.ටී.ඊ සංවිධානය සමග අත්සන් කළ සටන් විරාම ගිවිසුමයි. ඒ හරහා ජාතික ගැටලූවට සාකච්ඡාමය දේශපාලන විසඳුමක් සෙවීම අරමුණු වුණා.

අගමැති ජනාධිපතිනිය අභිබවා ගිය හැටි

එහෙත් බලය අල්ලා ගත් විට රනිල් වික‍්‍රමසිංහ මහතා කොතරම් අත්තනෝමතික ලෙස ක‍්‍රියාකරන්නේ ද යන්න මේ සමග හෙළි වුණා. ඒ සටන් විරාම ගිවිසුමට අත්සන් තැබීමේදී රාජ්‍ය නායිකාව හා සේනාධිනායිකාව වන ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය කිසිඳු ආකාරයකින් දැනුවත් නොකර අත්තනෝමතිකව තම කැමැත්ත මත එකී ගිවිසුම අත්සන් කළ නිසයි. මෙය කිසිසේත් රාජ්‍ය නායකයා නොවන, අගමැතිවරයා විසින් සිදු නොකළ යුතු, අනීතික දෙයක් ලෙස විවේචනයට ලක් වුණත් ඒ ගැන කිසිදු හැඟීමක් වික‍්‍රමසිංහ මහතා තුළ තිබුණේ නැහැ. ඔහු ක‍්‍රියාත්මක වුණේ 2001  මහ මැතිවරණ ජන වරම මගින් 2000 ජනාධිපතිවරණ ජනවරම නිශේධනය කළ බවක් හඟවමින්. කොටින්ම ව්‍යවස්ථාපිතව රාජ්‍ය නායකයා වන ජනාධිපතිනිය අභිබවා රාජ්‍යය සම්බන්ධ තීරණ ගත හැකි ප‍්‍රමුඛ පුද්ගලයා අගමැතිවරයා බව හඟවමින්.

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විධායකය අභිබවා යාම එතැනින් නිමා වුණේ නැහැ. ඊළඟට සිදු වුණේ රාජ්‍ය පාලනයේ දී ජනාධිපතිනිය කොන්කරන තත්ත්වයක් නිර්මාණය කිරීමයි. කැබිනට් මණ්ඩලයේදී ප‍්‍රමුඛත්වය එජාපයට ගන්නා තත්ත්වයක් නිර්මාණය කිරීමයි. ජනාධිපතිනිය කොන් කිරීමට හා ඇයට අවමන් කිරීමට ක‍්‍රියාකිරීමයි. කොටින්ම විධායක ජනාධිපතිනියගේ ව්‍යවස්ථාපිත බලය ඉක්මවා අගමැතිවරයාගේ මැතිවරණ ජයග‍්‍රහණය මගින් ලබාගත් බලය පෙරට ගැනීමයි.

2001 මහ මැතිවරණයෙන් එජාපය ලැබූ ජයග‍්‍රහණය 2003 පළාත් පාලන මැතිවරණය මගින් එජාපය යළි තහවුරු කරගත් බව ද අප මෙහිදී අමතක කළ යුතු නැහැ. එය ලංකා පළාත් පාලන ඉතිහාසයේ පක්ෂයක් විසින් අත්පත් කරගත් දැවැන්ත ජයග‍්‍රහණයක් වශයෙන් ද සැලකිය හැකියි. (මේ තත්ත්වය අවශ්‍ය නම් 2015 ජනාධිපතිවරණය හා 2015 අගෝස්තු මහ මැතිවරණයට සසඳා බැලිය හැකියි) එහෙත් එජාපය ගෙන ගිය ආර්ථික සංවර්ධන වැඩපිළිවෙළ (පිබිදෙමු ශ‍්‍රී ලංකා) සහ කොටි සංවිධානය සමග අත්සන් කළ සටන් විරාම ගිවිසුම හරහා නිර්මාණය වූ අනාරක්ෂිත භාවය ඉතාම කෙටි කාලයකින් ජනතාවගේ දැඩි විවේචනයට හා සැකයට ලක් වුණා. ඒ සමග අගමැතිවරයා විසින් ගෙන යන ව්‍යවස්ථා විරෝධී බලපරාක‍්‍රමය ද ජනාධිපතිනියගේ දැඩි උදහසට ලක් වුණා. අවසානයේ සියල්ල නිමාවට පත් වුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 109 දෙනකුගේ බලය හිමි ආණ්ඩුව පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 93 දෙනකුගේ (පො.පෙ හා ජවිපෙ) හා අගමැතිවරයාගේ පීඩනයට හා ඔහුගේ සහචරයන්ගේ සමච්චලයට ලක්ව සිටි විධායක ජනාධිපතිනිය විසින් විසුරුවා හැරීම සමගයි. තමා සතුව මන්ත‍්‍රීවරුන් 109කගේ බලයක් තිබුණත්, සටන් විරාම ගිවිසුම හරහා නිර්මාණය වූ දැවැන්ත ජාත්‍යන්තර සහායක් තිබුණත් 2004 දී ආණ්ඩු බලය අතහැර ගෙදර යාමට රනිල් වික‍්‍රමසිංහ මහතාට සිදු වුණා. ජනතාව ලවා කොළඹ වැටලීම ආදි සැලසුම් කොතරම් තිබුණත් ව්‍යවස්ථාව අනුව ජනාධිපතිනියට හිමි බලය සහ ඒ වන විට දකුණේ සිංහල බෞද්ධ ජනතාව (ශ‍්‍රී ලංකාවේ ආණ්ඩු බලය සුජාතකරණය කරන්නේ සිංහල බෞද්ධ ඡුන්ද බව මෙම ලේඛකයාගේ අදහසයි) තුළ රනිල් වික‍්‍රමසිංහ පාලනයට එරෙහිව පැවැති දැවැන්ත විරෝධය ජනපතිනියගේ මේ තීරණය සර්වසාධාරණය කළා. 2001 ජනවරමට හෝ පාර්ලිමේන්තුවේ ‘‘හුදු බහුතර බලයට’’ එදා කළ හැකි කිසිවක් තිබුණේ නැහැ. මේ බව 2004 /04/02 දා පවැති මහ මැතිවරණයෙන් මනාව පැහැදිලි වුණා. එම මැතිවරණයෙන් එජාපයට දිනාගත හැකි වුණේ ආසන 82ක් පමණයි.

පක්ෂ නායකත්වත් තහවුරු කළ නොහැකිව

1994 දී විජේපාල මෙන්ඩිස් වැනි එජාප ජ්‍යෙෂ්ඨයින් විසින් ආරම්භ කළ රනිල් විරෝධී කැරැුල්ල ද අඛණ්ඩව ඇදී ආ බව මෙහිදී අප සිහිපත් කළ යුතුයි. ඒ හරහා සෑම මැතිවරණයකදීම එජාපය වඩ වඩාත් දුර්වල කළ බවත් අප මෙහිදී යළි සිහිපත් කළ යුතුයි. මේ තත්ත්වය හේතුවෙන් තියුණු තරඟයක් බවට පත් 2005 ජනාධිපතිවරණයෙන්  රනිල් වික‍්‍රමසිංහ මහතා පරාජයට පත් වුණා.

1994 සිට අඛණ්ඩව ලැබූ පරාජයන් හමුවේත් එජාප නායකත්වය හැර දා නොයාම ගැන එජාප ආරම්භක ජ්‍යෙෂ්ඨයින් වෙතින් එල්ල වූ විරෝධය පසුව සජිත් පේ‍්‍රමදාස, කරු ජයසූරිය ආදින් විසින් පෙරට ගෙන යාමේ ප‍්‍රතිඵලය වුණේ 2010 ජනාධිපතිවරණයට අපෙක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වීමේ හැකියාවක් පවා රනිල් වික‍්‍රමසිංහ මහතාට නොවීමයි. ඒ සඳහා ඒ වන විට සමස්ත රාජ්‍ය බලය හා ජනතා ආකර්ෂණය සම්පූර්ණයෙන් තහවුරු කර ගෙන සිටි මහින්ද රාජපක්ෂ භූමිකාව ප‍්‍රධාන සාධකයක් වුණත් එජාප අභ්‍යන්තර අරගලය වික‍්‍රමසිංහ භූමිකාව තව දුරටත් දුර්වල කළ බව නොරහසක්.

2015 ජනාධිපතිවරණය හා පසු යුගය

2015 ජනාධිපතිවරණය හා එජාපය ද ඇතුළත් විපක්ෂය විසින් තම පොදු අපේක්ෂකයා ලෙස මෛත‍්‍රීපාල සිරිසේන මහතා තෝරා ගැනීම හා සිරිසේන මහතා ලැබූ සුවිශාල ජයග‍්‍රහණය පිළිබඳ සියලූ කතා මේ වන විට පොදු රහසක්. මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ජයග‍්‍රාහී ඡුන්ද තුළ එජාප ඡන්ද බහුතරයක් තිබෙන බවට වන කතාව ද අද හුදු ප‍්‍රකාශයක් පමණයි. ඒ එජාපයේ ඡන්ද මගින් පමණක් මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජයග‍්‍රහණය නොකළ නිසයි. ඒ තුළ වඩාත් තීරණාත්මක ජනතා විමුක්ති පෙරමුණේ ඡන්ද (2005 දී ජවිපෙ සහාන මහින්ද රාජපක්ෂ මහතාට නොලැබුණා නම් ඔහු ද පරාජයට පත් වන බව සහතිකයි) ද වර්ණවත් භූමිකාවක් ඉටු කළා. එනිසා මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ජයග‍්‍රහණය එජාපය විසින් සින්නක්කර කර ගැනීම දේශපාලන කුහකත්වය ඉක්මවා ගිය කරුණක්.

ව්‍යවස්ථාවට මුවා වී ජනමතය පික්පොකැට් ගැසීම

ජනාධිපතිවරණ ජයග‍්‍රහණයට සහ එහි අනුහසින් ලැබූ මහ මැතිවරණ ජයග‍්‍රහණය හේතුවෙන් එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතාට විධායක ජනාධිපතිවරයා අතික‍්‍රමණය කිරීමට හෝ ඔහුට සමවීමට නෛතික හෝ සදාචාරාත්මක හැකියාවක් තිබේද යන්න ප‍්‍රශ්නයක්. වික‍්‍රමසිංහ මහතා මේ සඳහා නීතිමය රැකවරණයක් ලබා ගන්නේ ජනාධිපතිවරණ ජයග‍්‍රහණය හමුවේ කඩිමුඩියේ සම්මත කළ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට මුවා වී බව ද පැහැදිලි කරුණක්. ජනවාරී 08 ජනවරමට අදාළ නැති, වග නොකියන මේ රැකවරණය ප‍්‍රශ්න කිරීම අවශ්‍යයෙන්ම සිදුවිය යුත්තක්.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ රැකවරණය යටතේ රනිල් වික‍්‍රමසිංහ මහතාගේ භූමිකාව සැලකිය හැකි වන්නේ 2001 මහ මැතිවරණ ජයග‍්‍රහණයෙන් පසු එජාප නායක අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා හැසිරුණු අති උද්දච්ච හා අත්තනෝමතික ආකාරයේ යළි ප‍්‍රකාශනයක් වශයෙනුයි. පසුගිය කාලයේ දී රටට පෙනී ගිය පොදු ලක්ෂණය වුණේ වික‍්‍රමසිංහ මහතා රාජ්‍ය නායකත්ව බලතල තමා සතු කර ගැනීමට හෝ එවැනි බලයක් විහින් ආරෝපණය කර ගැනීමේ වංක උත්සාහයක් බව පැහැදිලිය. එය ජනවාරි 08 ජනමතය පික් පොකැට් ගැසීමක් වශයෙන් ඇතැමුන් සලකන්නේ මේ අත්තනෝමතික හා වංචාකාරී භාවිතය නිසයි.

සටහන – ඉන්ද්‍රජිත් හේවාවිතාරණ

Recommended For You

About the Author: Admin