කුඹුරු ඉඩම් රැකගත යුත්තේ ඇයි ?

කුඹුරු ඉඩම් ගොඩකිරීම තහනම් කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය දා පියවර ගත්තා. ජනාධිපතිවරයාගේ මෙම තීරණය සම්බන්ධයෙන් ගොවි ජනතාව සේම පරිසර හිතකාමී සාමන්‍ය ජනතාව ද දැඩි සතුටක් පළ කරනවා. මෙම ලිපිය මගින් කුඹුරු ඉඩම්වල සැබෑ වටිනාකම පිළිබඳ විද්වත් විමසුමක් කරනවා.

“අපට කුඹුරෙන් ලැබෙන්නේ  වී පමණක් ද?” මෙය බොහෝ දෙනකු තුළ තිබිය හැකි ප්‍රශ්නයක්. ඊට හේතුව වන්නේ අපි බොහෝ විට දකින්නේ කුඹුරෙන් ගන්නේ වී පමණක් වීම නිසයි. ඊට එහා ගිහින් කුඹුරෙන් තවත් ආර්ථික වටිනාකමක් ගැනීමක් ලංකාවේ බොහෝ විට දකින්න ලැබෙන්නේ නැහැ.

එහෙත් ජපානය, චීනය වාගේ රටවල් වල මේ තත්ත්වය වෙනස්. ඒ රටවල ජනතාව වගේම ප්‍රතිපත්ති සම්පාදකයින් ද කුඹුර කියන්නේ බත සපයනවාට වඩා වැඩි දෙයක් ලබාදෙන සුවිශේෂ පරිසර පද්ධතියක් බව වටහා ගෙන තිබෙනවා. අද චීනය, ජපානය ආදි වී වගා කරන දැවැන්ත සංවර්ධිත රටවල් තේරුම් ගෙන තිබෙන සත්‍යයක් තමයි වී වගාව මඟින් මිල කළ නොහැකි දැවැන්ත පරිසර වාසියක් ද අත්පත් කර ගත හැකි බව. මේ නිසා මේ රටවල් වර්තමානය වන විට කුඹුරු ඉඩම් සංරක්ෂිත ඉඩම් ලෙස නම් කිරීමටත්, නාගරික පරිසරය තුළ පවා හැකි සෑම ස්ථානයකම කුඹුරු ස්ථාපිත කිරීමටත් වී වගාව සඳහා තමන්ගේ ජනතාව උනන්දු කිරීමටත් දැවැන්ත වැඩපිළිවෙළක් සකස් කර තිබෙනවා.

අපේ රටේ කුඹුරු ඉඩම් ගොඩකරලා ගෙවල් දොරවල් හදන, ව්‍යාපාර පවත්වා ගෙන යන අවස්ථා දකින කොට කුඹුරු යායවල් වලින් අපි හිතනවාට වඩා දැවැන්ත වටිනාකමක් පරිසරයට එක් කරන බව ජනතාවට වටහා දීම ඉතා වැදගත් කියලා හිතෙනවා.

මීට ඉහතින් සඳහන් කළ ආකාරයට නම් කුඹුරු වලින් අපට ලැබෙන ප්‍රධාන හා ඍජු ප්‍රතිලාභය වන්නේ රටට අවශ්‍ය බත සැපයීම කියලා කියන්න පුළුවන්. ශ්‍රී ලාංකිකයින් බහුතරයකගේ ප්‍රධාන ආහාරය බත් නිසා මේ තත්ත්වය වඩාත් වැදගත්. ඊට හේතුව ජනතාවට අවශ්‍ය සහල් ප්‍රමාණවත්ව සපයා දීමට රටට නොහැකි වුවහොත් ඒ සඳහා වන විකල්පය වන්නේ සහල් ආනයනය කිරීමයි. ඒ සඳහා දැවැන්ත විදේශ විනිමය ප්‍රමාණයක් වැය වෙනවා. එය ලංකාව වැනි විදේශ විනිමය හිඟ රටකට දරාගත නොහැකියි.

“ස්වයංපෝෂිතභාවය” රටකට ආඩම්බරයක්. අභිමානයක්. ඒ වගේම සුරක්ෂිතභාවයකුත් ලබා දෙනවා. මේ ස්වයංපෝෂිතභාවය සිදුවන්නේ ඒ රටේ ජනතාවගේ ප්‍රධාන ආහාරයෙන් කොතරම් ප්‍රමාණයක් රට තුළ නිපදවා ගන්නේ ද ? යන පදනම මතයි. මේ අනුව ලංකාව මේ වන විට සහලින් ස්වයංපෝෂිත රටක්. හදිසි ස්වභාවික විපතක් සිදු නොවුණහොත් (නියඟ, ගංවතුර) ලංකාවේ ජනතාවට වසර පුරාම අවශ්‍ය බත සැපයීමට තරම් සහල් අපට රට තුළින්ම නිපදවා ගැනීමට හැකි වෙලා තිබෙනවා. මේ නිසා රට පුරාම තිබෙන හෙක්ටයාර් දස ලක්ෂයකට අධික කුඹුරු ඉඩම්වලින් ලැබෙන ඍජු ප්‍රතිලාභය වශයෙන් මිලියන 22ක් පමණ වන ජනතාවට, එක් පුද්ගලයෙකුට වාර්ෂිකව කිලෝ 116ක් බැගින් සහල් සැපයීම දැක්විය හැකියි.

භූගත ජලය සංරක්ෂණ

ලංකාව සැලකෙන්නේ ‘වාරි ශිෂ්ටාචාරයක්’ වශයෙන්. ඒ කියන්නේ වැව, දාගැබ සහ ගම තමයි අපේ ශිෂ්ටාචාරයේ පදනම වන්නේ. වැව සමග ඍජුව සම්බන්ධ වෙන්නේ ‘කෙත’ නැති නම් කුඹුර.

ලංකාව සැලකෙන්නේ ජලයෙන් සංතෘප්ත රටක් විදිහටයි. ඒ කියන්නේ ලංකාවට අවශ්‍ය ප්‍රමාණයටත් වැඩියෙන් ස්වභාවික මිරිදිය ජලය තිබෙනවා. ඒත් එය රට පුරාම, වර්ෂය පුරාම ඒකාකාරව ලැබෙන්නේ නැහැ. ලංකාවේ ඉතා පැහැදිලිවම තෙත් අතරමැදි හා වියළි කලාප කියලා දේශගුණික කලාප බේදීමක් තිබෙනවා. ඒ වගේම වර්ෂාපතන ඍතුවලත් පැහැදිලි විෂමතා තිබෙනවා. මේ නිසා වර්ෂාව මගින් ලැබෙන ජලය වගේම භූගත ජලයත් සුරක්ෂිතව භාවිත කිරීමේ අභියෝගයක් රට හමුවේ තිබෙනවා. අනාගතයේදී මෙය “භූගත ජල සංරක්ෂණය” ලෙස භාවිත විය හැකියි.

ලංකාව දූපත් රාජ්‍යක් නිසා රට වටා පිහිටි මුහුද මඟින් අභ්‍යන්තර ජලය වහනයට සිදුවන බලපෑමත් ප්‍රබලයි. ඒ නිසා භූගත ජලය හා මුහුදු ජලය අතර පැවතිය යුතු සමතුලිතභාවයත් ආරක්ෂා කරගත යුතුයි. ඊට හේතුව වන්නේ භූගත ජලය නිසි පරිදි පෝෂණය නොවීමෙන් දැවැන්ත පරිසර හානි මෙන් ම නියං තත්ත්වයන් ද ඇති වීමට ඉඩ තිබීමයි.

මේ තත්ත්වයේදී කුඹුරු මඟින් නිහඬ, එහෙත් දැවැන්ත මෙහෙයක් ඉටු කරනවා. එය තුන් ආකාරයකට සිදුවන බවයි හඳුනා ගෙන තිබෙන්නේ.

1.         සැලකිය යුතු පිරිසිදු ජල ප්‍රමාණයක් ගැඹුරු හා නොගැඹුරු භූගත ජලයට එක් කිරීම හා ඒ මඟින් භූගත ජල ස්ථරවල ප්‍රමාණවත් ජල පීඩනයක් පවත්වා ගැනීම.

2.         භූගත ජල මට්ටම ඉහළින් පවත්වා ගැනීම මගින් ළිං ජලය මෙන්ම අවට ගහකොළ සඳහා අවශ්‍ය ජලය සැපයීම.

3.         අවට පරිසරයේ තාවකාලික භූගත ජල මට්මක් පවත්වා ගැනීම තුළින් ජල කාන්දු ළිං සහ අනෙකුත් ගහකොළ පෝෂණය කිරීම.

මෙහිදී අප අවධානයට ගත යුතු කරුණ වන්නේ, භූගත ජලය ප්‍රමාණවත් ලෙස පෝෂණය වීම තුළින් දිගු කාලීන නියං තත්ත්වයන්ට මුහුණදීමේ හැකියාව තහවුරු වෙනවා මෙන්ම මුහුදු ජලය පොළොව තුළින් ගොඩබිමට ගලා ඒම වැළැක්වීම ද පාලනය කිරීම ද කළ හැකි බවයි. එමෙන්ම ජනාකීර්ණ ප්‍රදේශවල මහජන පරිභෝජනය සඳහා භුගත ජලය ප්‍රයෝජනයට ගැනීම නිසා ඇති වන ජල පීඩනයේ හිඩැස පිරවීමට කුඹුරු ඉතා සාර්ථක පියවරක් වන අතර මුහුදුබඩ ප්‍රදේශවල කළපු අසල පවා වී වගා කිරීමෙන් පිරිසිදු භූගත ජලය සහිත භූමියක් නිර්මාණය කරගත හැකියි.

අවට පරිසරය සිසිල්ව තබා ගැනීම

කුඹුරක් අසල පවතින සිසිල් සුවය ඔබත් විඳ ඇතිවාට සැකයක් නැහැ. මෙයත් කුඹුරු මගින් ලබාදෙන තවත් නිහඬ සේවයක්. වී වගාව නිසා ක්‍රම දෙකකින් අවට පරිසරය සිසිල්ව තබා ගැනීමට හැකියාව ලැබෙන බව සොයා ගෙන තිබෙනවා. ඒ අනුව කුඹුරු තුළින් සිදුවන උත්ස්වේදන වාෂ්පීකරණය මගින් අවට පරිසරයට පිටවන ජල වාෂ්ප නිසාත්, හිරු එළියෙහි අන්තර්ගත අහිතකර කිරණ (විකිරණ) වී ශාකය මගින් අවශෝෂණය කිරීම නිසාත් කුඹුරු අවට පරිසරයේ මෙවැනි සිසිලසක් ඇති වෙනවා.

ගං වතුර පාලනය

ගංවතුර ගලන්නේ කුඹුරු ඉඩම් මතින් බව ඔබ බොහෝ විට දැක ඇති. කුඹුරු ගොඩකළ විට ගංවතුරු විපත් බහුල වන බවත් ඔබ දැක ඇති. මේ තත්ත්වය හමුවේ ගං වතුර පාලනය කිරීමේ අපූර්ව හැකියාවක් කුඹුරු වලට තිබෙනවා.

හඳුනා ගෙන ඇති ආකාරයට ගංවතුර ලෙස සාමාන්‍යයෙන් හඳුනා ගන්නා අයහපත් තත්ත්වයන් ක්‍රම කිහිපයකට සිදුවිය හැකියි.

  1. ගංඟාවේ ජල මට්ටම ඉහළ යාම
  2. භූමියේ මතුපිට ජල ගැල්ම වැඩිවීම
  3. ජලය පැතුරුම් ප්‍රදේශ හෝ ජලාපවහන ඇළවල් අවහිර වීම / මෙම තත්ත්වයන් හමුවේ ගංවතුර පාලනය කිරීමට කුඹුරු මගින් සිදුවන සේවය මෙසේ දැක්විය හැකියි.
  4. මතුපිට ජලය ගලා යන වේගය පාලනය කොට ජලය ගලා යන කාලය වැඩි කිරීම මගින් ජල ගැල්ම අවම කිරීම
  5. ස්ථිර හා තාවකාලිකව ජලය රඳවා ගැනීම බාධාවකින් තොරව සිදු කිරීම.
  6. ජලය පැතිරීමට ප්‍රමාණවක් ඉඩක් ලබාදීම.

මේ තුන් ආකාරයෙන් ම කුඹුරු ඉඩම් විනාශකාරී ගංවතුර පාලනය කිරීමට උපකාර කරනවා.

පාංශු සංරක්ෂණය

පාංශු ඛාදනය ලංකාව කාලයක් පුරා මුහුණ දෙන බරපතළ පාරිසරික ගැටලුවක්. කෘෂිකර්මය සඳහා වඩාත් වැදගත් වන්නේ මතුපිට ඇති කාබනික ද්‍රව්‍ය බහුල, වැඩිපුර ජලය රඳවා ගත හැකි සාරවත් පසකුයි. එහෙත් පාංශු ඛාදනය මගින් මේ තත්ත්වය සම්පූර්ණයෙන්ම අහිමි කරමින් පස නිසරු කරනවා.

පාංශු ඛාදනයට බලපාන ප්‍රධාන සාධක හඳුනා ගැනීම මගින් කුඹුරු ඉඩම් පාංශු සංරක්ෂණයට දක්වන දායකත්වය මනාව වටහා ගත හැකියි.

  1. වැඩි ආනතියකින් යුත් බිම් නිරාවරණය කිරීම. තේ, රබර් කුරුඳු හා එළවළු වගාවන් සඳහා
  2. වැඩි වේගයකින් මතුපිට ජලය ගලා ගෙන යාම.
  3. පොළොව මතුපිට ආසන්නයේ වැඩි වේගයකින් සුළං හැමීම.

මේ තුන් ආකාරයේම තත්ත්වයන් කුඹුරු ඉඩම් මගින් පාලනය කරනු ලබනවා. එය පාංශු සංරක්ෂණයේදී ඉතාමත් සාර්ථක ක්‍රමවේදයක්.

කඳුකරයේ නාය යාම් පාලනය කිරීම

ලංකාවේ කඳුකරය නාය යාමේ දැඩි අවදානමකට ලක්ව තිබෙනවා. මේ සඳහා ප්‍රධානතම හේතුව වෙලා තිබෙන්නේ කඳුකරයේ පිහිටි වැඩි ආනතියක් සහිත භූමිය කෘෂිකාර්මික කටයුතු සඳහා යොදා ගැනීමයි. මේ ආකාරයෙන් වැසි ජලයට නිරාවරණය වන භූමිය විශාල වශයෙන් පාංශු ඛාදනයට ලක් වෙනවා. ඒ වගේම වැසි සමයේදී වැඩි ජල ප්‍රමාණයක් පසට උරා ගැනීම නිසා ‘ආනති බිඳ වැටීම්’ වලින් ආරම්භ වී ඇළ මාර්ග, ගංඟා මෙන්ම ජලාශවලට එක් වීමෙන් ඒවායේ ධාරිතාව සැලකිය යුතු ලෙස අඩු වෙනවා. මේ තත්ත්වය පහළ නිම්නවල ජල හිඟයක් මෙන්ම ජල ගැලීම් ද ඇති වීමට හේතු විය හැකියි. මේ අවදානම් තත්ත්වයට වඩාත් සාර්ථක විසඳුම වන්නේ මෙවැනි ආනති බිම්වල හෙල්මළු ක්‍රමයට වී වගා කිරීම බව හඳුනා ගෙන තිබෙනවා. එසේ කිරීම මගින් පාංශු ජල කාන්දුව පාලනය වී පාංශු බිඳ වැටීම් පාලනය කොට බෑවුම් සහිත භූමිය ආරක්ෂා කරගත හැකියි.

අවට වාතය පිරිසිදු කිරීම

අප අසා තිබෙන්නේ අප අවට වාතය පිරිසිදු කරන්නේ ගස්වැල් කියලා. ඒ වගේම වනාන්තර කියලා. එහෙත් වනාන්තරවලට වගේම වී වගාවටත් ක්‍ද2ල භද2ල ීද2  ආදී වාතයේ අහිතකර වායු අවශෝෂණය කරමින් වාතය පිරිසිදු කිරීමේ හැකියාවක් තිබෙනවා. අපිරිසිදු වාතය බහුල නාගරික ප්‍රදේශවල වී වගා කිරීම මගින් මේ තත්ත්වයේ උපරිම වාසිය ලබාගත හැකියි.

ජලය පිරිසිදු කිරීම

මීට කාලයකට පෙර නම් කුඹුරේ වතුර බීමට පවා සුදුසු තත්ත්වයේ තිබුණා. ඒත් වර්තමානය වන විට විවිධ රසායනික ද්‍රව්‍ය  බහුල වශයෙන් මිශ්‍රවීම නිසා කුඹුරු ආශ්‍රිත ජලය ඉතාම අපිරිසිදුයි. එහෙත් වී වගා කළ කුඹුරු ඉඩම් සඳහා සපයන ජලය කාබනික ද්‍රව්‍යවලින් අපවිත්‍ර වී තිබුණත් එම ද්‍රව්‍ය ඉවත් කොට පිරිසිදු කිරීමේ හැකියාවක් කුඹුරු ඉඩම්වලට තිබෙන බව හඳුනා ගෙන තිබෙනවා. ඒ අනුව එම කාබනික ද්‍රව්‍ය පසට අවශෝෂණය කර ගැනීමෙන්, එම ද්‍රව්‍ය ශාක මගින් (ගොයම්) අවශෝෂණය කර ගැනීම මගින් සහ ක්ෂුද්‍රජීවීන් මගින් වියෝජනය කොට නයිට්‍රජන් ඉවත් කර ජලය පිරිසිදු කිරීමේ හැකියාව වී වගා කළ කුඹුරුවලට තිබෙනවා.

කාබනික ද්‍රව්‍ය වියෝජනය මගින් පස සාරවත් කිරීම

වී වගා කරන කුඹුරු ඉඩම්වල ක්ෂුද්‍රජීවීන් බහුල වීම ස්වභාවික තත්ත්වයක්. පසට එක් වන අපද්‍රව්‍ය හා ශාක කොටස් ශාකයට අවශෝෂණය කළ හැකි වන පරිදි වියෝජනය කිරීමේ හැකියාවක් මෙම ක්ෂුද්‍ර ජීවීන්ට තිබෙනවා. මේ නිසා නයිට්‍රජන්, පොස්පරස් ආදී ශාකයට අවශ්‍ය රසායනික අමුද්‍රව්‍ය සැපයෙන අතරම ප්‍රතිචක්‍රිකරණය මගින් සාරවත් මතුපිට පසක් නිර්මාණය කිරීමට ද මේ ක්‍රියාවලිය හේතු වෙනවා.

ජෛව පදාර්ථ නිපදවීම

කුඹුරු ඉඩම් වලින් සහල් වලට අමතරව පිදුරු වැනි දැවැන්ත ජෛව පදාර්ථ ප්‍රමාණයක් නිෂ්පාදනය කරනවා. මේ පිදුරු කාබනික පොහොරක් ලෙස, බිම්මල් ආදි වගාවන්ට සේම කඩදාසි නිෂ්පාදනය සඳහා ද යොදාගත හැකියි.

අපි ඉහතින් සඳහන් කළේ වී වගාව මගින් ඍජුව ලැබෙන ප්‍රයෝජන කිහිපයක්. එමෙන්ම මිල කළ නොහැකි තවත් වටිනාකම් රැසක් ද අපට වී වගාව මගින් හිමි වෙනවා.

සාමූහික ක්‍රියාකාරකම් වර්ධනය කිරීම

වී වගාව මෑතක් වන තෙක්ම සම්පූර්ණයෙන්ම සාමූහික ක්‍රියාවලියක්. කුඹුරු කෙටීමේ සිට අලුත් සහල් මංගල්‍ය දක්වා සමස්ත ක්‍රියාවලිය පුරාම මේ සාමූහිකත්වය තිබුණා. අත්තම් ක්‍රමය මේ සඳහා ප්‍රකට නිදසුනක්. මේ ක්‍රම වේගයෙන් අභාවයට යන වර්තමානයේ පවා කාල සටහනකට අනුව වගා කටයුතු කිරීම, ජලය සමාකාර ලෙස බෙදා ගැනීම, කුඹුරු ආරක්ෂා කිරීම, සාමූහික ක්‍රියාකාරකම් වශයෙන් සිදුවෙනවා. මෙමගින් ප්‍රජාව අතර අන්තර් සම්බන්ධතා ශක්තිමත් වෙනවා.

මානසික ආතතිය දුරලන සුන්දර දර්ශනයක් වීම

හොඳින් පැසුණු ගොයමක් තරම් තවත් සුන්දර දර්ශනයක් ලෝකයේ නැහැ. කුඹුරක් දැකීම පවා මනසට සහනයක්. මේ නිසා අප නොදැනුවත්ව කුඹුර අපට මානසික සහනයක් ලබා දෙනවා. මේක මිල කළ නොහැකියි.

අප ඉහත සඳහන් කළේ කුඹුරු ඉඩම් වලින් ලැබෙන ඍජු හා වක්‍ර ප්‍රතිලාභ ගැනයි. මේ අතර ඔබගේ අවදානය යොමු කළ යුතු තවත් කරුණු කිහිපයක් තිබෙනවා. ඒ තමයි කුඹුරු කියන්නේ ‘නොගැඹුරු තෙත් බිමක්’ කියන කාරණය. තෙත් බිම් පිළිබඳ නිර්වචනය යටතේ ඉහළ ජෛව විවිධත්වයකින් යුත් හා පරිසර වශයෙන් සංවේදී නොගැඹුරු තෙත් බිමක් ලෙස කුඹුරු ඉඩම් හඳුනා ගෙන තිබෙනවා. ඒ අනුව තෙත් බිම් සංරක්ෂණ පනත මගින්

කුඹුරු ඉඩම් සංරක්ෂිත ඉඩම් ලෙස හඳුන්වා දී තිබෙනවා. වර්තමානයේ අප රට සියයට 20කටත් වඩා අඩු වනාන්තර ප්‍රතිශතයක් ඇති රටක් වශයෙන් සියයට 10කට අධික භූමි ප්‍රමාණයක් ආවරණය කරන කුඹුරු ඉඩම් ආරක්ෂා කර ගැනීම ඉතා වැදගත්. ලෝකයේ දැවැන්තම කාර්මික රටක් ලෙස සැලකෙන ජපානයේ සංරක්ෂිත ඉඩම් ලෙස හඳුනාගෙන තිබෙන වනාන්තර හා කුඹුරු ඉඩම් ප්‍රමාණය එරට භූමියෙන් සියයට 80ක්.

කුඹුරු ඉඩම් ගොඩනැගිලි තැනීමට සුදුසු නැහැ

අද බොහෝ දෙනෙක් කියන කතාවක් තමයි තෙත් කලාපයේ, විශේෂයෙන් තෙත් කලාපයේ නාගරික ප්‍රදේශ ආශ්‍රිත කුඹුරු ඉඩම් වඩාත් වැඩි ආර්ථික වටිනාකමක් ඇති දේවල් සඳහා යොදාගත යුතු බව. ඒ කියන්නේ ගොඩනැගිලි ඉදිකිරීම ආදි කටයුතු සඳහායි.

එහෙත් මේ වන විට හඳුනා ගෙන ඇති ආකාරයට කුඹුරු ඉඩම් ගොඩනැගිලි ඉදිකිරීම සඳහා සුදුසු නැහැ. ඒ පහත සඳහන් හේතු නිසා.

■          බොහෝ කුඹුරු ඉඩම්වල පවතින ‘කොළදැල්ල’ නැතිනම් ‘පීට්’ පස ගොඩනැගිලි ඉදිකිරීම සඳහා මෙතෙක් හඳුනා ගත් දුර්වලම පස් වර්ගයයි. මෙම පසේ ගොඩනැගිලි ඉදිකළහොත් ඒවා හදිසි හා දීර්ඝ කාලීන ගිලා බැසීම් වලට ලක්වීමට වැඩි ඉඩක් තිබෙනවා.

■          කුඹුරු ඉඩම්වල භූගත ජල මට්ටම පොළොව ආසන්නයේ පැවතීම.

■          දුර්වල ජලවහනයක් පැවතීම නිසා වැඩි ජලය ඉවත් කිරීමට අසීරු වීම.

■          හදිසි ගංවතුරු තත්ත්වයන්ට ලක්වීමේ වැඩි අවදානමක් පැවතීම.

මේ තොරතුරු කියවීමෙන් පසු ඔබ සිතන්නේ කුමක්ද ? කුඹුරු ඉඩම් ගොඩ කරමුද ? ඒවා පණ වාගේ රැක ගනිමුද ?

සටහන – උරේෂා මධුභාෂිණී

“පැරකුම් යුගයක් නැවතත් ’ නමින් ප්‍රකාශයට පත්ව තිබූ ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ ප්‍රකාශනයක් ඇසුරිණි.

LeP

Recommended For You

About the Author: Admin