කෝළම්

අභිමානවත් සංස්කෘතියක් අතීතයේ සිටම උරුම කරගත් ශ්‍රී ලංකාව කලාංගයන්ගෙන් අනූන රටකි. ‘කෝලම්’ එවැනි හෙළ සංස්කෘතිය විදහාපාන සුවිශේෂ ජන නාටක විශේෂයකි.

කෝලම් සැලකෙන්නේ පහතරට නර්තන සම්ප්‍රදායට අයත් ප්‍රධාන ජන නාටක විශේෂයක් වශයෙනි.

ආරම්භය

කෝලම් නාටක වල ආරම්භය පිළිබඳ ජනප්‍රවාද කිහිපයක් පවතී. ඉන් ප්‍රකට කතාවකට අනුව, කෝලම් ආරම්භ වී ඇත්තේ මහා සම්මත රජුගේ බිසවට කිසිවකුට ඇති නොවන ආකාරයේ දොළදුකක් ( ආශාවක් ) ඇති විය. ඇගේ දොළදුක සංසිදවීම පිණිස රජු විවිධ උපක්‍රම යෙදූමුත් ඒවායෙන් කිසිම ප්‍රයෝජනයක් සිදු නොවීය. ඒ පිළිබඳව මහා සම්මත රජු කනගාටුවට පත්විය.

රජුගේ කනගාටුව දුටු සක්දෙවිඳු එයට සුදුසු ප්‍රතිකර්මයක් කරන ලෙස විශ්වකර්ම දෙවියාට නියම කළේය. විශ්වකර්ම දෙවියන් තමන් විසින්  සඳුන්ලීයෙන් නෙළු වෙස් මුහුණක් ද එම වෙස් මුහුණ පැළැඳ රංගනයේ යෙදෙන ආකාරය දක්වන පොතක් ද රජ උයනේ තැබුවේය.

මෙය දුටු උයන්පල්ලා ඒ බව රජුට දන්වා සිටියේය. රජු පුරෝහිතයන් යොදවා උයනේ තිබූ වෙස් මුහුණ යොදා ගෙන කතා පොතට අනුව නාටකයක් රඟ දැක්වීමට කටයුතු යෙදුවේය. එය නාටකය නැරඹූ බිසවගේ දොළදුක සංසිදී ඇය සුවපත් වූවාය. කෝලම් නාටක ඇරඹුණේ මේ ආකාරයෙන් යැයි සඳහන් වේ.

චරිත

කෝලම් නාටකවල චරිත කිහිපයක් තිබේ. ඇතැම්විට ප්‍රාදේශීය වශයෙන් එම චරිතවල යම් යම් වෙනස්කම් දැකිය හැකිය. මූලික චරිත රංගනයේ යෙදුණු පසු කෝලම් නාටක කතා වස්තුව ඉදිරිපත් කෙරේ. ඒ සඳහා ‘මනමේ’ ‘සඳ කිඳුරු’ ආදී කතා වස්තු යොදා ගැනේ.

කෝලම් චරිත නිරූපණය කිරීමට පළඳින වෙස් මුහුණු එම චරිතවල ස්වභාවය මනාව පිළිබිඹු කරයි.

එසේම කෝලම් නාටකවල රසව රඳා පවතින්නේ ද ඒ සඳහා පළඳින වෙස්මුහුණු මතය. එබැවින් කෝලම් නාටක හා වෙස්මුහුණු කලාව එකිනෙක බැඳී පවතින ප්‍රධාන අංග දෙකකි.

විවිධ කෝලම් චරිත සඳහා ඉතා සියුම් කැටයම් හා වර්ණ යොදා වෙස් මුහුණු නිර්මාණය කරයි. ‘සබේ විදානේ’ හා ‘සබා ඇමැතිවරුන් ’ යන චරිත හැර අනෙක් කෝලම් චරිත නිරූපණය කිරීම සඳහා වෙස් මුහුණු යෙදා ගැනේ.

කෝලම් නාටක සඳහා යොදා ගන්නා ප්‍රධාන වාද්‍ය භාණ්ඩය වන්නේ පහතරට යක් බෙරයයි. මෙය ‘රුහුණේ බෙරය’ ‘දික් බෙරය’ ‘දෙවොල් බෙරය’ ආදී නම්වලින් ද හැඳින්වේ. කෝලම් නැටුම් සඳහා බෙර වාදකයින් දෙදෙනෙක් ද හොරණෑ වාදයකයෙක් ද සහභාගී වෙති.

රඟ දැක්වීම

කෝලම් රඟ දක්වන්නේ රාත්‍රී කාලයටය. ඒ සඳහා යොදා ගන්නා රංග භූමිය ‘සභාව’ ‘තානායම්පොළ’ ආදී නම්වලින් හැඳින්වේ. ඒ අතර වඩාත් ප්‍රචලිත ‘සබය’ යන්නයි.

සබය සඳහා භාවිත කරන්නේ හොඳින් ඉඩකඩ ඇති එළිමහනකි. ඇතැම් විට සබය වටා කණු කිහිපයක් සිටුවා ලණු අදිනු ලැබේ. ප්‍රේක්ෂකයෝ ඒවාට එපිටින් සිට කෝලම් නරඹති. සබයට පිවිසෙන ස්ථානයේ ‘වෙස් අත්ත’ නම් අංගක් තිබේ. ශක්තිමත් කණු දෙකක් සිටුවා එය ගොරක අතුවලින් හෝ වෙනත් කොළ අතුවලින් හෝ ආවරණය කිරීමෙන් වෙස් අත්ත සකසා ගනී.

සබයට පසෙකින් පොල් අතු මඩුවක් ඉදිකරයි. කෝලම් වෙස් මුහුණු තැන්පත් කරන්නේද, නළුවන් හැඩගන්වන්නේ ද එම මඩුව තුළය. සබයට දකුණු පසින් සතරවරම් දෙවිවරුන් වෙනුවෙන් මල් පැලක් ඉඳිකිරීම ද සිරිතකි. කෝලම් නාටකය රඟ දැක්වීමට ප්‍රථම ඒ සඳහා සහභාගි වන සියලුම ශිල්පීහූ මල්පැල ඉදිරිපිටට පැමිණ ආගමානුකූලව චාරිත්‍ර ඉටු කරති.■

සටහන – මහේෂ් සඳරුවන් බංඩාර

LeP

Recommended For You

About the Author: Admin