ගවතු වගාව අතමිට සරු කරන සෞඛ්‍යය සුරකින අපේ ගෙවත්ත

‘ගෙවත්ත’ අපිට හුරුපුරුදු වචනයක් වුණත් ‘ගෙවතු වගාව’ නම් ටිකක් නුහුරු වචනයක්. අපි බොහෝ දෙනෙක් ලස්සනම ලස්සන මල් වවලා, විදේශීය තණකොළ වවලා, ගල් අල්ලලා බොහෝම පිරිසිදුවට, ලස්සනට තියාගත්තේ මිඳුලනේ.

ඒත් වර්තමානය වන විට ‘ගෙවතු වගාව’ වේගයෙන් ජනප‍්‍රිය වෙමින් තිබෙනවා. ගමේගොඬේ විතරක් නොවෙයි අද නාගරික නිවාස සංකීර්ණවල පවා ගෙවතු වගාව ජයටම සිදුවෙනවා.

ගෙවතු වගාව ජනප‍්‍රිය වෙන්න හේතු කිිහිපයක් බලපෑවා. ඒ අතර ඉදිරියෙන්ම සිටින්නේ පිරිසිදු, වසවිසවලින් තොර පෝෂ්‍යදායී ආහාර වේලක් ගැන පසුගිය කාලය තුළ විශාල උනන්දුවක් හා අකල්පමය වෙනසක් ඇතිවීමයි.

මේ තත්ත්වය තුළ එදා පැවැති සාම්ප‍්‍රදායික ගෙවත්ත වෙනුවට වඩාත් ඵලදායී භූමි භාවිතයක් සහිතව ගෙවතු වගාව සිදුවෙනවා.

ඒත් ගෙවතු වගාවේ වැදගත්කම ගැන දන්නේ අපි කීයෙන් කී දෙනාද ? කරන්නන් වාලේ කරලා පස්සේ අධෛර්යයට පත් වෙලා අනෙක් අයවත් දුර්මුඛ කරනවාට වඩා ගෙවතු වගාවත් නිසි අවබෝධයක් ඇතිව කළොත් පුද්ගලිකව තමන්ටත්, පොදුවේ සමාජයටත් ඇතිවන වටිනාමක වචන වලින් විස්තර කරන්න බැහැ.

ගෙවතු වගාවේ වැදගත්ම හා ප‍්‍රයෝජන මොනවාද ?

1. ගෙවතු වගාවෙන් ලැබෙන වැදගත්ම ප‍්‍රයෝජනය තමයි එදිනෙදා පවුලේ ආහාර වේල සඳහා වස විසෙන් තොර පෝෂ්‍යදායී නවුම් එළවළු හ පලතුරු ලබා ගැනීමට හැකිවීම. 2. ගෙවත්තේ හා මුළුතැන් ගෙයින් බැහැර වන කසළ කළමනාකරණය තුළින් ගෙවත්ත පිරිසිදුව තබා ගැනීමට හා ඉතා උසස් තත්ත්වයේ කාබනික පොහොරක් වන ‘කොම්පෝස්ට්’ නිෂ්පාදනය කර ගැනීමට හැකිවීම.

3. එදිනෙදා ගෙවත්තේ වැඩ කටයුතු කිරීම තුළින්  ලැබෙන ව්‍යායාමයෙන් ශාරීරික හා මානසික සෞඛ්‍ය රැුක ගැනීමට හැකිවීම.

4. එළවළු හා  පලතුරු මිලදී ගැනීමට යන වියදම අවම කර ගැනීමට හැකිවීම තුළින් හා අතිරිත්ත නිෂ්පාදනය අලෙවි කර ගැනීම තුළින් මුදල් ඉතිරි කරගත හැක්වීම.

5. විනෝදාංශයක් ලෙසින් ගෙවතු වගාවේ යෙදීම තුළින් තම කාලය ඵලදායී ලෙස යොදා ගැනීමට අවස්ථාව ලැබීම.

6. ගෙවත්ත ප‍්‍රියමනාප ස්ථානයක් වීම හා තම දරුවන් ද ගෙවතු වගාවට යොමු කර ගැනීමට හැකිවීම තුළින් ඔවුන්ට තමා ජීවත් වන පරිසරය පිළිබඳ වඩාත් හොඳ ප‍්‍රායෝගික අවබෝධයක් ලබා ගැනීමට අවස්ථාව උදාවීම හා අනාගතයේදී කෘෂිකර්මයට ලැදි ජනතාවක් බිහිවීම.

7. සමස්තයක් ලෙස සෑම අතින්ම නීරෝගීමත් සෞඛ්‍ය සම්පන්න ජනතාවක් රටෙහි බිහිවීම.

ඉහත සඳහන් කළ ආකාරයට ගෙවතු වගාව තුළින් ඔබට ලැබෙන ප‍්‍රයෝජන රැුසක් තිබෙනවා. ඒත් මෙහිදී අප අවධාරණය කරගත යුත්තේ ගෙවතු වගාව තුළින් ඉහත සඳහන් ධනාත්මක දේ ලැබෙන්නේ එය වසවිස වලින් තොරව සිදුවන්නේ නම් පමණක් බවයි. එසේ නැතිව රසායනික පොහොර, වල්නාශක හා කෘමිනාශක යොදා ගනිමින් කරන ගෙවතු වගාව තුළින් කිසිදු ආකාරයේ සෞඛ්‍ය සම්පන්න ආහාර ලබා ගැනීමක් සිදුවන්නේ නැහැ.

වසවිස වලින් තොර වගාවක් කරන්නේ කෙසේද ?

වස විස වලින් තොර සෞඛ්‍යාරක්ෂිත ගෙවත්තක් සඳහා කාබනික පොහොර යොදා ගත යුතුයි. ඒ වගේම එය වඩාත් ඵලදායී හා ලාභදායී වන්නේ ගෙවත්තේ සහ මුළුතැන්ගෙයින් බැහැර වන කසළ වලින් කාබනික පොහොර සකසා ගැනීම කළහොත් පමණයි.

නිවසේදීම කාබනික පොහොර නිපදවා ගැනීම තුළින් ඔබට වාසි කිහිපයක් ලැබෙනවා.

1. ගෙවත්ත තුළ එකතු වන කොළරොඩු භාවිතා කිරීම තුළින් ගෙවත්ත පිරිසිදුව තබා ගැනීමට හැකිවීම.

2. මුළුතැන්ගෙයින් බැහැර කරන කසළ නිසි පරිදි කළමනාකරණය කර ගැනීමට අවස්ථාව උදාවීම.

3. ගෙවතු වගාව සඳහා කාබනික පොහොර මිලදී ගැනීමට වැයවන මුදල් ඉතිරි වීම.

4. කසළ බැහැර කිරීම වෙනුවෙන් පළාත් පාලන ආයතනවලට දැරීමට සිදුවන විශාල වියදම හා කාලය මෙවැනි ක‍්‍රම මගින් අඩුවීම. (මෙය ඔබ රටට කරන අමිල සේවයක්)

5. වස විස වලින් තොර සෞඛ්‍යාරක්ෂිත ආහාර වේලක් ලබා ගැනීමට හැකිවීම.

ගෙවතු වගාවේදී සරල ලෙස කාබනික පොහොර නිෂ්පාදනය කර ගන්නේ කෙසේද ?

මෙය ඉතා වැදගත් කාරණයක් වශයෙන් සැලකිය හැකියි. අපි බොහෝ විට පුදුරුව සිටින්නේ වත්තේ ගස්වලින් වැටෙන කොළ රොඩු ගසක් මුලට එකතු කරන්න හෝ වත්තේ කොනක ගොඩ ගසන්න. මේක ඒ තරම් ඵලදායී ක‍්‍රමයක් නොවෙයි. මෙය ඇතැම් විට ගස්වැල් වලට හානි කරන දෙයක් වෙන්නත් පුළුවන්. ඒ නිසා විද්‍යාත්මක ක‍්‍රමයට කාබනික පොහොර නිපදවා ගැනීමටයි අතිෂයින් වැදගත් වන්නේ.

වගාවේදී කාබනික පොහොර වැදගත් වන්නේ ඇයි ?

ගෙවතු වගාවේදී පමණක් නොවෙයි  ඕනෑම වගා ක‍්‍රමයකදී කාබනික පොහොර විසින් ඉතා වැදගත් කාර්යයන් රැසක් ඉටු කරනවා.

1. ශාකවලට අවශ්‍ය මූලික පෝෂක වර්ග ලබාදීම.

2. හිතකර පාශූ වාතාවරණයක් සකසා දීම.

3. ශක්තිමත් ශාකයක් වර්ධනය වීම.

4. පසේ ජලය රඳවා ගැනීමට උපකාරී වීම.

අමුද්‍රව්‍ය

කාබනික පොහොර සකස් කර ගැනීම සඳහා පහත සඳහන් අනුපාතවලට කාබනික ද්‍රව්‍ය මිශ‍්‍රණයක් සකසා ගත යුතුයි.

1. වියළි කොළ සියයට 30 ක්.

2. අමුකොළ සියයට 30 ක්.

3. ගොම/ කුකුළු පොහොර/ එළු පොහොර සියයට 30 ක්.

4. මුහුන් සියයට 10 ක්.

5. ජලය.

සාදා ගන්නා ආකාරය

1. පළමුව වියළි කොළ සහ අමු කොළ වර්ග එකට මිශ‍්‍ර කර මිශ‍්‍රණය ජලයෙන් තෙමන්න. ( සියයට 60 ක් පමණ)

2. ගොම, කුකුල් පොහොර, එළු පොහොර මිශ‍්‍රව ගෙන එම මුහුන් ගොඩ මතට දමා හොඳින් කලවම් කරන්න.

3. සෝදා නොයන ස්ථානයක ඉහත මිශ‍්‍රණය අඩි 3 ක් පළල හා දිග අවශ්‍ය ප‍්‍රමාණයට ගෙන ගොඩ ගසන්න. මෙම ගොඩ තැලීම හෝ පෑගීම නොකළ යුතුය. ඒ මතට (මුහුන්) පොහොර හෝ පරණ කොම්පෝස්ට් සමාකාරව විසුරුවා හරින්න.

4. කොම්පෝස්ට් ගොඬේ දාරය අංශය 45 ක ඇළයට සිටින සේ ගොඩ ගසන්න.

5. මෙම ගොඩ මතුපිට පස්වලින් අඟල් පමණ වසා ඉන්පසු පිදුරු හෝ පොල්අතු වලින් මතුපිට ආවරණය කරන්න.

6. දින 15-20 ත් අතර එකවරක් පමණක් එම ගොඩ කොටා මිශ‍්‍රකර නැවත ගොඩගසන්න.

ඔබ මේ ආකාරයෙන් නිවැරදි ක‍්‍රමයට ක‍්‍රියා කළහොත් දින 25-30 අතර කාලයක් තුළ වඩාත් හොඳ කොම්පෝස්ට් පොහොර සකස් කර ගත හැකියි.

පි වැවුවට වැඩක් නැහැලූ ? ඒ ඇයි ?

පසුගිය දශක කිහිපය පුරා වල්නාශක හා කෘමිනාශකවලට අපි හුරු වෙලා හිටිය නිසා නානාප‍්‍රකාර පළිබෝධකයින් අද අපේ භූමියේ සුලභ වෙලා තිබෙනවා. ඒ නිසා ගෙවතු වගාකරුවන් අතර පවතින ප‍්‍රධාන මැසිවිල්ලක් තමයි ‘අනේ අපි කොච්චර හොඳ වැවුවත්, සාත්තු කළත් මලක්වත් ආවේ නැහැනේ. එක එක ජාතියේ පණුවෝ ඇවිත් ඒවා විනාශ කළානේ ’ වාගේ ගැටලූ.

ගෙවතු වගාවට හානිකරන පළිබෝධකයින් ( කෘමි හා වල් * පාලනය සඳහා ඔබ කිසිසේත් විස රසායන ද්‍රව්‍ය භාවිත නොකළ යුතුයි. එවැනි දේකට ඔබ යොමු වුනොත් ඔබ ගන්නා උත්සාහයන් ගඟට ඉණි කැපුවා වාගේ වෙනවා. ඒ නිසා ඔබ ගෙවතු වගාව සඳහා ‘කාබනික පළිබෝධ නාශක’ ම භාවිත කිරීමට උනන්දු විය යුතුයි.

ගෙවතු වගාව සඳහා භාවිත කළ හැකි කාබනික පළිබෝධ නාශක මොනවාද ?

මේ සඳහා ඔබට ඉතා පහසුවෙන් සපයාගත හැකි ශාකසාර කාබනික පළිබෝධ නාශක රැසක් තිබෙනවා.

  1. කොහොඹ ඇට.
  2. කොහොඹ කොළ සිරය.
  3. ගව මුත‍්‍ර.
  4. සේර.
  5. අනෝදා ඇට.
  6. කොච්චි සාරය.
  7. දුම්කොළ නැටි.
  8. වල් සූරියකාන්ත.
  9. පැපොල කිරි සාරය.අරලිය මල්.
  10. සුදු ළුණු.
  11. තක්කාලි දඬු.
  12. කුරුඳු කොළ.
  13. රතු ළුණු බල්බ සාරය.

මෙම ශාකසාර කාබනික පළිබෝධ නාශක පහත සඳහන් ආකාරයෙන් සකස් කරගත හැකියි.

කොහොඹ ඇට

කොහොඹ ඇට ග‍්‍රෑම් 50 ක් හොඳින් අඹරා ජලය ලීටරයකට මිශ‍්‍රකර අඳුරු ස්ථානයක පැය 12 ක් තබා මිශ‍්‍රණය පෙරාගෙන සබන් හෝ සේදුම් කුඩු හෝ ටීපොල් ස්වල්පයක් මිශ‍්‍රකර බෝගයට යොදන්න.

මෙමගින් ගෙඩි හා කඳ විඳින පණුවන්, කොළ කන දළඹුවන් / පණුවන් හා කීඩෑවන් පාලනය කළ හැකියි.

කොහොඹ කොළ සිරය

කොහොඹ කොළ කිලෝ ග‍්‍රෑම් 1-2 හොඳින් අඹරා ජලය ලීටර 4 ක් මිශ‍්‍රකර මැටි භාජනයක දින 3 ක් තබා පෙරා සබන් හෝ ටීපොල් ස්වල්පයක් මිශ‍්‍රකර බෝගයට යොදන්න.

මෙමගින් කූඩිත්තන්, කීඩෑවන්, පැළමැක්කන්, ගුල්ලන්, සුදු මැස්සන්, ගොළුබෙල්ලන්, කොරපොතු කෘමීන්, හා කොළ කන පණුවන් පාලනය කළ හැකියි.

ගව මුත‍්‍ර

සති දෙකක කාලයක් හිරු එළියට නිරාවරණය වන සේ තබා 6 ගුණයක් තනුක කර යොදන්න. මෙමගින් කෘමි හා දිලීර රෝග පාලනය කළ හැකියි.

සේර

කොළ හා මුල් ග‍්‍රෑම් 250 ක් කොටා ජලය ලීටරයක දියකර වගාවට ඉසින්න. මෙමගින් බැක්ටීරියා රෝගය පාලනය කළ හැකියි.

අනෝදා ඇට

අනෝදා ඇට පතක් කොටා ජලය ලීටරයක දියකර පෙරා යෙදීම මගින් යුෂ උරා බෙන මකුණන්, පැළ/ පත‍්‍ර කීඩෑවන් පාලනය කළ හැකියි.

අනෝදා කොළ

අනෝදා කොළ ග‍්‍රෑම් 250 ක් ජලය ලීටර දෙකක් සමග ලිප තබා රත්කර ජලය ලීටරය දක්වා හිඳවා ගන්න. මෙම ද්‍රවණය වගාවට යෙදීම මගින් කූඩිත්තන් සහ සුදු මැක්කන් පාලනය කළ හැකියි.

කොච්චි සාරය

කොච්චි ග‍්‍රෑම් 100 ක් අඹරා ජලය ලීටරයකට කලවම් කර පැය 24 ක් තබා පෙරා අදාළ ද්‍රාවනය මෙන් 5 ගුණයක් ජලය කලවම් කර වගාවට යෙදීම මගින්, කුහුඹුවන්, කූඩිත්තන්, පණුවන් හා ගුල්ලන් පාලනය කළ හැකියි.

දුම්කොළ නැටි

දුම්කොළ නැටි අහුරක් ගෙන ජලය ලීටරයකට දමා උතුරුවා නිමෙන්නට හැර පෙරා ඉසීම මගින් ඔබේ වගාවේ පණුවන් ( කීටයන්) මර්ධනය කළ හැකියි.

වල්සූරියකාන්ත

වල්සූරියකාන්ත කොළ කිලෝග‍්‍රෑම් 1-2 ක් කොටා ජලය ලීටරයක දියකර ඉසින්න. මෙමගින් දියමන්ති සලඹයා, රතුකපු පණුවා ඇතුළු පණුවන් මර්ධනය කළ හැකියි.

පැපොල් කිරි සාරය

ලොකු පැපොල් ගෙඩියක කිරි ජලය ලීටරයක දියකර වගාවට ඉසීම මගින් මයිටාවන්, කූඩිත්තන්, මිරිස් වගාවේ කොළ කොඩවීම පාලනය කළ හැකියි.

අරලිය මල්

අරලිය මල් කිලෝවක් ජලය ලීටර් 3 කට මිශ‍්‍රකර දින 04 ක් තබා මිශ‍්‍රණයට සීනි හැදි 3 ක් යොදා පෙරා සබන් හෝ ටීපොල් ස්වල්පයක් මිශ‍්‍රකර වගාවට ඉසින්න. මේ මගින් ඔබේ ගෙවතු වගාවට හානිකර කෘමීන් පාලනය කළ හැකියි.

සුදු ළුණු

සුදුළුණු ග‍්‍රෑම් 100 ක් අඹරා භූමිතෙල් තේ හැදි 03 කට කළවම් කර ජලය ලීටරයකට සබන් ග‍්‍රෑම් 10 ක් මිශ‍්‍රකර පැය 24 ක් තබා පෙරා ගන්න. ඉන් පසු එය 4 ගුණයක් තනුක කර වගාවට ඉසින්න. මේ මිශ‍්‍රණය මගින් සියලූම වගාවල කූඩිත්තන්, කොළකන දළඹුවන් වැනි කෘමීන් පාලනය කළ හැකියි.

තක්කාලි දඬු

තක්කාලි කඳන්, පත‍්‍ර හෝ ශාකයේ කොටස් සිහින්ව කපා පොඩිකර එකට එකක් ජලය එකතු කර මද ගින්නේන් තම්බා පෙරා වගාවට ඉසින්න. මෙම ද්‍රවණයේ ඇති කෘමි විකර්ෂක ගුණය නිසා කෘමීන් පළවා හැරිය හැකියි.

කුරුඳු කොළ

කුරුඳු කොළ ග‍්‍රෑම් 250 කට ජලය ලීටරයක් එක් කර හොඳින් අඹරා පෙරා එම සාරය වගාව ඉසීම මගින් පේර වගාවේ රෝග පාලනය කළ හැකියි.

රතුළුණු බල්බ සාරය

මැටි භාජනයකට වතුර ලීටරයක් දමා හොඳින් උණු කරන්න. ඊට රතුළුණු කිලෝවක් දමා පැය 24 ක් තබා රෙදි කඩකින් පෙරා ගන්න. ඉන් පසු එයට ජලය ලීටර 10 ක් මිශ‍්‍රකර වගාවට ඉසින්න. මෙමගින් කුහුඹුවන්, කොරපොතු කෘමීන්, මයිටාවන් සහ පැළ මැක්කන් පාලනය කළ හැකියි.

මිරිස් කොළ කොඩවීමට නිවැරදි පිළියමක්

අපේ සෑම ගෙවත්තකම වාගේ මිරිස් පැළ කිහිපයක් දැකිය හැකියි. ඒ වගේම තමයි ගෙවතු වගාවේදී මිරිස් ගැන විශේෂ උනන්දුවක් ද තිබෙනවා. ඒත් ගෙවතු වගාවේදී වැඩියෙන්ම හානියට පත් වෙන්නේ ඔබ මහත් ආසාවෙන් වගා කරන මිරිස් පැළ ටික.

මිරිස් වගාවට විශාලම හානියක් සිදුවන්නේ ‘කොළ කොඩවීම’ මගිනුයි. මේ තත්ත්වය පාලනයට පහත සඳහන් ක‍්‍රමවේදය ඔබට ඉතා පහසුවෙන් අනුගමනය කළ හැකියි.

ගෙන්දගම්, අළුහුණු, දැවඅළු, පෙරුම්කායම් සම සමව ගෙන හොඳින් කලවම් කරන්න. ඊට පසු දැල් රෙදි කැබැල්ලක් ගෙන ඉහත සියල්ල ඒ තුළට දමා පොට්ටනියක් සාදා ලී කෝටුවක ගැටගසා හානිය ඇති ගස්වලට ගොස් වෙනත් කෝටුවක් උපයෝගී කර ගනිිමින් පොට්ටනිය සහිත ලීයට තට්ටු කරන්න. මෙය සතියකට වරක් කිරීම මගින් ඔබේ වටිනා මිරිස් වගාවේ කොළ කොඩවීමේ රෝගය පාලනය කරගත හැකියි.

කාබනික පළිබෝධ නාශක සකස් කිරීමේදී සැලකිය යුතු කරුණු මොනවාද ?

  1. නිරෝගී ශාක කොටස් පමණක් තෝරා ගන්න.
  2. එම අමුද්‍රව්‍ය නිර්දේශිත ප‍්‍රමාණයට පමණක් යොදන්න.
  3. පිරිසිදු ජලය භාවිත කරන්න.
  4. සැකසීම සඳහා වෙන්කර ගත් උපකරණ ඒ සඳහාම භාවිත කරන්න.
  5. කාබනික පළිබෝධ නාශක භාවිතයේදී සැලිකිලිිමත් විය යුතු කරුණු මොනවාද ?
  6. බෝගයට යෙදීමට පෙර මේරූ අස්වැන්න නෙලා ගන්න.
  7. සවස් කාලයේදී යෙදීමෙන් සාර්ථක ප‍්‍රතිඵල ලබාගත හැකියි.
  8. වර්ෂාවට හසුවොන සේ යොදන්න. අවශෝෂණයට පැය 3-4 ක් පමණ ගතවේ.
  9. සාදාගත් මිශ‍්‍රණය එක්වරක් පමණක් භාවිත කරන්න.
  10. කුඩා ළමුන් හා සුරතල් සතුන්ගෙන් ආරක්ෂාකාරීව තබන්න.

ඉහත සඳහන් විධිමත් ක‍්‍රමවේද මගින් ඔබ විසින් ම සකසා ගන්නා කාබනික පළිබෝධ නාශක මගින් වාසි කිහිපයක් ඔබට ලබාගත හැකියි.

  1. ශාක නිස්සාරකවල කල් පවතින විෂ රසායනික අඩංගු නොවන නිසා දීර්ඝ පසු අස්වනු කාලයක් අවශ්‍ය නොවීම.
  2. පළිබෝධ නාශකවලට ඔරොත්තු දෙන විවිධමාදිලි ඇතිවීම වැළකීම.
  3. පරිසර හිතකාමී වීම.
  4. වගා වියදම අඩුවීම.
  5. යොදන පුද්ගලයාට හානි නොවීම.
  6. ජෛව විවිධත්වයට හානි නොවීම.

ඉහත සඳහන් පරිදි ඔබේම ගෙවත්ත ඔබම විසින් කළමනාකරණය කරගත හොත් ඔබ වඩාත් නිරෝගී පුරවැසියෙකු වනවා පමණක් නොව අනාගත පරපුර උදෙසා ලෝකය සුරක්ෂිත කළ වගකිව යුතු පුරවැසියෙකු වන බව ද සහතිකයි.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප‍්‍රකාශන ඇසුරින්.

සැකසුම – තුෂාර වල්ගම

LeP

Recommended For You

About the Author: Admin