පසු අස්වනු හානි අවම කර ගන්නේ කෙසේද ?

‘‘කුණු වෙන ඒවටත් අල්ලන්න එපෑ මහත්තයෝ. කිලෝ සීයක් ගෙනාවොත් හතළිහක් පනහක් අයින් කරන්න වෙනවා. ඉතිං කොහොමද අපි අඩුවෙන් දෙන්නේ ?’’

මේ එළවළු, පලතුරු වෙළෙඳුන්ගේ සුලභ මැසිවිල්ලකි. ‘‘එළවළු, පලතුරු ගිනි ගණන් යැ’යි කියමින් පරිභෝගිකයින් අවලාද නගද්දී වෙළෙඳුන් කියන්නේ ගොවීන්ගෙන් ලබා ගන්නා එළවළු, පලතුරුවලින් වැඩි ප‍්‍රමාණයක් කුණු වී ඉවත දැමීමට සිදුවන බවයි.

මේ සම්බන්ධයෙන් වගකිව යුතු ආයතන සඳහන් කරන්නේ ද ශ‍්‍රී ලංකාවේ එළවළු හා පලතුරු ගොවිපොළේ සිට පාරිභෝගිකයා දක්වා ගමන් කරන කාලය තුළ සිදුවන ‘‘පසු අස්වනු හානිය සැලකිය යුතු ප‍්‍රතිශතයක් ගන්නා බවයි.

මෙම ගැටලූව සඳහා විවිධ විසඳුම් ද ආණ්ඩුව පැත්තෙන් පසුගිය කාලය තුළ විටින් විට ප‍්‍රකාශයට පත් වුණා. එළවළු ප‍්‍රවාහනයේදී ප්ලාස්ටික් කූඩ භාවිතය අනිවාර්ය කිරීම මේ අතර වඩාත් සක‍්‍රීය හා ඵලදායී විසඳුමක් වශයෙන් ඉදිරිපත් වුණා. ඒත් වෙළෙඳුන්ගෙන් ඒ සඳහා එල්ල වූ දැඩි විරෝධය නිසා මේ වන විටත් ප්ලාස්ටික් කූඩ භාවිතය පවතින්නේ නොසැලකිය යුතු තත්ත්වයකයි.

පසු අස්වනු හානිය කියලා කියන්නේ කුමක්ද ?

බෝගවල අස්වනු නෙළීමේ සිට ඒවා පාරිභෝගිකයා අතට පත්වන අවස්ථාව දක්වා සිදුවන භෞතික, රසායනික යනාදී සියලූ ආකාරයේ හානිවීම්‘‘පසු අස්වනු හානිය’’ යනුවෙන් නිර්වචනය කරනවා. මේ නිසා ශ‍්‍රී ලංකාවේ එළවළු හා පලතුරු අස්වැන්නෙන් සැලකිය යුතු ප‍්‍රමාණයක් මිනිස් පාරිභෝජනයට ගත නොහැකි තත්ත්වයට පත් වෙලා ඉවත දැමීමට සිදුවෙනවා. පසු අස්වනු හානිය හේතුවෙන් ගොවියාට, වෙළෙන්දාට සහ පාරිභෝගිකයාට යන පාර්ශ්ව තුනටම විශාල අලාභයක් සිදු වෙනවා. ගොවියාට තමන්ගේ නිෂ්පාදන සඳහා ප‍්‍රමාණවත් මිලක් ලබා ගැනීමට නොහැකි වෙනවා. වෙළෙන්දාට මිල දී ගත් නිෂ්පාදනවලින් සැලකිය යුතු කොටසක් ඉවත් කිරීමට සිදුවෙනවා. ප‍්‍රවාහන, සේවක ආදි වියදම් එක්ක මේ තත්ත්වය අලෙවි මිල ඉහළ දැමීමට හේතු වෙනවා. පාරිභෝගිකයාට සිදුවන්නේ තමන්ගේ කිසිම සම්බන්ධයක් නැති, මිල දී නොගත් ඒවටත් එක්ක අවසානයේ මුදල් ගෙවන්න. මේ සියලූ සිදුවීම් එක්ක අවසානයේ රටේ භූමිය, ශ‍්‍රමය ඇතුළු සමස්ත වටිනාකම් නිකරුණේ අපතේ යාමක් සිදු වෙනවා.

පසු අස්වනු හානිය   සිදුවන ක‍්‍රම

ගොවීන් විසින් නෙළන ලද අස්වැන්න පාරිභෝගිකයා අතට පත්වීම දක්වා සිදුවන ක‍්‍රියාවලිය බැලූ බැල්මට සරල එකක් වගේ පෙණුනට එය සංකීර්ණ ක‍්‍රියාවලියක්. මේ ක‍්‍රියාවලිය තුළ නෙළන ලද අස්වැන්න විනාශ වීමට ඇති අවස්ථා රැුසක් තිබෙනවා.

  • සීරීම
  • තැලීම
  • ක්ෂුද්‍ර ජීවී ආසාදනවලට ලක්වීම නිසා කුණු වී යාම
  • වියළි යාම
  • කෘමි හානිවලට ලක් වීම, ආදිය පසු අස්වනු හානිය සිදුවන ක‍්‍රම වශයෙන් දැක්විය හැකියි.

පසු අස්වනු හානිය දෙයාකාරයකට සිදු වෙනවා.

  1. ගුණාත්මක හානිය
  2. ප‍්‍රමාණාත්මක හානිය

‘‘ගුණාත්මක හානිය’’ යනුවෙන් සැලකෙන්නේ අස්වනුවල පෝෂණීය අගය, වර්ණය, රසය, සුවඳ, වයනය, බාහිර පෙනුම සහ සෞඛ්‍යාරක්ෂිත බව වෙනස් වීමයි. මෙම හානිය මැනීමට අපහසු වීම බරපතළ තත්ත්වයක් වශයෙන් සැලකිය හැකියි. ගුණාත්මක හානියට ලක් වූ එළවළු, පලතුරු මිල දී ගැනීමට පාරිභෝගිකයින් කැමැති නැහැ. මේ නිසා මෙම නිෂ්පාදන සඳහා තිබෙන පාරිභෝගික රුචිය මෙන්ම වෙළෙඳපොළ අගය ද අඩු වෙනවා.

‘‘ප‍්‍රමාණාත්මක හානිය’’ යනුවෙන් අදහස් වන්නේ කුණු වීම්, තැලීම්, වියැළීම් යනාදිය නිසා අස්වනු තොගයේ බර හෝ පරිමාව අඩු වීමයි.

පසු අස්වනු හානියට බලපාන හේතු

‘ගින්නක් නැතිව දුමක් නඟින්නේ නැහැ’ වාගේ යම් යම් හේතු නොමැතිව පසු අස්වනු හානි සිදුවන්නෙත් නැහැ. ඒත් ගොවීන්, ප‍්‍රවාහනය කරන්නන්, අලෙවිකරන්නන් සහ පාරිභෝගිකයින් මේ ගැන වැඩි දැනුවත්කමකුත් නැහැ. දැනුවත් වුණත් වැඩි සැලකිල්ලකුත් නැහැ. ඒ නිසා දීර්ඝ කාලයක් පුරා පසු අස්වනු හානිය කෘෂිකර්මාන්තය හා සම්බන්ධ ප‍්‍රධාන ගැටලූවක් බවට පත්වෙලා තිබෙනවා. මෙය ව්‍යාපාරිකයින්ට හා පාරිභෝගිකයින්ටත් ඍජුව බලපාන නිසා ජාතික ගැටලූවක් වශයෙන් ද සැලකිය හැකියි.

මේ තත්ත්වය තුළ පසු අස්වනු හානිය සිදුවන්නේ කොහොමද ? කියලා දැනුවත් වීම වැදගත්.

1. බෝගය වගා කරන කාලයේ නිසි පරිදි නඩත්තු නොකිරීම

පසු අස්වනු හානියේ සමාරම්භක අවස්ථාව වශයෙන් මෙය සැලකිය හැකියි. බෝගයට අවශ්‍ය අවස්ථාවලදී අවශ්‍ය ප‍්‍රමාණයට ජලය සහ පොහොර නොයෙදීම, නිසි පරිදි පළිබෝධ පාලනය නොකිරීම, වැඩිපුර ඇති පැළ තුනී නොකිරීම ආදි කරුණු හේතුවෙන් එළවළුවල ගුණාත්මකභාවය අඩු වෙනවා. එබැවින් නියමිත පරිදි පශ්චාත් බෝග ප‍්‍රතිස්ථාපන කටයුතු සිදු කළ යුතුයි.

2. නියමිත මේරීමේ අවස්ථාවෙන් බැහැරව ඵල නෙළීම

අස්වනු නෙළීමේ අවස්ථාව බෝගයෙන් බෝගයට වෙනස් වෙනවා. මේ තත්ත්වය මනාව හඳුනා ගෙන ප‍්‍රමාණවත් තරම් මේරූ අවස්ථාවේදී අස්වනු නෙළීම කළහොත් පසු අස්වනු හානිය අවම කරගත හැකියි.

මේ තත්ත්වය බෝග කිහිපයක් ඇසුරින් පැහැදිලි කරගත හැකියි

තක්කාලි – තක්කාලි කියන්නේ සියුම් සිවියක් සහිත ජලය බහුල ජෙලිමය ස්වභාවයක් ගන්නා බෝගයක්. ඒ නිසා තක්කාලි අස්වැන්න නියමිත කාලයේදී නෙළාගත යුතුයි.

  • තක්කාලි නෙලාගත යුත්තේ ගෙඩියේ පැහැය කොළ පැහැයේ සිට ලා රතු පැහැයට හැරීම සිදුවන අවස්ථාවේදීයි.
  • බණ්ඩක්කා – කරල මෘදු අවස්ථාවේදී, රළු වීමට පෙර.
  • කෙසෙල් – ගෙඩිවල දාර සහිත ස්වභාවය නැතිවන විට / තද කොළ පැහැයේ සිට ලා කොළ පැහැයට හැරෙන අවස්ථාවේදීයි.
  • පැපොල් – ගෙඩියේ පැහැය කොළ පැහැයේ සිට කහ පැහැයට හැරෙන විට.
  • අඩුවෙන් මෝරා ඇති / කොළපාට බොහොමයක් එළවළු සහ පලතුරු වර්ග අස්වනු නෙලීමෙන් පසු ඉදීමට ලක් වන්නේ නැහැ. ඒ වගේම වැඩියෙන් ඉදිණු බෝග පහසුවෙන් තැලීමට ලක් වෙනවා. මෙය පසු අස්වනු හානිය බහුල වීමට හේතුවක්.

3. දවසේ නුසුදුසු අවස්ථාවේදී අස්වනු නෙළීම

මේ තත්ත්වයත් පසු අස්වනු හානි වැඩිවීමට ප‍්‍රධාන හේතුවක්. ඒ ඒ එළවළු හා පලතුරු වර්ග නෙළීම සඳහා සුසුදු ස්වභාවික කාලයක් තිබෙනවා. උදාහරණ වශයෙන්,

  • එළවළු නෙළගත යුත්තේ උදය වරුවේ පිණි වියළී ගිය පසුවයි.
  • කොළ එළවළු නෙළිය යුත්තේ උදය වරුවේදීයි.
  • කෙසෙල් නෙළාගත යුත්තේ පෙරවරු 10ට හෝ පස්වරු තුනට පසුවයි.
  • අඹ සහ පැඟිරි සහිත පලතුරු වර්ග නෙළාගත යුත්තේ පෙරවරු 10.00ත් පස්වරු 03.00ත් අතර කාලයේදීයි.

මේ ආකාරයෙන් අනෙක් එළවළු හා පලතුරු වර්ග නෙළාගත යුතු කාලය ගැන ඔබ දැනුවත් විය යුතුයි.

  • උදෑසන පිණි වියළී යාමට පෙර අස්වනු නෙළීමෙන් රෝගවලට පාත‍්‍රවීම වැඩි වෙනවා. ඒ වගේම තද හිරු එළිය ඇති දහවල් කාලයේ අස්වනු නෙළීමෙන් වගාවට මෙන්ම ඵලදාවට ද හානි සිදුවෙනවා. ඒ නිසා එළවළු අස්වනු නෙළිය යුත්තේ පිනි සිඳුණු පසු, මධ්‍යාහනයට පෙරයි.

4. අස්වනු නෙළීම සඳහා නුසුදුසු ක‍්‍රමවේද භාවිත කිරීම

මෙයත් පසු අස්වනු හානිය සඳහා බහුල වශයෙන් හේතු වන තත්ත්වයක්. ඵලදාව නෙළා ගැනීමේදී තැලීම්, සීරීම්, නටුව අසල තුවාල වීම් ආදිය සිදු වෙනවා. ඒ නිසා සිදුවන හානිය වන්නේ අදාළ බෝගවල ගුණාත්මකභාවය අඩුවීමයි.

අතින් අස්වනු නෙළීම මඟින් ඒවාට සිදුවන තැලීම්, සීරීම් වැනි හානි අවම වෙනවා. ඒ වගේම ඵලය නටුවෙන් වෙන් කිරීම සඳහා පිහියක් භාවිත කිරීම වඩාත් සුදුසුයි. උදාහරණයක් ලෙස බණ්ඩක්කා වැනි එළවළු නටුව කරකවා නෙළීමෙන් ඒවාට සිදුවන හානිය වැඩි වෙනවා. මේ තත්ත්වය මිදි වගාවේදීත් සිදුවිය හැකියි. ඒ නිසා මිදි අස්වැන්න නෙළා ගැනීමේදී නටුව කැපීම සඳහා ‘සෙකටියරයක්’ භාවිත කළ හැකියි.

අඹ, දිවුල්, දොඩම්, වැනි උස ගස්වල හට ගන්නා ඵල නෙළා ගැනීමේදී ඒවා බිමට පතිත වීමෙන් පසු අස්වනු හානි විශාල වශයෙන් සිදුවෙනවා. එම නිසා මෙවැනි උස් ස්ථානවල හට ගන්නා ඵල නෙළීම සඳහා විශේෂිත නෙලීමේ උපකරණ භාවිත කළ හැකියි. උදාහරණ වශයෙන් අඹ නෙළා ගැනීම සඳහා භාවිත කරන කෙක්කට කුඩා දැල් කූඩයක් සවි කිරීම මඟිින් අඹ බිමට නොදමා කෙක්කට සවිකර ඇති දැල් කූඩයට කඩාගත හැකියි.

5. අස්වනු නිසි පරිදි පිරිසිදු නොකිරීම සහ තදින් අතුල්ලා පිරිසිදු කිරීම

මේ තත්ත්වය අඹ, පැපොල් වැනි කිරි සහිත පලතුරුවලට තදින් බලපානවා. අඹ, පැපොල් වැනි පලතුරු නෙළීමේදී එම කිරි පොත්තේ තැවරීම නිසා ඒවා පහසුවෙන් ආසාදනය වෙනවා. ඒ නිසා අඹ, පැපොල් වැනි පලතුරු වහාම සෝදා ගබඩා කළ යුතුයි.  මෙහිදීත් සාමාන්‍ය ජලය භාවිත කිරීම සුදුසු නැහැ. ඒ වෙනුවට මදක් උණුසුම් ජලයෙන් අඹ, පැපොල් ආදියෙහි පොත්තේ තැවරී තිබෙන කිරි සෝදා හැරිය යුතුයි. ඒ වගේම තමයි අස්වනු සමග තිබෙන මැරුණු පත‍්‍ර කොටස්, මුල් කැබලි ආදිය ද ඉවත් කළ යුතුයි.

කැරට්, බීට් ආදි එළවළු පිරිසිදු කිරීමේදී ජලය භාවිතයෙන් සෝදා දැමීම තමයි ගොවීන් අතින් නිතර සිදුවන්නේ. මෙය ඉතා පැහැදිලිව ම පසු අස්වනු හානිය වැඩි කිරීමට හේතුවක්. කැරට්, බීට් වැනි එළවළු පිරිසිදු කිරීමේදී ජලය භාවිත නොකර බුරුසුවක් ආධාරයෙන් ඒවා පිරිසිදු කළ යුතුයි. කැරට්, බීට් පිරිසිදු කිරීම සඳහා ජලය යොදා නොගැනීමට හේතුව වන්නේ එළවළු සේදීමේදී තදින් ඇතිල්ලීමෙන් පළුදු වීම් සිදුවීමයි. එවිට එම එළවළු ක්ෂුද්‍ර ජීවී ආසාදනවලට පහසුවෙන් ලක් වෙනවා.

6. නෙළාගත් අස්වැන්න ශ්‍රේණිගත නොකිරීම

අස්වනු නෙලාගත් පසු ඒකාකාරයේ අස්වැන්නක් අපට ලබාගැනීම අපහසුයි. මේ නිසා අස්වැන්න නිසි පරිදි ශ්‍රේණිගත කිරීම ඉතා වැදගත්. එහිදී පළුදු වූ, පළිබෝධ හානිවලට ලක් වූ, නියමිත ප්‍රමාණයට වර්ධනය වී නොමැති කුඩා ඵල ආදිය තෝරා ඉවත් කළ යුතුයි. එසේ නොකළහොත් පළුදු වූ ඵලදාව ආසාදනයට ලක් වී කුණු වූ විට ඉතිරි අස්වැන්නට ද පහසුවෙන් පැතිර යා හැකියි.

7. නිසි පරිදි ඇසුරුම් ක‍්‍රම යොදා නොගැනීම

මේ තත්ත්වයත් අපේ ගොවීන් අතර බහුලව දැකිය හැකි පසු අස්වනු හානි සිදුවන ප්‍රබල අවස්ථාවක්. එළවළු, පලතුරු පහසුවෙන් සීරීම්, තැලීම්වලට ලක් වෙනවා. ඒ නිසා ඒවා නිසි පරිදි අසුරා තැබිය යුතුමයි. එළවළු, පලතුරු වැනි දේවල් ගෝනි තුළ ඇසිරීමෙන් ඒවා තැලීමට ලක්වීමට ඇති ඉඩ ඉතා ඉහළයි. එනිසා මේවා ඇසිරීම සඳහා සුදුසු ප්ලාස්ටික් හෝ කුඩා ලී පෙට්ටි ආදිය භාවිත කළ යුතුයි. තක්කාලි සහ පලතුරු වර්ග ඇසිරීමේදී ඒවා නොතැලෙන පරිදි වෙන් වෙන්ව අසුරන්නේ නම් සිදුවන හානිය අවම කරගත හැකියි.

8. නිසි පරිදි ගබඩා නොකිරීම

අපේ ගොවීන්ට මෙන්ම අලෙවිකරුවන්ටත් නිසි ගබඩා පහසුකම් නොමැති වීම බරපතළ ප‍්‍රශ්නයක්. එහෙත් කල්පනාකාරී වුවහොත් මේ ගැටලූව විසඳාගත හැකි ක‍්‍රම තිබෙනවා.

ඔබ විසින් නෙලා ගෙන ගබඩා කර තබන ජීව අස්වනු ශ්වසනය කරන බව ඔබ දන්නවාද ? ජීව අස්වනු ශ්වසනය කරනවා. ඒ නිසා ඒවාට වාතය අත්‍යවශ්‍යයි. එය ලබාදිය හැක්කේ ජීව අස්වනු මනාසේ

වාතාශ්‍රය ලැබෙන පරිදි ගබඩා කිරීම මඟින් පමණයි. ගබඩාවේ උෂ්ණත්වය, ආර්ද්‍රතාව, කෘමි උවදුරු තත්ත්ව පාලනයකින් යුතුව පවත්වා ගැනීමට ඔබ සමත් වන්නේ නම් ඔබගේ අස්වැන්න කාලයක් සුරක්ෂිත කරගත හැකියි. පසු අස්වනු හානිය අවම කරගත හැකියි.

9. නිසි පරිදි ප්‍රවාහනය නොකිරීම

ගෝනි සිය ගණනක් එකමත එක පැටවූ එළවළු ප්‍රවාහනය කරන ලොරිවල ඒවායේ ගමන් කරන සේවකයින් නිදාගෙන යාම අපි දකින සුලභ තත්ත්වයක්. ප්‍රවාහනයේදී මෙවැනි තවත් හානිකර අවස්ථා රැසක් තිබෙනවා. ඒ නිසා සිදුවන්නේ ඔබ විසින් නෙලාගත් හෝ මිල දී ගත් ඵලදාව විනාශයට පත්වීම පමණයි.

ප‍්‍රවාහනයේදී අස්වනු එක මත එක පටවා තැබීමේදී පහළින් ඇති අස්වනු පහසුවෙන් ම තැලීමට ලක් වෙනවා. ඒ වගේම ඒවාට නිසි පරිදි වාතාශ්‍රය නොලැබීම නිසා පටක මිය ගොස් කුණු වීමට පටන් ගන්නවා.  ඒ වගේම තමයි තද හිරු එළියට නිරාවරණය වීම, වර්ෂාවට ලක්වීම ද, අබලන් වූ වාහනවල අබලන් මාර්ග ඔස්සේ ප‍්‍රවාහනය කිරීම නිසා එළවළු, පලතුරු ආදිය අධික ලෙස තැලෙනවා. පසු අස්වනු හානියකට ලක් වෙනවා.

ඉහත සඳහන් කළේ පසු අස්වනු හානිය සිදුවන ආකාරය සහ ඒවාට ලබාගත හැකි විසඳුම් යනාදියයි.  ඔබට පසු අස්වනු හානිය අවම කරගත හැකි නම් ඉහළ ලාභයක් ලබාගත හැකියි. ඒ සඳහා අවශ්‍ය වෙන්නේ නිසි පරිදි දැනුවත් වීම සහ උනන්දුව පමණයි. ඒ වගේම මේ වෙනස කළ හැක්කේ ද ඔබට ම පමණයි.

සැකසුම – තුෂාල් විතානගේ

LeP

Recommended For You

About the Author: Admin