අතිවිශේෂ හෙළිදරව්ව – ශ‍්‍රී ලංකාවේ වර්ෂාපතනය අඩුවෙලා – අවුල් වෙලා

ශ‍්‍රී ලංකාවේ මධ්‍ය වාර්ෂික වර්ෂාපතනය පසුගිය 1986 සිට 2016 දක්වා වසර 30ක කාලය තුළ සැලකිය යුතු ප‍්‍රතිශතයකින් අඩුවී වර්ෂාපතන රටාවන් ද දැඩි විකෘතියකට ලක්ව ඇතැයි ශ‍්‍රී ලංකාවේ වර්ෂාපතනය සම්බන්ධයෙන් සිදුකළ නවතම පර්යේෂණයක් මගින් හෙළිකර ගෙන ඇත.

ඒ අනුව 1951-1980 දශක තුනට සාපේක්ෂක කොළඹ නිරීක්ෂණ මධ්‍යස්ථානයේ මධ්‍ය වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 2527.3 සිට 2357.4 දක්වා මිලිමීටර් 169.9කින් හෙවත් සියයට 6.7ක ප‍්‍රතිශතයකින් අඩුවී ඇති අතර නුවරඑළිය නිරීක්ෂණ මධ්‍යස්ථානයේ මධ්‍ය වාර්ෂික වර්ෂාපතනය 1951-1980 කාලය තුළ වාර්තා වූ මිලිමීටර් 2043.7ක මධ්‍ය වාර්ෂික වර්ෂාපතනය 1986-2016 කාලය තුළ මිලිමීටර් 1841.7 දක්වා මිලිමීටර් 202කින් හෙවත් සියයට 9.9කින් අඩුවී ඇත. හම්බන්තොට නිරීක්ෂණ මධ්‍යස්ථානය ආශ‍්‍රිත මධ්‍ය වාර්ෂික වර්ෂාපතනය 1951-1980 මිලිමීටර් 1073.4ක අගය 1986-2016 කාලය තුළ මිලිමීටර් 54.6කින් හෙවත් සියයට 5.1කින් අඩුවී ඇත. අනුරාධපුරය සහ රත්නපුරයේ මධ්‍ය වාර්ෂික වර්ෂාපතනය අදාළ කාලසීමාව තුළ සියයට 0.8කින් සහ 1.4කින් අඩුවී තිබීම ද විශේෂත්වයකි.

මෙම පරීක්ෂණය මගින් සොයා ගෙන ඇති ආකාරයට තෙත් කලාපයට වැඩිම වර්ෂාපතනයක් ලැබෙන නිරිතදිග මෝසම් වර්ෂාව (මැයි සිට සැප්තැම්බර් දක්වා) සහ අන්තර් මෝසම් 02 වර්ෂාව (ඔක්තෝබර් – නොවැම්බර්) දැඩි සේ අවුල් වී ඇති අතර ඉතාම කෙටි කාලයක් තුළ අධික වර්ෂාපතනයක් ලැබීම පසුගිය කාලය තුළ සුලභ තත්ත්වයක් වී ඇත. මේ තත්ත්වය අනුරාධපුරය, හම්බන්තොට ඇතුළු වියළි කාලපයට වැඩි වර්ෂාපතනයක් ලැබෙන ඊසානදිග මෝසම් වර්ෂාව (දෙසැම්බර් සිට පෙබරවාරි දක්වා) තුළ ද පැහැදිලිව හඳුනාගත හැකි බව අදාළ පර්යේෂණ වාර්තාව සඳහන් කරයි.

මේ දිනවල පවතින දැඩි වියළි කාලගුණය සම්බන්ධයෙන් ද මෙම වාර්තාව මගින් පැහැදිලි අදහසක් ලබාගත හැකිය. එහි සඳහන් වන ආකාරයට කොළඹ, රත්නපුරය සහ නුවරඑළියද ඇතුළත් තෙත් කලාපයේ සාමාන්‍ය වියළි කාලය හෙවක් වර්ෂාපතන අවම කාලය ලෙස ජනවාරි, පෙබරවාරි සහ මාර්තු මාස හඳුනා ගෙන ඇත. පසුගිය 1986-2016 වර්ෂාපතන දත්ත නිරීක්ෂණයේදී කොළඹ නිරීක්ෂණ මධ්‍යස්ථානය ආශ‍්‍රිතව ජනවාරි මාසයේ ලැබෙන සාමාන්‍ය මධ්‍ය වාර්ෂික වර්ෂාපතනය සමස්ත වාර්ෂික වර්ෂාපතනයෙන් සියයට 3.4ක් ද, පෙබරවාරි මස සියයට 2.8ක් ද වන අතර මාර්තු මාසයේ එය සියයට 4.8ක ප‍්‍රතිශතයකි.

ලංකාවේ වැඩිම මධ්‍ය වාර්ෂික වර්ෂාපතනයක් වාර්තා වන රත්නපුරය සම්බන්ධයෙන් ගත් විට අවම වර්ෂාපතනයක් වාර්තා වන්නේ ජනවාරි, පෙබරවාරි සහ මාර්තු යන මාසවල වන අතර එම වර්ෂාපතනය සමස්ත වාර්ෂික වර්ෂාපතනයෙන් සියයට 3.3ක්, 3.9ක් හා 5.3කි.

දේශගුණික වශයෙන් අතරමැදි කලාපයට අයත්වන නුවරඑළිය නිරීක්ෂණ මධ්‍යස්ථානය ගත්විට මේ තත්ත්වය තව දුරටත් පැහැදිලි කරගත හැකිය. ඒ අනුව නුවරඑළිය ආශ‍්‍රිත ප‍්‍රදේශයේ අවම වර්ෂාපතනයක් වාර්තා වන්නේ පෙබරවාරි සහ මාර්තු යන මාසවල වන අතර එය සමස්ත වාර්ෂික වර්ෂාපතනයේ ප‍්‍රතිශතයක් වශයෙන් සියයට 3.9ක් හා 4.5ක අගයකි.

මේ අනුව මේ දිනවල කොළඹ ඇතුළු තෙත් කලාපීය ප‍්‍රදේශවල පවතින වියළි කාලගුණය ඉතාම පැහැදිලිව ස්වභාවික තත්ත්වයක් බව හඳුනා ගත හැකිය.

ශ‍්‍රී ලංකාවේ දේශගුණික තත්ත්වය සහ වර්ෂාපතන රටාව අනුව ඉතාම පැහැදිලිව තෙත් කාලපයට වර්ෂාව අවම කාලසීමාවක් වන පෙබරවාරි සහ මාර්තු යන මාසවල වර්ෂාපතනයේ සිදුවන ස්වභාවික තත්ත්වය ගැන පැහැදැලි හෝ විද්‍යාත්මක වැටහීමක් නැති දේශපාලනඥයින් සහ ජනමාධ්‍ය මෙම ස්වභාවික වර්ෂාපතන රටාවන් ගැන වඩාත් පුළුල් වැටහීමක් ලබාගත යුතු බව ද මෙම වාර්තාව මගින් අවධාරණය කර ඇත.

වර්ෂාපතනයේ සිදුව ඇති අඩුවීම සහ විකෘතිතාව හේතුවෙන් ඉදිරි සංවර්ධන කටයුතුවලදී දැඩි ඍණාත්මක බලපෑම් සිදුවිය හැකි බවට අනතුරු අඟවා ඇති අදාළ වාර්තාව මේ ගැන දේශපාලනඥයින්, ප‍්‍රතිපත්ති සම්පාදකයින් ඇතුළු අදාළ පාර්ශ්ව ප‍්‍රමාණවත් අවධානයක් යොමු නොකරන බව ද හෙළිකර ඇත.

වර්ෂාපතනයේ සිදුව ඇති මෙම අඩුවීම සහ විකෘතිවලට දේශගුණික විපර්යාසවල බලපෑම ප‍්‍රධාන හේතුවක් වී ඇතැයි අනුමාන කරන බව ද එම වාර්තාව වැඩි දුරටත් සඳහන් කරයි.

සටහන – සවිද්‍යා සංදෘෂ්ටිකා

(මෙම පර්යේෂණ ග‍්‍රන්ථය මේ වන විට මුද්‍රණය වෙමින් පවතින නිසා අදාළ පර්යේෂකයා සහ ග‍්‍රන්ථ නාමය පිළිබඳව සඳහන් නොකළ බව සලකන්න)

LeP

Recommended For You

About the Author: Admin