පාපන්දුවට පයින් ම සැලකීම

ලෝකයේ ජනප‍්‍රියතම ක‍්‍රීඩාව වශයෙන් සැලකෙන්නේ පාපන්දු ක‍්‍රීඩාවයි. එමෙන්ම ලොව ධනවත් ම, බලවත්ම ක‍්‍රීඩකයින් සහ ක‍්‍රීඩා සමාජ තිබෙන්නේ ද පාපන්දු ක‍්‍රීඩාවට යි. ඒ  සමග පාපන්දු ක‍්‍රීඩකයින්ට ඇති මහජන ආකර්ශනය ද අන් සියලූ ක‍්‍රීඩා අභිබවා ගොස් ඇතැයි කීම මුසාවක් නොවෙයි. ප්ලේ, මැරඩෝනා, ඬේවිඞ් බෙකම්, රොනල්ඩෝ, ලයනල් මේසි ආදී පාපන්දු ක‍්‍රීඩකයින් ‘‘සුපර් ස්ටාර්ලා’’ බවට පත්ව සිටින්නේ මේ පාපන්දු උන්මාදය නිස යි.

පාපන්දුව වඩාත් බලවත් වීම, ජනාකර්ෂණය දිනා ගැනීම නිසා නිර්මාණය වූ ආර්ථික බලය දේශපාලන බලයක් දක්වා ද දිගුව තිබෙනවා. ඒ නිසා ලෝකයේ පාපන්දු ක‍්‍රීඩාකරන රටවල් බොහොමයක ක‍්‍රීඩකයින්, පුහුණුකරුවන්, කළමනාකරුවන් පමණක් නොව පරිපාලකයින් පවා එහි සංවර්ධනය, දියුණුව හා උන්නතිය වෙනුවෙන් එකසිතින් තම දායකත්වය ලබා දෙනවා. තම ශක්තිය හා දැනුම කැප කරනවා. ඒ නිසා පාපන්දු ක‍්‍රීඩාව පමණක් නොව පාපන්දු ක‍්‍රීඩා කරන ක‍්‍රීඩකයින්, ක‍්‍රීඩා සමාජ පවා දිනෙන් දින දියුණුව කරා පියනගවා. එහි ප‍්‍රතිඵලය මුළු ලෝකයටම වසර හතරකට වරක් පැවැත්තෙන් පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ දී අපූරුවට දැක ගැනීමට ලැබෙනවා.

පාපන්දුව දේවත්වයෙන් පුදන බ‍්‍රසීලය, ආර්ජන්ටිනාව, ජර්මනිය, ප‍්‍රංශය පමණක් නොව පසුගිය කාලයේ පාපන්දු ක‍්‍රීඩාවෙන් අපූරු වික‍්‍රමයන් පෑ ජපානය, දකුණු කොරියාව, ඉරානය, ඊජිත්තුව වැනි රටවල් පවා පසුගිය කාලයේ පාපන්දු ක‍්‍රීඩාව දිග්විජය කළා. තම රටවල් පේ‍්‍රක්ෂකයින් කුල්මත් කළා. ඔවුන්ට, තම රටට යුක්තිය ඉටුකළා.

පාපන්දු ක‍්‍රීඩාව ලංකාවට අලූත් දෙයක් නොවෙයි. දශක ගණනාවක සිට මෙරට ක‍්‍රීඩකයින් අතර, ජනතාව අතර පාපන්දු ක‍්‍රීඩාවට පුළුල් පිළිගැනීමක් තිබුණා. ඒ නිසා 1980 දශකයේ මධ්‍ය භාගයේ දී ක‍්‍රිකට් ක‍්‍රීඩාව කරළියට පැමිණෙන තෙක් ලංකාවේ ධනවත්ම හා බලවත්ම ක‍්‍රීඩා සංගමය බවට පත්ව තිබුණේ පාපන්දු සංගමය. ඒ වගේම පාපන්දු ක‍්‍රීඩාව වටා විශාල පේ‍්‍රක්ෂක පිරිසක් ගොනුවෙලා හිටියා. පාසල් සහ ක‍්‍රීඩා සමාජ මට්ටමින් ඊට ලොක ආකර්ෂණයක් තිබුණා. ඒත් පාපන්දු ක‍්‍රීඩාව තුළ නිර්මාණය වූ අභ්‍යන්තර හා බාහිර සීමිතතා සහ අර්බුද හේතුවෙන් ක‍්‍රමයෙන් පාපන්දු ක‍්‍රීඩාව වෙතින් බලය සහ ආකර්ෂණය ගිලිහී ගියා. ඒ තැන ක‍්‍රිකට් විසින් දිනා ගත්තා. 1996 ක‍්‍රිකට් ලෝක කුසලානය ජයග‍්‍රහණය කිරීම සමග ක‍්‍රිකට් මුදුනට එන විට පාපන්දුව බිමට වැටිලා පෑගිලා ම ගියා.

වර්තමානය වන විට පාපන්දු ක‍්‍රීඩා කරන රටවල් සමග සසඳන විට ලංකාව ගලිවර්ලා අතර පුංචි ම පුංචි ලිලිපුට්ටෙක් වශයෙන් සැලකිය හැකියි. දශක ගණනාවක් පුරා එක අඟලක්වත් වර්ධනය නොවූ නිසා ලංකාවේ පාපන්දු ක‍්‍රීඩාව තවත් බොහෝ කාලයක් මේ තත්ත්වයේ තිබිය හැකි බව පැහැදිලියි.

ලෝකය පුරා පපන්දුව ඉහළට එසවෙන විට ලංකාවේ පමණක් පාපන්දුව වළට වැටීම හුදු අහම්බයක් නොවන බවයි මේ ගැන දැනුවත් පිරිස ප‍්‍රකාශ කරන්නේ. ඒ සඳහා පාපන්දුවේ පරිපාලනය භාරගත් පරිපාලකයින් ඍජුව වගකිව යුතු බවට ඔවුන් චෝදනා කරනවා. ඒ අතර දීර්ඝ කාලයක් පුරා පාපන්දු සංගමයේ මුල් පුටුවට අරක් ගෙන සිටින නිලධාරී හා බලධාරී කල්ලිය ප‍්‍රමුඛ වගඋත්තරකරුවන් බව ඔවුන් පෙන්වා දෙනවා. එහිදී ඔවුන් චෝදනා කරන්නේ පාපන්දුව භාර බලධාරීන් හා නිලධාරීන් ධනවත් වන විට පාපන්දු ක‍්‍රීඩකයින් හිඟන්නන් වී පාපන්දුව නන්නත්තාර වූ බවයි.

ශ‍්‍රී ලංකාවේ පාපන්දු ක‍්‍රීඩාවේ වර්තමානය සේම අනාගතය ද ඉහත සඳහන් පරිපාලන මැදිහත්වීම් හා නොහැකියාවන් නිසා අතිෂයින් දුර්වල වී ඇති බව පාපන්දු විචාරකයින් කාලයක් තිස්සේ චෝදනා කරමින් සිටිනවා. ඔවුන් ඒ සඳහා ආසන්නත ම නිදසුන වශයෙන් ගන්නේ ( ඕනෑ තරම් උදාහරණ තිබේ* පසුගිය දා නිමාවට පත් වූ අවුරුදු 23න් පහළ ආසියානු පාපන්දු තරගාවලියට සුදුස්සන් තේරීම සඳහා පැවැති පාපන්දු තරගාවලියයි. එහිදී ප‍්‍රතිවාදී කණ්ඩායම් හමුවේ අන්ත පරාජයක් ලද ශ‍්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල් 20ක් ලබා දුන්නත් එකම ගෝලයක් හෝ වාර්තා කිරීමට නොහැකි වුණා. මෙම තරගාවලියේ දී එකම ගෝලයක් හෝ වාර්තා නොකළ එකම කණ්ඩායම බවට ශ‍්‍රී ලංකා කණ්ඩායම පත් වුණා. ඒ සමග මෙහි ඇති විශේෂත්වය ප‍්‍රතිවාදී කණ්ඩායම් හමුවේ ලද අන්ත පරාජයයි. පලස්තීනය සමග පැවැති තරගය ගෝල 9-0ක් වශයෙන් ද, බහරේන් සමග පැවැති තරගය ගෝල 9-0 වශයෙන් ද පරාජය වූ  ශ‍්‍රී ලංකා කණ්ඩාම බංග්ලාදේශය හමුවේ ද ගෝල 2-0 වශයෙන් පරාජයට පත් වුණා. මෙය අපකීර්තිමත් පරාජයක් බවයි පාපන්දු විචාරකයින් පෙන්වා දෙන්නේ.

පාපන්දු ක‍්‍රීඩා තරගාවලි මේ ආකාරයෙන් අපකීර්තිමත් ලෙස පරාජය වන විට ශ‍්‍රී ලංකාවේ පාපන්දු ක‍්‍රීඩාවේ සංවර්ධනය වෙනුවෙන් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය ඇතුළු විවිධ ජාත්‍යන්තර සංවිධානවලින් ලබා දෙන ආධාර දිගින් දිගටම අවභාවිත වන බවට ද ප‍්‍රබල චෝදනාවක් තිබෙනවා. එමගින් පාපන්දු ක‍්‍රීඩාවේ හෝ ක‍්‍රීඩකයින්ගේ දියුණුව වෙනුවෙන් කිසිදු මෙහෙයක් සිදු නොවන බවටයි ඔවුන් චෝදනා කරන්නේ.

මෙවැනි තත්ත්වක් තුළ පාපන්දු ක‍්‍රීඩාව පිළිබඳව කිසිම ආකාරයක බලාපොරොත්තුවක් තබා ගැනීමට නොහැකි බවට සැකයක් නැහැ. නිසි සැලසුමක් නැතිකම, නිලධාරීවාදය, ¥ෂණය හා අකාර්යක්ෂමභාවය පමණක් නොව නිසි නායකත්වයක් නොවීම නිසා වළපල්ලට යන මෙරට ක‍්‍රීඩා අතර පාපන්දුව ඉදිරියෙන්ම තිබෙනවා. ලෝකය පාපන්දුවට දේවත්වයෙන් සලකන විට ලංකාව පාපන්දුවට පයින්ම ගැසීම ඇත්තටම කනගාටුවක්.

සටහන – සඳුන් ප‍්‍රබෝධ

LeP

Recommended For You

About the Author: Admin