කෘෂිකර්ම ප්‍රතිපත්තිය සැකසීමට විපක්ෂයේ මන්ත්‍රීවරුන්ටත් ආරාධනා කරනවා – අමාත්‍ය පි.හැරිසන්

සියලු රාජ්‍යය නිලධාරීන්ගේ හා පක්ෂ- විපක්ෂ දේශපාලඥයින්ගේ අදහස් ලබා ගෙන නොවෙනස් වන කෘෂිකර්ම ප්‍රථිපත්තියක් මෙරටට හදුන්වා දෙන  බව කෘෂිකර්ම අමාත්‍යය පී හැරිසන් මහතා 561 වැනි ගොවිජන සේවා මධ්‍යස්ථානය  අනුරාධපුර බුල්නෑවේදී ගොවි අයිතියට පත් කරමින් පැවසීය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ අනුරාධපුර, බුල්නෑව කළංකුට්ටිය ගම්මානයේ 2013 වර්ෂයේ ඔක්තොම්බර් මාසයේ 16 වැනි දින මුල් ගල් තබා වැඩ ආරම්භ කළ  ගොවිජන සේවා මධ්‍යස්ථානයේ වැඩ වසර 05 කට වැඩි කාළයකින් පසු අවසන් කිරීමෙන් පසු ජනතා අයිතියට පත් කරමින්ය.ඉතා මන්දගාමී තත්ත්වයෙන් එහි ඉදිකිරිම් කටයුතු සිදු වූ බවත්, එය තමන් මැදිහත්ව කඩිනම් කළ බව අමාත්‍යවරයා පැවසීය.

කළංකුට්ටිය ප්‍රදේශයේ ගොවිජනතාවට පැවති විශාල අඩුවක් පුරවාලමින් අදාළ ස්ථානයේ රුපියල් ලක්ෂ 80 කට ආසන්න මුදලකින් මෙම ගොවිජන සේවා මධ්‍යස්ථානය ඉදි කර ඇත.

එම උත්සවය අමතමින් අවස්ථාවට කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු , පශු සම්පත් සංවර්ධන, වාරීමාර්ග, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශ ලේකම් කේ.ඩී.එස් රුවන්චන්ද්‍ර මහතා කියා සිටියේ,

”අපි බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම මෙම ප්‍රදේශයේ ගොවීන්ට ඉතාමත්ම හොඳ සේවාවක් ලබා දෙන්නට මෙම ගොවි ජන සේවා මධ්‍යස්ථානය හරහා,ගොවි ජනතාවට එදිනෙදා අවශ්‍ය වන සේවාවන් එකම මධ්‍යස්ථානයකින් ලබා ගන්නට අද දවසේ සිට හැකිවෙනවා.විශාල මුදලක් වැය කරලා මෙම මධ්‍යස්ථානය ගොඩනගලා තියෙන්නේ.ඒ සඳහා මේ රටේ ජනතාවගේ මුදල් වැය වනවා වගේම ඒ වටිනාකම සරිලන සේවාවක් ගොවිජනතාව වෙනුවෙන් සලසන්නට අපේ නිළධාරීන් සැදී පැහැදී සිටියි.ඒ ආයෝජනය සැබෑ ලෙසම ගොවි ප්‍රජාවට අත් වෙයි කියා මම බලාපොරොත්තු වෙනවා.කෘෂිකර්ම ක්ෂ්‍රේත්‍රයේ අපි දකින ප්‍රශ්න ගණනාවක් තියෙනවා,  විශේෂයෙන්ම පසු අස්වනු හානිය තිබෙනවා.ඒ වගේම අපේ ඉඩම් වල ඵලදායිතාවයේ අඩුවක් තිබෙනවා. ඒ වගේම ඇතැම් කෘෂි නිෂ්පාදන වල මිල සම්බන්ධ ගැටලු තිබෙනවා.ඇතැම් කාළ වල ඇතැම් කෘෂි නිෂ්පාදන ඉතා අඩු මිලටත්, ඇතැම් කාළවල මිළ ඉහළ යනවා එය පාරිභෝගිකයින්ට දරා ගන්න බැරි වෙනවා. මිල උච්චාවචනයත් විශාල වශයෙන් දැක ගන්න පුළුවන්කම තියෙනවා.ඒ වගේම නව තාක්ෂණය කෘෂිකර්මාන්තයට එකතු කර ගැනීමට අවශ්‍යයි.විශේෂයෙන්ම කෘෂි නිිෂ්පාදන වල වටිනාකම ඉහළ දැමීමටත්, හානිය අවම කර ගැනීමටත් වඩා හොඳ ගුණාත්මක කෘෂි නිෂ්පාදනයක් අපේ රටේ ජනතාවට අත් පත් කර දෙන්නටත්.  විශේෂයෙන්ම කෘෂිකර්ම ක්ෂ්‍රේත්‍රයේ ව්‍යාපෘති තුනක් අපිට  ක්‍රියාත්මක කරන්න ලැබිලා තියෙනවා විදේශ ආධාර ව්‍යාපෘති ලෙස, එවා නම් කෘෂි නවීකරණ ව්‍යාපෘතිය, දේශගුණ විපර්යාස සම්බන්ධයෙන් වන ව්‍යාපෘතිය හා ඉෆාඩ් ආයතනයේ ආධාර මත තවත් කෘෂි ව්‍යාපෘතියක් ආරම්භ කළ හැකි වෙලා තියෙනවා.මේ ව්‍යාපෘති හරහා පෙර කී ගැටලු සඳහා විසදුම් සෙවිය හැකි වෙනවා.ගොවියාට අද ලබන ආදායමට වඩා වැඩි ආදායමක් ලබා ගන්නට ඉදිරියේදී හැකි වෙයි” යනුවෙනි.

කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු , පශු සම්පත් සංවර්ධන, වාරීමාර්ග, ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යය පී හැරිසන් මහතා එහිදී කියා සිටියේ.

”බුල්නෑව ගොවිජන සේවා මධ්‍යස්ථානය අද අපි විවෘත කිරීමත් එක්ක ගොවීන්ට විශාල සේවාවන් රැසක් මේ මගින් සිදු කර ගත හැකි වෙනවා.ඒ වගේම මෙම ස්ථානයට  යාබදව පොහොර ගබඩාවක් ඉදි කිරීමටත් ලබන වසරට පෙර කටයුතු කරනවා.ඒ වගේම කෘෂිකර්ම අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක කරන බොජුන් හලකුත් මේ ස්ථානයේ ඉදි කර දෙනවා. අපි රටේ නොවෙනස් වෙන කෘෂිකර්ම ප්‍රථිපත්තියක් හැදිය යුතුව තිබෙනවා.අවුරුදු වලින් පස්සේ කෘෂිකර්මයට අයත් පළාත් මට්ටමින් හා මධ්‍යම ආණ්ඩුවට අයත් සියලු ආයතන , දිස්ත්‍රික් ලේකම්තුමන්ලාගේ හා ප්‍රාදේශීය ලේකම්තුමන්ලාගේ සියලු දෙනාගේ අදහස් ලබා ගෙන වෙනස් නොවන ස්ථිරසාර කෘෂිකර්ම ප්‍රථිපත්තියක් හදන්න ඕන.උදාහරණයක් ලෙස කිව්වොත් මේ ගල්නෑවේ ළූණූ හදනවා, දඹුල්ලෙත් ළූණූ හදනවා.දැන් අවුරුදු 03-04 කට පෙර හෙක්ටයාර 8000ක පමණ හදපු ළූණූ දැන් හෙක්ටයාර 1000 ට අඩු වෙලා.අපේ රටේ අවශ්‍යතාවයෙන් 1/4 ක් පමණ දැන් අවුරුදු 03-04 කට පෙර අපිම නිෂ්පාදනය කලා.දැන් ගොවියෝ ඒකෙන් ඈත් වුණා.මට මතකයි මීට අවුරුදු 10 කට විතර පෙර මේ කළාවැවේ ඉඳන් නොච්චියාගමට යනකම් හරියට පාර දෙපස රතු පළසක් එලුවා වගේ තමයි මිනිස්සු මිරිස් වේලෙන්න දාලා තිබුණේ, හැබැයි දැන් එහෙම නෑ.අපි කන්නෙන් කන්නයට අපේ කෘෂිකර්ම ප්‍රථිපත්තීන් වෙනස් වීම නිසා එක් එක් භෝග වගා කරන ගොවීන් අපෙන් ඈත් වෙනවා.අල කාළයට අල ගේනවා පිටරටින්, ළූණූ කාලයට ළූණු ගේනවා පිටරටින් ගොවියන්ට පාඩු වෙන කොට ගොවියෝ ඒ  වගාවෙන් ඈත් වෙනවා.අපිට වවන්න පුළුවන් භෝග වර්ග ගණනාවක් මේ රටේ තියෙනවා.හැබැයි ඒවා තාමත් අපි පිටරටින් ගේනවා.කෘෂිකර්මාන්තයේ නියැලී සිටින ඔබ අපි සෑම දෙනාටම වගකීමක් තියෙනවා මේ ප්‍රථිපත්තිය වෙනස් කරන්න.ඒ සඳහා දැන් කාළය ඇවිත් වෙලා තියෙනවා.ඒ සඳහා අපි බලාපොරොත්තු වෙනවා අපේ දෙපාර්තමේන්තුව හා අමාත්‍යංශය වගේම සියලු රාජ්‍යය නිළධාරීන් මෙන්ම ආණ්ඩුවේ-විපක්ෂයේ සියලු දේශපාලඥයින්ගේද අදහස් උදහස් ලබා ගෙන  ස්ථිරසාර කෘෂිකර්ම ප්‍රථිපත්තියක් හදලා අපිට රට වෙනුවෙන් යායුතු ගමන ආරම්භ කරන්න කාළය ඇවිත් තියෙනවා.අල-ළූණූ වගා කරන ගොවියෝ ඉන්නවා නම් ඒ අය එක කණ්ඩායමක් හැටියට ලියාපදිංචි කරලා ඒ අයගේ අස්වැන්නට හොඳ මිලක් දෙන වැඩසටහනක් ඇති කරලා ඒ සියලු අස්වැන්න මිලදී ගන්න කණ්ඩායමක් හදලා අතිරික්තය ආනයනය කරන්න අපි අවසර දෙනවා.මෙය අල-ළූණූ, මුං ඇට, කවුපි ආදී ධාන්‍ය වලට අදාල වෙනවා.එහෙම නොවුනොත් විෂය භාර ඇමතිවරයා ලෙස මමත්, රාජ්‍යය නිළධාරීනුත් අපි දෙගොල්ලටන්ටම වගකියන්න වෙනවා අපේ රටේ අනාගත පරපුරට.අපි රටක්, ජාතියක් හැටියට අපි අසමත් වෙලා තියෙනවා අපේ ප්‍රථිපත්තිමය ගැටලූන් නිසා.මගේ පක්ෂය ඇතුළු රට පාලනය කරපු සියලු පක්ෂ වල ආණ්ඩු සියල්ලක්ම මේකට වගකියන්න ඕන.මේක වෙනස් කරන්න දැන් කාළය ඇවිත් තියෙනවා.රටට ස්ථිර සාර කෘෂිකර්ම ප්‍රථිපත්තියක් අපි හැදිය යුතු වෙනවා.ඒක කල් දාලා බෑ.ලහි-ලහියේ කරන්න ඕන.අපිට ප්‍රශ්න ගණනාවක් මතු වෙලා තියෙනවා.අපිට තියෙන්නේ සීමිත ඉඩම් ප්‍රමාණයක්, ජලය සීමිතයි, අපිට ජලය  හා ඉඩම් කළමණාකරනය කරන්න සිද්ධ වෙලා තියෙනවා.පාරිසරික ප්‍රශ්න වලට ගැලපෙන ආකාරයෙන් අපිට වැඩ කරන්න සිද්ධ වෙලා තියෙනවා.මේ සියල්ල කරන්න අපිට දැන් හැකියාවක් තියෙනවා” යැයි පැවසීය.

මෙම අවස්ථාවට ගොවිජන කොමසාරිස් ජනරාල් ඩබ්.එම්.එම්.බී. වීරසේකර මහතා,කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එස්. රැවන්චන්ද්‍ර මහතා,  ප්‍රාදේශීය දේශපාලඥයින්, රාජ්‍ය නිළධාරීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

Recommended For You

About the Author: Editor