ජනතාවට අලුත් අවුරුදු සමරන්න සතයක් අතේ නෑ – ප්‍රසන්න රණතුංග

ආණ්ඩුවේ ආර්ථික ඔස්තාර්ලාගේ සැලසුම් නිසා අසරණ වී ඇති ජනතාවට අලුත් අවුරුදු සමරන්න සතයක් අතේ නැති වාතාවරණයක් උදා වී ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

මාසික වැටුපෙන් බිල් සහ බදු ගෙවා නට්ටන් වී ඇති ජනතාවට රාත්‍රියේ නිවසට විත් නිදහසේ රූපවාහිනිය නැරැඹීමටවත් විදුලිය නොමැති බව පෙන්වා දුන් රණතුංග මහතා ජනතාවගේ මූලික අවශ්‍යතාවත් ඉටුකර ගත නොහැකි ආණ්ඩුව වහාම ගෙදර යා යුතු බවත් ප්‍රකාශ කළේය.

ප්‍රසන්න රණතුංග මහතා මෙම අදහස් පළ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සංවිධාන කරන ගම සමඟ පිළිසඳරක් වැඩසටහනට සමගාමීව මාතර, කිරින්ද පුහුල්වැල්ල ප්‍රදේශයේ  පැවැති ජනහමුවකට සහභාගී වෙමිනි. මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් මෙසේද ප්‍රකාශ කළේය.

දැන් ගෙවීගෙන යන්නේ මාර්තු මාසයේ අවසන් දින දෙකයි. ඊළඟට අප්‍රේල් මාසය ආරම්භ වෙනවා. අප්‍රේල් මාසයේ සිට හරියටම මාස හතකට පස්සේ මේ රටේ තීරණාත්මකම ජනාධිපතිවරණයට දින වකවානු ආරම්භ වෙනවා. නිසැක වශයෙන්ම නොවැම්බර් මාසය තුළ ජනාධිපතිවරණය පැවැත්විය යුතුයි.

අප්‍රේල් මාසේ අවුරුදු කාලා, මැයි, ජූනි මාසවල වෙසක් පොසොන් සමරලා  මාස දෙක තුනක් යන විට පොහොට්ටුවේ ජනාධිපතිවරයා දිවුරුම් දෙන උත්සවයට තමුන්නාන්සේලා කාටත් සහභාගී වෙන්න පුළුවන්. වහපාලනයක් වෙච්ච යහපාලන ආණ්ඩුවේ අන්තිම මාස කිහිපය තමයි මේ ගත වෙමින් තියෙන්නේ.

ජීවිත පරිත්‍යාගයෙන් සටන් වැදිලා ත්‍රස්තවාදය පරාජය කරන්නට හැකි වුණා වගේම දිවි පුදා හෝ මේ ආණ්ඩුවත් පරාජය කරන්න අපි අපකැප වෙලා ඉන්නවා. මහ දවාලේ බැංකු මංකොල්ල කන, විදේශිකයන් හට ජාතික සම්පත් විකුණා දැමූ, සංවර්ධනය, ආර්ථික විනාශ කරපු මේ ආණ්ඩුව පරාජය කරන එක අපේ යුතුකමක්.

තවත් කාලයක් මේ ආණ්ඩුව බලයේ හිටියොත් ජනතාවට සිද්ධ වෙන්නේ හිඟා කන්නයි. තව සති දෙකකින් සිංහල අලුත් අවුරුද්ද ලබනවා. තමුන්නාන්සේලා කල්පනා කරලා බලන්න අලුත් අවුරුද්ද සමරන්න අතේ සතයක් ඉතුරු වෙලා තියෙනවද කියලා. ආණ්ඩුවේ බදු ගෙව්වම මිනිස්සුන්ගේ මාසේ පඩිය ඉවරයි.

Recommended For You

About the Author: Editor