ජිනීවා මෙතැනින් කොතැනටද ?

ජිනීවා නුවර මාසයක පමණ කාලයක් පැවැති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 40 වැනි සැසිවාරය මාර්තු 25 දා අවසන් වුනේ ශ්‍රී ලංකා රජයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව අතර පවත්වන ගැටුම තවත් උත්සන්න කරමිනි.

මෙයට ආසන්නම හේතුව වුනේ ජනාධිපති වරයාගේත් විදේශ කටයුතු අමාත්‍යාංශයේත් ඇනුදැනුමකින් තොරව ජිනීවාහි ශ්‍රී ලංකා තානාපති හා එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය  නියෝජිත ඒ අසීස් මහතා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සැසි වාරයට ඉදිරිපත්වී තිබූ වාර්තාවකට අනුමැතිය පළකරමින් අත්සන් කොට තිබීමයි.

ශ්‍රී ලංකාවේ පැවති යුද්ධයේදී ආරක්ෂක හමුදා විසින් සිදුකරන ලදැයි කියන යුධ අපරාධ පිළිබඳව විභාග කිරීම සඳහා විදේශීය විනිසුරු වරුන් හා දේශීය විනිසුරුවරුන්ගෙන් සමන්විත හයිබ්‍රිඩ් හෙවත් දෙමුහුන් අධිකරණයක් පිහිටවිය යුතු බව එහි සඳහන්වී තිබිණි.

තානාපති අසීස් මහතා පසුගිය පෙබරවාරි 25 දා මෙම යෝජනාවට අනුමැතිය දෙමින් අත්සන් කොට ඇත්තේ ජාතික සංහිදියා කාර්යාංශයේ අධ්‍යක්ෂ වශයෙන් කටයුතු කරන මනෝ තිත්තවැල්ල මහතාගේ උපදෙස් අනුව බවයි පසුව හෙළිවුණේ.

            මේ වනවිට මුදල් ඇමති මංගල සමරවීර මහතාගේ උපදේශක වශයෙන් කටයුතු කරන මනෝ තිත්තවැල්ල මහතා හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ සමීප හිතවතෙකි.  ඇය ජනාධිපතිව සිටි කාලයේ මනෝ තිත්තවැල්ල මහතා රජයේ වගකියයුතු තනතුරු කිහිපයකටම පත්කොට තිබුණි.

ජිනීවා යෝජනාවට අනුමැතිය පළ කරමින් අත්සන් කරන ලෙසට මනෝ තිත්තවැල්ල මහතා ජිනීවා ශ්‍රී ලංකා තානාපති වරයාට දන්වා යවා ඇත්තේ හිටපු විදේශ ඇමතිවරයෙකු වූ මංගල සමරවීර මහතාගේ උපදෙස් අනුව බවත් මේ පිළිබඳව අගමැති රනිල් වික්‍රමසිංහ මහතාද දැනුවත්වී සිටි බවත් විදේශකටයුතු අමාත්‍යාංශ ආරංචි වාර්තා පවසනවා.

විදේශ කටයුතු අමාත්‍යාංශයටද නොදන්වා සිදුකළ මෙම ක්‍රියාව ගැන දැනගැනීමේන් පසු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඔහුගේ නියෝජිත පිරිසක් ජිනීවාහි එම සැසිවාරයට යැවීමට කටයුතු කොට තිබුණි. ආචාර්ය සරත් අමුණුගම, මහින්ද සමරසිංහ හා උතුරේ ආණ්ඩුකාර සුරේෂ් රාසවන් යන මහත්වරුද එම නියෝජිත පිරිසට අයත්වුනා.

විදේශ කටයුතු ඇමති හෝ රජයේ නිලධාරීන් නොමැතිව විපක්ෂයේ මන්ත්‍රීන් ජනාධිපති වරයා විසින් ජිනීවා යැවීමට කටයුතු කිරීම ගැන එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව කලබලයට පත්වූ අතර අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති සිරිසේන මහතා හමුවී මේ ගැන සාකච්ඡා කළබවයි ආණ්ඩුවේ ආරංචිමාර්ග සඳහන් කළේ.

එහි ප්‍රතිඵලයක් වශයෙන් විදේශ කටයුතු ඇමති  තිලක් මාරපන සහ අමාත්‍යාංශයේ ලේකම් රවිනාත් ආරියසිංහ, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නේරිය පුල්ලේ, ආචාර්ය සරත් අමණුගම හා උතුරේ ආණ්ඩුකාර සුරේෂ් රාගවන් යන මහත්වරුන්ගෙන් යුත් නියෝජිත පිරිසක් ජිනීවා වෙත පිටත්කර යැවීමට ජනාධිපති වරයාත් අගැමැති වරයාත් එකඟත්වයකට එකඟවී තිබුණා.

මෙම නියෝජිත පිරිසේ නායකතවය දැරූ විදේශ කටයුතු  ඇමති තිලක් මාරපන මහතා පසුගිය 20 දා සැසිවාරය අමතමින් ශ්‍රී ලංකාවේ පවතින නීතිය අනුව දෙමුහුන් (හයිබ්‍රිඩ්) අධිකරණයක් පිහිටුවීමට ඉඩක් තැතැයි ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකාවේ අධිකරණ ක්‍රියාවලියට පිටින් විදේශීය විනිසුරුවරුන් පත්කරන්නේ නම්, ඒ සඳහා යෝජනාවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවේ 2/3 ක ඡන්දයෙන් සම්මත කොට එය ජනමත විචාරණයකින්ද අනුමත වියයුතු යයිද මාරපන මහතා එහිදී කියා සිටියා.

දිනෙන් දින ඉහළයන ත්‍රස්තවාදී ක්‍රියාවලට සහ ප්‍රචණ්ඩ අන්තවාදයට ලෝකය මුහුණදී ඇති සමයක ඇතිවූ ගැටළුවලදී ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා විසින් පියවර ගනු ලැබුවේ බොහෝ රටවල් විසින් ත්‍රස්තවාදී කණ්ඩායමක් ලෙස නම්කරනු ලැබු කණ්ඩායමකට මිස කිසියම් ජන කොටසකට එරෙහිව නොවන බවද එම කතාවේදී ඇමැති වරයා සඳහන් කළා.

යුද අපරාධ හෝ මානව චර්යාවට එරෙහිව කරන ලද අපරාධ සම්බන්ධයෙන් තනි පුද්ගලයන්ට එරෙහිව නැගෙන ඔප්පුවූ චෝදනා 2015 ශ්‍රී ලංකාව පිළිබඳ මානව හිමිකම් කොමසාරිස් වරයාගේ වාර්තාවේ හෝ ඊට පසුගාමී කිසිදු නිළ ලියවිල්ලක හෝ සඳහන්වී නැති බව මෙහිදී අවධාරණය කළ මාරපන මහතා ආරක්ෂක හමුදාවල හෝ පොලීසියේ දැනට සේවය කරන හෝ විශ්‍රාම ලැබූ හෝ නිලධාරීයකුට හිමි අයිතිවාසිකම් ලබානොදීම බලවත් අසාදාරණයක් බවද පවසා තිබුණි.

ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන විසින් යවාතිබූ සාවද්‍ය තොරතුරු අනුව සකසාතිබූ එක්සත් ජාතීනගේ මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාවට විදේශ ඇමති තිලක් මාරපන මහතා සිය කතාවෙන් නිසි පිළිතුරු ලබාදුන්බවයි ජිනීවා නුවරින් වාර්තා වුනේ.

මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය බදාදා කළුතර දිස්ත්‍රික්කයේ මීගහතැන්නේ පොලිස් ස්ථානයක් විවෘත කිරීමේදී පැවැති රැස්වීමකදී ප්‍රකාශ කළේ ජිනීවාහි සිටින ශ්‍රී ලංකා තානාපති වරයා තමාටත්, විදේශ කටයුතු අමාත්‍යාංශයටත් හොරෙන් මානව හිමිකම් කොමිසමේ වාර්තාව අත්සන් කිරීමෙන් කරතිබෙන්නේ ශ්‍රී ලංකාවේ ත්‍රිවිද හමුදාවත්, ශ්‍රී ලංකා රජය සහ ජනතාවත් පාවාදීමක් බවයි.

ජිනීවාහි ශ්‍රී ලංකා තානාපතිවරයා ඉකුත් පෙබරවාරි 25 දා සිදුකළ අත්සන් කිරීම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවත් ඊට තම විරෝධය පළකරන බවත් ජනාධිපති වරයා එහිදී කියා සිටියා.

රටේ විදේශ ප්‍රතිපත්තිය හා ජාත්‍යන්තර කටයුතු පිළිබඳ වගකීම තිබෙන්නේ ජනාධිපතිවරයාට මිසක් ඊට පහළ අයට නොවන බවද මෙහිදී පැවසූ ජනාධිපති සිරිසේන මහතා ජිනීවාහි ශ්‍රී ලංකා තානාපතිවරයා මෙම වාර්තාව අත්සන්කොට ඇත්තේ රජයේ නිලධාරියෙකු නොවන ශ්‍රී ලංකාවේ  සංහිදියා කාර්යාංශයේ අධ්‍යක්ෂ විසින් අත්සන් කරයැවූ ලිපියකට අනුව බවද සඳහන් කළා.

දෙමුහුන් අධිකරණයක් ශ්‍රී ලංකාව විසින් පිළිනොගන්නා බවට විදේශ කටයුතු ඇමති තිලක් මාරපන මහතා ජිනීවා සමුළුවේදී  කළ කතාව තමා ඇතුළු කණ්ඩායමක් සාකච්ඡාකර හදාදුන් ලියවිල්ලක් අනුව කළ කතාවක් බවද ජනාධිපති වරයා සිය කතාවේදී තවදුරටත් කිය සිටියා.

මේ අතර දේශපාලන ආරංචිමාර්ග වලින් දැනගන්නට තිබෙන්නේ ජනාධිපති වරයාවත්, විදේශ කටයුතු අමාත්‍යාංශයටත් නොදන්වා  ජිනීවාහි ශ්‍රී ලංකා තානාපති වරයා එම යෝජනාව ඇතුළත් ලියවිල්ලට අත්සන් කිරීම පසුපස සිටින්නේ අගමැති රනිල් වික්‍රමසිංහ  හා මුදල් ඇමති මංගල සමරවීර යන මහත්වරු බවයි.

ඔවුන් එසේ කටයුතු කොට තිබුණේ එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුව සමග සමීප සබඳතා පවත්වන දෙමළ ජාතික සන්ධානයේ අවශ්‍යතාවය මත බවයි එම ආරංචි මාර්ග පවසන්නේ.  ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ සිටින්නේ මන්ත්‍රීවරුන් 106යි. අයවැය  වැනි වැදගත් පනතක් සම්මත කර ගැනීමට නම් මන්ත්‍රීන්  113 ක් වත් සිටිය යුතු වෙනවා.  පසුගිය මාර්තු 12දා පාර්ලිමේන්තුවේ පැවති අයවැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීමේදී දෙමළ ජාතික සන්ධානය ආණ්ඩුව සමග අයවැයට පක්ෂව ඡන්දය දී තිබුනේ ආණ්ඩුව සමග ඇතිකරගෙන තිබෙන ගිවිසුම් නිසා බවයි දේශපාලන විචාරකයින් පවසන්නේ.

ජිනීවාහි පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරයේදී දෙමළ ජාතික සන්ධානයයේ එම්.ඒ. සුමන්තිරන් මන්ත්‍රීවරයාද සහභාගිවී තිබුණා. ඔහු එහි ගියේ රජයේ වියදමෙන් බවයි විදේශ කටයුතු අමාත්‍යාංශ ආරංචිමාර්ග වලින් පැවසෙන්නේ.

විදේශ කටයුතු ඇමති තිලක් මාරපන මහතා දෙමුහුන් අධිකරණයක් පිහිටුවීමට විරුද්ධව ජිනීවාහි දී  කළ කතාව  ගැන සුමන්තිරන් මන්ත්‍රීවරයා  මාධ්‍ය මගින් දැඩි විවේචන එල්ල කොට තිබුණා.  ඔහු පවසන්නේ දෙමුහුන් අධිකරණයක් පිහිටුවීමට ශ්‍රී ලංකාව මීට පෙර එකඟවී තිබූ බවයි.

කෙසේ උවද ජිනීවා සමුළුවෙන් පසු දෙමළ ජාතික සන්ධානය තුළද දැඩි අර්බුදයක් හටගෙන තිබෙනබවයි උතුරේ ආරංචිමාර්ග  සඳහන් කරන්නේ. ජිනීවා සමුළුවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන දෙමළ ජාතික සංධානයේ ඇම්.කේ. සිවාජිලිංගම් මහතාද සහභාගි වී තිබුණා.  ඔහු සහ උතුරු පළාත් සභාවේ මන්ත්‍රී වරියක්ව සිටි ආනන්දි සහිදරන් මහත්මිය ජිනීවා සමුළුවේදී රජය අනුගමනය කළ ක්‍රියාමාර්ග  දැඩි විවේචනයට ලක් කරමින් ආණ්ඩුවෙන් දෙමළ ජාතික සන්ධානය පිටවන බවත් එබැවින් එම සංධානය ආණ්ඩුවට සහය දීමෙන් ඉවත්විය යුතු බවත් පවසනවා.

මෙවර අයවැයෙන් උතුරේ සංවර්ධන කටයුතු සඳහා විශාල මුදලක් වෙන්කර තිබෙන බැවින් අයවැයට පක්ෂව ඡන්දය දියයුතුබව දෙමළ ජාතික සන්ධානයේ නායක සම්බන්දන් හා එම්.ඒ. සුමන්තිරන් යන මහත්වරුන්ගේ අදහස වී තිබෙනවා. එහෙත් ශිවශක්ති ආනන්දන්, සෙල්වම් අඩයික්කලනාදන්, සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් යන නායකයින්ගේ මතය වී ඇත්තේ උතුරේ ජනතාවගේ ජාතික ප්‍රශ්නය විසදීමටත් බලය බෙදාහැරීමට ආණ්ඩුව මෙතෙක් කිසිදු පියවරක් ගෙන නැති බැවින් අයවැයට විරුද්ධව ඡන්දය දිය යුතු බවයි.

මේ තත්ත්වය යටතේ අප්‍රේල් 5 දා සිදු කිරීමට නියමිත අයවැය 3වන වර කියිවීමේ ඡන්ද විමසීම දෙමළ ජාතික සන්ධානයේ අනාගතය කෙරෙහි තීරණාත්මක ලෙස බලපෑමට ඉඩ ඇති බවයි උතුරේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

සටහන – දයා ලංකාපුර

LeP

Recommended For You

About the Author: Admin