ක‍්‍රිකට් පිල බේද කරන අයට එරෙහිව පියවර ගන්නවා – තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල්

1980, 90 දශකවල පායා තිබූ ක‍්‍රිකට් තරු අතර දීප්තිමත් තරුවක් ලෙස අසන්ත ද මෙල් සැලකිය හැකියි. දුලිප් මෙන්ඩිස්, රෝයි ඩයස්, රන්ජන් මඬුගල්ල, අරවින්ද ද සිල්වා වැනි ශ‍්‍රී ලංකාවේ සුපිරි ක‍්‍රිකට් තරු අතර සිටිමින් සුවිශාල මෙහෙයක් ඉටු කළ අසන්ත ද මෙල් වත්මන් ක‍්‍රිකට් පරිපාලනය තුළ බලවත් චරිතයක්. ඒ ක‍්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා වන්නේ අසන්ත ද මෙල් වීම නිසයි. ලෝක කුසලානයට මාස දෙකක් තිබියදී ශ‍්‍රී ලංකා කණ්ඩායම තෝරා ගැනීමට නොහැකි වීම, කණ්ඩායම් නායකත්වය සම්බන්ධ ගැටලූ පමණක් නොව පුහුණුකරු චන්දික හතුරුසිංහ නිසා නිර්මාණය වී ඇති අභ්‍යන්තර ගැටලූවලට පවා ඇතැම් පිරිස් අසන්තට ඇඟිල්ල දිගු කරනවා. පසුගිය සති කිහිපය පුරා දිගින් දිගටම අසන්තට එල්ල වූ මේ විවේචනවලට අසන්ත පිළිතුරු දී තිබුණා.

ප‍්‍රශ්නය : ශ‍්‍රී ලංකා කි‍්‍රකට් තේරීම් කමිටුව ගැනත්, විශේෂයෙන් ඔබේ සභාපතීත්වය ගැනත් පසුගිය කාලය පුරා ප‍්‍රබල විවේචන එල්ල වෙනවා. ක‍්‍රිකට් තේරීම් කමිටුව කියන්නේ ඔබ ම පමණක් වන තරමට මේ තත්ත්වය දිගු වුණා. ඇත්ත තත්ත්වය මොකක්ද ?

අසන්ත : ඔබ කියන කතාව ඇත්ත. පසුගිය කාලය පුරාම ක‍්‍රිකට් තේරීම් කමිටුවට දැඩි ප‍්‍රහාරයක් එල්ල වෙනවා. මටයි දැඩිව පහර දෙන්නේ. ඒත් ඇත්ත තත්ත්වය තමයි ක‍්‍රිකට් තේරීම් කමිටුවේ මාත් සමග තවත් තිදෙනෙක්, ඒ කියන්නේ සිවු දෙනෙක් ඉන්නවා. ඒ නිසා අපි කිසිවෙකුට තනි මතයට වැඩ කරන්න බැහැ. අපි සිවු දෙනා එකිනෙකාට ගරුකරමින්, එකමුතුව කටයුතු කරනවා. පක්ෂපාතීත්වය ගැන ගැටලූ අපට නැහැ.

ප‍්‍රශ්නය : ලෝක කුසලානයට තව තිබෙන්නේ මාස දෙකක් වැනි ඉතාම කෙටි කාලයක්. ඒත් පසුගිය කාලය තුළ අපි ලබාගත් කිසිම ජයග‍්‍රහණයක් නැහැ. මේ සඳහා වගකිව යුත්තේ කවුද ? තේරීම් කමිටුවට ඍජුව චෝදනා එල්ල වෙනවා නේද ?

අසන්ත : ශ‍්‍රී ලංකා එක්දින කණ්ඩායම පසුගිය කාලය පුරාම පරාජයන් ලැබූ බව සත්‍යයක්. එහෙත් ඒක අද ඊයේ ඇති වූ තත්ත්වයක් වශයෙන් සැලකිය නොහැකියිනේ. ඒක කාලයක් තිස්සේ පැවතුණ තත්ත්වයක්. අපි එක්දින තරගාවලි ජයග‍්‍රහණය කළේම නැහැ. ඒක පිළිගත යුතු කරුණක්. මේ පරාජයන්ට බලපෑ හේතු කිහිපයක්ම තිබුණා. අපේ එක් දින කණ්ඩායමේ පිතිකරුවන් දිගින් දිගටම අසාර්ථක වුණා. ලකුණු අතරට ආවේ නැහැ. පසුගිය වසර දක්වා කිසිදු ක‍්‍රීඩකයෙක් ශතකයක් වාර්තා කළේ නැහැ. ඇත්ත තත්ත්වය එයයි. පිතිකරුවන් ලකුණු අතර හිටියොත් පමණක් තරගයක් ජයග‍්‍රහණය කරන්න පුළුවන් වෙන්නේ. පන්දු යවන්නන්ට විතරක් සටනක් දෙන්න බැහැ. පිතිකරුවන් සතුව විශාල වගකීමක් තිබෙනවා. ඔවුන් එය ඉටු කළ යුතුයි.

ප‍්‍රශ්නය : ලෝක කුසලානය අත ළඟටම ඇවිත්. බොහෝ රටවල් තමන්ගේ කණ්ඩායම් නම්කර අවසන්. ඒත් ලංකාවේ තත්ත්වය ගැන බොහෝ දෙනෙක් පුදුම වෙනවා නේද ?

අසන්ත : අපි ලෝක කුසලානය සඳහා යවන කණ්ඩායම නම් කිරීමට අවශ්‍ය පියවර ගෙන තිබෙනවා. අපි අලූත් ක‍්‍රීඩකයින් කිහිප දෙනෙක් ම සොයා ගෙන තිබෙනවා. දැන් අපිට තිබෙන්නේ මේ නවකයින් යොදා ගෙන සමබර කණ්ඩායමක් හැදීම යි.

ප‍්‍රශ්නය : එයින් ගැටලූවට විසඳුමක් ලැබේවි කියලා හිතනවාද ?

අසන්ත : තවත් ප‍්‍රබල ගැටලූවක් තිබෙනවා. හොඳ ක‍්‍රීඩකයින් දිගින් දිගටම ආබාධවලට ලක් වෙනවා. මේක ලොකු ප‍්‍රශ්නයක්. ඇතැම් විට මේ තත්ත්වය අලූත් තත්ත්වයක් ලෙස පෙනී යා හැකියි. එහෙත් මේ තත්ත්වය සෑහෙන කාලයක් පුරා පැවැති තත්ත්වයක්. කාලයක් පුරා ඔවුන්ට තිබූ අබාධ තමයි මේ එළියට එන්නේ. උදාහරණයක් විදිහට ඇන්ජලෝ මැතිව්ස්, කුසල් ජනිත් මේ පීඩා විඳින්නේ ඔවුන්ට කාලයක් තිස්සේ තිබුණු ආබාධවලින්. මේ සමග එන ප‍්‍රශ්නයක් තමයි මේ ආබාධ ආවට ගියාට එක දවසකින් දෙකකින් සුව කළ නොහැකියි. සමහර විට ඒවා නිට්ඨාවට සුව කර ගැනීමට ලොකු ශල්‍යකර්මවලට යා යුතු වෙනවා. ඒක ක‍්‍රීඩකයින්ගෙන් පැත්තෙන් ලොකු අවධානමක්. අභියෝගයක්. ඒ නිසා තම අබාධ නිට්ඨාවට සුවකර ගැනීම සඳහා ශල්‍යකර්ම කිරීමට ක‍්‍රීඩකයින් කැමැති නැහැ.

ප‍්‍රශ්නය : මේ සඳහා බලපෑ හේතු හඳුනා ගෙන තිබෙනවාද ?

අසන්ත : ඔව්. අද ක‍්‍රීඩකයින්ට මුහුණදීමට සිදුව ඇති තරගාවලි සංඛ්‍යාව අපේ කාලයට වඩා වැඩියි. පසුගිය මාස තුනට විතරක් ශ‍්‍රී ලංකා කණ්ඩායම සංචාර තුනකට සහභාගී වුණා. මේ තත්ත්වය ක‍්‍රීඩකයින් අබාධවලට ලක්වීමට ප‍්‍රධාන හේතුවක්. ඒක ස්වභාවයෙන් සිදුවන දෙයක්. මෙවැනි තත්ත්වයක් යටතේ නිතර ආබාධවලට ලක්වන දක්ෂ ක‍්‍රීඩකයින් නිසි කළමනාකාරීත්වයක් යටතේ කණ්ඩායමට යොමු කිරීමයි වැදගත් වෙන්නේ. ඒ කියන්නේ මේ ක‍්‍රීඩකයින්ගේ සේවය කණ්ඩායමට ලබාගත යුත්තේ නිසි සැලසුමක් අනුවයි. අපි මේ දිනවල ඒ සඳහා අවධානය යොමු කරලා තිබෙනවා. ඒ සඳහා විසඳුම් සොයමින් සිටිනවා. ඒ වගේම තමයි මෙවැනි ක‍්‍රීඩකයෙක් හදිසියේ ආබාධයකට ලක් වුණාම ඒ වෙනුවෙන් ආදේශ කරන්න හොඳ දෙවැනි පෙළ කණ්ඩායමක් අපට නැහැ. එයත් අපි මුහුණ දෙන බරපතළ ප‍්‍රශ්නයක්.

ප‍්‍රශ්නය : ශක්තිමත් දෙවැනි පෙළක් නිර්මාණය නොකිරීම ක‍්‍රිකට් පරිපාලනයේ දුර්වලකමක් නේද ?

අසන්ත : එක ඔබ සිතන තරම් පහසුවෙන් කරන්න බැහැ. අපි දැන් ඒ සඳහා සැලසුම් සකස් කරමින් සිටිනවා.

ප‍්‍රශ්නය : ලෝක කුසලානයට පෙර එය සිදුවේවිද ?

අසන්ත: ලෝක කුසලානයට අලූත් ක‍්‍රීඩකයින් මෙන්ම වඩාත් පළපුරුදු ක‍්‍රීඩකයිනුත් සිටිය යුතු බවයි අපේ විශ්වාස වන්නේ. මේ සියලූ කාරණා සලකා බලා හොඳම කණ්ඩාම තේරීම තමයි අපේ වගකීම වෙන්නේ. මේ ගැන අපි සාකච්ඡුා කර තිබෙනවා. ඒ සඳහා පුහුණුකරුවනුත් සහහභාගි කර ගත්තා.

ප‍්‍රශ්නය : ලෝක කුසලානය සඳහා යන ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ එහි නායකත්වය ගැන විවිධ ගැටලූ තිබෙනවා. කණ්ඩායම සහ නායකයා තෝරා ගෙන අවසන් ද ?

අසන්ත : නැහැ. ලෝක කුසලානය සඳහා යන නිත්‍ය කණ්ඩායම හෝ එහි නායකත්වය තවම තෝරා ගෙන නැහැ. ඒ සඳහා වන සැලසුම් මේ දිනවල සකස් කරමින් ඉන්නවා. අන්තර් පළාත් එක්දින තරගාවලිය සංවිධානය කළෙත් ඒ සඳහා ම යි. එම තරගාවලිය ගැනත් අපි විශේෂ අවධානය යොමු කරනවා. සංචිතය හදලා එයින් හොඳම කණ්ඩායම තෝරා ගන්නවා.
ප‍්‍රශ්නය : ලෝක කුසලානයට පෙර වෙනත් තරගාවලි තිබෙනවාද ?

අසන්ත : ස්කොට්ලන්ත තරගාවලියක් තිබෙනවා. දේශීය වශයෙන් තිබෙන්නේ අන්තර් පළාත් එක්දින තරගාවලිය පමණයි. එම තරගාවලිය අපිට අතිෂයින් වැදගත්. ලෝක කුසලානයට පෙර කණ්ඩායම සමබර කිරීම පිළිබඳ යම්කිසි අදහසක් අපට තිබෙනවා. මේ තරගාවලියේදී ක‍්‍රීඩකයින් හතර පස් දෙනෙක් ගැන අපේ අවධානය යොමු වෙලා තිබෙනවා.

ප‍්‍රශ්නය : ක‍්‍රිකට් ක‍්‍රිඩකයින් අතර පුද්ගලික ගැටලූම් උග‍්‍ර බවට ප‍්‍රබල විවේචනයක් තිබෙනවා නේද ?

අසන්ත : නායකයා කවුරුන් වුවත් ක‍්‍රීඩකයින්ගේ වගකීම වන්නේ සහයෝගයෙන් ක‍්‍රීඩා කිරීම පමණයි. එහෙම නැතුව විවිධ හේතු මත බෙදීම් ඇතිකර ගැනීම සුදුසු නැහැ. මේ ගැන අපි ගැඹුරින් සාකච්ඡා කරලා තිබෙනවා. පුහුණුකරුවෝ එක්කත් මේ ගැන සාකච්ඡා කළා. ක‍්‍රිකට් කියන්නේ පවතින දෙයක්. ක‍්‍රිඩකයෝ කියන්නේ නළුවෝ් වාගේ පිරිසක්. ක‍්‍රිකට් නමැති රංග භූමියට නිරන්තරයෙන් අලූත් නළුවෝ එනවා. යනවා. එය එක් අයෙක් මත පදනම් වූ දෙයක් නොවෙයි.

ප‍්‍රශ්නය : මේ ගැටුම් ඇතිකරන අයට එරෙහිව පියවර ගන්නවාද ?

අසන්ත : ඔව්, අනිවාර්යයෙන් ම. බේද කරනවා නම්, විනය නැතිනම් අපි ඒවාට එරෙහිව පියවර ගන්නවා. කරන්න බැරි නම් පුළුවන් අය ගන්න වෙනවා.

ප‍්‍රශ්නය : කුසල් ජනිත් ගැනත් කතා කරමුද ?


අසන්ත : කුසල් ජනිත්ගේ පාදයේ සහ බාහුවක ආබාධයක් තිබෙනවා. ඒ නිසා කුසල්ව නිසි ලෙස කළමනාකරණය කරලා කෙසේ හෝ ලෝක කුසලානයට යොමු කිරීම තමයි අපේ අපේක්ෂාව.


සටහන – සදුන් අන

Recommended For You

About the Author: Editor