ග‍්‍රාමීය කාන්තාවට ජීවිතය තිත්ත කරන ක්ෂුද්‍ර මූල්‍ය ණය මාෆියාව

ග‍්‍රාමීය කාන්තාවක් 300,000කගේ ජීවිත කාලකණ්නි කරමින් සිටින ක්ෂුද්‍ර මූල්‍ය ණය මාෆියාවට එරෙහිව ප‍්‍රබල සමාජ – දේශපාලන මැදිහත්වීමට අවශ්‍යතාව මේ වන විට දැඩිව අවධාරණය කෙරෙමින් තිබෙනවා. මේ ඒ ගැන විමසුමක්

‘‘ගිනි පොළිකාරයා’’ අපේ සමාජයට ආගන්තුක චරිතයක් නොවෙ යි. පුරාණ යුගයේ සිට වර්තමානය දක්වා ගිනි පොළිකාරයාගේ භූමිකාව විවිධාකාරයෙන් අපේ සමාජය තුළ (පොදුවේ මුළු ලෝකය තුළ ම* ක‍්‍රියාත්මක වෙනවා. නොසිතූ විරූ මොහොතක ඇති වන හදිසි මුදල් අවශ්‍යතාවක් පමණක් නොව ව්‍යාපාරික කටයුත්තක් සඳහා අවශ්‍ය වන ඉතා සැලසුම් සහගත මූල්‍ය අවශ්‍යතා පවා මේ ක්ෂණිකව හෝ කඩිනමින් මේ ගිනිපොළිකාරයින් මගින් ඉටුකර ගැනීම ධනවත් – නිර්ධන, ග‍්‍රාමීය – නාගරික වගේම ඇතැම් විට උගත් – නූගත් ආදි කිසිඳු භේදයකින් තොරව ජනතාව කටයුතු කරන බව රහසක් නොවෙ යි.

දීර්ඝ කාලයක් පුරා සමාජය තුළ ප‍්‍රසිද්ධියේ හෝ අප‍්‍රසිද්ධියේ ක‍්‍රියාත්මක වූ ගිනිපොළිකාරයින්ගේ භූමිකාව හා ව්‍යාපාරික සැලසුම් වර්තමානය වන විට සැලකිය යුතු ආකාරයට නවීකරණය වී තිබෙනවා. ඒ අනුව අතීතයේ සමාජයේ අපවාදයට හෝ හෙළා දැකීමට ලක් වූ ‘‘ගිනි පොළිකාරයා’’ මේ වන විට ‘‘ක්ෂුද්‍ර මූල්‍ය සමාගම’’ හෝ ‘‘ඬේලි කලෙක්ෂන් ’’ නමින් නාමකරණය වෙමින් පුළුල් සමාජ වටිනාකමක් සේ ම ව්‍යාපාරික අවකාශයක් ද අත්පත් කර ගෙන ගෞරවනීය වෘත්තියක් / ව්‍යාපාරයක් බවට නාමකරණය වී තිබෙනවා. මේ තත්ත්වය වඩාත් සරලව පැහැදිලි කළහොත් ‘‘බැංකුවක’’ හෝ ‘‘බැංකුකරුවෙකු’’ගේ තත්ත්වයට අද මේ ක්ෂ්ද්‍ර මූල්‍යකරුවන් සහ ඬේලි කලෙක්ෂන් දෙන්නන් පත්ව සිටිනවා.

ගිනිපොළි මුදලාලි සහ හෙට්ටියා

ගිනි පොළිකරුවන් සහ ඔවුන් විසින් තම ණය මුදල් අයකර ගැනීමට ගන්නා දැඩි අමානුෂික ප‍්‍රයත්නය ගැන ජගත් සාහිත්‍යයේ සේම ආගමික සාහිත්‍යයේ ද බහුලව සඳහන් වෙනවා. මේ අතර ලෝ ප‍්‍රකට උදාහරණය අපට සැපයෙන්නේ මහා කවි විලියම් ශේෂ්පියර්ගේ ‘‘වැනීසියේ වෙළෙන්ඳා’’ නාට්‍යයේ එන පොළිකරුවා වන ‘‘ෂයිලොක් ’’ නම් මසුරු යුදෙව් පොළිකාරයාගෙන්. තමාගෙන් ලබාගත් ණය මුදලක් වෙනුවෙන් ඇප වූ තම වෛරක්කාරයාගෙන් පළිගැනීම සඳහා ෂයිලොක් ගත් කුරිරු ප‍්‍රයත්නය සහ පොළිකරුවන්ගේ අමානුෂිකභාවය ශේෂ්පියර් මේ හරහා මනාව විවරණය කරනවා. ලෝ ප‍්‍රකට කියමනක් වන ‘‘මස් රාත්තලම ඕනෑ’’ පිට වන්නේ මේ ෂයිලොක්ගෙන්. පොළිකරුවන්ගේ අමානුෂිකත්වය මේ ‘‘මස් රාත්තලම ඕනෑ’’ කියමන මගින් මොනවට ප‍්‍රකාශ වුණා.

හෙළයේ මහා ගත්කරු මාටින් වික‍්‍රමසිංහයන් තම නවකතා සහ කෙටි කතා කිහිපයක අවධාරණය කරන ආකාරයට 20 වන සියවසේ මුල් භාගයේ ලංකාවේ බිහි වෙමින් පැවැති සිංහල ව්‍යාපාරික පන්තිය දුර්වල වීමට සහ අසරණ වීමට එකට පොළීකරුවන් වශයෙන් ක‍්‍රියාත්මක වූ ‘‘හෙට්ටින්ගේ’’ බලපෑම ප‍්‍රබල හේතුවක් වුණා. තම ව්‍යාපාරික අවශ්‍යතා වෙනුවෙන් ණයට මුදල් ලබාගත් සිංහල ව්‍යාපාරිකයින් නොදැනීම හෙට්ටින්ගේ ගොදුරු බවට පත් වූ බව වික‍්‍රමසිංහයන් මනාව පැහැදිලි කරනවා. වික‍්‍රමසිංහයන් ඇතුළු බොහෝ දෙනෙක් දැඩිව අවධාරණය කරන්නේ සිංහල ව්‍යාපාරික පන්තියක් බිහි වීම අඩාල වීමට මේ හෙට්ටින්ගේ මූල්‍යමය බලපෑම ප‍්‍රබලාකාරයෙන් දායක වූ බව යි. ඉතාම සරල ආකාරයෙන් මෙන්ම අවධාරණාත්මකව ප‍්‍රකාශ කළහොත් නැගී එන සිංහල ව්‍යාපාරික පන්තිය දුර්වල කිරීමේ වගකීම මේ ගිනිපොළි මුදලාලිලා සහ හෙට්ටින් විසින් භාරගත යුතු යි.

කොළඹ ඇතුළු නාගරික ව්‍යාපාරික සහ වතු හිමියන් (විශේෂයෙන් පොල් වතු හිමියන් සහ මිනිරන් පතල්හිමියන්) හෙට්ටීන්ගේ සහ ගිනිපොළි මුදලාලිලාට කඹුරද් දී ගොවිජනපද ව්‍යාපාරය ඇතුළු ග‍්‍රාමීය කෘෂි ආර්ථිකය මත පදනම් වූ ග‍්‍රාමීය ජන සමාජයේත් ඉතාමත් සක‍්‍රීය ආකාරයෙන් සහ අතිෂය මසුරු ආකාරයෙන් ගිනිපොළිකරුවන්ගේ ග‍්‍රහණය සිදු වූ බව ඒ පිළිබඳ අවධානය යොමු කළ සමාජ – ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙනවා. ප‍්‍රමාණවත් ප‍්‍රාග්ධනයක් සහ ඉතිරි කිරීමක් අහිමි ග‍්‍රාමීය ගොවි ජනතාව සේ ම ඇතැම් සුළු ව්‍යාපාරිකයින් ද තමා විසින් ලබා ගත් ඉතාම සුළු මුදලකට තම වගාබිම හෝ ජීවත් වන ඉඩම මේ පොළිකරුවන්ට සින්න කළ බව ඔවුන් පෙන්වා දෙනවා.

නාගරික සේම ග‍්‍රාමීය සමාජය ද උස් පහත් භේදයකින් තොරව දීර්ඝ කාලයක් තිස්සේ අඛණ්ඩව මේ ආකාරයෙන් ගිනිපොළිකරුවන්ගේ ග‍්‍රහණයේ සිර වීම ආර්ථික හා සමාජ සංවර්ධනයට ඍජුව ඍණාත්මක ප‍්‍රතිඵල ඇති කළත් එම ග‍්‍රහණයෙන් ජනතාව මුදා ගැනීම සඳහා ඵලදායී සේම තිරසර වැඩපිළිවෙළක් මේ දක්වා ක‍්‍රියාත්මක වන බවක් දැකිය නොහැකි යි. රාජ්‍ය හා පෞද්ගලික බැංකුවල අතිෂය පුළුල් ව්‍යාප්තියක් හා බලයක් ඇති වත්මන් යුගයේ පවා, විශේෂයෙන් ග‍්‍රාමීය ගොවි ජනතාව සහ සුළු ව්‍යාපාරික ප‍්‍රජාව ගිනි පොළිකරුවන්ගේ සහ විවිධාකාර නාමයන් යටතේ ක‍්‍රියාත්මක වන දහසකුත් එකක් ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්වල ගොදුරු බවට පත්වීම මේ අවාසනාවන්ත තත්ත්වය මනාව පැහැදිලි කරන්නක් බව කිව යුතු යි. රාජ්‍ය සහ පෞද්ගලික බැංකු මගින් ග‍්‍රාමීය ගොවිජන සහ සුළු ව්‍යාපාරික ණය හා ප‍්‍රාග්ධන අවශ්‍යතා පහසුවෙන් සහ ලෙන්ගතුව සපුරාලනු නොලබන තාක් ගිනිපොළිකරුවන්ගේ සහ ක්ෂ්ද්‍ර මූල්‍ය සමාගම්වල පහසු ගොදුරු බවට මේ ජනතාව පත්වීම වළක්වා ගත නොහැකි බව පැහැදිලි කරුණක්.

ක්ෂුද්‍ර මූල්‍ය ණය මාෆියාව

20 වන සියවසේ සිංහල ව්‍යාපාරික පන්තියේ නැඟීම වළකාලන ප‍්‍රමුඛ බලවේගය බවට හෙට්ටීන් පත් වූ ආකාරයෙන් 21 වන සියවසේ ග‍්‍රාමීය ගොවි සහ සුළු ව්‍යාපාරිකයින් වනසා දමන ප‍්‍රධාන බලවේගය බවට ක්ෂ්ද්‍ර මූල්‍ය සමාගම් සහ ඬේලි කලෙක්ෂන් නමින් ක‍්‍රියාත්මක වන දිනපතා ණය වාරික එකතු කරන පුද්ගලයින් පත්ව සිටිනවා. ඒ බව ලංකාවේ ඕනෑම අස්සක් මුල්ලක් නෑර ව්‍යාපාරික පමණක් නොව බොහෝ ගෘහ ඒකක පවා නිරීක්ෂණයට ලක් කළහොත් වටහා ගත හැකියි. වාර්ෂික පොළිය සියයට 36ට හෝ ඊටත් වඩා අධිකව ක්ෂද්‍ර මූල්‍ය සමාගම්වලින් හෝ මාසික පොළිය සියයට 6 – 8 අතර වන පරිදි (මෙය වාර්ෂිකව ගණනය කළ විට සියයට 80කටත් වඩා වැඩි පොළියකි) ඬේලි කලෙක්ෂන්කරුවන්ගෙන් ණයක් ලබා නොගත් ගෘහ ඒකකයක් හෝ සුළු ව්‍යාපාරිකයෙක් සොයා ගැනීම කළුනික සොයා ගැනීම තරම් අසීරු වී තිබෙනවා.
‘‘දැන් හවසට බැංකුවට සල්ලි දාන්නේ ව්‍යාපාරිකයෝ නෙමෙයි, ඬේලි කලෙක්ෂන් දෙන අය’’ මෙම ලියුම්කරු හොරණ නගරයේ රාජ්‍ය බැංකුවක කළමනාකරුවෙක් පසුගිය දා ඬේලි කලෙක්ෂන්වල සැබෑ තත්ත්වය පැහැදිලි කරමින් හෙළි කළා.

‘‘අපිටත් කරන්න කියලා දෙයක් නැහැ. අපේ මූල්‍ය රෙගුලාසි, මහ බැංකු නියාමන අනුව ඉල්ලන හැමෝටම ඇත්ත ව්‍යාපාරික අවශ්‍යතාවකටවත් ණයක් දෙන එක පහසු නැහැ. වේගයෙන් කරන්න බැහැ. ඇප කොන්දේසි, පෙර ණය ගෙවීම්, ණය ගෙවීමේ හැකියාව වාගේ කාරණාවලදී අපිට අසීරුතා රැුසක් තියෙනවා. මේ තත්ත්වය වළක්වා ගන්නේ නැතිව අනාගතේදී අපිට කිසිම ණයක් දෙන්න බැරි වෙයි. සුළු ව්‍යාපාරිකයෝ තව තවත් මේ ඬේලි කලෙක්ෂන්වල ග‍්‍රහණයට නතු වෙයි’’ බැංකු කළමනාකාරවරයා වැඩි දුරටත් පැහැදිලි කළා.

‘‘අද අපේ ටවුමේ ඬේලි කලෙක්ෂන් ණය අරගෙන නැති ව්‍යාපාරිකයෝ ඉන්නේ කිහිප දෙනයි’’ ඔහු වැඩි දුරටත් සඳහන් කරනවා.

‘‘මට මේ එළවළු කඩ ලෑල්ල දා ගන්නයි බඩු ගන්නයි රුපියල් 80,000ක් විතර ඕනෑ වුණා. බැංකුවලින් ව්‍යාපාර පටන් ගන්න ණය දෙන්නේ නැහැ. කරන්ට් එකවුන්ට් නැතිනම් ව්‍යාපාරික ණය දෙන්නේ නැහැ. සමාගම් හදන්න ඕනෑ. ඇප තියන්න ඕනැ. ඒත් මම මට වුවමනා ගාන ඬේලි කලෙක්ෂන්වලින් ගත්තා. දවසට රුපියල් 1000ක් ගෙවන්න ඕනෑ. බිස්නස් කළත් නොකළත් ඒක ගෙවන්න ඕනෑ. අපි දැන් හොඳටම වැටිලා ඉන්නේ. කර ගත්ත මෝඩකම කියලා හිතෙනවා. මෙහෙම ගියොත් අනේ මන්දා…’’ උඩවලව ජලාශය අසල ප‍්‍රධාන මාර්ගය අයිනේ එළවළු – පලතුරු අලෙවිකරන කාන්ති දිසානායක මහත්මිය ඬේලි කලෙක්ෂන් නිසා තමන් පත්ව ඇති අසරණ තත්ත්වය ගැන දැන් දැන් කනගාටුවට වඩා භීතියට පත්ව සිටිනවා. ඇය කියන ආකාරයට ණය ගෙවා ගත නොහැකි වුණොත් තමන්ගේ පවුල් දිවිය පවා වැනසී යා හැකි තැනට කරුණු යෙදිය හැකි යි.

ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් සහ එහි ණය එකතු කරන්නන් සේම ඬේලි කලෙක්ෂන්කරුවන්ගේ තෝතැන්නක් බවට පත්ව ඇති උතුරු – නැගෙනහිරින් පසුගිය කාලය පුරාම ඇසෙන විලාපය ‘‘ෂයිලොක්වත් පරාජය කරන සුළු යි. වර්තමානය වන විට උතුරු – නැගෙනහිර පළාත්වල කාන්තාවන්ගෙන්, ගොවීන්, සුළු ව්‍යපාරිකයින් පමණක් නොව ඇතැම් පහළ මධ්‍යම පාන්තිකයින් පවා මේ ෂයිලොක්ලාගේ පහසු ගොදුරු බවට පත්ව අවසන්. ලිංගික අල්ලස් ගැනීම්, බලහත්කාරය ද ඉක්මවා ගිය අතිෂය දරුණු ණය අයකර ගැනීම් අද මේ ප‍්‍රදේශවල සුලභ තත්ත්වයක් බවට පත්ව තිබෙන බව මේ ප‍්‍රදේශවල ක‍්‍රියාත්මක වන විවිධ සිවිල් සමාජ ක‍්‍රියාකාරීන් සේම ජනමාධ්‍යකරුවන් ද දිනපතා වාර්තා කරනවා. ඔවුන්ට අනුව ණය ගෙවා ගත නොහැකි වූ කාන්තාවන් සැලකිය යුතු පිරිසක් මේ පුද්ගලයින්ගේ ලිංගික වහළියන් බවට පත්ව තිබෙනවා. මේ තත්ත්වය තුළ පවුල් ආරවුල් පමණක් නොව සිය දිව නසා ගැනීම් ද ක‍්‍රමිකව වර්ධනය වන බව ඔවුන් පෙන්වා දෙනවා.

‘‘ලංකාවේ ග‍්‍රාමීය, විශේෂයෙන් කෘෂිකාර්මික පළාත්වල ක්ෂුද්‍ර මුල්‍ය සමාගම්වල සහ ඬේලි කලෙක්ෂන්කරුවන්ගේ ක‍්‍රියාකාරීත්වය මනුෂ්‍යත්වයේ සීමා අතික‍්‍රමණය කරලා තිබෙනවා. අද එය මේ පළාත්වල දැවැන්ත සමාජ හා ආර්ථික ගැටලූවක් බවට පත්වෙලා තිබෙනවා. ග‍්‍රාමීය කෘෂිකාර්මික සංවර්ධනය සඳහා ආණ්ඩුව ගන්නා වූ බොහෝ ප‍්‍රයත්න මේ මගින් අඩාල වෙමින් තිබෙනවා. මේ පළාත්වල ඉන්නේ මස් රාත්තලම නෙමෙයි මුළු ඇඟම ඉල්ලන ෂයිලොක්ලා’’ උතුරේ ක‍්‍රියාත්මක වන කාන්තා සජීවීකරණ සංවිධානයක කලාප කළමනාකාරියක් ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් සහ ඬේලි කලෙක්ෂන්කරුවන් විසින් ක‍්‍රමිකව නිර්මාණය කරමින් පවතින ඛේදවාචකයේ වත්මන් පැතිකඩ ගැන තම නිරීක්ෂණ ඒ ආකාරයෙන් හෙළි කරනවා. ඇය එහිදී දැඩිව අවධාරණය කරන්නේ මේ ආයතන නියාමනය හෝ අත්හිටුවීමට සමගාමීම ග‍්‍රාමීය මූල්‍ය හා ප‍්‍රාග්ධන අවශ්‍යතා විසඳා ගැනීම සඳහා වඩාත් විශ්වාසනීය සහ පුළුල් ප‍්‍රජා සහභාගීත්වයක් ඇති වැඩපිළිවෙළක් දියත් විය යුතු බව යි.

රට පුරා හොර ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් 10,000ක්

දීර්ඝ කාලීන සමාජ හා අර්ථික අභියෝගයක් බවට පත්ව තිබෙන ග‍්‍රාමීය ණයගැතිභාවය ජය ගැනීම සඳහා පසුගිය දශක කිහිපය පුරා අඛණ්ඩවත් වඩාත් පුළුල්වත් විවිධාකාරයේ රාජ්‍ය සහ රාජ්‍ය නොවන වැඩපිළිවෙළ දියත් වුණා. එය රාජ්‍ය බැංකුවල සිට සමෘද්ධි බැංකු, දිවිනැගුම බැංකු දක්වා පුළුල් ව්‍යාප්තියක් දක්වා තිබෙනවා. එහෙත් වත්මන් තත්ත්වය නිරීක්ෂණයේ දී මනාව පැහැදිලි වන්නේ මෙකී යාන්ත‍්‍රණයවල ප‍්‍රමාණවත්භාවය හෝ සේවාව, එහි ඵලදායීතාවය පිළිබඳ පැහැදිලි ඍණාත්මකතා පවතින බවයි. එය එසේ නොවේ නම් මේ තරම් පුළුල්වත්, නිර්මාණශීලීවත්, සක‍්‍රීය ආකාරයෙනුත් ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් සහ ඬේලි කලෙක්ෂන්කරුවන් සිටීමට හැකියාවක් නැහැ.

වර්තමාන ශ‍්‍රී ලංකාව කොතරම් තදින් ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්වල තෝතැන්නක් බවට පත්ව තිබෙනවාද යන්න ගැන පැහැදිලි ප‍්‍රකාශයක් පසුගිය දා ශ‍්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති එම්.ඒ. කරුණාරත්න මහතා විසින් ජනමාධ්‍ය හමුවේ හෙළි කළා. මහ බැංකු නියෝජ්‍ය අධිපතිවරයාට අනුව ශ‍්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි නොවූ ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් 10,000ක් පමණ රට පුරා තිබෙනවා. (2019 මාර්තු 03, දිවයින ඉරිදා සංග‍්‍රහය, පිටුව 01-18* මිලියන 21ක් පමණ වන ශ‍්‍රී ලංකාවේ මුළු ජනගහණයට ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් 10,000ක් හිමිව තිබීම මගින්ම (පුද්ගලියින් 2100කට එක් සමාගම බැගින් වන සේ) වත්මන් ශ‍්‍රී ලංකාවේ ණය අවශ්‍යතාව සේම අවිධිමත් මූල්‍ය අංශයේ ව්‍යාප්තිය ගැන පැහැදිලි අවබෝධයක් ලබාගත හැකි යි.

මේ අතර ‘ට‍්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂල් ශ‍්‍රී ලංකා’ ආයතනය විසින් තොරතුරු දැන ගැනීමේ පනත යටතේ එම ආ ශ‍්‍රී ලංකා මහ බැංකුවෙන් කළ විමසීමකදී ශ‍්‍රී ලංකා මහ බැංකුව ප‍්‍රකාශ අතර ඇත්තේ ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් කිසිඳු ක්ෂුද්‍ර මූල්‍ය බැංකුවකට බලපත‍්‍ර නිකුත් කර නොමැති බවත්, ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් ශ‍්‍රී ලංකාව තුළ මෙහෙයුම් කටයුතු කරන ලියාපදිංචි නොවූ ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් වෙනුවෙන් නියාමනය හෝ අධීක්ෂණ කාර්යයන් සිදු නොකරන බවයි. මේ තත්ත්වය තුළ ශ‍්‍රී ලංකාවේ ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්වල නෛතිකභාවය මෙන්ම පාරදෘශ්‍යභාවය ගැන ද මනා වැටහීමක් අපට ලබාගත හැකි යි.

ණයගැතියන්ගෙන් සියයට 84ක් ම කාන්තාවන්

මුදල් අමාත්‍යාංශයේ සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව විසින් 2017 වර්ෂයේ නිකුත් කළ කාර්ය සාධන වාර්තාව මගින් අපට මෙරට ක්ෂුද්‍ර මූල්‍ය ණය පිළිබඳ තව දුරටත් පැහැදිලි කර ගැනීමක් ලබාගත හැකියි. එම වාර්තාවට අනුව 2017 වර්ෂයේදී බැංකු අංශය විසින් ක්ෂුද්‍ර මූල්‍ය අංශය වෙත රුපියල් බිලියන 165ක ණය නිකුත් කර තිබෙනවා. ඒ සමග රජයේ ප‍්‍රධාන ක්ෂුද්‍ර මූල්‍ය ආයතන විසින් 2017 වර්ෂයේදී රුපියල් බිලියන 263ක ණය ලබාදී තිබෙනවා. මේ අතර ‘‘ලංකා ක්ෂුද්‍ර මූල්‍ය වෘත්තිකයින්ගේ සංගමයට’’ අනුව 2017-18 වර්ෂය තුළදී එහි සාමාජිකයින් 39 දෙනා විසින් රුපියල් 94,415,629,796ක මුදලක් ණය වශයෙන් නිකුත් කර තිබෙන අතර එම කාලසීමාව තුළදී ණයලාභීන් 2,898,232 දෙනකු ණය ලබාගෙන තිබෙනවා. මෙහි ඇති විශේෂත්වය වන්නේ මෙම ණයකරුවන්ගෙන් සියයට 84ක් හෙවත් 2,439,187 දෙනකුම කාන්තාවන් වීමයි. (රාවය, 2019 මාර්තු 10, පිටුව 01/02) මෙරට කාන්තාවන් ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලේ වැටී ඇති ආකාරය පිළිබඳ පැහැදිලි අදහසක් අපට මෙමගින් ම ලබාගත හැකි යි.

ගඟට ඉණිකැපීම

දශක ගණනාවක සිටි ග‍්‍රාමීය දරිද්‍රතාවය, ණයගැතිභාවය සේම ආර්ථික සංවර්ධනය දුර්වල වීමට ග‍්‍රාමීය ගොවි සහ සුළු ව්‍යාපාරික ප‍්‍රජාව බැටකන ණයගැතිභාවය ප‍්‍රබල හේතුවක් බව හඳුනා ගෙන තිබුණා. ඉහතින් සඳහන් කළ ආකාරයට, සමෘද්ධි ව්‍යාපාරය, දිවිනැඟුම, ගොවිජන බැංකු ආදි බොහෝමයක් සමාජ – ආර්ථික සංවර්ධන වැඩසටහන් මේ අභියෝගය ජය ගැනීම වෙනුවෙන් ක‍්‍රියාත්මක වුණා. උදාහරණයක් ලෙස සමෘද්ධි ව්‍යාපාරයට අයත් විවිධකාර බැංකු මගින් 2017 දී පුද්ගලයින් 653,370 දෙනෙකුට (සියයට 50කට ආසන්න පිරිසකට) රුපියල් මිලියන 42,300ක ණය ලබාදී තිබෙනවා. (ශ‍්‍රී ලංකා මහ බැංකුව/වාර්ෂික වාර්තාව 2017, පිටුව 112) එය ආසන්න වශයෙන් එක් පුද්ගලයෙකුට රුපියල් 65,000කට ආසන්න ණය මුදලක්. අනෙක් අතින් 2015 වන විට සමෘද්ධි/ දිවිනගුම බැංකු සංගම් 35,896ක් හා ප‍්‍රජාමූල බැංකු ශාඛා 1074ක් තිබෙන බව ශ‍්‍රී ලංකා මහ බැංකු වාර්ෂික වාර්තාව 2015 (පිටුව 118) සඳහන් කරනවා. මේ ණය ගැනීම් සහ ණය දීම් පසුගිය 1995 වර්ෂයේ සමෘද්ධි ව්‍යාපාරය ආරම්භයේ සිට ම ක‍්‍රියාත්මක වෙමින් තිබෙනවා. මෙවැනි තත්ත්වයක් තුළ පවා ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්වල ණය මාෆියාවට ග‍්‍රාමීය කාන්තාවක් 300,000ක් පමණ හසුවීම කිසිසේත් ලඝු කළ යුතු කරුණක් නොවෙයි.

ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් විසින් පසුගිය කාලය පුරා ඇති කළ සමාජ – ආර්ථික දුර්විපාකවල දේශපාලනික ප‍්‍රතිවිපාකයක් වශයෙන් පසුගිය 2015 ජනාධිපතිවරණ සමයේ දී ඒ ගැනත් පුළුල් සමාජ – දේශපාලන සංවාදයක් නිර්මාණය වුණා. විශේෂයෙන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා මේ ක්ෂුද්‍ර මූල්‍ය උගුල ගැන දැඩිව අවධානය යොමු කළා. එහි ඍජු ප‍්‍රතිඵලයක් ලෙස 2016 වර්ෂයේ දී ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් නියාමනය සඳහා පනතක් ඉදිරිපත් වුණා. එහෙත් පනතේ පවතින අඩුපාඩු සහ එය බලාත්මක කර ක‍්‍රියාත්මක කළ යුතු ආයතනවල පවතින විවිධ පසුබෑම් හේතුවෙන් අදත් ලියාපදිංචි නොවූ ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් 10,000ක් මෙරට ජනතාව අසීමිතව සූරාකමින් සිටිනවා. එම සමාගම්වල අධික පොළිය අඩු කරන ලෙස ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් කළ ඉල්ලීමට සහ ආචාරධර්ම පද්ධතියට සිදු වූ දෙයක් නැතැයි ජනතාව මැසිවිලි නගමින් සිටිනවා. ඔවුන් දැඩිව අවධාරණය කරන්නේ ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් නියාමනය පමණක් නොව ඔවුන්ගේ ෂයිලොක් පන්නයේ ව්‍යාපාරික කටයුතු ද දැඩි සේ සීමා කරන පුළුල් සහ අවංක රාජ්‍ය මැදිහත්වීමක් කඩිනමින් අත්‍යවශ්‍ය වන බව යි.

එක්සත් ජාතීන්ගෙන් ද ඉල්ලීමක්

රජය විසින් දැඩි, ශක්තිමත් නියාමන රාමුවක් සකසන තුරු ක්ෂුද්‍ර මූල්‍ය ණය නැවත ගෙවීම් තාවකාලිකව අත්හිටුවන ලෙසට ප‍්‍රකාශයක් නිතුත් කරන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිත ‘‘පැබ්ලෝ බොහොස්ලැව්ස්කි’’ මහතා ශ‍්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කර ඇතැයි පසුගිය 2019 මාර් 10 වැනි දින ‘‘රාවය’’ පුවත්පත තම ප‍්‍රධාන ශීර්ෂ පාඨය ලෙස වාර්තා කළා. ක්ෂුද්‍ර මූල්‍ය ණය පිළිබඳව වර්තමානයේ දැඩි සමාජ, දේශපාලන අවධානයක් යොමුව පවතින අවස්ථාවක එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් නියෝජිතයෙක් ශ‍්‍රී ලංකා රජයෙන් කළ මේ ඉල්ලීම අතිෂයින් වැදගත් වෙනවා. එම පුවත්පත් වාර්තා වේ තව දුරටත් මෙසේ ද සඳහන් වුණා.
‘එම ඉල්ලීම සිදුකරනු ලැබ ඇත්තේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 40 වන සැසි වාරයේදී ඉදිරිපත් කළ ඔහු විසින් සකසන ලද වාර්තාවක් අනුවය. ශ‍්‍රී ලංකා රජයේ ආරාධනාවෙන් පසුගිය සැප්තැම්බර් මස 3 – 11 දක්වා කාලයේ ශ‍්‍රී ලංකාවේ සංචාරය කර එම වාර්තාව සකස් කර ඇති අතර ඔහු ණය සහ මානව හිමිකම් පිළිබඳ ස්වාධීන විශේෂඥයෙකු ලෙස සැලකේ. එකීී වාර්තාවට අනුව අධික පොළියක් සහිත ක්ෂුද්‍ර මූල්‍ය ණය බලරහිත කර, තමා මෙතෙක් ගෙවූ මුදල් හානිපූර්ණයන් ලෙස ඉල්ලීමට වින්දිතයින්ට අවස්ථාවක් ලබාදිය යුතු බවත්, රාජ්‍ය බැංකු සිය සහනදායී ණය සැපයුම් පුළුල් කළ යුතු බවත් දන්වා ඇත. එම වාර්තාව වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ ක්ෂුද්‍ර මූල්‍ය ණය ශ‍්‍රී ලංකාවේ ක‍්‍රියාත්මක වන්නේ සූරාකෑමේ මූල්‍ය උගුලක් ලෙස බවත් ඊට විශේෂයෙන් ඉලක්ක කර ඇත්තේ දිළිඳු හෝ යුද්ධයෙන් බලපෑමට ලක් වූ කාන්තාවන් බව යි.

ක්ෂුද්‍ර මූල්‍ය ණය සමාගම් අඛණ්ඩව සිදුකරමින් පවතින මේ මිලේච්ඡු සූරාකෑම හමුවේ ඔවුන්ගේ දැන්වීම් අනුග‍්‍රහය ලබන ජාතික මාධ්‍ය (පුවත්පත්, ගුවන්විදුලි සහ රූපවාහිනි) මේ මාෆියාව සහ එයින් උද්ගත වෙමින් පවතින අර්බුදය ගැන නෑසූකන්ව සිටිනවා. පසුගිය කාලය පුරා මේ ගැන විධිමත් සංවාදයක් ගෙන ගියේ ‘‘රාවය’’ පුවත්පත පමණයි. එහි උපදේශක කර්තෘ වික්ටර් අයිවන් මහතා පසුගිය කාලය පුරා ම මේ සම්බන්ධ තම ක්ෂේත‍්‍ර අත්දැකීම් අවස්ථා ගණනාවකදී ම ජනතාව හමුවේ තැබුවා. ඒ අනුව ක්ෂුද්‍ර මූල්‍ය ණය ගෙවා ගත නොහැකිව සියදිවි නසාගත් කාන්තාවන් ප‍්‍රමාණය ගැන ද රාවය පසුගිය දා හෙළිදරව් කළා. රාවයට අනුව කාන්තාවන් 180 දෙනකු පමණ මේ වන විට ක්ෂුද්‍ර මූල්‍ය ණය ගෙවා ගත නෙැහිකිව සියදිවි නසා ගෙන තිබෙනවා. මෙය අතිෂය බරපතළ ප‍්‍රශ්නයක් බව මේ අනුව වටහා ගත හැකියි.

පයබරවායට පිටිකර බෙහෙත් බැඳීම

අද කාන්තාවන් ලක්ෂ 3කට අධික පිරිසක් ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලේ සිරවී සිටින්නේ ග‍්‍රාමීය සංවර්ධනය, කාන්තා සංවර්ධනය වෙනුවෙන් අති දැවැන්ත ව්‍යාපෘති, වැඩසටහන් ආදිය දියත් වෙමින් තිබියදී වීම ද අදාළ පාර්ශ්වයන්ගේ අවදානයට යොමු විය යුතු ගැටලූවක්. විශේෂයෙන් ග‍්‍රාමීය සංවර්ධනය වෙනුවෙන් වත්මන් රජය පවා පසුගිය කාලය තුළ රුපියල් බිලියන ගණනක ව්‍යාපෘති දියත්කර තිබෙනවා. ඒ අතර ‘‘ග‍්‍රාම ශක්ති’’ ‘‘ව්‍යවසාය ශ‍්‍රී ලංකා’’ ආදී අති දැවැන්ත ව්‍යාපෘති ද ප‍්‍රමුඛව ක‍්‍රියාත්මක වෙනවා. අනෙක් ලොකු කුඩා අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ මණ්ඩල ද ඇතුළත්ව නිල වශයෙන් රාජ්‍ය සම්පත් යොදා ගනිමින් ක‍්‍රියාත්මක වන ව්‍යාපෘති ගණන ද නිමක් නැහැ. ඒත් ඔවුන්ගේ ඉලක්ක ජන කණ්ඩායම ම වන ග‍්‍රාමීය කාන්තාවන් තව තවත් දරිද්‍රතාවට සහ සූරා කෑමට ලක් වෙමින් සිටිනවා. මේ ව්‍යාපෘතිවලින් අඩක් හෝ අදාළ අරමුණු ඉටු කළා නම් මෙවැනි ඛේදවාචකයක් සිදුවීමට ඉඩක් නැහැ. මේ අනුව අපට ඉතාම පැහැදිලිව පෙනී යන්නේ ග‍්‍රාමීය ආර්ථික හා සමාජ සංවර්ධනය වෙනුවෙන් වාර්ෂිකව වැය කරන දැවැන්ත ජාතික ධනය අපේක්ෂිතව අරමුණු කරා ළඟා වීමට නොව ඒ දෙසවත් බැලීමට අසමත්ව තිබෙන බවයි.
මේ තත්ත්වය තුළ පොදුවේ අවධාරණය කළ යුත්තේ ග‍්‍රාමීය ආර්ථිකය සහ පවුල් සංස්ථාව වළපල්ලට යවමින් තිබෙන ක්ෂුද්‍ර මූල්‍ය ණය මාෆියාවට එරෙහිව රජය සහ අදාළ ස්වේච්ඡා සංවිධානවල කඩිනම් මැදිහත්වීමක් අවශ්‍ය බවයි.


සටහන- චතුරී සමරවීර

Recommended For You

About the Author: Editor