දත කට මැද ගන්න පෙර

දත කට මැදගෙන ’ හිටියත් ලංකාවේ පොදුවේ මුඛ සෞඛ්‍ය තත්ත්වය දුර්වල තත්ත්වයකයි තිබෙන්නේ. ඒකට පෝෂණය, මුඛ සෞඛ්‍ය ගැන දක්වන උනන්දුව වගේම තවත් සංකීර්ණ හේතු ගණනාවක් තිබෙනවා. මුඛ සෞඛ්‍ය හා අපි කවුරුත් දන්න ‘දත් බුරුවක්’ අතර කිසියම් සම්බන්ධයක් තිබෙනවාද ? දත් බුරුසු නිපදනවන සමාගම් කියන ආකාරයට නම් දන්තාලේපයට වඩා දත් බුරුසුව වැදගත්. ඒ නිසා අප මේ ගැන සොයා බැලිය යුතුයි. මොකද සමාගම් කියන දේවල් අහලම මදි නිසා. ඒ ගැන දන්ත විශේෂඥයින් කියන දේත් ඉතාම වැදගත්. දත් බුරුසුවක ඇති හැඩවැඩ ගැන අදහස් දැක්වූයේ, ළමා හා දන්ත විශේෂඥ, පේරාදෙණිය දන්ත වෛද්‍ය පීඨයේ ළමා දන්ත වෛද්‍ය අංශයේ අංශාධිපති, ආචාර්ය ආර්. ලක්ෂ්මන් විජයවීර මහතායි.

නියමිත ප‍්‍රමිතියෙන් යුත් දත් බුරුසුවක් තෝරා ගන්නේ කොහොමද ?

දත් බුරුසුවක තිබිය යුතු ලක්ෂණ කිහිපයක් තිබෙනවා. එහි කෙඳි සහිත කොටසේ මතුපිට තලය පැතලි විය යුතුයි. මතුපිට හැඩය වක් හැඩයක් ගත් බුරුසු දත් මැදීමට සුදුසු නැහැ. කෙඳි සහිත කොටසේ දිග අඟලක් හෝ අඟල් එකයි කාලක් විය යුතුයි. වෙළෙඳ පොළේ තිබෙන අඟල් දෙකක් පමණ දිග දත් බුරුසු මගින් කාර්යක්ෂම ලෙස දත් මැදීම සිදුවන්නේ නැහැ. දත් බුරුසුවල කෙළින් තිබෙන මිටවල් සහ නැමි සහිත මිටවල් දකින්නට පුළුවන්. මේ අතරින් නැමි සහිත මිට තිබෙන දත් බුරුසුව වඩාත් සුදුසුයි. එය මුඛයේ වඩාත් ඇතුළත තිබෙන දත් මැදීම සඳහා ගෙන යාම පහසුයි. පොදුවේ ගත්විට මතුපිට තලය පැතලි නම් මේ දත් බුරුසු දෙවර්ගයම හොඳයි. නමුත් සාපේක්ෂව නැමි මිට සහිත දත් බුරුසුව කාර්යක්ෂමයි. දත් බුරුසුවක් මිලදී ගනිද්දී කෙන්දක හිසේ හැඩය දකින්නට පුළුවන්කමක් නැහැ. කෙන්දක් සියුම් ව පරීක්ෂා කරලයි එහි හැඩය කියන්න පුළුවන් වෙන්නේ. විදුරුමස්වල අයිනේ දාර තුවාල වීම වළක්වා ගන්න කෙන්දේ කොණ අඩ ගෝලාකාර කරලයි තිබෙන්නේ. සාමාන්‍ය කෙනෙකුට එය දැකිය නොහැකියි. නමුත් මේ ප‍්‍රමිතියට දත් බුරුසු හදන්න ඕනෑ. කෙන්දක විශ්කම්භයටත් ප‍්‍රමිතියක් තිබෙනවා. ශ‍්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමයේ අනුමැතිය ලබාදීම සඳහා අදාළ දත් බුරුසුව මේ ප‍්‍රමිතිය අනුව හදලද කියලා සොයා බලනවා. ඒ වගේම වෙළෙඳපොළේ තිබෙනවා කෙඳිවල හැඩය ‘එම්’ අකුරේ හැඩය ගත් දත් බුරුසු. එත් එහි මතුපිට තලය පැතලියි. මේ දත් බුරුසුවත් ප‍්‍රමිතියට හදලා තිබෙන්නේ. ඊට අනුමැතියත් ලැබිලා තිබෙනවා. ඇමෙරිකාවේ මෑතකදී පරීක්ෂණ මගින් සොයා ගෙන තිබෙන ආකාරයට ‘එම්’ අකුරේ හැඩය තිබෙන කෙඳි සහිත දත් බුරුසුව වඩා කාර්යක්ෂමයි. වඩා හොඳට කෑම කොටස් හා මැලියම් ඉවත් කිරීමට මේ දත් බුරුසුවට හැකියාව තිබෙන බව පෙන්වා දී තිබෙනවා.

දන්තාලේප තෝරා ගැනීම ගැන ඔබගේ අදහස කුමක්ද ?

දත් මැඳීම සඳහා දන්තාලේප අත්‍යවශ්‍ය නැහැ. නමුත් දත් බුරුව නම් අත්‍යවශ්‍යයි. මැලියම් ඉවත් කිරීමේ, කෑම කොටස් ඉවත් කිරීමේ ප‍්‍රධාන අයුධය තමයි දත් බුරුසුව. ඇඟිල්ලෙන් මැදලා මේ කෑම කොටස්, මැලියම් ඉවත් කරන්න බැහැ. ඒ නිසා දත් බුරුසුවක් භාවිත කිරීම අත්‍යවශ්‍යයි. දන්තාලේප වෙනුවට තිබෙන ඊළඟ ගැළපෙනම දේ තමයි ‘ලූණු වතුර’. යාන්තම් ලූණු රස සහිත වතුර දත් මදින්න ගන්න පුළුවන්. නමුත් දන්තාලේප වල ගොඩක් හොඳ දේවල් තිබෙනවා. ඒ නිසා පාවිච්චි කරන්න හැකියාවක් තිබෙන කෙනෙක් දන්තාලේප පාවිච්චි කරන එක හොඳයි.
දන්තාලේපවල ‘ෆ්ලෝරයිඞ්’ අඩංගුයි. 1970 දී ජිනීවා නුවර පැවති ලෝක සෞඛ්‍ය සංවිධානයේ සමුළුවේදී පෙන්වා දුන් ආකාරයට ෆ්ලෝරයිඞ් කියන්නේ දත් වැඞීමට අත්‍යවශ්‍ය සංඝටකයක්, දත් ශක්තිමත් කිරීමට අත්‍යවශ්‍ය සංඝටකයක්. දතේ එනැමලය කියන්නේ ‘හයිඩ්‍රොක්සි ඇපටයිඞ්’ කියන ක‍්‍රිස්ටලයට. ෆ්ලෝරයිඞ් තිබෙන කොට මෙය ‘ෆ්ලොරො ඇපටයිට්’ බවට පත් වෙනවා. ෆ්ලොරො ඇපටයිට් අසිඩිවලින් දියවීමට තිබෙන ඉඩකඩ ඉතා අඩුයි. ඒ නිසා දත් දිරායාම ගොඩක් අඩුයි. ඒත් උතුරු මැද පළාත් වල ෆ්ලොරයිඞ් පාවිච්චි කිරීමෙන් දත් දුඹුරු පැහැවීමේ රෝගයක් ඇතිවෙලා තිබෙනවා. ඒ ෆ්ලෝරයිඞ් නියමිත ප‍්‍රමාණයට වඩා වැඩියෙන් ශරීරගත වූ විට ඇතිවන තත්ත්වයක්. ඒ පළාත්වල භූගත ජලයේ ෆ්ලෝරයිඞ් තිබෙනවා. එවැනි පළාත්වල කෙනෙක් ෆ්ලෝරයිඞ් රහිත දන්තා ලේපයක් පාවිච්චි කළ යුතුයි. සාමාන්‍යයෙන් ජලයේ ෆ්ලෝරයිඞ් අඩංගු වන්නේ ජලය කොටස් දස ලක්ෂයකට එක ෆ්ලෝරයිඞ් කොටසක් වශයෙනුයි. නමුත් නුවර ප‍්‍රදේශය ගත්විට ජලය කොටස් දස ලක්ෂයකට ෆ්ලෝරයිඞ් කොටස් තිබෙන්නේ 0.03 ක් වැනි අඩුම අගයක්. ඇමෙරිකාවේ නම් ෆ්ලෝරයිඞ් අඩු ප‍්‍රදේශවල ජනතාවට ෆ්ලෝරයිඞ් පෙති ලබා දෙනවා. ඒ නිසා දන්තාලේප තෝරා ගැනීමේදී තමන් ජීවත් වන ප‍්‍රදේශය අනුව ෆ්ලෝරයිඞ් සහිත හෝ රහිත දන්තාලේපයක් තෝරා ගැනීමට අප සැලකිලිමත් විය යුතුයි. වෙළෙඳ දැන්වීම්වල නම් දත් බුරුසුවේ කෙඳි කොටස පිරෙන්නම දන්තාලේප ගත යුතු බව පෙන්වනවා. ඒක අනවශ්‍යයි. කඩල ඇටයක ප‍්‍රමාණයේ දන්තාලේප හොඳටම ප‍්‍රමාණවත්.

දත් බුරුසුවක ආයුෂ කොපමණද ?

දත් බුරුසුවක කෙඳි කාලයක් යන විට පිටපැත්තට නැමෙන්න පුළුවන්. ඊට පස්සේ මුල් කාර්යක්ෂමතාවයෙන් දත් මැදීම කළ නොහැකියි. එවිට දත් බුරුසුව මාරු කළ යුතුයි. මේ කාලය සාමාන්‍යයෙන් මාස තුනක් පමණ විය හැකියි. දවසට තුන්වරක් දත් මදිනවා නම් මාස දෙකක් පමණ කාලයක් තමයි දත් බුරුසුවක් පාවිච්චි කළ හැක්කේ.

දත් මදින්න සුදුසු වේලාව කුමක්ද ?

කට අපිරිසිදු වූ විට කට මදින්න ඕනෑ. කට අපිරිසිදු වන්නේ කෑම කෑවායින් පස්සේ. වැඩි දෙනෙක් උදේ නැගිටලා ගිය ගමන් දත් මදිනවා. මැදලා ඇවිත් කනවා. ඒක හරියට අතුගාලා ඇවිත් ආපසු කුණු දැම්මා වාගේ වැඩක්. සම්පූර්ණයෙන්ම වැරදියි. විද්‍යානුකූලව නම් දත් මදින්න ඕනෑ කෑම කෑවායින් පස්සේ. දවල් කෑමෙන් පස්සෙත් දත් මදින්න පුළුවන් නම් හොඳයි. ඒත් සමහරුන් එක අපහසුයි.

සමීක්ෂණ මගින් පෙන්වා දී තිබෙනවා අඩුම ගානේ දවසට දෙවරක්වත්, උදේ හා රාත‍්‍රී කෑමෙන් පසුව දත් මැදීමෙන් සම්පූර්ණ හොඳ පිරිසිදු මුඛයක්් තියා ගන්න පුළුවන් කියලා.■

සටහන – උර්ෂා මධුභාෂිණි

Recommended For You

About the Author: Editor