විදුලිබල අර්බුදයට පාර කැපූ හැටි විදුලි ඉංජිනේරු සංගමය හෙළිකරයි

වත්මන් විදුලිබල අර්බුදයට ප‍්‍රමුඛ හේතුව වන්නේ 2014 වර්ෂයෙන් පසු කිසිදු විදුලි බලාගාරයක් ඉදිකිරීමට ලංකා විදුලිබල මණ්ඩලය අසමත් වීම බව විදුලි ඉංජිනේරු සංගමයේ ලේකම් සෞම්‍ය කුමාරවඩු මහතා සඳහන් කරයි.

2014 වසරේදී නොරොච්චෝලේ අවසන් අදියර නිම කිරීමෙන් පසු මේ දක්වා රටේ වැඩිවන විදුලිබල ඉල්ලූම සඳහා විසඳුමක් වන කිසිදු බලාගාරයක් ඉදිනොකිරීමත්, ඉදිකිරීමට සූදානමින් සිටි බලාගාර නවතා දැමීමත් නිසා මේ වන විට විදුලිබල ක්ෂේත‍්‍රය දැවැන්ත අර්බුදයකට ලක්ව ඇතැයි ද කුමාරවඩු මහතා අවධාරණය කරයි.

‘‘සැලසුම් සහගත කණ්ඩායම් විසින් තමයි මේ අර්බුදය නිර්මාණය කරන්නේ. ඔවුන් විසින් ලංවිම සැලසුම් කරන ලද විදුලි බලාගාර නවතා දැමීම සහ ප‍්‍රමාද කිරීම දිගින් දිගටම සිදුකරනවා. එමගින් ඔවුන් අපේක්ෂා කරන්නේ තමන්ට වාසි ගෙනෙන ව්‍යාපෘති යෝජනා ක‍්‍රියාත්මක කරවා ගැනීමයි. රටේ ප‍්‍රබල දේශපාලන බලවතුන්, අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන්, උපයෝගීතා කොමිසමේ ඇතැම් නිලධාරීන් මෙම කණ්ඩායම නියෝජනය කරනවා. නොරොච්චෝලේ බලාගාරයට පසු ලංවිම සැලසුම්වලට අනුව ඉදිකිරීමට නියමිතව තිබුණේ මෙ.වො 500ක ධාරිතාවක් ඇති සාම්පූර් බලාගාරයයි. එය අති දැවැන්ත බලාගාරයක්. එහෙත් එම බලාගාරය ඉදිකිරීමට සියලූ සැලසුම් සම්පාදනය වී තිබියදීත් මෙම කණ්ඩායම ඉතාම සැලසුම් සහගතව සාම්පූර් බලාගාරය ඉදිකිරීම කඩාකප්පල් කළා. ඒ වගේම තරගකාරී මිල ගණන් කැඳවූ මෙ.වො 300ක ධාරිතාවක් ඇති ස්වභාවික වායු බලාගාරයත් ප‍්‍රමාද කළා. අපේ සැලසුම්වලට අනුව මෙම බලාගාරයෙන් මෙ.වො 230ක් පද්ධතියට එකතු වෙන්න තිබුණේ මේ වසරේ. ඒත් අද ඒ ඉදිකිරීම පිළිබඳ කටයුත්ත අධිකරණය හමුවට ගිහින් තිබෙනවා. මේ සියලූ බාධා කිරීම්වල ප‍්‍රතිඵලය බවට වත්මන් විදුලිබල අර්බුදය පත්ව තිබෙනවා’’ යැයි කුමාරවඩු මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Recommended For You

About the Author: Editor