තරුණ ඡන්ද ලියාපදිංචිය දැඩි පසුබෑමක

2018 වර්ෂය සඳහා නව ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේදී තරුණයින්ගේ ලියාපදිංචිය සැලකිය යුතු ලෙස පහළ ගොස් ඇති බව නිරීක්ෂණය වන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා ප‍්‍රකාශ කරයි.

පසුගිය දා මීගමුව ප‍්‍රදේශයේ පැවැති දැනුවත් කිරීමේ වැඩසටහනකදී මහින්ද දේශප‍්‍රිය මහතා මේ බව අවධාරණය කර ඇත.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී පැෆරල් සංවිධානයේ ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ සාමාන්‍යයෙන් වර්ෂයකට අලුතින් ඡන්ද හිමි නාම ලේඛනයේ ලක්ෂ 3.5කට ආසන්න තරුණ ඡන්ද ලියාපදිංචියක් වාර්තා වීම සිදු වුවත් 2018 වර්ෂයේ දී එම අගය ආසන්න වශයෙන් 2,17,000ක් පමණ පහළ අගයක් වූ බවයි. රටේ තරුණ ජනගහනය අඩුවීමක් වාර්තා නොවන තත්ත්වයක් තුළ මෙම පසුබෑම සැලකිය යුතු අගයක් බව ද ඔහු සඳහන් කළේය. තරුණ ඡන්ද ලියාපදිංචිය පහළ යාම ජනාධිපතිවරණයක් වැනි ජාතික මැතිවරණයක දී ප‍්‍රබල බලපෑමක් වනු ඇතැයි ද සඳහන් කළ ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමක දී දේශපාලන විශ්ලේෂකයින් කිහිප දෙනකු ම සඳහන් කළේ වත්මන් දේශපාලන ක‍්‍රමය පිළිබඳ තරුණයින්ගේ පවතින අප‍්‍රසාදය මේ මගින් ප‍්‍රකාශ වන බවයි. සාම්ප‍්‍රදායික වැඩිහිටි ඡන්දදායකයින් මෙන් දැඩිව පක්ෂ දේශපාලනයේ ඇලී නොසිටින තරුණ පිරිස මේ ආකාරයෙන් ඡුන්දය වර්ජනය කිරීම වැඩිහිටියන් සේම සාම්ප‍්‍රදායික දේශපාලනඥයින් ද බරපතළ ලෙස සලකා බැලිය යුතු බව ද ඔවුහු සඳහන් කළහ.

Recommended For You

About the Author: Editor