මගේ මුල්ම වේදිකා නාට්‍යයෙන්ම මම ඉතිහාසගත වුණා – නාට්‍යවේදී රවින්ද්‍ර ආරියරත්න

පාසල් යන අවධියේ සිටම ඔහු කලාවට ඇලූම් කරයි. කලාව යනු කුමක්දැයි සොයා යයි. සංගීතය හැදෑරුව ද එය තම දක්ෂතාව පෙන්වීමට ප‍්‍රමාණවත් නොවීය. රංග කලාවට ඇලූම් කරන ඔහු ස්වෝත්සාහයෙන් ම සොයා යයි. ඇවිදීමත්, කැප කිරීමත් තුළ ඔහු විෂය ගැඹුරටම අධ්‍යයනය කරයි. එසේ ”බල්ලොත් එක්ක බෑ” නිර්මාණයෙන් රටක් හඳුනා ගන්නා ඔහු රවීන්ද්‍ර ආරියරත්න ය. මේ රවීන්ද්‍ර ආරියරත්න තම ගමන් මග පිළිබඳ අප සමඟ කළ කතා බහෙන් කළ සංෂිප්ත උපුටා ගැනීමකි.


‘‘පාසල් යන කාලේ සිටම කලාවට මගේ වෙනම ආශාවක් තිබුණා. අපි අර කියන්නේ ප‍්‍රතිභාව කියලා දෙයක් මිනිස්සුන්ට තියෙනවා කියලා. එය වෙන්න ඇති මාව කලාව කුමක් ද කියන දේ සොයා යන්නට පෙළඹවූයේ. පාසල් කාලයේ මුලින්ම හමු වෙන්නෙ සංගීතය. ඒ ඔස්සේ ගායනය, වාදනය ප‍්‍රගුණ කළා. පාසලේ විෂයය බාහිර කටයුතුවල හුඟක් සම්බන්ධ වුණා. එතන දී කලාව කියන දේත් එක්ක හුඟක් ගැටුණා. පාසල් කාලයේ ඉඳන්ම විවිධ පුද්ගලයෝ හඳුනා ගන්නට ලැබුණා. විශේෂයෙන්ම මා ලැබූ භාග්‍යයක් වූයේ කලා ගුරුවරුන් ඇතුළු බොහෝ ගුරුවරුන් මිත‍්‍රයන් වශයෙන් ඇසුරු කරන්නට ලැබීම. මම දන්නෙ නෑ පාසල් යන කාලේ මම හිටියේ කොහොම ද කියලා. නමුත් ආපසු හැරිලා බැලුවොත් මම හරිම කඩිසරයි. ඒත් ඉදිරිපත් වීම හරිම දුර්වලයි. ප‍්‍රසිද්ධ රැස්වීමක හරි පාසල් රැුස්වීමක හරි මම ජීවිතේට කතාවක් කරලා නෑ. හරි බයයි. ඒ තිබ්බ සබකෝලය ඇරුණේ නාට්‍යවලින් තමයි.

ශිෂ්‍යත්වය වෙනකං මම අධ්‍යාපනය ලැබුවෙ ඇස්ඇද්දුම පාසලේ. ඊළඟට මම ආවේ නක්කාවත්ත ජාතික පාසලට. හයේ හතේ දී මම ගණිතය, විද්‍යාව වගේ විෂයන්ට හරිම දුර්වලයි. සංගීතයට පොඩි කැමැත්තක් තිබ්බා. ඒක විතරයි ඇඟට දැනුණේ. 10 වසරට වගේ එනකොට මම දැන ගත්තා සාමාන්‍ය පෙළ කියලා එකක් තියෙනවනෙ. මං ඕක ෆේල් වෙනවා කියලා. ඔය අතරෙ කුලියාපිටිය ආයතනයේ සුනිල් අමරතුංග සර් ගාවට ටියුෂන් ගියා, සර්, මට උගන්වද්දී ආ මාර ලේසි. වැඬේ අහුවුණා. විද්‍යාවටත් ගියා ඩැනී ලෙස්ටර් සර් ගාවට. ඒකත් හිතපු තරම් අවුලක් නෑ. ඇඟට ටිකක් දැනෙනවා. ඒ වගේම තූර්ය වාදන කණ්ඩායමෙත් හිටියා. ශිෂ්‍ය නායකයෙකු ලෙසත් කටයුතු කළා. අධ්‍යාපනයත් බාහිර කටයුතුත් මුසු වෙද්දී පොඩි විශ්වාසයක් නිරුත්සාහයෙන්ම ඇති වුණා.

සාමාන්‍ය පෙළ කෙහොම හරි ගොඩ දා ගන්න ඕන කියන චින්තනයේ හිටියා. නමුත් මහ ලොකුවට ඇඟට ගත්තෙ නෑ. ඒත් එක්කම තව හේතුවක් තිබුණා. ඒ කාලයේ මම සංගීතනෙ කරන්නෙ. අපට ඉගැන්නුවේ කරුණාරත්න සර් සහ සුනීතා අමරතුංග ටීචර්. ටීචර්ට දුවෙක් එහෙම හිටියා. ඒ දුව පිළිබඳව මගේ හිතේ පොඩි අදහසක් තිබ්බා. ෆේල් වුණොත් කොහොමක් දෙන්නේ නෑනෙ. මම හිතන්නේ ඒ නිසා තමයි මම ලියන්න පුරුදු වුණේ. එක පැත්තකින් ඒකත් ශක්තියක් වුණා. මම සාමාන්‍ය පෙළ පාස් වුණා.

මම උසස් පෙළ කරන්නේ 1995 දී. ඒ වෙද්දි නාට්‍ය හා රංග කලාව විෂය අසන්ට දකින්ට ලැබුණා. පුද්ගලික පංති පැවතුණා. නමුත් පාසලේ ඒ විෂයයට ගුරුවරයෙක් නොමැති නිසා මට කරන්න දුන්නේ නෑ. හැබැයි ඉතින් මට තිබ්බ උණට පංති ගිහිං තියරි ඉගෙන ගත්තා. අපි උසස් පෙළට විෂයයන් හතරක් කරා. නමුත් මට විෂයයන් පහයි. ඒ සංගීතය, සිංහල, බෞද්ධ සංස්කෘතිය, ආර්ථික විද්‍යාව සහ නාට්‍ය හා රංග කලාව. විභාගෙට නාට්‍ය හා රංග කලාවෙන් මුහුණ දෙන්න හිතා ගෙන ආර්ථික විද්‍යාව නිකමට කළා. නමුත් මට ආර්ථික විද්‍යාවෙන්ම විභාගයට මුහුණ දෙන්න වුණා. පළවෙනි පාරම විශ්ව විද්‍යාලයටත් තේරුණා.

උසස් පෙළ කරලා මම කොළඹ යනවා. හොරොම්බාවේ මට හිතවත් හාමුදුරුවෝ කෙනෙක්ගෙ අඳුරන පන්සලක මම නැවතුණා. එහෙ ඉඳන් මම නාට්‍ය බලන්න නාට්‍ය උළෙලවල්වලට සම්බන්ධ වුණා. එක පාරක් ශි‍්‍රයන්ත මෙන්ඩිස් මහතාගේ නාට්‍ය උළෙලත් තිබ්බා ‘සප්ත භූමිකා’ කියලා. එක දවසක මට මතකයි, ජෝන් ද සිල්වා එකේ මම ඉස්සරහා වාඩි වෙලා ඉද්දි මට මේ වේදිකාව දැවැන්ත විදියට දැනෙනවා. මම හිතුවා කවදා හරි මේ රඟහලේ මගේ නාට්‍යයක් කරනවා කියලා. ඒ සිතුවිල්ල අධිෂ්ඨානය මට අදටත් හොඳට මතකයි. ඒ වගේම ඒ රංග ශාලාවේ මගේ නාට්‍යයක් කරන්න පුළුවන් වුණා. සෑහෙන්න බඩගින්නෙ ඉඳලා ඇති, පයින් ගිහිං ඇති. ඒ කැපවීම්වල ප‍්‍රතිඵල තමයි මම ලැබුවේ. කුලියාපිටියට නාට්‍යක් ආවත් මම යනවා. හැබැයි නාට්‍ය කණ්ඩායම එන්නේ 11 ට නම් මම ඊට කලින් ගිහිං ලයිට් හයි කරන ඒවා මේකප් මේ සේරම බලනවා. එකම නාට්‍ය හතර පස් වතාව ආවත් බලනවා. මම පාසල් යන කාලේ ඉඳන්ම නාට්‍ය ශිල්පීන්ව අඳුරනවා. සමහර වෙලාවට ටිකට් නැතුව මාව ඇතුළට දානවා. නමුත් අද අපි නාට්‍ය කරන්න ගියහම ඒ වගේ පරිසරයක් දකින්න නෑ. මොක ද ළමුන්ගේ කිසිම වුවමනාවක් නෑ. අවුරුද්කට වෛද්‍යවරු, නීතීඥවරු, ඉන්ජිනේරුවරු කොච්චර බිහි වෙනවද? ඒත් හරියට කලාව කරන අය කෝ බිහි වෙනවා?

අපේ පරම්පරාවත් කලාකරුවන් කියලා මම අර්ථ දක්වන්නේ නෑ. මම නං දකින්නේ මේ රටේ කලාකරුවන් ඉන්නේ ඇඟිල්ලෙන් ගණන් කරන්න පුළුවන් ප‍්‍රමාණයක්. අනෙක් සියලු දෙනාම ශිල්පීන් සහ කුලීකරුවන් තමා.

ඔය අතර මං විශ්ව විද්‍යාලයේ දී මුලින්ම කරන්නේ නාට්‍ය හා රංග කලාව, සිංහල සහ ජන සන්නිවේදන විෂයයන්. ප‍්‍රථම වසර අවසානයේ දී විශේෂවේදී තේරුවා. මාව නාට්‍ය හා රංග කලාවට වගේම ජන සන්නිවේදනයටත් තේරුණා. එයින් මා තොර ගත්තේ ජන සන්නිවේදනය. මං හිතපු විශ්වවිද්‍යාලය නෙවෙයි මට ලැබුණේ. ඊට වඩා දැවැන්ත විදිහට මම සිතා සිටියා. විශ්වීය දෙයක් දේශන තුළින් මං බලාපොරොත්තු වුණා. ආචාර්යවරු කිහිප දෙනෙක් තමයි මා බලාපොරොත්තු වූ අය හිටියේ. ගියේ පොත් එළිදැක්වීම්වලට, හොඳ නාට්‍ය බලන්න. ඒක තමයි මගේ වැඬේ. දේශනවලට යනවා අඩුවෙන්න වෙන්නම මගේ ප‍්‍රතිඵල වැඩි වුණා. මොකද මං බාහිරින් ලැබූ දැනුම බොහෝමයි. අනෙත් අයට නොලැබෙන භාග්‍යක් මම ලැබුවා. මම නාට්‍යවලත් වැඩ කළා. සමහර වෙලාවට නාට්‍ය ඉවර වෙලා තියෙන නාට්‍යවලට සම්බන්ධ වුණා. එහි කතා කරන්නේ සාහිත්‍ය කලාව වැනි අරුත්බර දේ.

නාට්‍ය හා රංග කලාව සොයා යන අධ්‍යාපනය ලබන කාලයේ අපේ පාසලට ආව සේනාධීර කුලරත්න සර් නාට්‍ය හා රංග කලා ගුරුවරයා වශයෙන් අපිට පහළ පංතියට මේ විෂය පටන් ගත්තා. සර් සාමාන්‍ය ගුරු භූමිකාවේ නොගිය පුද්ගලයෙකු නිසා අපිටත් සාමාන්‍ය ශිෂ්‍යයන් යන මාර්ගයේ නොයා එතනින් පිට පනින්න පුළුවන් වෙන්නේ. කලාව කියන්නේ ක්ෂේත‍්‍රයේ වැඩ කිරීම නෙවෙයි. එය වෙනම පෞරුෂයක් අධ්‍යාපනයත් පතා මනුෂ්‍යයෙකුට ලැබෙන වෙනම වාසනාවක්. 1999, 2000 විතර තමයි මම නාට්‍ය කරන්න පටන් ගත්තේ. මගේ පළමු නාට්‍ය කරන්නේ යෞවන සම්මාන උළෙලට ඒ ‘‘අවකේශී’’ කෙටි නාට්‍යය.

රාජ්‍ය කෙටි නාට්‍ය උළෙලක ප‍්‍රථම වතාවට අවසන් වටයට තේරුණ, තනි නළුවෙකු විසින් භූමිකා කිහිපයක් රඟ දක්වන නාට්‍යයක් ලෙස ඒ නාට්‍යය ඉතිහාස ගත වෙනවා. රඟපෑවෙ මම. නාට්‍ය සොයා යන කාලය නිසා ඒකේ පිටපත හැම දේම මමම තමයි. ඒකේ අන්තර්ගතය වුණේ හෙට උසස් පෙළ කරන ළමයෙකුගේ මානසික ඝට්ඨනය. ඊළඟට මම අර්ධ ශෛලිගත ජන සම්ප‍්‍රදාය අංශයෙන් ඉදිරිපත් කළ ‘‘දුරානය’’ කියන නාට්‍යය දුක්ඛාන්ත ප‍්‍රහසනයක් විදිහට සාර්ථක වුණා. රාජ්‍ය නාට්‍ය උළලෙත් හොඳම නාට්‍ය සම්මානය ලැබුණා. සබරගමුව විශ්වවිද්‍යාලයේ නාට්‍ය උළලේ සුගතපාල ද සිල්වා අතින් දෙන හොඳම නාට්‍ය සම්මානය ඇතුළුව සම්මාන හයක් ඒ නාට්‍යයට ලැබුණා.

නාට්‍ය කලාවේ කිසිම කෙනෙක් අධ්‍යයනය නොකරන පැත්තක් තමයි පේ‍්‍රක්‍ෂකයා. පේ‍්‍රක්‍ෂකයා නැති තැන නාට්‍යයක් නෑ. විවිධ ප‍්‍රදේශවල නාට්‍යවලට යද්දී මම අවබෝධ කර ගත්තා. අපේ රටේ හොඳ කලා නිර්මාණයක් රසවිඳින්න සංස්කෘතියක් නෑ. මෙම අධ්‍යනයන්ගේ ප‍්‍රතිඵලයක් ලෙස මම ”බල්ලොත් එක්ක බෑ” නාට්‍ය ලියනවා. විජය නන්දසිරි එක්ක කතා කරද්දි පිටපත ඉල්ලූවා. ”මල්ලි පිටපත දෙන්න මං කරන්නං කියලා”. නමුත් මෙය මා විසින්ම කළ යුතුය යන අධිෂ්ඨානයෙන් මා කටයුතු ඇරඹුවා. ඒ වෙද්දි රංගන ශිල්පීන් ඇතුළු සියලූ දෙනාම මම අඳුරනවා. නාට්‍ය හිතුවටත් වඩා ජනප‍්‍රිය වුණා.

අද දකින ලොකුම අඩුවක් තමයි නිර්මාණකරුවා කියවන්නේ නෑ. වචන සීයක් ලියන්න ලක්‍ෂයකට වඩා කියවිය යුතුයි. අද ළමයි කියවන්නෙ නෑ. පැරණි සාහිත්‍යයට නැඹුරු නෑ. ලෝකෙට ගියහම අපට තේරෙනවා අපි ඉන්නේ කොච්චර පල්ලෙහා ද කියලා. මම නාට්‍ය කලාවට මොකුත් කරලා නෑ කියලා තමයි දැනෙන්නෙ. මට මතකයි සිඞ්නි ඔපෙරා හවුස් එකට ගියා නාට්‍යයක් බලන්න. ගියාම ටිකට් එකක් ගන්න බෑ. නාට්‍යක් බලන්න මාස ගාණකට කලින් බුක් කරන්න ඕනෙ. අඩුම ටිකට් එකත් මෙහෙ මුදලින් ලක්ෂ ගාණක්. ආර්ට් තියෙන්නෙ එහෙ.
දැන් මම රාජ්‍ය සේවකයෙක්, ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ. එතන ඉන්න එක මනසට හරි වදයක්. නිර්මාණ කරන්න නිදහස හරි අඩුයි. කාලය රන් හා වටීනෙ මිල කරන්න බෑ. දැන් රන් වලටත් එහා වටිනවා.

මම කැමති මේ ප‍්‍රදේශයට එන්න. ඒකට උත්සාහ දරනවා. ඇවිත් රංගකලා ක්ෂේත‍්‍රයට යමක් කරන්න. මම දන්න දේ තවත් අයට කියල දෙන්න. නමුත් ඒක කාටවත් අවශ්‍ය නෑ. මට බලෙන් පාසල්වලට දේශන වැඩමුළු කරන්න බෑනෙ. කොළඹ සිරිමාවෝ, දේවිකා වැනි පාසල් වල නාට්‍ය හා රංගකලා ගුරුවරු සිටිද්දිත් අපි බාහිර සම්පත් දායකයන් ලෙස කටයුතු කරනවා. අපෙන් මේ ප‍්‍රදේශයේ ප‍්‍රයෝජනයක් ගන්නෙම නෑ. අපි කැමැත්තෙන් ඉන්නවා.

නමුත් ඒක කර ගන්න විදියක් නෑ. නාට්‍ය හැමෝටම උගන්වන්න බෑ. එය තියරියක් නෙවෙයි. රංගනය කියලා දෙන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක ඇෙඟන් එන්න ඕන. නාට්‍ය ගුරුවරු නම් හුඟක් ඉන්නවා. මම නම් සෑහීමකට වෙන්නෙ නෑ. පංති කාමරයෙන් එළියට යන්නම ඕන. ලංකාවෙ ඇවිදින්න ඕන. නාට්‍ය බලන්න ඕන. හරි ගුරුවරයෙක් ඉන්නත් ඕන. කුලරත්න සර් එක්ක අපි මේ ආවා වගේ හරි පාර පෙන්නන්න ඕන. අද ගුරුවරු උගන්වනවා. ඒත් ළමයින්ගේ ඔළු හදන්නෙ නෑ. අද දැනුම හොයන් යන්න මාර්ග ඕන තරම් විවෘතයි. අපේ කාලෙ වගේ නෙවෙයි. අපි කියනවනෙ අපූර්ව දේ තමයි වැදගත්. ඒ වගේ ඉගෙන ගන්න ළමයා තමයි, ළමයි අතර කැපිලා පේන අපූර්ව මනුස්සයෙක් වෙන්නේ.■

සංවාද සටහන – නදීෂා මධුවන්ත

Recommended For You

About the Author: Editor