ඔබට සංවේදී සුන්දර දරුවෙකු අවශ්‍ය නම් පැන්සලත් පින්සලත් ඔහු අතට දෙන්න

ඕනෑම දෙමාපියෙකුගේ ලොකුම ආසාව තමන්ගේ දරුවා ඉහළට ඉගෙන ගෙන වෛද්‍යවරයෙක් ඉන්ජිනේරුවෙක් වෙනවා දකින්න. ඉහළ ආදායම, ඉහළ සමාජ පිළිගැනීම වාගේ කාරණා ඒ සඳහා බලපානවා වෙන්න ඇති. ඒත් වර්තමාන ලෝකයේ ‘රැකියාව’ කියන සාම්ප‍්‍රදායික සංකල්පය විශ්වාස කළ නොහැකි තරමට අභියෝගයට ලක්වෙලා. අද වැඩියෙන්ම උපයන්නේ, වැඩිම පිළිගැනීමක් ඇත්තේ වගේම වැඩියෙන්ම සතුටින් සිටින්නේ සාම්ප‍්‍රදායික රැකියා ක්ෂේත‍්‍රය අතික‍්‍රමණය කළ පුද්ගලයින්.

මේ අතර පැන්සල, පින්සල අතට ගත් අයත් ප‍්‍රධානයි. ජාත්‍යන්තර අවශ්‍ය නැහැ, ලංකාව ගත්තත් සිබිල් වෙත්තසිංහ වැඩිහිටි පරම්පරාව වගේම නව පරම්පරාවේ ජානකී සූරියාරච්චි වැනි චරිතත් සාම්ප‍්‍රදායික රැකියා සිහිනවලට අභියෝග කළ අය වශයෙන් සැලකිය හැකියි. මේ තත්ත්වය ඔඩෙල් අධිපතිනී ( හිටපු* ඔටාරා ඩෙල් ගේ සිට තවත් ඉදිරියට යනවා.
අපි මෙතැන් සිට ගිරාගම සෞන්දර්ය ගුරු අධ්‍යාපන පීඨයේ හිටපු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ‘චාල්ස් දයානන්ද ’ මහතාට සවන් දෙමින් දරුවන් අතට පැන්සලයි පින්සලයි දුන් විට සිදුවන ඓශ්චර්යය ගැන කියවමු.

හැම ළමයෙක් ම චිත‍්‍රවලට උනන්දු නොවන්නේ ඇයි ?

හැම දරුවෙක් ම චිත‍්‍ර අඳිනවා. චිත‍්‍ර නොඅඳින ළමයෙක් නම් ඒ දරුවාටට යම්කිසි මානසික අඩුපාඩුවක් වගේ දෙයක් තිබිය හැකියි. මල් කැකුළු වාගේ දරු දැරියන් චිත‍්‍ර කලාව සමග එක් වූ විට ලෝකය තව තවත් ලස්සන වෙනවා. දරුවෙකු තනිවම කරන එකම ක‍්‍රියාව කුරුටු ගෑම වශයෙන් හඳුනා ගෙන තිබෙනවා. එහෙම කුරුටු ගාන දරුවා මේ මගේ අම්මා, මේ මගේ තාත්තා කියලා නම් කරනවා. සමහර විට එක ඉරිකෑල්ලක් ඇතුළේ දරුවා දකින අම්මා, තාත්තා ඉන්නවා. මෙන්න මේ සුන්දරත්වය අවුරුදු පහක් දක්වා මහ ඉහළින් පෙන්නුම් කරනවා. ජීවිතයට එකතු කර ගන්නවා. ඒ වනවිට දරුවාට තමන් හිතන වාහනයක්, ගහකොළ, ගොඩනැගිලි අඳින්න පුළුවන්. ඉන්පසු පාසල් යනවා. පහේ පන්තිය දක්වාම එම අවස්ථා ඔහුට හිමිවෙනවා. වෙනත් රටවල් හා බැලීමේදී අපේ රටේ ප‍්‍රථමික අධ්‍යාපනය ඉහළයි. එය යහපත් තත්ත්වයක්. පහේ ශිෂ්‍යත්ව විභාගය නැතිනම් තවත් ඉහළයි.

නිර්මාණකරණය තියෙන්නේ සිරුරේමයි

උපත සමග නිර්මාණකරණය මානවයාගේ සිරුරේම තිබෙනවා. අපේ වගකීම මේ තත්ත්වය වගකීමෙන් යුතුව ඉදිරියට ගෙනයාමට දැරුවා දිරිගැන්වීමයි. තරඟකාරී අධ්‍යාපනය තුළ සිදුනොවන්නෙත් ඒ දේමයි. ඒ සඳහා විධිමත් අධ්‍යාපන වැඩපිළිවෙළක් තිබිය යුතුයි. අපූරුවට කුරුගෑ දරුවා ශිෂ්‍යත්වය සමග මර උගුලක පටළනවා. එතැන් පටන් දරුවාගේ නිර්මාණ ශක්තිය මරාදමන්න උත්සාහ ගන්නවා. ඒක දෙමාපියන්ගේ වරද නොවෙයි. අධ්‍යාපන ක‍්‍රමයේ වරදයි. අධ්‍යාපන ක‍්‍රමය මගින් පියවරෙන් පියවර දරුවා මරාගෙන යනවා කියලයි මම දකින්නේ.

එහෙම ගෙනියන දරුවා විභාග රේස් එකෙන් පස්සේ විශ්වවිද්‍යාලයට එනවා. එතැන නවක වධය, ප‍්‍රචණ්ඩත්වය වගේ දේවල්, මිනීමරුවන් දක්වාත් ඇතැම් අය පත්වෙනවා. අහිංසක සුන්දර මල් වැනි දරුවන් මේ වින්නැහියට පත් කළේ කවුද ? අධ්‍යාපනය හා නොගැළපෙන සමාජ ක‍්‍රමය කියලයි මම කියන්නේ.

මවු කුසින් අපරාධකරුවෝ බිහිවෙන්නේ නැහැ

කිසිම දිනක මවු කුසින් අපරාධකරුවෝ බිහිවෙන්නේ නැහැ. බිහිවන සුන්දර මල් කැකුළ අපරාධකරුවකු බවට පත් කළේ කවුද කියන එක ගැන සමාජය හොයන්නේ නැහැනේ. පස්වැනි ශේ්‍්‍රණියට එනතුරු සුන්දර ළමයා චිත‍්‍ර කලාව හැදෑරුවත්, එතැනින් ඔබ්බට එය ළමයාට නොගැළපෙන සහ අධ්‍යාපනයට වටිනාකමක් නැති දෙයක් බවට පත්කර තිබෙනවා. ඒකත් කරන්නේ අධ්‍යාපනයෙන් මයි.

යල්පැනගිය මූලධර්ම

අදටත් අපේ රටේ සාමාන්‍ය පෙළ පන්තිය දක්වාම චිත‍්‍ර කලාව හැදෑරීමට අවස්ථාව තිබෙනවා. ඒත් තවමත් අපේ රටේ තියෙන්නේ 15-16 වැනි සියවස්වල තිබුණු යුරෝපා ඇකඩමිවල මූලධර්ම පදනම් කරගත් චිත‍්‍ර කලාවක්. අපි ඉන්නේ එතැනයි. මම කලින් සඳහන් කළ ආකාරයට නිදහස් අදහස් ගලාගෙන ඇවිත් කුරුටු ගෑ දරුවාට, චිත‍්‍ර ඇන්ද දරුවාට පාසල් අධ්‍යාපනයේ ඉහළට එනවිට ලැබෙන්නේ ඒ යල්පැනපු මූලධර්ම උපුටා හැඳු විෂය නිර්දේශයක්. එතනිදී ඒ විෂයේ ප‍්‍රධාන අංශ තුනයි. ඒ ප‍්‍රකාශනය, මොස්තර හා ද්‍රව්‍ය කියලා. එතකොට ලබාගත් නිදහස් අත්දැකීම් හා සිතුවිලි යටපත් වෙලා කෘති‍්‍රම පැරණි විෂය නිර්දේශයක සීමාට ළමයා යටත් වෙනවා. ළමයා හිතන්නේ මේක තමයි චිත‍්‍ර කලාව කියලා. මම කියන්නේ මේ කලාව වහාම වෙනස් විය යුතුයි කියන එකයි. අධ්‍යාපනය වෙනස් නොවන්නේ නම් අපි වෙනස් කළ යුතුයි.


අපි චිත‍්‍ර රස නොවිඳින්නේ ඇයි ?

චිත‍්‍රයක් රස විඳීමට නම් දැනුමක් තිබිය යුතුයි. ඒ කියන්නේ අපේ සමාජයට චිත‍්‍රයක් කියවා හෝ නරඹා තේරුම් ගැනීමට දැනුමක් නැහැ. මොඩර්න් ආර්ට් කියන එක තේරෙන්නෙම නැති තරම්. මොඩර්න් ආර්ට් කියන්නේ චිත‍්‍ර කලාවේ ප‍්‍රගමනය තුළ ඇති වූ දැවැන්ත යහපත්, කාලීන විපර්යාසයක ප‍්‍රතිඵලයක්. කොයි තරම් හොඳ නවකතාවක්, කෙටිකතාවක් වුණත් භාෂාව නොදැන තේරුම් ගන්න බැහැ වගේ තමයි චිත‍්‍රයක් වුණත් දැනුම නැතිව තේරුම් ගන්න බැහැ කියන එක.

චිත‍්‍ර කලාවේ දේශීය පැත්ත

දේශීයත්වයෙන් මිදී විශ්ව කලාවක් බවට පත්ව ඇත්තේ චිත‍්‍ර කලාව පමණයි. සින්දුවක්, නැටුමක්, පොතක් ඒ අනුව කිනම් රටක, ජාතියකට අයත්දැයි හඳුනාගන්න පුළුවන්. ඒත් චිත‍්‍රයක නිර්මාණකරුවාගේ නම, ගමක් නැතිව තිබුණොත් මේ අහවල් රටේ චිත‍්‍රයක් කියලා කියන්න බැහැ. ඒ නිසයි මම කිවුවේ දේශීය අනන්‍යතාවයෙන් මිදී අපි විශ්ව කලාවක් දක්වා අපේ චිත‍්‍ර කලාව සමග ඉදිරියට යා යුතුයි කියලා. ආධ්‍යාත්මක මානසිකත්වය කරා ළමයාගේ මනස පන්ති කාමරයේ පටන් ගොඩනැංවිය හැකියි. ඒත් අපේ රටේ පවතින අධ්‍යාපන ක‍්‍රමය තුළ ඒ ගැන හිතන්න අමාරුයි.

නොහැකියාවට හේතුව කුමක්ද ?

අධ්‍යාපනයේදී චිත‍්‍ර කලාව විෂය නිර්දේශය සකස් කරන්නේ ඒ පිළිබඳ නූතන දැනුමක් හෝ ප‍්‍රයෝගික අත්දැකීම් ඇති මිනිස්සු නොවෙයි. ජීවිතේට චිත‍්‍රයක් ඇඳලා හෝ ප‍්‍රදර්ශනයක් නොකළත්, නරඹපු මිනිස්සුද කියන එකත් සැකයි. යම් භූතයින් පිරිසක් මේ මහ පුටුවල කලක සිට වාඩි කරවීමේ විපාකය මෙරට චිත‍්‍ර කලාවට සිදුවූ විශාලම හානියයි. රස වින්දනයක් නැති, සුන්දරත්වය නොහඳුනන මිනිසුන් සමාජයට බිහි වුණේ එතැනින්.

දැඩි දඬුවම්, එල්ලූම්ගස් නීතිය ගැන සංවාද කරනවා. මට කියන්න නූතන චිත‍්‍ර කලාව සහ දේශීය චිත‍්‍ර කලාව ජාත්‍යන්තර දක්වා ගෙන යාම සම්බන්ධයෙන් සංවාද කීයක් සතියකට තියෙනවාද ? විශ්වවිද්‍යාල කීයක එහෙම සංවාද තියෙනවාද කියලා. චිත‍්‍රපට, නාට්‍ය ගැන නම් එහෙම කතා කරනවා. ඒ යහපත් සංවාදය නිසා මිනිසුන් ඒවාට යොමු වෙනවා. ඒත් චිත‍්‍ර ගැන කතා කරන්නේ නැහැ. එහෙම වෙනකොට මිනිසුන් එයින් ඈත් වෙනවා. එනිසා ළමයි පාසලෙන් බාහිරව ඒ සඳහා උනන්දු කරවීමේ ක‍්‍රියාදාමයක් ඇති කළ යුතුයි.

නාගරික උනන්දුව හා අලෙවිය

කොළඹ කේන්ද්‍රියව චිත‍්‍ර කලාවක් තිබෙනවා. එය හොඳ උත්සාහයක්. නමුත් එතැන ඇතමුන් කරන්නේ අනුන්ගේ සල්ල බලාගෙන විකිණීමක්. මිනිස්සු ඉල්ලන දේ ඇඳලා දෙන චිත‍්‍ර ශිල්පීන් විනා, කලාව මේකයි කියලා හඳුනාගත් මිනිසුන් වෙනුවෙන් නිර්මාණ කරදෙන කලාකරුවන් අඩුයි.
ආසාව තිබුණට හැමෝටම චිත‍්‍ර අඳින්න බැරිද ?

ආසාව තිබුණට හැමෝටම චිත‍්‍ර අඳින්න බැහැ කියන එක බොරුවක්. හිතන්න පුළුවන් ඕනෑම කෙනෙකුට චිත‍්‍ර ඇඳීම හා නිර්මාණය කළ හැකියි. අපි හැම වැඩිහිටියෙකුගෙන්ම ඉල්ලනවා දරුවා සුන්දරත්වයට යොමු කරන්න කියලා. ඔවුන්ට පැන්සල හා පින්සල අතට දී ආතතිය වෙනුවට සුන්දර මානසිකත්වයකට අනුබල දෙන්න කියලා මම ඉල්ලනවා. එතකොට දරුවා තමන්ටත්, රටටත් සුන්දර සංවේදී මනුස්සයෙක්වෙයි. එහෙම වෙනකොට පොලීසි, උසාවි, එල්ලූම්ගස් ඒ තරම් අවශ්‍ය වෙන එකක් නැහැ.

නොමිලේ පුහුණුව සඳහා ඉඩක්

මෙම ක්ෂේත‍්‍රයේ විද්වතුන්ගේ දායකත්වයෙන්, මගේ සභාපතීත්වයෙන් චිත‍්‍ර කලා අධ්‍යාපන වෘත්තිකයින්ගේ සංගමය සහ සෝලියස් මැන්දිස් චිත‍්‍රකලා පදනම නමින් සංවිධාන දෙකක් ආරම්භ කළා. ඕනෑම අයෙකුට එහි නොමිලේ පුහුණුව ලබාගත හැකියි.

හැමෝට එකතු විය හැකියි.

දරුවන්ට පමණක් නොවෙයි. වැඩිහිටියන්ට වුණත් අප සමග එක්විය හැකියි. සුන්දරත්වයට වයස් සීමාවක් නැහැ. මම කියනවා ඔබේ දරුවාත් සුන්දරත්වයක් නැති නීීරස මිනිසුන් ගොඩට නොවැටෙන්න නම් නිසි මග පෙන්වන එක ඔබේ වගකීමක් කියලා.
උපුටා ගැනීමකි

Recommended For You

About the Author: Editor