අයවැයට ඡන්දය දුන්නේ මෙහෙමයි

එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විසින් 2019 මුදල් වර්ෂය සඳහා ඉදිරිපත් කළ අයවැය ලේඛනය තෙවනවර කියවීමේ ඡන්ද විමසීම ඊයේ (5* වැඩි ඡන්දයෙන් සම්මත කර ගැනීමට ආණ්ඩුවට හැකියාව ලැබුණා. අයවැයට පක්ෂව ඡන්ද 119ක් සහ විපක්ෂව ඡන්ද 74ක් ලැබුණා. ඒ අනුව ආණ්ඩුව අයවැය ජයග‍්‍රහණය කළේ වැඩි ඡන්ද 45කින්. මේ සමග අයවැයට ඡුන්දය ප‍්‍රකාශ කළ ආකාරය සහ එයින් පසුව නිර්මාණය විය හැකි දේශපාලන ප‍්‍රවණතා ගැන මේ මොහොත වන විට දේශපාලන කරළියේ දැඩි අවධානයක් යොමු වී තිබෙනවා.

අයවැය දෙවනවර කියවීමේ තීරණාත්මක ඡන්ද විමසීමේදී අයවැයට පක්ෂව ඡන්ද 119ක් ද විපක්ෂව ඡන්ද 76ක් ද ලැබුණා. ඒකාබද්ධ විපක්ෂය, ශ‍්‍රීලනිපයේ මන්ත‍්‍රවරු පිරිසක් සහ ජනතා විමුක්ති පෙරමුණ අයවැයට විපක්ෂව ඡුන්ද දෙන විට එක්සත් ජාතික පක්ෂය සහ දෙමළ ජාතික සන්ධානය අයවැයට පක්ෂව ඡන්දය දුන් අතර ශ‍්‍රීලනිපයේ කණ්ඩායමක් ඡන්දය දීමෙන් වැළකී සිටියා. ඒ අනුව 119/76ක් ලෙස අයවැය දෙවනවර කියවීම ජයග‍්‍රහණය කිරීමට ආණ්ඩුවට හැකියාව ලැබුණා.

අයවැය තෙවනවර කියවීමේ විවාදය (කාරක සභා අවස්ථාව* දින 19ක් පුරා පැවතුණා. මෙහිදී කාලයකින් (1998න් පසු* සිදු නොවූ සිදුවීමක් ද සිදු වුණා. ඒ අයවැය කාරක සභා අවස්ථාවේදී ආණ්ඩුවේ ප‍්‍රබලයින් දෙදෙනෙක් වන පාඨලි චම්පික රණවකගේ සහ වජිර අබේවර්ධනගේ අමාත්‍යාංශවලට අයත් වැය ශීර්ෂ කාරක සභා අවස්ථාවේදී පරාජයට පත්වීමයි. මෙම අහඹු හෝ කුමන්ත‍්‍රණකාරී පරාජයට පත්වීම හමුවේ ඒකාබද්ධ විපක්ෂය සැලකිය යුතු උත්තේජනයක් සහ ප‍්‍රචාරක වාසියක් ලබා ගත්තත් එය ආණ්ඩුවේ නොසැලකිල්ල හේතුවෙන් ද (ඇමැති චම්පික රණවකට අනුව* ඒකාබද්ධ විපක්ෂයේ අවස්ථාවාදී කුමන්ත‍්‍රණයක් හේතුවෙන් ද (කාරක සභා අවස්ථාවේ ඡන්දයක් නොඉල්ලන බවට පක්ෂ නායක රැස්වීමේදී ගත් තීන්දුවට පිටුපෑම* සිදු වූවක් බව පැහැදිලිව දැකගත හැකි වුණා.

ඒ අතර අයවැය තෙවනවර කියවීමේ විවාදයේ දී ආණ්ඩුව පරාජය කරන බවට ඒකාබද්ධ විපක්ෂය අභියෝග කළත් එවැනි ප‍්‍රායෝගික හැකියාවක් දේශපාලන කරළිය තුළ තිබුණේ නැහැ. ඒ වගේම අයවැය පරාජය කිරීම සඳහා ශක්තිමත් වැඩපිළිවෙළක් ඒකාබද්ධ විපක්ෂයට තිබුණෙත් නැහැ. ඒ වෙනුවට ඔවුන් වැඩි අවධානයක් යොමු කළේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ‘‘මෛත‍්‍රී පාර්ශ්වය’’ යැයි සැලකිය හැකි කණ්ඩායම අයවැයට විරුද්ධව ඡන්දය ප‍්‍රකාශ කිරීම සඳහා යොමු කරවා ගැනීමටයි. ඒ ගැන සාකච්ඡ වට කිහිපයක් ජනපතිවරයාගේ සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂගේ ප‍්‍රධානත්වයෙන් අවස්ථා කිහිපයකදීම පැවැත් වුණා. මේ සාකච්ඡවලදී ශ‍්‍රීලනිප මෛත‍්‍රී පාර්ශ්වය මහින්ද පිලට එක්කර ගැනීමට තිලංග සුමතිපාල, අනුර ප‍්‍රියදර්ශන ඇතුළු කණ්ඩායම ප‍්‍රබල උත්සාහයක යෙදුනා. එහිදී ඉදිරියේදී අත-පොහොට්ටු සන්ධානගත වීමට අයවැය තෙවනවර කියවීමේ ඡන්ද විමසීමේදී ශ‍්‍රීලනිපය ම ඊට විරුද්ධව ඡන්දය භාවිත කිරීමේ වැදගත්ක ම විටින් විට අවධාරණය වුණත් එය තීරණාත්මක කොන්දේසියක් දක්වා ගමන් කළේ නැහැ. ඒ වෙනුවට සිදු වුණේ එහි වැදගත්කම කියා පෑම පමණයි.

ශ‍්‍රීලනිප මෛත‍්‍රී පිල ද විවිධ තර්ක සහ හේතු ඉදිරිපත් කරමින් ඒකාබද්ධ විපක්ෂයේ ඉල්ලීම නොතකා හෝ වැඩි බරක් තබා කතා කිරීමට යොමු වුණේ නැහැ. ඔවුන් මෙහිදී ඉදිරිපත් කළ ප‍්‍රබල තර්කය වුණේ ‘‘ජනපතිවරයාගේ වැය ශීර්ෂ කිහිපයක් මේ අයවැය තුළ තිබෙනවා. අපිට ජනපතිවරයාගේ වැය ශීර්ෂ පරාජය කළ නොහැකියි. එය දේශපාලන සදාචාරයට එකඟ නැහැ’’ වැනි තර්කයි. ඒ අනුව අයවැය තෙවනවර කියවීමේ ඡන්ද විමසීමේදී අයවැයට එරෙහිව ඡන්දය ප‍්‍රකාශ කිරීම සඳහා ශ‍්‍රීලනිපය නම්මා ගැනීම සඳහා පසුගිය සඳුදා සිට ඊයේ උදෑසන දක්වා අඛණ්ඩව පැවැති දෙපාර්ශ්වය අතර සාකච්ඡ එකඟත්වයකින් තොරව බිඳ වැටුණා.

ඊයේ පැවැති අයවැය තෙවන වර කියවීමේ ඡුන්ද විමසීමේදී ඒකාබද්ධ විපක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ එස්.බී. දිසානායක, ඩිලාන් පෙරේරා, සුසිල් පේ‍්‍රමජයන්ත්, චන්දිම වීරක්කොඩි, ලක්ෂ්මන් යාපා අබේවර්ධන, ලක්ෂ්මන් වසන්ත පෙරේරා, තිලංග සුමතිපාල, අනුරුද්ධ ජයරත්න, සුදර්ශනී ප‍්‍රනාන්දු පුල්ලේ, අනුර ප‍්‍රියදර්ශන යාපා සහ ටී.බී. ඒකනායක යන මන්ත‍්‍රීවරුන් අයවැයට විරුද්ධව ඡන්ද ප‍්‍රකාශ කළා.

අයවැයට පක්ෂව එක්සත් ජාතික පක්ෂය, දමිළ ජාතික සන්ධානයේ සිව ශක්ති ආනන්දන් හැර සෙසු මන්ත‍්‍රීවරු, ශ‍්‍රී ලංකා මුස්ලිම් කොන්ග‍්‍රසය, සහ ලංකා වතුකම්කරු කොංග‍්‍රසයේ මුත්තු සිවලිංගම් ඡන්දය ප‍්‍රකාශ කළා. ඒ අතර එක්සත් ජාතික පක්ෂයෙන් තේරී පත් වී කාලයක සිට ස්වාධීන මන්ත‍්‍රීවරයෙක් සේ කටයුතු කරන අතුරලියේ රතන භික්ෂුව, සහ ඔක්තෝබර් 26 දා මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට සහාය දීමට එක් වූ විජේදාස රාජපක්ෂ, දුනේෂ් ගන්කන්ද, අශෝක ප‍්‍රියන්ත යන මන්ත‍්‍රීවරු අයවැයට ඡන්දය විමසන අවස්ථාවේ පාර්ලිමේන්තුවට පැමිණ සිටියේ නැහැ. මෙහිදී බලාපොරොත්තු වූ ආකාරයෙන් ම ශ‍්‍රීලනිපයේ මෛත‍්‍රී පිල ඡන්දය විමසන අවස්ථාවේ පාර්ලිමේන්තුවට පැමිණ සිටියේ නැහැ.
මේ අනුව ආණ්ඩුව අපේක්ෂා කළ ආකාරයෙන්ම ඉතාම පහසුවෙන් 2019 වර්ෂයට අදාළ අයවැය ලේඛනය සංශෝධන සහිත වැඩි ඡන්ද 45කින් සම්මත කර ගැනීමට එජාපයට හැකියාව ලැබුණා.

Recommended For You

About the Author: Editor