අයවැය විවාදය මැද රස – නීරස කතා

අයවැය තෙවනවර කියවීමේ විවාදය සිදුවන විට ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත‍්‍රීවරු අතර උණුසුම් විවාද මෙන්ම සොඳුරු අදහස් ද විටින් විට හුවමාරු වුණා. මේ ඒවායින් තෝරා ගත් කතා කිහිපයක්.

ක්ෂුද්‍ර මූල්‍ය මාෆියාවේ පැටිකිරිය ගැන මංගල හෙළි කරයි

අයවැය තෙවනවර කියවීමේ විවාදයේ දී මුදල් අමැති මංගල සමරවීර දීර්ඝ පැහැදිලි කිරීම් කළා. ඒ අතර වර්තමානයේ ප‍්‍රබල ආර්ථික හා සමාජයීය ගැටලූවක් නිර්මාණය කර තිබෙන ක්ෂුද්‍ර මූල්‍ය ණය මාෆියාවේ අලගිය තැන් මුලගිය තැන් මංගල විසින් හෙළි කළා.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා විසින් ක්ෂුද්‍ර මූල්‍ය ණය සම්බන්ධයෙන් ඉතාම බරපතළ ප‍්‍රකාශයක් කළා. 2015 අපි ගෙනාපු අතුරු අයවැයෙන් ගොවි ණයවලින් සියයට 50ක්ම අහෝසි කිරීමට අපි පියවර ගත්තා. ගොවීන් 57,000කට අපි සහනාධාර ලෙස රුපියල් මිලියන 786ක් දුන්නා. ඒ ගොවීන්ගෙන් 5000ක් පමණ සිටියේ හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ බව සඳහන් කළ යුතුයි. ඒ වගේම නියඟයෙන් පීඩාවට පත් දිස්ත‍්‍රික්ක 17ක ක්ෂුද්‍ර මූල්‍ය ණය ගෙවා ගත නොහැකිව අසරණව සිටින කාන්තාවන් 45,000කගේ ඒ ණය බර අප විසින් මීට මාස දෙකකට පෙර ඉවත් කළා. ඒ සඳහා රුපියල් කෝට් 120ක් අපි වැය කළා. මේ ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුල බිහි වුණේ පසුගිය සුනාම් ව්‍යසනය වෙලාවේදී ලංකාවට ලැබුණු විවිධ ආධාර මුදල් හරහා බව අද ශ‍්‍රී ලංකා මහ බැංකුව පවා පිළිගන්නවා. ඒ කාලේ හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් අද මාධ්‍ය හමුවට ඇවිත් අත දරුවෙක් වාගේ කතා කළාට මේ රටේ ක්ෂුද්‍ර මූල්‍ය අර්බුදය සම්පූර්ණයෙන් ඇති කළේ කබ්රාල් කියලා මම වගකීමෙන් කියනවා. උතුරු – නැගෙනහිර මයික්‍රෝ ෆිනෑන්ස් කියලා ණය දී ගෙන යන ණය මුදලාලිලා, ණය කාක්කෝ, ඔවුන්ගෙන් සියයට 86කට පසුගිය ආණ්ඩුවේ ප‍්‍රධානීන්ට යම් යම් සම්බන්ධකමක් තිබෙනවා කියලා මම පැහැදිලිව කියනවා. මේ ක්ෂුද්‍ර මූල්‍ය ණය ජාවාරම පසුපස තියෙන්නේ පසුගිය රජයේ කලූ සල්ලි බව මම පැහැදිලිව කියනවා.

රු.500ට ගන්න පුළුවන් හොඳ අරක්කු හදලා දෙන්න යැයි වාසු ආණ්ඩුවෙන් ඉල්ලයි

අයවැය තෙවනවර කියවීමේ විවාදයේ දී ඒකාබද්ධ විපක්ෂයේ ප‍්‍රබලයෙක් වන වාසුදේව නානායක්කාරත් විවාද කළා. ඒ වාසුගේ කතාව මේ පාර යොමු වුණේ දුප්පත් මිනිස්සු වැඩියෙන්ම කතා කරන කරුණක් ගැනයි. ‘‘දැන් විශාල කසිප්පු සංහාරයක් යනවා. එතකොට දුප්පත් මිනිස්සු මොනවද බොන්නේ. ඇයි ආණ්ඩුව මේ වැඬේ භාර අරගෙන රුපියල් 500කට හොඳ අරක්කු බෝතලයක් නිෂ්පාදනය කරලා දෙන්නේ නැත්තේ ? එතකොට තමුනාන්සේලාගේ ආදායම වැඩි වෙනවා’’ වාසු ආණ්ඩුවෙන් ප‍්‍රශ්න කළා.

බන්දුලගේ ගේ වෙන්දේසියේ ?

ඒකාබද්ධ විපක්ෂයේ ප‍්‍රබලයෙක් මෙන්ම හිටපු මුදල් රාජ්‍ය ඇමැතිවරයෙක් ද වූ ආචාර්ය බන්දුල ගුණවර්ධන අයවැය තෙවනවර කියවීමේ විවාදයේ දී ආණ්ඩුවේ ආර්ථික ප‍්‍රතිපත්ති දැඩිව විවේචනය කළා.

‘‘ලංකා බැංකුව මහ ජනතාවගෙන් ණය ඉල්ලනවා, මහජන බැංකුව මහ ජනතාවගෙන් ණය ඉල්ලනවා. බැංකු, ෆිනෑන්ස් සමාගම් බිඳ වැටෙමින් තිබෙනවා’’ යැයි බන්දුල දැඩි ස්වරයෙන් කීවා.

මේ සමග නැගී සිටි එජාප මන්ත‍්‍රී චමින්ද විජේසිරි අපූරු හෙළිදරව්වක් කළා.

‘‘කොළඹ වානිජ මහාධිකරණය පසුගිය පෙබරවාරි 26 වැනිදා බන්දුල ගුණවර්ධනට ඕඩර් එකක් දෙනවා. පෑන් ඒෂියා බැංකුවට ලක්ෂ 12ක් ගෙවන්න කියලා. ඒ බන්දුල ගුණවර්ධන මහතා පෑන් ඒෂියා බැංකුවෙන් ලබාගත් ණයක් නොගෙවා පැහැර හැරීම නිසයි. බන්දුලගේ ජම්ඹුගස් මුල්ලේ නිවස වෙන්දේසි කරන බවට එම බැංකුව විසින් එන්තරවාසියක් එවා තියෙනවා. ඔබතුමාලා වගේ අයත් බැංකුවලින් ගත්ත ණය ගෙවන්නේ නැති කොට බැංකු කඩා නොවැටී තියෙයිද ?. ඔබතුමා හිටපු මුදල් රාජ්‍ය ඇමැති. හිටපු මුදල් රාජ්‍ය ඇමැති බැංකුවලට පොලූ තියනවා. මොකක්ද මේ කතාව’’ කියලා එජාප මන්ත‍්‍රීවරයා ප‍්‍රශ්න කළා.

එජාප මන්ත‍්‍රීවරුන්ගේ සිනා හඬ මැද්දේ බන්දුල යම් අපහසුවකින් චමින්දට පිළිතුරු දුන්නා.

‘‘මගේ යාළුවෙකුට මම ඇප වුණා. මිනිහා ණය ගෙවන්නේ නැතිව රටින් පැනලා ගිහින්. ඒ නිසයි මේ සිදු වීම වුණේ. මම මේ ගැන ශ්‍රේෂ්ඨාධිකරණයට ඇපෑලක් ගොනුකරලා තියෙනවා’’ බන්දුල කිව්වා.
ඒත් එජාප මන්ත‍්‍රීවරු දිගින් දිගටම කියා සිටියේ බන්දුල බොරු කියන බවයි.

ආණ්ඩුව ජනතාව හිතන විදිහ දන්නේ නෑ – මහින්ද

මේ අතර විවාදයට එක් වූ හිටපු ජනපති, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා තම සුපුරුදු ස්වරයෙන් ආණ්ඩුවට එරෙහිව දැඩි ප‍්‍රහාරයක් එල්ල කළා.

‘‘ දැන් තමුන්නාන්සේලා එක එක විදිහේ ණය දෙනවා. එන්ටර්ප‍්‍රයිසස් ශ‍්‍රී ලංකා කියලා ණය දෙනවා. ඒත් දැං ගම්පෙරළිය කළුවර ගෙදර වෙලා. තමුන්නාන්සේලා ජනතාව හිතන විදිහ දන්නේ නැහැ කියලා මේ අනුව හොඳට පේනවා. ජනතාව හිතන විදිහ දන්නේ නැතිනම් ආණ්ඩු කරන්න අමාරුයි. අපි අද කරුවලේ ඉන්නවා. වතුර ටික හම්බ වෙන්නේ නැහැ. නාන කාමරේ ඉන්න වෙලාවෙත් වතුර කපනවා. අනික් එකට ගිය වෙලාවෙත් කැපෙනවා (සභාවේ සිනා* විශාල බලාපොරොත්තුවක් ඇතිව තමයි ඔබතුමන්ලා ඔක්කොම එකතු වෙලා මාව පැරැද්දුවේ. ලබා ගත්ත ආණ්ඩුවට මහජනතාවගේ බලාපොරොත්තු ඉටු කරන්න බැරි වුණ එක ගැන අපි කනගාටු වෙනවා’’

මංගල මහින්දව මුරුංග අත්තේ තබයි

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ තම විවේචනය එල්ල කර මොහොතක් ගත වන විට මුදල් ඇමැති මංගල නැගී සිටියා. සුපුරුදු උපහාස ස්වරයෙන් කතා කළ මංගල කීවේ, මහින්ද රාජපක්ෂ මහතා, තමාගේ පැරණිම මිතුරා මේ ආකාරයෙන් කතා කරන විට තමාට අතීතය මතක් වූ බවයි. 1988දී තමා ශ‍්‍රීලනිපයට සම්බන්ධ වූ විට මුලින්ම ඩාලි පාරේ පක්ෂ කාර්යාලයට ගිය විට මුලින්ම හමු වුණේ මහින්ද රාජපක්ෂ බව කී මංගල ඒ අතීතය සිහිවන විට මහින්දට තොත්තුවක් දීමට පවා තමාට සිතෙන බව සභාවේ සිනා මැද කියා සිටියා.

සභාව සිනා ගස්වමින් තව දුරටත් කතාව කළ මංගල, ‘‘ඔය ඔබතුමන්ලා හිනා වුණාට එතුමා ගැන ඔය සේරම දෙනාට වැඩිය මම දන්නවා. එතුමා මහා පෙරළි කළ කෙනෙක්. ඒ වගේ පෙරළි කළ දේශපාලන නායකයෙකුට මේ වගේ කණ්ඩායමකට නායකත්වය ලබාදීමට සිදුවීම ගැන මම ඉතාමත් ම කනගාටු වෙනවා (සභාවේ සිනා.

පවු. අද විපක්ෂයට වෙලා තියෙන්නේ මොකක්ද ? උදේ විපක්ෂයේ මේ පුටු පිරෙන්න මන්ත‍්‍රීවරු ඉන්නවා. හවස් වෙන්න වෙන්න සෙනග අඩු වෙනවා.

(විපක්ෂ නායක මහින්ද දෙසට අත දිගු කරමින් ඔබතුමා වාගේ ශ්‍රේෂ්ඨ නායකයෙකුට සුදුසු මේ වගේ විපක්ෂයක් නොවෙයි. මීට වඩා හොඳ විපක්ෂයක් මීළඟ මහ මැතිවරණයේදී ඔබතුමාට ලැබේවා කියා මා ප‍්‍රාර්ථනා කරනවා (ආණ්ඩු පක්ෂයෙන් සිනා සහ අත්පොළසන්*

මෙවැනි රස කතා, හරබර කතා සහ දැඩි විවේචන සමග පුරා මාසයකට ආසන්න කාලයක් පැති 2019 වර්ෂයට අදාළ විසර්ජන පනත් කෙටුම්පත නොහොත් අයවැය විවාදය 05 වැනිදා සවස 06 පමණ වන විට අවසන් ඡන්ද විමසීමෙන් ආණ්ඩුව විශිෂ්ඨ ජයක් ලැබීම සමග අවසන් වුණා. එදින රාත‍්‍රියේ කතානායක නිල නිවසේ දී පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූම මන්ත‍්‍රවරුන් සඳහා ඉතා අගනා රාත‍්‍රී භෝජන සංග‍්‍රහයක් සූදානම් කර තිබුණා.

අද සිට ජනතාවට නම් තිබෙන්නේ ආණ්ඩුවට අනුව ජනතාවට සිතූ පැතූ සම්පත් දෙන්නා වූ ද විපක්ෂය අනුව ජනතාව කබලෙන් ලිපට ඇඳ දමන්නා වූ ද 2019 අයවැය යෝජනා ක‍්‍රියාත්මක වන ආකාරයට මුහුණ දීමටයි.

  • ලංකා ඊ ප්‍රෙස් පාර්ලිමේන්තු වාර්තාකරු

Recommended For You

About the Author: Editor