නව අගවිනිසුරු ජයන්ත ජයසූරිය ?

අගවිනිසුරු නලින් පෙරේරා මහතා විශ‍්‍රාම යාමෙන් පසු හිස් වන අගවිනිසුරු ධූරය සඳහා වත්මන් නීතිපති ජයන්ත ජයසූරිය මහතා පත් කිරීමට බොහෝ දුරට අවස්ථාව ඇතැයි නීති ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීනයෝ සඳහන් කරති. එහි දී ඔවුන් පෙන්වා දෙන්නේ අගවිනිසුරුවරයා තෝරා ගැනීම සඳහා පසුගිය කාලය පුරා ම ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යේෂ්ඨත්වයට වඩා නීතිපතිවරයා කෙරෙහි වැඩි ප‍්‍රමුඛතාවක් යොමු වී ඇති බව යි.

නව අගවිනිසුරු ධූරය සඳහා ජනපතිවරයා විසින් නම් නිර්දේශ කිරීමට නියමිත අතර ඒවා සලකා බලා අනුමැතිය ලබාදීමේ වගකීම ඇත්තේ ව්‍යවස්ථා සභාවට ය.

නව අගවිනිසුරුවරයා තෝරා ගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වන නීති ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීනයින් සඳහන් කරන්නේ අපේ‍්‍රල් 05 වැනිදා ආරම්භ වන ශ්‍රේෂ්ඨාධිකරණ නිවාඩුව අවසන් වී යළි ශ්‍රේෂ්ඨාධිකරණයේ කටයුතු ආරම්භ වන අපේ‍්‍රල් 29 වැනිදා වන විට නව අගවිනිසුරුවරයා පත් කිරීමට නියමිතව ඇති බව යි. නව අගවිනිසුරු ධූරය සඳහා විනිසුරුවරුන් තිදෙනකු අතර තියුණු තරගයක් ඇතැයි ද ඔවුහු සඳහන් කළහ. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ මීළඟට සිටින ජ්‍යේෂ්ඨත ම විනිසුරුවරුන් තිදෙනා පිළිවෙළින්, බුවනෙක අළුවිහාරේ, සිසිර ද ආබෲ සහ ප‍්‍රියන්ත ජයවර්ධන යන විනිසුරුවරුන් වේ. ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යේෂ්ඨත්වයෙන් ඉහළින් ම සිටින්නේ විනිසුරු බුවනෙක අළුවිහාරේ මහතා වන අතර, විනිසුරු සේවා පළපුරුද්ද අනුව ඉහළින් ම සිටින්නේ මහේස්ත‍්‍රාත් ධූරයේ සිට ඉහළට පැමිණි සිසිර ද ආබෲ මහතා ය.

නව අගවිනිසුරුවරයා පත් කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වන තවත් ජ්‍යේෂ්ඨ නීතිවේදියෙකු ලංකා ඊ පේ‍්‍රස් සමග සඳහන් කළේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ජ්‍යේෂ්ඨත්වයට වඩා පසුගිය කාලය පුරා ම නව අගවිනිසුරුවරයා පත් කිරීමේ දී නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යේෂ්ඨ නිලධාරියා වන නීතිපතිවරයාට ප‍්‍රමුඛතාවක් ලැබී ඇති බව යි. ඊට හේතුව වශයෙන් ඔහු සඳහන් කරන්නේ රජයේ ධූරාවලිය අනුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් සිටින්නේ නීතිපතිවරයාට පහළින් බව යි. මේ සඳහා ආසන්න උදාහරණයක් ලෙස ඔහු පෙන්වා දුන්නේ අභියාචනාධිකරණයේ සභාපති ධූරය සඳහා පසුගිය දා පත් කරනු ලැබුවේ ද නීතිපති දෙපාර්තමේන්තුවේ සිටි ජ්‍යේෂ්ඨත ම අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා බව යි. ඒ අනුව නව අගවිනිසුරුවරයා ලෙස වත්මන් නීතිපති ජයන්ත ජයසූරිය මහතා පත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි ද ඔහු සඳහන් කළේ ය.

මේ අතර 2019 අපේ‍්‍රල් මස නිමාවට පත්වීමට පෙර ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව යළි රැුස්වීමට නියමිත බවත් එහිදී පුරප්පාඩු වීමට නියමිත අගවිනිසුරු ධූරය හා විගණාකාධිපති ධූරයට ආදාළ නාමයන් නිර්දේශ කිරීම පිළිබඳව අවධානය යොමු කරන බවත් කතානායක මාධ්‍ය ඒකකය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සඳහන් වේ.

Recommended For You

About the Author: Editor