අද තමන්ගේ බලය කේවල් කර ගැනීම සඳහා රටේ සංවර්ධනයට බාධා කරනවා – චම්පික රණවක

අද තමන්ගේ බලය කේවල් කර ගැනීම සඳහා රටේ සංවර්ධනයට බාධා කරනවා යැයි මහානගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලි චම්පික රණවක මහතා පවසයි.

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා මෙම අදහස් පළකර සිටියේ මහනුවර නවීකරණය කරනලද ජෝර්ජ් ඊ ද සිල්වා උද්‍යානය ඇතුළු වැඩ නිමකරන ලද සංවර්ධන කටයුතු රැසක් ජනතා අයිතියට පැවරීමේ අවස්ථාවන් සඳහා සහභාගී වූ අවස්ථාවකදී ය.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, අද අපි රුපියල් දශලක්ෂ 173ක් වැය කර නිර්මාණය කළ ජෝර්ජ් ඊ ද සිල්වා සිල්වා උද්‍යානය ජනතා අයිතියට පත් කළා. අපි අනාගතයේදී මහනුවර ගුඞ්ෂෙඞ් පර්යන්තයේ විශාල මධ්‍යම බස්නැවතුම්පළක්, ඒ වගේම දුම්රිය ස්ථානය ඇතුලු ඒ සියල්ලම වෙනස් කරන්න කටයුතු කරනවා. ඒ සඳහා අපි දශලක්‍ෂ 182 ක වියදමින් බස්පර්යන්තයක් ඉදිකර අද ජනතා අයිතියට පත් කළා. ඒ වගේම නගර සභාවට වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අවශ්‍ය උපකරණ සඳහා අපි තවත් මිලියන දශ ලක්ෂ 156 ක් අද දවසේ ලබාදුන්නා. ඒ වගේම ගුඞ් ෂෙඞ් එක, දුම්රිය ස්ථානය, රෝහල, මහා බහුමාදිලි මධ්‍යස්ථානය ඇතුලු ප්‍රදේශයන් හි තමන්ගේ ජීවිකා වෘත්තිය ගෙන ගිය 842 දෙනෙක් අපි හඳුනාගෙන තිබෙනවා. ඒ අයට වන්දි ගෙවීම දැන් ආරම්භ කර තිබෙනවා.

මේ මහනුවර නගරය උපාය මාර්ගික නගරයක් හැටියට ගොඩනගන්න රජයත්, ලෝක බැංකුවත් රුපියල් මිලියන 11,000 ක් වැය කරගෙන යනවා. විශාල රථවාහන ගාලක් ඉදිකරගෙන යනවා විශාල වියදමක් දරමින්. එයත් ඉතාම නුදුරු කලකින් ජනතා අයිතියට පත් වෙනවා. ඒ වගේම දුම්රිය ස්ථානය නවීකරණය කිරීමේ පළවෙනි පියවරත් අද අපි ආරම්භ කළා. දුම්රිය සේවකයින්ට අද නවාතැන් දෙන මහල් 11 කින් යුක්ත ඒ ප්‍රධාන මධ්‍යස්ථානය, ඒ වගේම ඒ අයගේ කාර්මික වැඩකටයුතු සඳහා අවශ්‍ය කරන යන්ත්‍රාගාරය සහ අනෙකුත් පහසුකම් සඳහා රුපියල් මිලියන 1,500 ක් වෙන්කර ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ වැඩිදියුණු කිරීම් අද ආරම්භ කළා. මේ සියල්ලම අපි කරන්නේ මහනුවර මාර්ග තදබදය විසඳීම සඳහා. අපේ විශ්වාසය මේ මාර්ග තදබදය විසඳීම සඳහා තිබෙන එකම විසඳුම පොදු ප්‍රවාහනය ශක්තිමත් කිරීමයි. අද වසර 40 කට පසුව ඇමරිකාව විසින් ඩොලර් මිලියන 70 ක ප්‍රධානයක් ලබාදෙනවා ලංකාවේ බස්රථ සේවය නවීකරණය කරන්න. අද අපේ රටේ බස්රථ නැහැ. තිබෙන්නේ ලොරිවලට සීට් හයිකරපු වාහන වගයක්. ඒ වෙනුවට අපි මගීන්ට යන්න පුලුවන් හොඳ බස් රථ සේවාවක් ලබාදිය යුතුයි. අද ලංගම එම තීරණය ගෙන තිබෙනවා. මේ රජය එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා එක යටතේ සියලුම බස්රථ හිමියන්ට 3% පොලියට රුපියල් කෝටිය දක්වා ණය ලබාදෙනවා මගීන්ට යන්න පුලුවන් නවීකාරක බස්රථයක් දාන්න.
ඒ වගේම සහසර වැඩපිළිවෙල යටතේ අපි මේ මහනුවර බස්රථ 2,500 ක් සඳහා ඨඡී යන්ත්‍ර ලබාදෙනවා. ඒ වගේම නවීන ටිකට් යන්ත්‍ර. බස් ව්‍යාපාරය කියන්නේ අපේ ව්‍යාපාරිකයෝ සෑහෙන අමාරුවෙන් කරගෙන යන දෙයක්. ඒ වගේම ඒ සේවක මහත්වරුන්ටත් කිසිම අයිතිවාසිකමක් නැහැ, දෛනික සේවකයෝ. අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා එම සේවක මහත්වරුන්ටත් අර්ථ සාධකය ලැබෙන වැදගත් සේවාවක් බවට පත් කරන්න.

ඒ වගේම විශේෂයෙන්ම මේ නගරය ඉතාම සුන්දර නගරයක්. මේ නගරය තුළ සහසක් තුරු වැඩපිළිවෙල යටතේ පැල සිටුවීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර දැන් හොඳින් කරගෙන යනවා. ඒ වගේම මේ නගරය ඓතිහාසික නගරයක් වගේම ආදර්ශමත් නගරයක් හැටියට කරගෙන යන්න මේ ව්‍යාපාරික ඇතුලු සියලුම දෙනාගේ අවසර අවශ්‍යයි. අපෙ රටේ ක්‍රමය තමයි කොපමණ හොඳට හදලා දුන්නත්, අතනින් මෙතනින් මඩු ගහගෙන කඩමණ්ඩි බවට නගර පත්කරනවා. එවැනි කඩමණ්ඩිවලට අද තැනක් නැහැ. අද අපට අවශ්‍යයි පිරිසිදු පැහැදිලි නගරයක්. ඒ සඳහා මේ සංවර්ධන සභාව ඉදිරි කාලයේදී කටයුතු කරයි කියා මා සිතනවා.

අද මේ පළාත් මැතිවරණය පැවැත්වීමේ ප්‍රශ්න මතුවී තිබෙන්නේ රජයේ ප්‍රශ්නයක් නිසා නෙමෙයි. මැතිවරණ ක්‍රමය ගැන එකඟතාවයක් නැති නිසා. අපි පාර්ලිමේන්තුවේ සම්මත කළා ආසන ක්‍රමයට, අනුපාත ක්‍රමයට 50% බැගින් තිබෙන, කාන්තා නියෝජනය 25% ක් වෙන ප්‍රාදේශීය සභා, නගර සභාවලට සමාන මැතිවරණ ක්‍රමයක්. එදා ඒකට අත උස්සපු අය පසුව ඒකට විරුද්ධ වෙන්න පටන් ගත්තා. ඒනිසා ඒ සීමා නීර්ණය ආදියට තිබූ කොමිසන් සභා අනුමත කර ගන්න බැරිවී තිබෙනවා. ඒ නිසා නිෂ්චිත මැතිවරණ ක්‍රමයකට පාර්ලිමේන්තුව එකඟවෙන්න බැරි වූ නිසා තමයි එය කල් ගිහින් තිබෙන්නේ. ඒකට ආණ්ඩුව විතරක් නෙමෙයි විපක්ෂය ඇතුලු හැම පක්ෂයක්ම වග කිව යුතුයි. මොකද හැමෝම මුලින් එකඟ වී පසුව කරහැරීම නිසා. ඒ නිසා පළාත් සභා මැතිවරණය පිළිබඳව වගකීම පාර්ලිමේන්තුවට තිබෙනවා. ගරු කථානායකතුමා ඒගැන ක්‍රියා කරගෙන යනවා මා සිතන විදිහට.

ඒ වගේම පාර්ලිමේන්තුවේ ඇතුළු අනෙක් හැම තැනම අපට පෙනෙන්නේ මෙරට දේශපාලනය ඔට්ටු සූදුවට කටයුතු කරන දෙයක් බවට පත් වී තිබෙන බවයි. මන්ත්‍රීධූර, ඇමතිධූර වැඩිකර ගැනීම සඳහා අද තමන්ගේ බලය කේවල් කර ගැනීම සඳහා සංවර්ධනයට එහෙම නැත්නම් රටේ ඉදිරිගමනට ඒක බාධා කරගන්න කටයුතු කර තිබෙනෙවා. ඒ නිසා අද මේ රටේ හැම පැත්තකම කැළි කසළ ප්‍රශ්නය, විදුලිබල ප්‍රශ්නය, ජලහිඟය මේ හැම ප්‍රශ්නයකම තිබෙන්නේ අනවශ්‍ය විදිහට දේශපාලනකරණය වීම නිසයි. 1968 ජලාශයක් හැදුවට පස්සේ අද මේ වනකන් අවුරුදු 50 ක් තුළ කොළඹට වතුර දෙන්න ජලාශයක් නැහැ. ජලාශය හදන්න ගියහම විරෝධතා පවත්වනවා. මනාපය එහෙම නැත්නම් ඇමති ධූරයේ තව කොටසක් වැඩිකරගන්න කට්ටිය එයට එකතු වෙනවා. කැළි කසළ ගැටලුවත් එහෙමයි. එය විසඳගන්න ගියහම විරෝධතා එනවා. අද කොළඹ නගරයේ පමණක් නෙමෙයි රටේම කැළි කසළ ගැටලුව විසඳන්න විද්‍යාත්මක විසඳුමක් අපි ලබාදී තිබෙනවා. ඒ විද්‍යාත්මක විසඳුමට විරුද්ධවත් අද පාරට බැහැලා තිබෙනවා. මනාපය වැඩිකරගන්න, ඇමතිධූරයේ කුට්ටිය වැඩිකරගන්න, ආගමික හැඟීම් අවුස්සන්න කටයුතු කරනවා. මේ අය තමයි මීතොටමුල්ලේ එදා සිදුවූ මරණවලට වගකිවයුතු දේශපාලනය. මේ දේශපාලනය අපි ඉදිරියට ගෙන ගියොත් අපේ දරුවන්ට මේ රට ඉතිරි වෙන්නේ නැහැ. දැනටමත් මෙරටින් ලක්ෂ 30 ක් පිටරටට ගිහින් ඉවරයි. ඉතිරි දැන උගත් පිරිසත් මේ රටින් ගිහින් මේ රට රස්තියාදු කාරයින්ට, වනචරයින්ට, මංකොල්ලකාරයින්ට හුරු තැනක් බවට පත්වෙනවා. මෙය අපි වෙනස් කළ යුතුයි. මෙය වෙනස් කර ගැනීම සඳහා පටු දේශපාලනවලට, පටු විරෝධතාවලට නෙමෙයි රටේ ජාතික අවශ්‍යතාවය මත පදනම් වෙලා අපි කටයුතු කළ යුතුයි.

ඒ වගේම මහජනතාවත්, දේශපාලකයොත් මේ ගැටලු පිළිබඳව විනය ගරුකව කටයුතු කළ යුතුයි. එහෙම නැතිව මේ මාධ්‍ය නිදහස, අනෙකුත් කාරණා මත පදනම් වෙලා අසත්‍ය ප්‍රචාර, මඩ ප්‍රචාර, ඒ වගේම වෙනත් ආකාරයේ ක්‍රියාදාම මගින් මේ රටේ අලුත් මත ඇතිකරන්න හැකියාවක් නැහැ. ඒනිසා ඉදිරි කාලයේදී අපි මේ දේශපාලනයේ තිබෙන මේ වෙනස අපි වෙනස් කර අලුත් දේශපාලන රටාවකින් මේ රට අපි හැමෝටම ඉන්න හිතෙන රටක් හැටියට, අපි හැමෝගෙම දරුවන්ට ගැලපෙන රටක් බවට පරිවර්තනය කර ගත යුතුයි. එතනදී මේ මහනුවර ඓතිහාසික නගරයක් වනවා වගේම අපගේ පුරාණ රාජධානිය තිබෙන, ශ්‍රී දළඳා වහන්සේ වැඩසිටින නගරය පමණක් නෙමෙයි සංචාරකමය අතින් ජීවත් වෙන්න හොඳම නගරයක් හැටියට තිබූ නගරයක් තමයි අද මේ මාර්ග තදබදයත්, නොයෙකුත් ප්‍රශ්නත් මත මේ හිරවී තිබෙන්නේ. ඒ නගරය නැවතත් විධිමත්ව ගොඩනගා ගන්න මේ ලැබෙන දැවැන්ත ආයෝජන යත් සමග ඊ ළඟ ආයෝජනය එනවා. එම ආයෝජනය ජපන් ආධාර මත එන එකක්. කටුගස්තොටට වාණිජ නගරය ගෙනයන්න, තෙල්දෙණිය නගරයට පරිපාලන නගරය ගෙනයන්න, පේරාදෙණිය ප්‍රදේශය අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානය කරන මහනගර සැලැස්මක් අපි ඇතිකර තිබෙනවා ඉදිරි කාලයේදී මහනුවර ක්‍රියාත්මක කිරීම සඳහා. එම කටයුතුවලින් මේ නගරය මේ කලාපයේ, මෙන්ම රටේ වැදගත්ම නගරයක් බවට පරිවර්ථනය කරන්න කටයුතු කරන බවත් ඒ සඳහා පක්ෂ පාට දේශපාලන භේදයෙන් තොරව සහයෝගය ලබාදෙන ලෙසත් ඉල්ලා සිටිනවා යැයි පැවසීය.

Recommended For You

About the Author: Editor