පළාත් සභා ඡන්දය අගෝස්තුවේ ? අගමැතිගෙන් මහින්ද දේශප්‍රියට සහතිකයක්

පළාත් සභා ඡන්දය ලබන අගෝස්තු මස පැවැත්වීමට බලාපොරොත්තු වන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාට දැනුම් දී ඇතැයි මැතිවරණ කොමිසමේ ආරංචි මාර්ග සඳහන් කරයි.

කඩිනමින් පළාත් සභා මැතිවරණ පවත්වන මෙන් ඉල්ලා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් පසුගිය දා අගමැති රනිල් වික්‍රමසිංහට මහතාට සහ කතානායක කරු ජයසූරිය මහතාට ලිඛිත දැනුම් දීමක් කර ඇති අතර ඊට ප්‍රතිචාර වශයෙන් අගමැතිවරයා ඉහත සඳහන් පිළිතුර ලබාදී ඇතැයි ද වාර්තා වේ.

මේ අතර අධිකරණ ආරංචි මාර්ග සඳහන් කරන්නේ පළාත් සභා මැතිවරණය දිගින් දිගටම කල් යාම හේතුවෙන් තම මූලික අයිතිවාසිකම් කඩ වී ඇතැයි කියමින් උතුරු මැද සහ සබරගමුව හිටපු මහ ඇමැතිවරුන් සහ “සත්‍ය ගවේෂකයෝ ” නම් සංවිධානය විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය ද අවුරුදු නිවාඩුවෙන් පසු ශ්‍රේෂ්ඨාධිකරණයේ කටයුතු ආරම්භ වූ වහාම ආරම්භ වීමට නියමිත බව යි. එහිදී බොහෝ විට පෙත්සම්කරුවන්ට වාසිදායක තීන්දුවක් ලැබෙන ඇතැයි අපේක්ෂා කෙරේ. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පෙත්සම්කරුන්ට වාසිදායක තීන්දුවක් ලබා දුනහොත් එය ආණ්ඩුවට ඍණාත්මක බලපෑමක් කරන හෙයින් ඊට පෙර කඩිනමින් පළාත් සභා ඡන්දය පැවැත්වීම ආණ්ඩුවේ සැලසුම වී තිබේ.

මේ වන විට පළාත් සභා ගණනාවක නිල කාලය අවසන් වී ඇති අතර දකුණු පළාත් සභාවේ නිල කාලය අප්‍රේල් මස 10 වැනිදාත්, බස්නාහිර පළාත් සභාවේ නිල කාලය අප්‍රේල් මස 20 වැනිදාත් අවසන් වීමට නියමිත අතර ඌව පළාත් සභාවේ නිල කාලය ඔක්තෝබර් මස අවසන් වීමට නියමිතය. මේ තත්ත්වය තුළ සියලුම පළාත් සභාවල නිල කාලය අවසන්වීම හේතුවෙන් ඇති වන සංකීර්ණ පරිපාලන ගැටලු ද කඩිනමින් පළාත් සභා ඡන්දය පැවැත්වීම කෙරෙහි දැඩි බලපෑමක් කරනු ඇතැයි විශ්වාස කළ හැකි ය.

“පළාත් සභා මැතිවරණ දිගින් දිගට ම කල් යාම සඳහා බලපා තිබෙන සීමා නිර්ණය සම්බන්ධ ගැටලු විසඳා ගැනීමට නොහැකි තත්ත්වය තුළ කඩිනමින් ගත හැකි එකම විසඳුම පැරණි ක්‍රමයට පළාත් සභා මැතිවරණය පැවැත්වීමයි. ඒ සඳහා අදාළ පනත සංශෝධනය කර ගැනීම සඳහා ආණ්ඩුවට වුවමනාවක් තිබේ නම් මැයි මාසය ප්‍රමාණවත්. ඒ සඳහා ඒකාබද්ධ විපක්ෂයේ පූර්ණ සහාය පහසුවෙන් ම ලබාගත හැකියි. ඒ අනුව ජූනි වන විට නීතිමය ගැටලු විසඳා ගැනීමට හැකියාව තිබෙනවා. මැතිවරණ කොමිසමේ සූදානම හා කාර්යක්ෂමතාව අනුව මාස දෙකක් වැනි කාලයකින් ඉතාම පහසුවෙන් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට මේ අනුව හැකියාව තිබෙනවා. ඒ නිසා අගමැතිවරයා මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට ලබා දී ඇති පොරොන්දුව ඒ ආකාරයෙන්ම ඉටුකර ගැනීමේ හැකියාවක් තිබෙනවා” යැයි මැතිවරණ නිරීක්ෂණයේ යෙදෙන ප්‍රධාන ආයතනයක උසස් නිලධාරියෙක් සඳහන් කළේය.

ඡන්දය කල් යාමේ වගකීම අගමැතිට

මේ අතර පළාත් සභා ඡන්දය පැවැත්වවීම ප්‍රමාද වීම කෙරෙහි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඍජුව වගකිව යුතු යැයි මේ සම්බන්ධයෙන් ‘ලංකා ඊ ප්‍රේස්’ කළ විමසීමකට පිළිතුරු දෙමින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු ම චෝදනා කළහ.

“පළාත් සභා ඡන්දය පැවැත්වීම ප්‍රමාද වීමේ වගකීම සම්පූර්ණයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ භාරගත යුතුයි. මොකද මේ අවුල සම්පූර්ණයෙන් නිර්මාණය කළේ වත්මන් ආණ්ඩුව. පළාත් සභා මැතිවරණය කොට්ඨාශ ක්‍රමයට පැවැත්වීමට අදාළ සීමා නිර්ණය පිළිබඳ සංශෝධන පාර්ලිමේන්තුවේ සම්මත කර ගන්න බැරි වුණා. ඊට පසුව ඒ පිළිබඳ සොයා බැලීම සඳහා අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් 2018 අගෝස්තු මාසයේදී කමිටුවක් පත් කළා. මේ කමිටුව එක් දිනක් හෝ රැස්වී නැහැ. ඒ නිසා එමගින් ලබාදිය යුතු වාර්තාවත් නැහැ. මේක අගමැතිගේ ප්‍රධානත්වයෙන් පත් කළ යුතු කමිටුවක් නිසා එහි කටයුතු ප්‍රමාද වීමේ වගකීමත් අගමැතිවරයා ඍජුව භාරගත යුතු” ඔවුහු සඳහන් කළහ.

මේ අතර පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සාමාජිකයින්ගේ විශේෂ රැස්වීමක් අප්‍රේල් මස 11 වැනිදා පැවැත්වීමට නියමිතව ඇතැයි මැතිවරණ කොමිසමේ ආරංචි මාර්ග සඳහන් කරයි.

සටහන – රුවන් ලොකුවිතානගේ

Recommended For You

About the Author: Editor