හෙළයේ මහා ගොවි පිළිවෙත අති උත්කර්ෂවත් අයුරින් …

හෙළයේ මහා ගොවි පිළිවෙත වශයෙන් සැලකෙන 52 වැනි ජාතික අලුත් සහල් මංග්‍යය අද පෙරවරුවේදී ජනපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ සහ කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියස දී පවත්වන ලදි.

දිවයිනේ පළාත් නවය ආවරණය වන පරිදි එම ප්‍රදේශවලට ආවේණික වූ දේශීය සහල් වී වර්ග ගොවීන් වෙත බෙදාදීම ද මෙහිදී ජනපතිවරයා අතින් සිදුවිය.

ඉතිහාසය පුරාම ලක්දිව රජකළ විවිද රජවරු අනුරාධපුර විජය ශ්‍රී ජයශ්‍රී මහා බෝසමිඳුන්ට විවිධාකාරයෙන් බෝධිපූජා පවත්වා තිබේ. වර්තමානයේ දී ජයශ්‍රී මහා බෝසමිඳුන්වෙත වාර්ෂිකව පවත්වන ප්‍රධාන පූජා හෙවත් මංගල්‍ය හතරක් දැකගත හැකිය. ඒවානම් දුරුතු නානුමුර මංගල්‍ය හා කාර්තික මංගල්‍ය වේ. මෙම මංගල්‍යය අතුරින් විශේෂතැනක් ගන්නා “දුරුතුමංගල්‍යය,” “අගහස්දානය” “අලූසහල් මංගල්‍යය” හෙවත් “අලුත් සහල් මංගල්‍යය” මෙවර පැවැත්වෙන්නේ 52 වැනි වතාවට ය, මෙම පුණ්‍ය මහෝත්සවය සිදු කෙරෙන්නේ අනුරාධපුර අටමස්ථානාධිපති ශ්‍යාමෝපාලි මහානිකායේ, මල්වතු පාර්ශවයේ උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක, ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිසුමන ධම්ම රක්ඛිත සිරිනිවාස නායක ස්වාමින්ද්‍රයන් වහනසේගේ අනුශාසනා පරිදි ය.

මෙම අලුත් සහල් මංගල්‍යය පැරැණි රජ දවස සිට පැවත එන චාරිත්‍රයකි. මෙම මංගල්‍යයේ දී නියමිත නැකැත් දිනට පෙරදින ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ සමීපයේ අලුත් සහල් රැස් කරනු ලබන පිත්තල පාත්‍රාව (මහා පාත්‍රය වැලි මළුවේ පාවඩ මත, උඩුවියන් යට මහත් ගෞරවයෙන් තැන්පත් කෙරේ. සාමාන්‍ය දිනවලදී මෙම පාත්‍රා බෝධීන් වහන්සේගේ විහාර මන්දිරයේ තැන්පත් කර තිබේ. මෙම විසල් පාත්‍රාව නැත්පත් කිරීම අටමස්ථානාධිපති නා හිමියන්ගේ අවවාද අනුශාසනාමත, පෞරාණිකවත් පිළිවෙත් නොපිරිහෙලා ඉටු කෙරෙමින් බෝමළුව පරම්පරාවේ භික්ෂූන්වහන්සේලා විසින් ඉටු කෙරේ. ඒ අවස්ථාවේ දී, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට සාම්ප්‍රදායිකව රාජකාරි කරන ගදව් කුළයේ ශබ්ද පූජා පවත්වති.

මෙදින අලුයම එළඹෙන නැකැත් හෝරාවේ දී, බෝධීන් වහන්සේගේ සතර වාහල්කඩ කිරි ඉතිරවීම සිදු කෙරේ. ඒ සඳහා සැරසිලි කළ නැවුම් මුට්ටි සහ අගිල් සඳුන් වැනි සුවඳ දර වර්ග ගනු ලැබේ. ශබ්ද පූජා මැද කිරි උතුරවනු ලබන්නේ පිරුවට ඇඳගත් පුරුෂ පක්ෂයේ අය විසිනි. එසේ පිලියෙල කරගන්නා කිරි ආහාරය ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට පූජා කරති.

අලුත් සහල් මංගල්‍යයේ තවත් විශේෂත්වයක් වන්නේ ගොවි ජනතාවගේ සහභාගිත්වයෙන් ඊට පෙර දින සවස ජය ශ්‍රී මහා බෝ සමිදුන් අබියස සහ රුවන්වැලි මහා සෑ රදුන් අභියස මල් පූජාවක් හා පහන් පූජාවක් පවත්වා ගොවිජනතාවට ආශිර්වාද කිරීමේ මහා පුණ්‍යකර්මය සිදු කිරීමය. මෙදින රාත්‍රියේ ජය ශ්‍රී මහා බෝ සමිදුන් අභියස වැලි මළුවේ දී සර්ව රාත්‍රික පිරිත් දේශනයක් පැවැත්වේ.

පසු දින උදෑසන අලුත් සහල් රැගත් මහා පෙරහැර අනුරාධපුර සිංහ කණුව අභියස සිට පැවැත්වේ. පෙරවරු 09.30 ට පමණ මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායනා මධ්‍යයේ මහා පාත්‍රය අලුත් සහල් වලින් පිරවීම සිදු කෙරේ. මෙම පුණ්‍යකර්මය සිදු කෙරෙන්නේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙනි. මෙම අවස්ථාවට ඇමතිවරුන් හා සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගි වීම සම්ප්‍රදායක් වශයෙන් සිදුවේ. අලුත් සහල් මංගල්‍යයෙන් පසු දහවල් මහා සංඝරත්නය විශයෙහි මහා සංඝගත දක්ෂිණාවක් පිරිනැමීමට ද විශේෂත්වයකි.

වී ගොවිතැන් කරන ගොවීහු ගොයම්කපා පාගා ගන්නා අස්වැන්නෙන් මුල්ම කොටස බුදුන්වහන්සේ උදෙසා අප්‍රමාණ වූ සැදැහැයෙන් පූජා කරති. කන්ද උඩරට ගොවි ජනතාව ශ්‍රී දළදා වහන්සේ වෙතත්, නුවර කළාවියේ ගොවි ජනතාව අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වෙතත් මේ පූජෝපහාරය පවත්වති. නමෝ විත්තියෙන් කපා ගත් ගොයම් රන් වන් බැත සහල් කර එහි මුල්ම කොටස හෙවත් අග්‍රකොටස බුදුරදුන්ට පූජා කිරීම ඈත අතීතයේ පටන්ම අද දක්වාත් මංගල්‍යයක් ලෙසින් එකාවන්ව, එක්සත්ත්ව උත්සවශ්‍රීයෙන් සිදු කෙරේ. මෙම අලුත්සහල් මංගල්‍ය අග්‍රශෂ්‍ය මහාදානය නමින්ද හඳුන්වනු ලැබේ.

වී ගොවිතැනේ මුල සිට අගදක්වා වූ කුදු මහත් සෑම කටයුත්තක්ම බුදුන් හා දෙවියන් පෙරදැරි කරගෙන සිදු කිරීම විෂේශ ලක්ෂණයකි. කෙත, කමත, වැව, දාගැබ, මුල් කරගත් සිංහල සංස්කෘතිය තුළ බුද්ධාගම ඇසුරින් හික්මවන ලද සාම්ප්‍රදායික සද්චාරිත්‍ර රැසක් කෘෂ ජන සමාජය වටා බැඳී පවතී. උදැල්ල, නඟුල අතටගත් තැන් පටන් අටු කොටුවල වී බිස්සේ බැද ගබඩා කරන තැන දක්වා හැම කාර්යක්ම සුබ දිනවල, සුබ මුහුර්තීන්ට අනුව සිදු කිරීමත්, දෙවියන්ට භාරහාරවීමත් සාමාන්‍ය පිළිවෙතය. අවසන බුදුන් වෙනුවෙන් බුද්ධ පූජා පවත්වා දෙවියන්ට පින්පෙත් අනුමෝදන් කරනු ලැබේ.

වප්මගුල

වී ගොවිතැනට අදාළ මංගල සම්මතයක් වශයෙන් කරනු ලබන කාර්යයන් රැසකි. එහි ආරම්භක මංගල්‍යය “වප්මගුල” වේ. වප්මගුල ඉතා ඈත අතීතයට දිවෙන ප්‍රවාදයන්ගෙන් යුක්තය. කරල් කැපීමේ මංගල්‍යය තවත් විශේෂ කාර්යයකි. නමෝ විත්තියෙන් ගොයම් කැපීම සඳහා මුල පුරන්නේ අත් ගුණේ ඇති තෝරාගත් යහපත් පුද්ගලයෙකි. දෙවියන් බුදුන්ගෙන් අවසර ගෙන හොඳ සරු කරලවලින් කපා ගත් කරල් මංගල්‍යය සඳහා සුරක්ෂිතව තබාගනී. කමත සකස්කිරීමේ පටන් කොළ මඩවා අවසන් වනතුරු ඉතාමත් සැලකිල්ලෙන් සිදුකරනු ලබන චාරිත්‍ර රැසකි. මේ සියල්ල අවසානයේ පැවැත්වෙන්නේ “අලුත් සහල් මංගල්‍ය” පූජාවයි. වී ගොවිතැන සම්බන්ධ සාම්ප්‍රදායික චාරිත්‍ර මාලාවේ උච්චතම අවස්ථාව මෙයයි.

අපේ ගොවිජනතාව වී ගොවිතැනේ හැම කටයුත්තක්ම අරඹන්නේ දොහොත් එක් කොට බුදුන්ට නමස්කාර කිරීමෙන් අනතුරුවය. අවසානයේ කෙතින් ලබාගන්නා රන් අස්වනුවල අග්‍රශෂ්‍ය කොටස බුදුන්ට පූජා කරනු ලැබේ. ඉන් අනතුරුව දෙවියන්ට පින් අනුමෝදන් කරති. මේ අනුව වී ගොවිතැන එදා මෙන් ම අදත් බුදුන් හා දෙවියන් පිළිබඳ අචලවූ විශ්වාසයකින් හා භක්තියකින් සිදු කරන මංගල්‍යමයවූත්, පූජනීයවූත් කාර්යයකි. එම නිසාම වී ගොවිතැනේ දී සාම්ප්‍රදායික චාරිත්‍ර රැසක් ගොවිජන සමාජය තුළ ක්‍රියාත්මක වනු අදද දක්නට ලැබේ.

වර්තමානයේ දක්නට ලැබෙන චාරිත්‍ර දුරාතීතයේ සිට විවිධ ස්වරූපයන්ට අනුව පැවති බවට සාහිත්‍යමය මූලාශ්‍රයන්ගෙන් ලැබෙන තොරතුරු බොහෝය. වී ගොවිතැන සඳහා වැව් තනමින් අනුග්‍රහය දැක්වූ සිංහල රජ වරුන් ගැන ශිලාලේඛන ගත තොරතුරු රැසක් ඇත. “සපථ සූර්යෝද්ගමන සූත්‍ර සන්නසේ” එන “එසමයෙහි කෙත්වත් තනවා ජලය රැස්කිරීමට වේලිබැඳ වගාකොට හැල්වී බෙදා” යනුවෙන් දැක්වෙන සඳහන අනුව හැල්වී පිළිබඳ සිරිත් අනුගමනය කළ බව පෙනේ. කුරු ධම්ම ජාතකයේ කුඹුරු හඳුන්වා ඇත්තේ “කෙත්තවත්ථූ” හෙවත් කෙත්වත් යනුවෙනි. එය “ඇල්කෙත’‘ විය. වී වගාවෙන් ලබා ගන්නා ප්‍රධාන දෙය වන සහල් අපේ සාහිත්‍යය මූලාශ්‍රයන්හි “සාලි” යනුවෙන් සඳහන් කර ඇත. සද්ධාතිස්ස රජු ගොවියකු ලෙස වෙස් වළාගෙන හැල්කෙත් වැඩ කර කෙත් හිමියාගෙන් ලැබුණු සහලින් සංඝරත්නයට දානයක් දුන්බව “සිංහල වත්ථුවේ” දැක්වේ. දෙවැනි සියවසේ දී වසභ රජතුමා මාගම “හේලිගම්හි” විහාරයට දහසක් කිරිය (අමුණුෆ පූජා කළ බව මහාවංශයේ සඳහන් වේ. පස්වන සියවසේ දී ධාතුසේන රජු අමුණු දහසක් වූ කුඹුරක අස්වැන්නෙන් නොකඩවා දන්වැට පැවැත්වු බවත්, හයවන සියවසේ දී මහානාග රජු කෙත්දහසක් පූජාකොට මහාවිහාර භික්ෂූන්ට කැඳ පූජා කළ බවත්, පළමුවන අග්බෝ රජු විසින් කෙත්වතු කරවා ඒවායේ අස්වනු ලබාගෙන කුරුන්දි විහාරයට පූජා කළ බව මහා වංශයේ සඳහන් වේ. පස්වන සියවසේ දී ධාතුසේන රජු අමුණු දහසක් වූ කුඹුරක අස්වැන්නෙන් නොකඩවා දන්වැට පැවැත්වූ බවත්, හයවන සියවසේ දී මහානාග රජු කෙත් දහසක් පූජාකොට මහාවිහාර භික්ෂූන්හට කැඳ පූජා කළබවත්, පළමුවන අග්බෝ රජු විසින් කෙත්වතු කරවා ඒවායේ අස්වනු ලබාගෙන කුරුන්දි විහාරයට පූජා කළබව මහාවංශයේ සඳහන් වේ. කුඹුරු හා කුඹුරුවලින් ලබාගත් අස්වනු ත්‍රිවිධ රත්නයට පූජා කිරීම සඳහා රාජ්‍ය අනුග්‍රහය ලද බවට ඓතිහාසික සාක්ෂි ඇති අවස්ථා කීපයකි.

දඹදෙනි යුගයට අයත් සද්ධර්ම රත්නාවලිය තුළින් එහි කතුවර හිමියන් කෙත, කමත, ගම, ගොවි ජීවිතය පිළිබඳව ගෙනහැර පාන තොරතුරු සමුදාය සිත් ඇදගන්නා සූළුය. එහි එන “අගසව්වත” කතා වස්තුව තුලින් අලුත්සහල් මංගල්‍යය පිළිබඳ තොරතුරු රැසක් හෙලිවේ. විපස්සී බුදුන් කළ මහාකාල හා චූලකාල දෙබෑයන් අල්කෙත්වපුරා ලද මුල් අස්වනු බුදුපාමොක් මහ සඟනට උපහාරයෙන් පූජාකළ බව එමගින් විස්තර වේ. වර්තමාන අලුත්සහල් මංගල්‍යයයේ උපත ඉහත කී බුදු සිරිතෙන් උපන් පූජා මංගල්‍යයක් බව තහවුරු වේ.

දේවාශිර්වාදය

වී ගොවිතැන සඳහා අවශ්‍ය වන වැස්ස ස්වභාව ධර්මයේ ආශිර්වාදය මත රඳා පවතින්නක් බව ගොවීහු විශ්වාස කරති. ස්වභාව ධර්මය දේවත්වයට පත්වූයේද ඒ නිසාමය. මහවැව් තැනීමටත්, තනවූ වැව් ආරක්ෂා කිරීමටත්, නඩත්තු කර ගැනීමටත්, දේව බැල්ම අවශ්‍යය. නිසිකළට වැසි ලැබ වපුල බීජවලින් ගොයම පීදී අස්වනු රැකෙන්නේ දේව ආශිර්වාදයෙනි. දෙවියන්ට භාරහාර වී ගොවිතැනට බසින්නේ ඒ නිසාය.

තෙරුවන් මුල්කරගත් යහපත් වූ මේ ජීවනෝපාය ක්‍රමයේදී ගොවිජනතාව දෙවියන් පිළිබඳ විශ්වාස අත්හරින්නේ නැත. බුද්ධරත්නය පෙරටු කරගෙන පළාත් හා ප්‍රදේශ අනුව වෙන්කොට හඳුනා ගන්නා දෙවියන්ට පූජා වපත්වනු ලැබේ. සෙංකඩගල මහනුවර ප්‍රදේශයේ අලුත්සහල් මංගල්‍යය දළදා හාමුදුරුවන් ප්‍රමුඛත්වයෙහි ලා ඊට සම්බන්ධිත නාථ දේවාලය ඇතුළු දේවාල අභියස දී උත්සවාකාරයෙන් පැවැත්වේ. අනුරාධපුර උඩමළුවේ ශ්‍රී මහා බෝධියේ අලුත්සහල් මංගල්‍යය පවත්වන නුවර කළාවියේ ගොවියෝ “කලුදේවතාවුන් වහන්සේට” කන්නලව් කර පින් පෙත් දීමට අමතක නොකරති.

වන්නිකරයේ ගොවිජනතාවට පුල්ලෙයාර් හෙවත් අයියනායක දෙවියන්ට කිරි ආහාර පූජා කරන්නේ අලුත් බත් කෑමට පෙරය. දඹුල්ල හා දෙවිනුවර ප්‍රදේශවල ගොවිජනතාව විශ්ණු දේවාලය පෙරටුකොටගෙනත්, සබරගමු ප්‍රදේශයේ ජනතාව සමන් දේවාලය පෙරටු කොට ගෙනත් අලුත්සහල් මංගල්‍යයේ දේව පූජා පවත්වති. මේ අනුව විශ්ණු, සමන්, දැඩිමුණ්ඩ, අයියනායක වීරමුණ්ඩ, ගලේබණ්ඩාර, රජ්ජුබණ්ඩාර දෙවිවරුන් ඒඒ ප්‍රදේශ අනුව ගොවිජනතාවගේ අලුත්සහල් මංගල්‍යයේ පිඳුම් ලබති. අඩුක්කු සන්කාරිය, කිරිඉතිරුම් මංගල්‍යය, මුට්ටි මංගල්‍යය ආදී විවිධ නම්වලින් අලුත්සහල් මංගල්‍යයේ අවස්ථාවන් හැඳින්වෙන අතර, සාම්ප්‍රදායික චාරිත්‍ර වාරිත්‍රවලට මුල්තැන දෙමින් මෙම උපහාර පූජාවන් පවත්වාගෙන යනු ලැබේ.

දකුණු පලාතේ අදත් පාවර කරන්නේ (වී මැනීමෆ පළමු කුරුණිය බුදුන්ට මැන වෙන් කිරීමෙනි. දෙවැනි කුරුණිය දෙවියන් වෙනුවෙනි. බුදුන් වෙනුවෙන් මැන වෙන් කළ කුරුණි “මුල්යාය” නමින් හැඳින්වේ. ඉන්පසු ගොවි ගෙදරට ගෙනෙන අලුත් වී අලුත්බත් උයා බුද්ධපූජාවට වෙන් කෙරේ. දෙවියන් සඳහා වෙන් කළ කොටස ආසන්න දේවාලයට ගොස් පූජා කිරීම හෝ දේව පෙරහැර මංගල්‍යය වෙනුවෙන් අලුත් සහල් එකතු කරන්නට දේව ගැතියා ට පඬුරුත් සමග පූජා කරනු ලැබේ.

ඌව හා දකුණු පළාත්වල ගොවිජනතාව කිරිවෙහෙර අභියස අළුත් දානය පිළිගන්වා කතරගම දෙවියන් අභියස පින් පෙත් දීම සිරිත කරගෙන ඇත. ගොයම් කපා පාගා ගැනීමෙන් පසු එකී ධාන්‍ය ආහාරයට ගැනීමට පෙර පත්තිනි මෑණියන් උදෙසා කිරිබත් දානය දීම මෙම සහල් මංගල්‍යයේම තවත් අවස්ථාවකි. ගොවිගෙදරට වැඩම කළ කිරි අම්මලා වෙනුවෙන් පිරිසිදුව හා ඉතා සැලකිල්ලෙන් සකස් කන ලද කිරි ආහාර පූජා කර සියලු භාර හාරවලින් මිදී පින්පෙත් අනුමෝදන් කිරීමත්, ගොවිතැන බතබුලතේ මෙන්ම නිවසේ සියලු දෙනාටම පත්තිනි දේව මෑණියන්ගේ ශාන්ති ආශිර්වාදය ලබාදීමට කිරි අම්මාවරු යාතිකා කිරීමෙන් මෙම චාරිත්‍රය සිදු කෙරේ.

සටහන – රුවන් ලොකුවිතානගේ

Recommended For You

About the Author: Editor