ඉහළ වී අස්වැන්නේ ප්‍රතිලාභ පාරිභෝගිකයාට ලැබීම සහ දේශීය අතිරේක ආහාර භෝග වගාව රැකගැනීමට නම්…

එළඹන උත්සව සමයත් සමග මෙරට ජනතාවගේ ප්‍රධානතම ආහාර භෝගය වන සහල් නිෂ්පාදනය වී වගා බිම් ප්‍රමාණය වෙළෙඳපොළ මිල හැසිරීම සහ අතිරික්ත සහල් නිෂ්පාදනයක් ඇතිවන්නේ නම් මෙම යල කන්නය තුළ ගොවියා කෙසේ හැසිරිය යුතු සහ සඳහා ආනයන බදු හරහා රැකවරණයක් ඇතිද යන්න පිළිබඳ ප්‍රවීණ කෘෂි අර්ථික විශ්ලේෂක සහ ජීවන වියදම් කමිටු සාමාජික ඩබ්.එච්.දුමින්ද ප්‍රියදර්ශන මහතා සමග කළ සාකච්චාවකි.”

දේශීය සහල් අවශ්‍යතාවයෙන් මාස දහයකට පමණ ආසන්න කාලයකට ප්‍රමාණවත් සහල් මෙවර 2018/19 මාස් කන්නයෙන් ලැබෙන බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරිමේ ආයතනයේ අලෙවි ආහාර ප්‍රතිපත්ති හා කෘෂි ව්‍යාපාර අංශයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ නිලධාරී  දුමින්ද ප්‍රියදර්ශන මහතා පෙන්වා දෙයි. ඒ අනුව ඉදිරි උත්සව සමයට ප්‍රථම දැනට පවතින සහල් මිල තව දුරටත් පහළ යනු ඇතැයි  දුමින්ද ප්‍රියදර්ශන මහතා පෙන්වා දෙයි. විශේෂයෙන් මෙරට මහා පරිමාණ සහල් මෝල් හිමියන් සමග ජීවන වියදම් කමිටු සභාපති සහ කෘෂිකර්ම ග්‍රාමිය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත්  සංවර්ධන අමාත්‍ය පී හැරිසන් මහතා සහ අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා විසින් සිදු කරන ලද සාකච්ජාවක ප්‍රතිඵයක් ලෙස මෙසේ සහල් මිල පහළ දැමීමට එකග වූ බව ද ඒ මහතා අවධාරණය කරයි.

මෙම තීරණය දුමින්ද ප්‍රියදර්ශන මහතා ඉතා සුභවාදි ලෙස සහ වෙළෙඳපොළ ආර්ථිකය තුළ හොද තීරණයක් ලෙස දකින බව පෙන්වා දෙන අතර මිල ගණන් තිරණය කිරීමේදී නිතියක් ලෙස නොව එය රීතියක් ලෙස වෙළෙඳපොළ තුළ ඉල්ලුම් සැපයුම් බලවේග තුළින් කියාත්මක වීම ප්‍රායෝගිකව සාර්ථක වන බවත් පෙන්වා දෙයි. එනම් පසුගිය කාල සීමාවන් තුළ වෙළෙඳපොළ තුළ සහල් වැනි ද්‍රව්‍යයන් සඳහා යොදන ලද පාලන මිලයන් සාර්ථක නොවූ බවත් ඒය රාජ්‍ය සහ පෞද්ගලික අංශය ඒකාබද්ධව අවබෝධයෙන් සිදුකරන්නේ නම් පමණක් සාර්ථක වන බව ඔහු පෙන්වා දෙයි.

විශේෂයෙන් වී මිලදී ගැනීම මෙන්ම සහල් නිෂ්පාදනය තුළ මෙරට විශාලතම කොටසකට හිමිකම් කියන මහා පරිමාණ මෝල් හිමියන් වර්තමානයේදී සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කරන බවත් එහි ප්‍රතිඵලයක් ලෙස අද තිබෙන මහා පරිමාණ මෝල් හිමියන් රැසක් තරගකාරීව වී මිල දී ගැනීම තුළ වී මිලෙහි ඉහළ යාමකුත් සහ තාක්ෂණයෙන් ඉහළම තත්වයේ මහා පරිමාණ මෝල් බිහිවී තිබීමත් සමග තත්වයෙන් ඉහළම සහල් වෙළෙඳපොළට ලැබීමත් සිදුවන බව ඔහු පෙන්වා දෙයි.  ඒ අනුව වසර පුරා සහල් නිෂ්පාදනය කිරීමට ඔවුනට අවශ්‍ය වී තොග අස්වනු සමය තුළ තරගකාරී ලෙස මිල දී ගනු ලබන බව ද විවිධ වෙළඳපොළ නාමයන් යටතේ ගල් වැලි,කළු ඇට කැඩුණු සහල් වලින් තොර තත්වයෙන් හොදම සහල් තරගකාරී මිල ගණන් යටතේ වෙළෙඳපොළට ලැබෙන බවත් මෙම කාර්යයන් රජයකට කිසිසේත්ම සිදුකළ නොහැකි බවත් ඔහු පෙන්වා දෙයි.  මෙම තත්වය තුළ අද වනවිට තත්වයෙන් පහළ ඉහත සඳහන් කළ අපද්‍රව්‍ය සහිත සහල් සඳහා වෙළෙඳපොළක් නොමැත.  ඒ නිසා රටතුළ තව තවත් මහාපරිමාණ මෝල් හිමියන් ඇති කිරීමට අවශ්‍ය පරිසරය රජය නිරිමාණය කළයුතු බව ද ඒ තුළ ඇතිවන තරගකාරී පරිසරය ගොවීන්ට මෙන්ම පාරිභෝගිකයින්ට ද හොද තත්වයක්වන බව දුමින්ද ප්‍රියදර්ශන මහතා පෙන්වා දෙයි.

ඒ අනුව මෙවර මහ කන්නයෙන්  ලැබෙමින් පවතින  ඉහළ සැපයුමත් සමග ඉදිරි සති කිහිපය තුළ දැනට පවතින සහල් මිල තව දුරටත් පහළ යාමක් සිදුවන බව සඳහන් කරන අතර දැනට ද පෙර වසරට සාපේක්ෂව නාඩු සහ සම්බා සහල් තොග සහ සිල්ලර මිල ගණන් 10-20% අතර අගයකින් පහළ ගොස් ඇති බවත් ඔහු පෙන්වා දෙයි. විශේෂයෙන් අනෙකුත් භාණ්ඩ හා සේවාවන් වල මිල මට්ටම් ඉහළ යාමට සාපේක්ෂව සහල් මිල ගණන්හි එතරම් සැලකිය යුතු මිල ඉහළයාමක් දක්නට නොමැති බවද ඔහු සඳහන් කරයි.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ භෝග පුරෝකථන වාර්තාවන්ට අනුව 2018/19 මාස් කන්නයේ දී  වී මෙට්‍රික් ටොන් ලක්ෂ 30ක ට අධික අස්වැන්නක් අපේක්ෂා කරන  බවත් ඒ අනුව සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 19ක් පමණ ලැබිය හැකි බවත් පෙබරවාරි මාසයේ සිට ඉදිරියට මාස දහයක් සදහා සහල් ප්‍රමාණවත් බව ද ප්‍රියදර්ශන මහතා පැවසීය.

ඉදිරි යල කන්නයේදී ද හෙක්ටයාර ලක්ෂ 04ක පමණ වී වගාකිරීමට අපේක්ෂික අතර එහි අස්වැන්න මාස 04-05ක් සදහා ප්‍රමාණවත් වන අතර එහි ප්‍රතිඵලයක් ලෙස සහල් අතිරික්තයක් රට තුළ ඇති වියහැකි බවත් ඒ තුළ රට සහලින් ස්වයන්පෝෂිත වන බවත්  පැවසීය. ඒක පුද්ගල වාර්ෂික සහල් පරිභෝජනය කිලෝ ග්‍රෑම් 110ක් පමණ වන අතර මාසික සහල් අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකකි. ඒ අනුව වාර්ෂික අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් ලක්ෂ 24ක් පමණ වන බව ද දුමින්ද ප්‍රියදර්ශන මහතා පැවසීය.

2018/19 මාස් කන්නයේ සහ 2019 යල කන්නයේ වී වගාවෙන් අපේක්ෂිත සහල් ප්‍රමාණයත් සමග මාස දෙකක් සදහා වන මෙට්‍රික් ටොන් ලක්ෂ 4 පමණ අතිරික්තයක් ඇති විය හැකි බව ද ඒ මහතා අනුමාන කරයි. දේශීය සහල් අවශ්‍යතාවය සදහා වී වගාව කළ යුතු බවත් මාස් කන්නයේදී සාර්ථක අස්වැන්නක් ලැබෙන්නේ නම් පමණක් මෙරටට ආනයනය කෙරෙන අතිරේක ආහාර භෝග වගාවට ගොවීන් යල කන්නය තුළ විශේෂයෙන් උනන්දු කළ යුතු බව ද ඒ මහතා අවධාරණය කරයි.

අතිරික්ත අස්වැන්න අවම කර ගැනීම සහ අතිරේක ආහාර භෝග නිෂ්පාදනය ඉහළ නැංවීම..

උදු,බඩඉරිගු, රටකජු, කව්පි, මිරිස්, සෝයා බෝංචි ඇතුළු ආනයනය කෙරෙන දේශීය වගා කළ හැකි වෙළපොළේ ඉහළ ඉල්ලුමක් ඇති ආර්ථික වශයෙන් වාසිදායී අඩු ජල සැපයුමකින් වගා කළ හැකි භෝග වගාව සැලැස්මක් යටතේ යල කන්නයේ සිදු කිරීමට කටයුතු කළයුතු බවත් ඒ තුළ විශාල ආනයන වියදමක් රටතුළ ඉතිරි කරගත හැකි බවත් ඒ මහතා අවධාරණය කරයි. දේශිය ඉල්ලුම සඳහා ප්‍රමාණවත් සැපයුමක් නොමැති මෙරට වගා කළ හැකි මෙම අතිරේක ආහාර භෝග සඳහා ගොවීන් දිරිමත් කළයුතු බවත් ආනයනික ආහාර පාලනය සඳහා දේශීය වගාවන් ඉහළ දැමිය යුතු බවත් එමගින් පිට රටට ඇදී යන විශාල මුදලක් රට තුළ ඉතිරි කරගත හැකි බව ද ඒ මහතා විශේෂයෙන් අවධාරණය කරයි.  

ලෝක වෙළෙඳපොළතුළ දිනෙන් දින ඉහළ යමින් පවතින මිල ගණන් හමුවේ අපට ඇති එකම සහ හොදම විකල්ප ක්‍රියාමාර්ගය වනුයේ දේශීය වගාව ශක්තිමත් කිරිම බවත් අද වන විට ලෝක වෙළෙඳපොලේ සහල් මිල සහ ඩොලරයට ගෙවිය යුතු රුපියල් ප්‍රමාණය කෙතරම් ඉහළ ගියත් අපට ඉන් කිසිම බලපෑමක් සහල් වෙළෙඳපොළට ඇති වී නොමැත් බවත් ඒ සඳහා ප්‍රධානතම හේතුව දේශීය ව අවශ්‍ය සියලු සහල් අප නිෂ්පාදනය කරගැනීම නිසා බවත් හෙතෙම පෙන්වා දෙයි.

විශේෂයෙන් වියලි කලාපයට ආවේණික උදු,බඩඉරිගු, රටකජු, කව්පි, මිරිස්, සෝයා වැනි ප්‍රධාන අතිරේක ආහාර භෝග නිෂ්පාදනය දිරිමත් කිරීම ඉතාමත්ම අත්‍යව්‍ය බවත් මෙම ආහාර වර්ග සඳහා ජීවන වියදම් කමිටුව තුළ විශේෂ අවධානය යොමු වී ඇති බවත් දේශීය ගොවියා ආරක්ෂා කරගනිමින් නිෂ්පාදනය ඉහළ දැමීම හරහා ඔවුන්ට ඉහළ මිලක් ලබා දීම වෙනුවෙන් දැනට සිටින සහ පසුගිය වසරේ සිටි කෘෂිකර්ම අමාත්‍යවරුන්ගේ ඍජු මැදිහත්වීම මත විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනවා ඇති බවත් ඒ මහතා විශේෂයෙන් අවධාරණය කරයි. පක්ෂ දේශපාලනයෙන් තොරව එසේ මෙරට දේශීය නිෂ්පාදනය ඉහළ නැංවීම ජාතික කාර්යභාරයක් ලෙස ඔවුන් හඳුනාගෙන කටයුතු කිරීම  ඉතා අගයකළයුතු බවත් ඔවුන් නිරන්තරයෙන්ම රටේ දේශීය නිෂ්පාදනය ඉහළ නැංවීමේ කාර්යය සඳහා විවිධ කෙටිකාලීන සහ දිගුකාලීන වැඩ සටහන් යෝජනා ක්‍රියාත්මක කොට ඇති බවත් ඔහු පෙන්වා දෙයි.

විශේෂයෙන් දේශීයව වගා කෙරෙන මෙම උදු, බඩඉරිගු, රටකජු, කව්පි, ආහාර වර්ග සඳහා දැනට පනවා ඇති බදු මුදල් මෙම වසර තුළ කිසිසේත්ම පහළ දැමීමක් සිදුනොකිරීමට අපේක්ෂා කරන බවත් ඒ පිළිබඳ ව පෙර වසරේ දී ද දැනුම් දී තිබු බවත් දුමින්ද ප්‍රියදර්ශන මහතා පැවසීය. විශේෂයෙන් කෘෂිකර්ම අමාත්‍යවරයාගේ සහ වත්මන් කෘෂිකර්ම ලේකම්වරයාගේ ඍජු මැදිහත්වීම මත රජය ජීවන වියදම් කමිටුව හරහා උදු සහ බඩඉරිගු ගොවියා වෙනුවෙන්  මෙම වසර තුළ ගනු ලැබූ තීරණ ඉතාමත්ම ප්‍රතිඵලදායක වී ඇති බවත් ඒ හේතුවෙන් මෙම ගොවීන් සඳහා මෙම වසර තුළ හොඳ මිලක් ගැනිමට හැකිව තිබෙන බව ඔහු පෙන්වා දෙයි. ඉදිරියේ දී ද මෙම බදු පහළ දැමිමට කිසිසේත්ම කටයුතු නොකරන බවත් ජීවන වියදම් කමිටු සාමාජිකයෙක් ලෙස සහ ක්ෂේත්‍රය පිලිබඳ නිරන්තර අධ්‍යයනයන්හි නියැලෙණ ජාතික මට්ටමේ පර්යේෂණ ආයතනයක වෘත්තීමය පර්යේෂකයෙකු ලෙස ඒ සඳහා තමන්ට මෙන්ම තම ආයතනයට  ද විශේෂ වගකීමක් පැවරී ඇති බවත් දුමින්ද ප්‍රියදර්ශන මහතා පෙන්වා දෙයි. මන්ද පෙර වසර ආනයනික බදු පහළ අගයක පැවතිමත් සමග පෞද්ගලික අංශය විසින් සිදුකළ ඉහළ ආනයනයත් සමග දේශීය  උදු ගොවියා විශාල අලෙවි ගැටලුවකට මුහුණ දුන් බවත් මෙම වසර තුළ එවැන්නක් කිසිසේත්ම සිදු නොවීමට ජිවන වියදම් කමිටුව තුළ කටයුතු කරන බවත් ඔහු පෙන්වා දෙයි.

Recommended For You

About the Author: Editor