තිලංග ගැන අවසන් තීරණයක් ගන්න හරීන් නීතිපතිගේ මතය විමසයි

ක‍්‍රිකට් පාලක මණ්ඩලයේ හිටපු සභාපතිවරයෙකු වන තිලංග සුමතිපාල මහතාට වත්මන් ක‍්‍රිකට් විධායක කමිටුව නියෝජනය කළ හැකි දැයි ක‍්‍රීඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු මහතා විසින් නීතිපතිවරයාගේ මතය විමසා ඇතැයි ක‍්‍රීඩා අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.


තිලංග සුමතිපාල මහතාට වත්මන් ක‍්‍රිකට් විධායක කමිටුව නියෝජනය කළ නොහැකි යැයි සඳහන් කරමින් ක‍්‍රීඩා සංගම් තුනක් විසින් පසුගිය දා ක‍්‍රීඩා ඇමැතිවරයාට ඉදිරිපත් කර තිබූ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව ක‍්‍රීඩා ඇමැතිවරයා විසින් මෙම තීරණය ගෙන ඇත.

අදාළ ක‍්‍රීඩා සංගම් තුන් තම පෙත්සම්වලින් පෙන්වා දී ඇත්තේ හිටපු සභාපතිවරයා ඍජුව සහ වක‍්‍රව බුකි සහ ඔට්ටු ඇල්ලීමේ ව්‍යාපාරවලට සම්බන්ධතාවක් දක්වන හෙයින් ඔහුට වත්මන් ක‍්‍රිකට් විධායක කමිටුව පවා නියෝජනය කළ නොහැකි බවත්, එනිසා ඔහු ක‍්‍රිකට් ආයතනයේ දරන තනතුරුවලින් සහ වත්මන් ක‍්‍රිකට් විධායක කමිටුවෙන් ඉවත් කළ යුතු බවයි.

ක‍්‍රිඩා සංගම් විසින් ඉදිරිපත් කර ඇති චෝදනාවලට පිළිතුරු දෙමින් තිලංග සුමතිපාල මහතා පසුගිය පාර්ලිමේන්තුවේදී කියා සිටියේ තම පියාට බුකි සහ ඔට්ටු ඇල්ලීමේ ව්‍යාපාර තිබූ බවත් එකී ව්‍යාපාර මේ වන විට පාලනය කරන්නේ තම සහෝදරයා බවත් ය. ඒ අනුව තමා මේ වන විට කිසිදු ආකාරයකින් බුකි සහ ඔට්ටු ඇල්ලීමේ ව්‍යාපාරවලට සම්බන්ධ නැති බව ද සුමතිපාල මහතා අවධාරණය කළේය.

මේ සම්බන්ධයෙන් වන නීතිපතිවරයාගේ මතය තවත් සති දෙකකින් පමණ ක‍්‍රීඩා ඇමැතිවරයාට ලබා දෙනු ඇතැයි විශ්වස කෙරේ.

Recommended For You

About the Author: Editor