පළාත් ඡන්ද නීතිය අවුල්, ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන්න – මැතිවරණ කොමිසම ජනපතිගෙන් ඉල්ලයි

සීමා නිර්ණය වාර්තාව ගැසට් පත‍්‍රයේ මුද්‍රණය කර නීතියක් බවට පත්ව නැති තත්ත්වයක් තුළ ඉදිරි පළාත් සභා මැතිවරණය පැවැත්වීම පිළිබඳ ගැටලු මතු වී ඇතැයි ද එම ගැටලු විසඳා ගැනීම සඳහා ජනපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසිය යුතු යැයි ද මැතිවරණ කොමිසම ජනපතිවරයාට ලිපියක් මගින් දැනුම් දී ඇතැයි වාර්තා වේ.

මැතිවරණ කොමිසම එම ලිපිය මගින් වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ, ඉදිරි පළාත් සභා මැතිවරණය පැවැත්විය යුත්තේ 1988 අංක 02 දරන පැරණි පනත යටතේ මනාප ක‍්‍රමයට ද, නැති නම් 2017 අංක 17 දරන සංශෝධිත පනත යටතේ මිශ‍්‍ර ක‍්‍රමයට දැයි ජනපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක් ලබාගත යුතු බව යි.

මේ අතර ලබන අගෝස්තු මාසය වන විට පළාත් සභා මැතිවරණය පැවැත්වීමට පියවර ගන්නා බවට අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පසුගිය දා මැතිවරණ කොමිසමට පොරොන්දුවක් ලබා දී ඇතැයි වාර්තා විය.

ඒ සමග පළාත් සභා මැතිවරණය දිගින් දිගට ම කල් යාම පිළිබඳ අගමැතිවරයාට දැඩිව චෝදනා කළ පාර්ශ්ව පෙන්නා දෙන්නේ අදාළ ගැටලූ ගැන සොයා බැලීම සඳහා පසුගිය 2018 වර්ෂයේ අගමැතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් පත් කළ කමිටුව මේ දක්වා එක් දිනක් හෝ රැස්වී නැති බව යි.

මේ වන විට පළාත් සභා 05ක නිල කාලය අවසන් වී ඇති අතර දකුණු පළාත් සභාවේ නිල කාලය අපේ‍්‍රල් මස 10 වැනිදාත් බස්නාහිර පළාත් සභාවේ නිල කාලය අපේ‍්‍රල් මස 20 වැනිදාත් අවසන් වීමට නියමිත ය.

පළාත් සභා මැතිවරණ කල් දැමීම තම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් යැයි සඳහන් කරමින් උතුරු මැද සහ සබරගමු පළාත් හිටපු මහ ඇමැතිවරුන් සහ ‘‘සත්‍ය ගවේෂකයෝ’’ නම් සංවිධානය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කර ඇත. එම පෙත්සම් විභාගය ශ්‍රේෂ්ඨාධිකරණයේ අවුරුදු නිවාඩුව අවසන් වූ වහාම ආරම්භ කරනු ඇතැයි විශ්වාස කෙරේ. බොහෝ විට මෙම පෙත්සම් මගින් අදාළ පාර්ශ්වයන්ගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇති බව නිගමනය කළ හැකි බව නීති ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීනයින්ගේ අදහස වී තිබේ. යම් කිසි ආකාරයකින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ද පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වන ලෙසට ආණ්ඩුවට නියෝග කළහොත් ආණ්ඩුව පමණක් නොව මැතිවරණ කොමිසම පවා දැඩි අර්බුදයකට ලක්වනුු ඇතැයි නීති ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීනයින්ගේ අදහස වී තිබේ.

Recommended For You

About the Author: Editor