උත්සව සමයට විශේෂ බස් සහ දුම්රිය සේවා

සිංහල සහ හින්දු අලූත් අවුරුදු සමයේදී කොළඹ සිට ගම්බිම් බලා පිටත්ව යන දුර පළාත්වල ජනතාව වෙනුවෙන් විශේෂ ප‍්‍රවාහන සේවා සැලසුමක් ක‍්‍රියාත්මක කර ඇතැයි ප‍්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා ඇමති අර්ජුන රණතුංග මහතා පැවසීය.

අද බත්තරමුල්ල සෙත්සිරිපාය පිහිටි අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේදී පැවැති මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.
අපේ‍්‍රල් මස 10 වැනි දින සිට 22 වැනි දා දක්වා ක‍්‍රියාත්මක වන මෙම විශේෂ ප‍්‍රවාහන සැලසුමට අනුව අලූතින් දුම්රිය සේවා 65ක් ද, ලංගම බස් රථ 1500ක් ද අතිරේකව එක්කර ඇති අතර පෞද්ගලික බස් රථ ගමන්වාර සංඛ්‍යාව 2200 සිට 2600 දක්වා වැඩිකර ඇත.

මෙම ප‍්‍රවාහන සැලසුමට සමගාමීව ලංගම රියැදුරන්ගේ සහ කොන්දොස්තරවරුන්ගේ නිවාඩු අවලංගු කර ඇති අතර ලංගම දෛනික ගමන් කාලසටහන් ද අවලංගු කර ඇතැයි ද ඇමැති අර්ජුන රණතුංග මහතා සඳහන් කළේය.

ප‍්‍රවාහන ඇමැතිවරයා මෙසේ කීවේය.

‘‘මෙවර උත්සව සමයේදී අපි අගනරගයේ සිට තම ගම්බිම් බලා යන මගී ජනතාව වෙනුවෙන් විශේෂ ප‍්‍රවාහන සැලසුමක් ක‍්‍රියාත්මක කර තිබෙනවා. ඒ අනුව කොළඹ පිටකොටුවෙන් පමණක් නොව ඔවුන්ට මහරගම සහ පසුගිය දා විවෘත කළ කොට්ටාව මාකුඹුර නැවතුමෙන් ද දුර ගමන් සේවා බස් රථ ලබාගත හැකියි. විශේෂ වැඩපිළිවෙළ යටතේ ධාවනය සඳහා එක්කර ඇති සාමාන්‍ය ගාස්තු බස්රථ සහ අර්ධ සුඛෝපභෝගී බස්රථ හඳුනා ගැනීම සඳහා ස්ටිකරයක් එම බස්රථවල ඇලවීමටත් අපි පියවර ගන්නවා. ඒ වගේම මෙහිදී අවධාරණය කළ යුතුයි මෙම කාලය තුළ ධාවනය සඳහා යොදවා ඇති කිසිම බස්රථයකට අදාළ මුදලට වඩා වැඩියෙන් කිසිම මුදලක් අය කළ නොහැකියි. එවැනි පැමිණිලි ඇතොත් වහාම දුරකථන අංක 1955 මගින් අපට දැනුම් දිය හැකියි. අපි අදාළ බස්රථවලට එරෙහිව දැඩි පියවර ගන්නවා. ඔවුන් බලපත‍්‍ර අහෝසි කිරීමට අපි පියවර ගන්නවා’’

මෙහිදී ඇමැතිවරයා සඳහන් කළේ කොළඹ සිට මගීන් රැුගෙන දුර ගමන්වල යෙදෙන බස්රථවලට ආපසු පැමිණෙන විට මුහුණදීමට සිදුවන දුෂ්කරතා ගැන ද තමන් අවධානය යොමු කළ බවයි.

‘‘කොළඹ සිට මගීන් රැුගෙන දුර ගමන්වල ධාවනය වන මෙම බස්රථවලට ආපසු පැමිණෙන විට බොහෝ විට මගීන් පටවා ගැනීමට අවස්ථාව ලැබුණේ නැහැ. ඒත් මෙවර අපි ඔවුන්ට සහනයක් ලෙස යළි කොළඹ බලා ධාවනය වන විට අර්ධ සුඛෝපභෝගී බස්රථ ලෙස ඒවා ධාවනය කිරීමට අවස්ථාව ලබාදී තිබෙනවා. එවිට ඔවුන්ට පාඩුවකින් තොරව යළි කොළඹ බලා ධාවනය කළ හැකි’’ බව ද ඇමැති අර්ජුන රණතුංග මහතා ප‍්‍රකාශ කළේය.

දඩ මුදල් සම්බන්ධයෙන් පැනනැගී ඇති අර්බුදය හමුවේ පුද්ගලික බස්රථ වර්ජනයක් ගැන මේ දිවනවල පවතින තර්ජනය ගැන මාධ්‍යවේදියෙකු කළ විමසීමට පිළිතුරු දුන් අමැතිවරයා ප‍්‍රකාශ කළේ ජනතාව පීඩාවට පත් කරමින් මෙම උත්සව සමයේ පුද්ගලික බස් සංගම් වර්ජනයක් කළහොත් තමා කිසිසේත් ඒ සඳහා ඉඩ ලබා නොදෙන බවයි.

දුම්රිය සේවකයින් ද මේ උත්සව සමයේ වර්ජන තර්ජන කරනවා. අපි ඔවුන්ගේ ප‍්‍රශ්න ගැන මුදල් අමැතිවරයා සමග කතා කරන්න අවස්ථාව සලසා දී තිබෙනවා. එනිසා ඔවුන් ද මේ කාලයේ සාමාන්‍ය ජනතාව පීඩාවට පත්කරන තීන්දුවක් නොගනීවි කියලා තමා විශ්වාස කරනවා යැයි ද ප‍්‍රවාහන ඇමැතිවරයා සඳහන් කළේය.

Recommended For You

About the Author: Editor