එළවළු ගොවියා සහ පාරිභෝගිකයා රකින App එකක් හඳුන්වා දෙයි

ඉදිරියේ දී එළවළු හිඟයක් ඇති වීම වළක්වා ගැනීම සහ එළවළු ගොවීන් ශක්තිමත් කිරීම වෙනුවෙන් ‘‘භෝග පුරෝකථන ක‍්‍රමය’’ නමින් නව ක‍්‍රමවේදයක් ආරම්භ කිරීමට පියවර ගත් බව කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානයේ මාධ්‍ය ප‍්‍රකාශක, සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ සහන් එම්. බණ්ඩාර මහතා ‘‘lankaepress’’ සමග ප‍්‍රකාශ කළේය.

කෘෂිකර්මික තොරතුරු සහ සන්නිවේදන මධ්‍යස්ථානය විසින් හඳුන්වා දී තිබෙන ‘ජංගම දුරකථන යෙදවුම් App මගින් දිනපතා දත්ත ලබාගත හැකි බවත් මීට අමතරව මාසයේ 05 වැනිදායින් පසු පැමිණෙන සඳුදා සහ බදාදා දිනවල සහ 20 වැනි දිනට පසු පැමිණෙන පළමු සඳුදා සහ බදාදා යන දිනවල ජාතික පුවත්පත්වල මෙම තොරතුරු ප‍්‍රසිද්ධ කරන බව ද බණ්ඩාර මහතා වැඩි දුරටත් කීය.

‘‘play store’’ ඔස්සේ මෙම භෝග පුරෝකථන යෙදුම බාගත කරගත හැකියි. ඒ මගින් දිනපතා මෙම දත්ත ලබා ගැනීමට හැකියාව ලැබෙනවා. මේ වන විට අදාළ යෙදුම app මගින් තොරතුරු ලබාගත හැකියි. මැයි මාසයේ සිට තෝරාගත් ජාතික පුවත්පත්වල මෙම තොරතුරු පළ කිරීමට අපි අපේක්ෂා කරනවා. මෙම app එකේ ඇති විශේෂත්වය තමයි මාස තුනකින් ලැබිය හැකි අස්වැන්න සහ රටේ අවශ්‍යතාව හඳුනා ගත හැකි වීම. මෙහිදී යම් බෝගයක අතිරිත්තයක් ඇති වන්නේ නම්, වගාවන් සිදු කිරීම පිළිබඳ අනතුරු ඇගයීම සහ රටට අවශ්‍ය ප‍්‍රමාණය ප‍්‍රමාණවත් නැති නම් අලූතින් වගා කළ යුතු ප‍්‍රමාණය ප‍්‍රකාශ පත් කිරීම සිදු කරනවා. මේ මගින් එළවළුවල හිඟයක් ඇති වීම මගින් පාරිභෝගිකයා පීඩාවට පත් වීම මෙන්ම අතිරිත්තයක් ඇති වීම මගින් එළවළු ගොවියා පීඩාවට පත්වීම ද වැළකෙනවා. ඒ හරහා එළවළු හිඟය වළක්වා ගැනීම සහ එළවළු ගොවියා ශක්තිමත් කිරීම ද එකවරම සිදුවෙනවා’’ යැයි ද සහන් එම්. බණ්ඩාර මහතා පැවසීය.

මෙම ක‍්‍රමය මගින් එක් එක් භෝගවල වර්තමානයේදී වගාකර ඇති භූමි ප‍්‍රමාණය, මාස තුනකට පසු ලැබෙන අස්වැන්න සහ රටට අවශ්‍ය එළවළු ප‍්‍රමාණය එළිදක්වන බව ද සහන් එම්. බණ්ඩාර මහතා පැවසීය.

Recommended For You

About the Author: Editor