ඩිජිටල්කරණ මූල්‍ය සේවා පහසුකම් හඳුන්වාදීමට ශ්‍රී ලංකා මහ බැංකුව සූදානම්

ලෝකයේ දියුණු රටවල ජනතාව අත්විඳින අති නවීන ඩිජිටල්කරණ මූල්‍ය සේවා පහසුකම් ඉතා ඉක්මණින් ශ්‍රී ලාංකික ජනතාවට හඳුන්වාදීමට ශ්‍රී ලංකා මහ බැංකුව සූදානම් වේ.

ඒ අනුව අප රටේ ස්වයංක්‍රීය ට්‍රෙලර් යන්ත්‍ර (ATM) කාඩ්පත්, ණය කාඩ්පත්, හර කාඩ්පත් ඇතුළු සියලු ගෙවීම් පියවීම් පද්ධතියම අතිනවීන තාක්ෂණික ක්‍රමවේදයට හඳුන්වාදීමට පස් අවුරුදු සැලැස්මක් ශ්‍රී ලංකා මහ බැංකුව ක්‍රියාවට නංවා තිබේ.

ෆින්ටෙච් (Fintech) තාක්ෂණ පද්ධතිය අප රටට ද හඳුන්වාදෙන අතර එමඟින් කඩදාසි රහිත මූල්‍යමය ගණු දෙනු සිදු කිරීමේ ක්‍රමවේදය රටට හඳුන්වාදීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකා මහ බැංකුවේ ගෙවීම් හා පියවීම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ සහකාර අධ්‍යක්ෂ ගයාල් රූපසිංහ මහතා ප්‍රකාශ කෙළේය.

ශ්‍රී ලංකාවේ ගෙවීම් – පියවීම් පද්ධතියට ‍ලොව නම් දැරූ ආරක්ෂිත, කාර්යක්ෂම හා ඉතා පහසු තාක්ෂණය ඔස්සේ ක්‍රියාකරන ක්‍රමවේදය හඳුන්වාදීමෙන් වාසි රාශියක් අත්කරදීම නව වැඩපිළිවෙළේ අරමුණ බවද රූපසිංහ මහතා කීය.

මුදල් නෝට්ටු හා කාසි නිෂ්පාදනයට වැය වන මුදල, ප්‍රවාහනයට වැය වන මුදල ඇතුළු අනෙකුත් පරිබාහිර වියදම් අවම කොට ගනිමින් කඩදාසි රහිත ගණු දෙනු ක්‍රමයට රට පත් කිරීම මේ පස් අවුරුදු වැඩපිළිවෙළේ තවත් එක් අරමුණකි. ඊට අමතරව ඉදිරියේදී කාඩ්පත් නිෂ්පාදනයට වැය වන මුදල නතර කොට ඒ වෙනුවට අඩු වියදම් කාඩ්පත් ක්‍රමයක් හඳුන්වාදෙන බව ද රූපසිංහ මහතා ප්‍රකාශ කෙළේය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කළ මාධ්‍යවේදීන් දැනුම්වත් කිරීමේ වැඩමුළුවට එක්වෙමින් ගයාල් රූපසිංහ මහතා මේ කරුණු අනාවරණය කෙළේය. ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතාගේ උපදෙස් මත මේ පුහුණු වැඩමුළුව රාජගිරිය බැංකු කටයුතු අධ්‍යයන කේන්ද්‍රයේදී ඉකුත් 04 වැනිදා පැවැත්විණි.

අද වන විටත් ලෝකයේ දියුණු රටවල ජනතාව සෑම ගණු දෙනුවක්ම කාඩ්පත් හරහා ජංගම දුරකථනය හරහා ඉටු කිරීමට පෙළඹී සිටිති. ඒ අයුරින්ම නුදුරේදීම ශ්‍රී ලාංකික ජනතාවට ද තම ගෙවුම් පියවීම් කඩදාසි රහිතව ඉටු කිරීමට අවස්ථාව උදාකරදීමට මහ බැංකුව ක්‍රියා කරන බව ද රූපසිංහ මහතා සඳහන් කෙළේය.

Recommended For You

About the Author: Editor