මෑත ඉතිහාසයේ අඩුම එළවළු මිල වාර්තා වෙයි

මෑත ඉතිහාසයේ වාර්තා වූ අඩුම එළවළු මිල ගණන් මෙවර වාර්තා වී ඇතැයි සී/ස සමස්ත ලංකා ඒකාබද්ධ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන හා මැනිං වෙළෙඳ සමිතියේ ජාතික සංවිධායක එච්.එම්. උපසේන මහතා පවසයි.

එළවළු, තක්කාලි, අමුමිරිස් සහ දෙහි මිල වාර්තා ගත ලෙස අඩු වී ඇති බව සඳහන් කරන උපසේන මහතා, වාර්තා ගත ලෙස සිදුව ඇති මෙම මිල පහළ යාම හමුවේ පාරිභෝගිකයා සතුටට පත් වුවත් ගොවි ජනතාව දැඩි ලෙස අසරණ වී ඇතැයි ද එළවළු ව්‍යපාරිකයින්ට පවා නියමිත ලාභයක් නොලැබෙන බව ද සඳහන් කළේය.

උපසේන මහතා මෙසේ ද පැවසීය. ‘‘පසුගිය කාලයේ කිලෝවක් රුපියල් 600-700 අතර මිලකට අලෙවි වූ දෙහි සහ අමු මිරිස් කිලෝව රුපියල් 120 – 150 අතර මිලකට පහළ වැටිලා. වට්ටක්කා කිලෝවක තොග මිල රුපියල් 20කටත් වඩා අඩුයි. ඒ වගේම උත්සව සමයේ ඉහළ ඉල්ලූමක් තිබෙන, තක්කාලි, ගෝවා, කැරට්, මාළුමිරිස් ඇතුළු උඩරට එළවළු මිල ගණන් රුපියල් 80-120ත් දක්වා ද බෝංචි කිලෝවක මිල රුපියල් 120-130ත් දක්වා පහළ වැටිලා තිබෙනවා. මෙය මෑත කාලයේ සිංහල හා හින්දු අලූත් අවුරුදු සමයක වාර්තා වූ අඩුම මිල ගණන් ලෙස සැලකිය හැකියි ’’

විශාල ලෙස එළවළු මිල පහළ ගියත් ඉල්ලූමේ වෙනසක් සිදුව නැති බව කී උපසේන මහතා මේ දිනවල විශාල වශයෙන් එළවළු තොග ලැබෙමින් පැවතීම මිල පහළ යාමට ප‍්‍රධාන හේතුවක් වූ බව ද සඳහන් කළේය.

ආර්ථික මධ්‍යස්ථාවලට විශාල වශයෙන් ලැබෙමින් පවතින එළවළුවලින් වැඩි ප‍්‍රමාණයක් දෙමුහුන් බීජ උපයෝගී කරගෙන වගා කළ එළවළු වර්ග බව ද උපසේන මහතා කීය.

මේ අතර හොරණ ප‍්‍රදේශයේ (රත්නපුර – පානදුර ප‍්‍රධාන මාර්ගයේ) මාර්ගය දෙපස එළවළු අලෙවි කරන ඇතැම් ව්‍යාපාරිකයින් උඩරට ඇතුළු සෑම එළවළු වර්ගයකම කිලෝවක් රුපියල් 60ක් වැනි මිලකට අලෙවි කරන ආකාරයක් පසුගිය සති කිහිපය තුළ දැකගත හැකි බව හොරණ ප‍්‍රදේශවාසීහූ කියති. මේ තරගකාරීත්වය හමුවේ ඇතැම් එළවළු අලෙවි සැල් කැරට්, බෝංචි ආදි උඩරට එළවළු කිලෝවක් රුපියල් 50ක් වැනි මිලකට ද අලෙවි කරනු දැකගත හැකිය. එහෙත් මෙම ප‍්‍රදේශයේ සාමාන්‍ය එළවළු අලෙවිසැල්වල එළවළු මිල ගණන් සැලකිය යුතු ලෙස ඉහළ මිලක් වන බව ද දැකගත හැකිය.

Recommended For You

About the Author: Editor