අත – පොහොට්ටු සාකච්ඡා තෙවන වටය අද

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පැවැත්වෙන සාකච්ඡා මාලාවේ තෙවන වටය අද පෙරවරුවේදී විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

මෙම සාකච්ඡාව සඳහා ශ‍්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා ඇතුළු ශ‍්‍රීලනිප නියෝජිතයින් කිහිප දෙනකු සහ ශ‍්‍රීලපොපෙ නියෝජනය කරමින් එහි සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා ඇතුළු නියෝජිතයින් පිරිසක් සහභාගී වන බව වාර්තා වේ.

මෙම සාකච්ඡා වටය පිළිබඳව මේ වන විට දේශපාලන කරළිය තුළ විවිධ අදහස් පවතින අතර ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රබලයින් කිහිප දෙනකුගේම අදහස වන්නේ මෙම සාකච්ඡා තව දුරටත් ඉදිරියට ගෙන යාම නිෂ්ප‍්‍රයෝජන බවයි. මේ සම්බන්ධයෙන් පසුගිය දා අදහස් දැක්වූ ඒකාබද්ධ විපක්ෂයේ ප‍්‍රබලයෙකු වන ප‍්‍රසන්න රණතුංග මහතා ප‍්‍රකාශ කර සිටියේ දී ජනපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විශ්වාස කඩකර ඇති හෙයින් තව දුරටත් මෙම සාකච්ඡා ඉදිරියට ගෙන යාම නිෂ්ඵල බවයි.

පසුගිය අයවැය ඡන්ද විමසීමේදී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත‍්‍රී පාර්ශ්වයේ මන්ත‍්‍රීවරුන් අයවැය ඡන්දයට සහභාගී නොවීම පිළිබඳව මේ වන විටත් ඒකාබද්ධ විපක්ෂ මන්ත‍්‍රීවරුන් අතර දැඩි විවේචනයක් පවතී. ඔවුන් දිගින් දිගටම අවධාරණය කරන්නේ අයවැය වැනි තීරණාත්මක අවස්ථාවකදී පවා එකම මතයකට පැමිණිය නොහැකි කණ්ඩායමක් ගැන තීරණාත්මක එකඟතාවක් ඇතිකර ගැනීම නිෂ්ඵල ක‍්‍රියාවක් බවයි.

එහෙත් ඒකාබද්ධ විපක්ෂයේ ඇමැති මන්ත‍්‍රීවරුන්ගේ විවේචන බැහැර කරන ශ‍්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පෙන්වා දෙන්නේ අයවැය ඡන්ද විමසීමේදී තමා ඇතුළු පිරිස ගත් පියවර තර්කානුකූල එකක් බවයි.

‘‘අපි මහින්ද රාජපක්ෂ මහතා අගමැති කිරීමේදී සම්පූර්ණ සහාය දුන්නා. ඒත් ඔවුන්ට 113ක් සොයා ගන්න බැරි වුණා. ඒ වගේම තමයි 2019 අයවැය පරාජය කරන ආකාරය, ඒ සඳහා අවශ්‍ය 113 සොයා ගන්න ආකාරය ගැන ජනපතිවරයා සහ විපක්ෂ නායකවරයා අතර කිසිම සාකච්ඡාවක් තිබුණේ නැහැ. ඒ නිසා අපි අපේ තීරණය ක‍්‍රියාත්මක කළා’’ දයාසිරි ජයසේකර මහතා තම තීරණය යළි යළිත් සාධාරණීකරණය කරමින් ප‍්‍රකාශ කළේය.

මේ අතර ශ‍්‍රීලනිප භාණ්ඩාගාරික එස්.බී දිසානායක මහතා ද අවධාරණය කරන්නේ අයවැය ඡන්දය මේ තීරණාත්මක සාකච්ඡුා සඳහා කිසිදු ආකාරයකින් බාධාවක් කර නොගත යුතු බවයි. ඒකාබද්ධ විපක්ෂයේ ප‍්‍රබලයින් එවැනි පටු අදහසකින් ක‍්‍රියාකිරීමට තරම් පටු දැක්මක් ඇති දේශපාලනඥයින් නොවන බව දිසානායක මහතා සඳහන් කළේය.

ශ‍්‍රීලනිපය සහ ශ‍්‍රීලපොපෙ අතර පැවැති පසුගිය සාකච්ඡා වාරයේ දී මූලික එකඟතා 20ක් ගැන පොදු අදහසකට පැමිණ ඇති බව වාර්තා වන අතර තීරණාත්මක කරුණු ගැන මෙම සාකච්ඡාවේදී යළි සලකා බලනු ඇති බව ද වාර්තා වේ.

මෙම සාකච්ඡාව සම්බන්ධ ජනපතිවරයා සහ විපක්ෂ නායකවරයා දැනුවත් කිරීමෙන් පසු ඉදිරි සාකච්ඡා වටය පැවැත්වෙන දිනය ගැන තීන්දුවක් ගැනීමට නියමිත බව දයාසිරි ජයසේකර මහතා පවසයි.

කෙසේ වෙතත් ශ‍්‍රීලනිප – ශ‍්‍රීලපොපෙ පුළුල් සන්ධානයක් ගොඩනැගීම සඳහා වන සාකච්ඡාවලට දෙපාර්ශ්වය අතර විටින් විට නිර්මාණය වන මත ගැටීම් බාධාවක් කර නොගත යුතු බව ශ‍්‍රීලනිපයේ සහ ශ‍්‍රීලපොපො ප‍්‍රබලයින්ගේ අදහස බව ද දයාසිරි ජයසේකර මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

Recommended For You

About the Author: Editor