තෙල් මිල ඉහළට ද ? පහළට ද? තීන්දුව අද

ඉන්ධන මිල ගණන් ඉහළ දමනවාද ? පහළ දමනවාද ? යන්න ගැන තීරණය කරන ‘‘ඉන්ධන මිල සූත‍්‍රය’’ ගැළපීම අද රාත‍්‍රියේ දී (10) සිදුවේ.


ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන් ඉහළ යාමේ වාසිය ජනතාවට වඩාත් කාර්යක්ෂමවත්, විනිවිද පෙනෙන අයුරිනුත් ලබාදිය හැකි යැයි පවසමින් ආණ්ඩුව විසින් සකස් කරන ලද ඉන්ධන මිල සූත‍්‍රය සෑම මසකම 10 වැනි දින ගැළපීම සිදුවේ.
මෙම ඉන්ධන මිල සූත‍්‍රයට අනුව පසුගිය මාර්තු මස 12 වැනිදා සිදු කළ අවසන් ඉන්ධන මිල සංශෝධනය යටතේ ඔක්ටේන් 92 පෙට‍්‍රල් ලීටරයක මිල රුපියල් 03කින් ද, ඔක්ටෙන් 95 පෙට‍්‍රල් ලීටරයක මිල රුපියල් 07කින් ද, ඔටෝ ඞීසල් ලීටරයක මිල රුපියල් 01කින් ද, සුපිරි ඞීසල් ලීටරයක් රුපියල් 08කින් ඉහළ දැමීම රජය පියවර ගත්තේ ය.

මේ අතර ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල පසුගිය මාස පහට පසු ඉහළ ම අගයක් මේ වන විට වාර්තා වන බව යි. ඒ අනුව 2018 නොවැම්බර් මාසයෙන් පසුව වාර්තා වූ ඉහළම මිල පසුගිය 08 වැනිදා වාර්තා වූ බව විදෙස් මාධ්‍ය ප‍්‍රකාශ කරයි. බොරතෙල් අපනයනය සම්බන්ධයෙන් අමෙරිකා එක්සත් ජනපදය විසින් ඉරානයට එරෙහිව සම්බාධක පැනවීම නිසා බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 73.17ක් දක්වා 2018 නොවැම්බර් මස අවසානයේ දී ඉහළ ගියේ ය. එහෙත් යළිත් ඉරානයට එරෙහි සම්බාධක කල්දැමීම නිසා බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 50.77 දක්වා පහළ වැටුණේ ය.

එහෙත් පසුගිය මාස කිහිපය තුළ ඛනිජ තෙල් නිපදවන රටවල් කිහිපයක පවතින අභ්‍යන්තර අර්බුද යළිත් ඛනිජතෙල් මිල ඉහළ යාම සඳහා හේතු විය. පසුගිය මාස කිහිපය පුරා ලිබියාවේ පවතින අභ්‍යන්තර ගැටුම්, වෙනිසියුලාවේ අභ්‍යන්තර ගැටුම් හේතුවෙන් සම්බාධක පැනවීම සහ ඔපෙක් සාමාජික රටවල් තම නිෂ්පාදනය සීමා කිරීම හේතුවෙන් පසුගිය මාස දෙක තුළ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල සැලකිය යුතු අගයකින් ඉහළ ගියේය. මේ අනුව ලංකාවේ ඉන්ධන නිෂ්පාදනය සඳහා යොදා ගන්නා ‘බ්‍රෙන්ට්’ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 71.21 දක්වා ඉහළ ගොස් ඇත.

අද රාත‍්‍රියේදී සිදු කිරීමට නියමිත ඉන්ධන මිල සූත‍්‍රයට ලෝක වෙළෙඳපොළේ ඇති වී තිබෙන මෙම මිල ඉහළ යාම සමග සිදුව ඇති රුපියලේ අවප‍්‍රමාණය වීම ද ඍජු බලපෑමක් කරනු ඇතැයි ආර්ථික විශේෂඥයින්ගේ අදහස යි. ඒ අනුව මිල සූත‍්‍රය අනුව ඉන්ධන මිලේ සැලකිය යුතු ඉහළ යාමක් සිදුවනු ඇතැයි විශ්වාස කළ හැකි බව ඔවුහු පවසති.

එහෙත් මේ සම්බන්ධයෙන් ආණ්ඩුව දරන ස්ථාවරය වන්නේ ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිලේ සැලකිය යුතු ඉහළ යාමක් වාර්තා වුව ද මෙම උත්සව සමයේ ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමක් සිදු නොවන බව යි.

Recommended For You

About the Author: Editor